Thursday 22nd of August 2019

English Tamil


යූ.ඇන්.පී.යට තනියම දිනන්න බැරිද..?


2019-07-28 2753

හම්බන්තොටදී නාමල්ටත් පැරදුණ සජිත්..!

 

චම්පික -රාජිත-ෆොන්සේකා පරදින කෙනෙකුට ඔට්ටු තියයිද..!

 

(උපුල් ‌ජෝෂප් ප්‍රනාන්දු) 

මේ පහුගියදාක නොම්මර එකේ යූ.ඇන්.පී.කාරයෙක්ගෙන් මිතුරකු අහපු ප‍්‍රශ්නයකි. නොම්මර එකේ යූ.ඇන්.පී.කාරයාටත් මේ ප‍්‍රශ්නයට උත්තර හොයා ගන්න බැරිව දහඅතේ කල්පනා කළේ අද යූ.ඇන්.පී.ය වැටිලා තියෙන තත්ත්වය ගැන දන්නා නිසාය. ඇත්තටම මෙයට වසර 9කට පෙර ඒ කියන්නේ 2010 වගේ මේ ප‍්‍රශ්නයට උත්තර දිය හැකිව තිබිණි. 2010 ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් පරාජය වූ පසු වත්මන් නායක රනිල් ඉවත් වී කරුට හෝ සජිත්ට පක්‍ෂ නායකත්වය දුන්නා නම් යූ.ඇන්.පී.යට තනියම දිනන්න 2015 ජනාධිපතිවරණයට සංවිධානය වෙන්න වසර 5ක කාලයක් තිබිණි.

ඒ වෙලාවේ රනිල්ව ආරක්‍ෂා කළේ අද තනියම දිනන්න සජිත් ඕනා කියන කට්ටියමය. ඒ වේලාවේ ඔවුන් කීවේ හම්බන්තොට දිනා ගන්න බැරි සජිත් කොහොමද රට දිනන්නේ කියාය. ඒ වේලාවේ ඔවුන් කීවේ පේ‍්‍රමදාස ඝාතනය, වූවාට පසු ජනාධිපති මන්දිරයේ පින්තූර අතුරුදන් වීම් ඇතුළු පේ‍්‍රමදාස පවුලට තියෙන චෝදනා ඇදිලා ආවොත් සජිත් පමණක් නොව යූ.ඇන්.පී.යත් ඉවර වෙයි කියාය. අනෙක යූ.ඇන්.පී.යට තනියම දිනන්න බැරි බවත් යූ.ඇන්.පී.ය සන්ධානයකින් තරග කළ යුතු බවත් කීවේ ඔවුන්ය. අලියා ලකුණ ඕනා කියන පක්ෂයේ නම ඕනා කියන සජිත්වාදීහු කරන්නේ රාජපක්ෂලාගේ කොන්ත‍්‍රාත්තුවක් යැයි කීහ.

මේ කතා කියා ඔවුහු රනිල්ගේ නායකත්වය ආරක්ෂා කර ගත්හ. හැබැයි ඒකෙන් පක්‍ෂය විශාල බෙදීමකට පත්විණි. රනිල්වාදීන් සහ සජිත්වාදීන් අතර මහා යුද්ධයක් ආරම්භ විය. සිරිකොතට ගල්ගසනු ලැබුවේ එහි ප‍්‍රතිඵලයක් වශයෙන්ය. මේ කාලයේ පක්‍ෂයට රැුස්වීමක් තබා සම්මේලනයක්වත් තියා ගන්න නොහැකි විය. පක්‍ෂය අබල - දුබල වී එක තැන පල් විය. 2015 ජනාධිපතිවරණය එන විට යූ.ඇන්.පී.යට තනියම දිනන්න බැරි තැනට පක්ෂය දුර්වල වී තිබිණි.

ඒ වේලාවේ පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක රනිල්වාදීන් සහ සජිත්වාදීන් එක්කොට පක්‍ෂය යළි පණගන්වන්න මෙහෙයුමක් දියත් කළේය. තිස්ස කීවේ රනිල් ජනාධිපති අපේක්ෂකයා වී සජිත් අගමැති අපේක්ෂකයා විය යුතු යැයි කියාය. මේ යෝජනාවටද අද සජිත්ව ඕනා කියන 2010 දී රනිල්ව ආරක්ෂා කර ගත් අය එරෙහි විය. ඔවුන්ට යකා නැග්ගේ සජිත්ව අගමැති කරන යෝජනාවටය. රනිල් සහ සජිත් එක් වුණත් දිනන්න බැහැ කී ඔවුහු පොදු අපේක්ෂකයෙක් ගෙන ආ යුතු බවත් පක්‍ෂය පාට අමතක කොට පොදු ලකුණකින් සන්ධානයකින් තරග කළ යුතු බවත් කීහ. මෛත‍්‍රිව පොදු අපේක්ෂකයා කරන සටනේ හිටියේ ඔවුන්ය.

