Thursday 22nd of August 2019

English Tamil


එජාප නව සන්ධානය කොට උඩ යයි..!


2019-08-03 16150

සන්ධානයට අත්සන් තැබීමට නොහැකි බව සුළු පක්ෂ අගමැතිට දන්වයි..!

 

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සජිත් ප්‍රේමදාස ඉල්ලයි..!

 

සන්ධානයට අත්සන් කළොත් සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් කොළඹ දී විරෝධතා..!

 

නව සන්ධාන උත්සවයේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවයි..!

 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ එම පක්ෂය මැදිහත් වී ගොඩනැගීමට යන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු නව දේශපාලන සන්ධානය සඳහා අත්සන් තැබීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික වතු කම්කරු සම්මේලනය, සහ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ.

මේ දේශපාලන පක්ෂවල නායකයින්වන රාවුෆ් හකීම්, මනෝ ගනේෂන්,පලනි දිගම්බරන් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දී තිබෙන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු නව දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ඒකමතිකභාවයක් නොමැති තත්ත්වය හමුවේ එම සන්ධානය සඳහා අත්සන් කරමින් ඊට එක්වීමට සිය දේශපාලන පක්ෂවලට හැකියාවක් නොමැති අතර එම නිසා ප්‍රථමයෙන්ම එක්සත් ජාතික පක්ෂය සමස්තයක් ලෙස මේ කාරණයට අදාළව පොදු එකඟතාවයකට පැමිණිය යුතු බවය.

උද්ගත වී තිබෙන මේ තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ එම පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සමග අරලිය ගහ මන්දිරයේදී සිකුරාදා (2) රාත්‍රී 9.00 සිට සෙනසුරාදා අලුයම 2.00 දක්වා දීර්ඝ වශෙන් කරුණු සකච්ඡා කළ අතර එම සාකච්ඡාව අවසන් වුයේ අවසන් විසදුමකින් තොරවය.

උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීමේ බලය සහ වගකීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වෙත එහිදී පවරනු ලැබිය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණු නව දේශපාලන සන්ධානයට අත්සන් තැබීම වෙනුවෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ 2019 අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබු උත්සවයේ සියලු සංවිධාන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කරන ලෙස දොස්තර රාජිත සේනාරත්න මහතා සෙනසුරාදා (3) දහවල් 12.00 වන විට අදාළ බලධාරීන්ට දැනුම් දී තිබිණ.

මේ අනුව එම උත්සවයට අදාළව අරාධනා පත්‍ර බෙදා හැරීමේ කටයුතු ද වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සමග මේ වන විටත් කරුණු සකච්ඡා කරමින් සිටියි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු නව දේශපාලන සන්ධානයට 2019 අගෝස්තු 05 වැනිදා අත්සන් කළ හොත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය සමග එක්ව ඒ මොහොතේම ඊට එරෙහිව කොළඹ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා අනතුරුව පාක්ෂිකයින් සමග එක්ව විරෝධය පළ කිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශවය තීරණය කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ලිඛිතව කරුණු දක්වා තිබෙන්නේ සිය පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු නව දේශපාලන සන්ධානයට අත්සන් තබන්නේ එඅ සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළොත් පමණක් බවය.