Thursday 22nd of August 2019

English Tamil


පොහොට්ටුවේ වාමාංශික පක්ෂ පහම ගෝඨාට එරෙහි වෙයි..!


2019-07-30 13341

දිනේෂ් ගුණවර්ධනව ඉල්ලයි..! 

 

ගෝඨා ඇමරිකානු කුමන්ත්‍රණයක් දැයි සැක..?

 

(සුජිත් මංගල ද  සිල්වා)

සියලුම වාමාංශික පක්ෂ එකට ඒකරාශී කොට පොදු සන්ධානයක් ගොඩ නගා එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වාමාංශික පක්ෂවල අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක් ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් රාජා කොල්ලුරේ සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන මහත්වරුන් අතර සෙනසුරාදා (27) කොළඹ දී පැවැත් වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බව එහි දී පෙන්වා දී ඇති වාසුදේව නානායක්කාර මහතා, සියලුම වාමාංශික පක්ෂ එකට ඒකරාශී කර එම වාමාංශික දේශපාලන පක්ෂ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවන විට මහින්ද රාජපක්ෂ මහතා අගමැති වී, චමල් රාජපක්ෂ මහතා කතානායක වී, බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ තවත් ප්‍රබල ඇමතිවරයෙකු ලෙස පත්වීම කිසි සේත් අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන  මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන වාමාංශික දේශපාලන පක්ෂවල දැඩි ස්ථාවරය වී තිබේ.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැද වූ වහාම සිය රටේ පුරවැසි භාවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්පුර්ණයෙන්ම නිදහස් කරන බවට ඇමරිකානු රජය ඔහුට ලබා දී තිබෙන සහතිකය පිළිබඳව මේ වාමාංශික දේශපාලන පක්ෂ නායකයින්ගේ විශේෂ අවදානය යොමුව තිබෙන අතර එම නායකයින්ගේ ස්ථාවරය වී තිබෙන්නේ ඇමරිකාව සිය රටේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළව එවැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අතිශය සැක සහිත බවය.