මෛත‍්‍රී ජනාධිපති විය. ඔහු ජනාධිපති වුණු දා සිට ගැහුවේ රනිල්ටය. රනිල්ට ගහන කොට දුර්වල වුණේ යූ.ඇන්.පී. යය. ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ආණ්ඩු පක්ෂයක් පළාත් පාලන මැතිවරණයක් පරාජය වූයේ 2018 දීය. ඒ 2010 රනිල් සහ සජිත් ගැටුමෙන් තුවාල ලබපු යූ.ඇන්.පී.ය යළි කොරගහල නැ`ගිට ගෙන 2015 ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ජයගෙන කෙළින් ඇවිදින්න පටන් ගනිද්දීය. මෛත‍්‍රීගේ ගැහිල්ලෙන් යූ.ඇන්.පී.ය 2010 - 2015 කාලයටත් වඩා දරුණු විදියට ඇදගෙන වැටිණි. මේ වේලාවේ අද සජිත් ඕනා කියන අය රනිල්වත් පක්‍ෂයවත් ශක්තිමත් කරන්න ඉදිරියට ආවේ නැත්තේ තමන්ගේ ඇමැතිකම් ආරක්‍ෂා කර ගන්න මෛත‍්‍රිව තරහ කර ගන්න අකමැති වූ නිසාය.

අද සජිත් ඕනා කියන අයගෙන් බහුතරයක් රනිල් නොදැනුවත්ව ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණයට පසු මෛත‍්‍රීගෙන් ඇමැතිකම් ගත්ත අයය. හොඳම නිදසුන පහුගියදා යූ.ඇන්.පී. මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීමේදී සජිත්ගේ නම යෝජනා කළ කබීර් හෂීම්ය. ඔහු ඇමැතිකම ගන්නවා රනිල් දන්නේ නැත. එතකොට එදා රනිල්ව ආරක්ෂා කළ අද සජිත්ව ඕනා කියා මොරගහන බොහොමයක් මෛත‍්‍රිගේ පදයට නටන අයය. තමන් එදා රනිල්ව ආරක්ෂා කර රනිල්ගෙන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීකම්, ඇමැතිකම් වරප‍්‍රසාද ගත්තත් පසුව තම ඇමැතිකම් ආරක්ෂා කරගන්න මෛත‍්‍රීගේ පිහිට පතපු නිසා රනිල් 2019ට පසුවත් ජනාධිපති හෝ අගමැති හෝ වී පක්‍ෂ නායකත්වයේ සිටියහොත් තමන්ට ගහයි කියා මේ අය බයය. මන්ද සජිත්ව ඕනා කියා අද කෑමොර දෙන අයගෙන් දෙතුන් දෙනෙක් ඇරෙන්න අනෙක් අය ඔක්කොම රනිල්ගේ හිටපු හෙංචයියෝය. රනිල් නිසා දේශපාලනයට ආ අයය. දේශපාලනයේ ”අ” යන්න නොදත් 2010 රනිල්ගෙන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීකම් ගෙන පොරවල් වූ අයය.

රනිල් දේශපාලනයට ගෙන ආ රනිල්ම ආරක්ෂා කළ මේ අය අද රනිල්ට ද්‍රෝහී වී සිටීම නිසා රනිල් ආයේ ආවොත් අපි ඉවරයි කියන මානසික ලෙඩකින් පෙළෙයි. ඒ නිසා ඔවුන්ට ඕනා සජිත්ව ගෙන ඇවිත් සජිත්ට මෛත‍්‍රීව පූට්ටු කොට ඇමැතිකම් ලබාගන්නටය. 2009 සිට සන්ධාන ඕනා කියා මරහ`ඩ දුන්න අය අද අලියා ඕනා කියන්නේ ඒ නිසාය.

හැබැයි 2010 සිට අද දක්වා අලියා ඉවර කළේ තමන්ම යැයි මේ අයට අමතකය. 2018 පුංචි ඡුන්දයේදී යූ.ඇන්.පී.ය ලැබුවේ ලක්ෂ 36කි. ජනාධිපතිවරණය දිනන්න නම් යූ.ඇන්.පී.ය 2015 මෛත‍්‍රී ගත්ත ලක්‍ෂ 62කටත් වඩා ගත යුතු වෙයි. අනෙක 2018 යූ.ඇන්.පී.ය තරග කළේ අලියා ලකුණෙන්ය. 2018 ඡන්දය මෙහෙය වූයේත් අද සජිත් ඕනා කියන කට්ටියමය. කැම්පේන් හැදුවේ ඔවුන්ය. ජනමත සමීක්ෂණ කළේ ඔවුන්ය. එතකොට පක්‍ෂ මහලේකම් අද සජිත් ඕනා කියන කබීර් හෂීම්ය. ”ඉතින් මේ කට්ටිය එක්ක සජිත් දමල තව ලක්ෂ 30ක් 35ක් වැඩි කර ගන්න පුළුවන්ද..?

” සජිත් පක්ෂය තුළ ජනප‍්‍රිය නායකයෙකි. හැබැයි සජිත් දාලා දිනන්නත් සන්ධානයක් ඕනා වෙයි. අද සජිත් ඕන කියන අයගෙන් දෙතුන් දෙනෙක් ඇරෙන්න අනෙක් අයට වේදිකාවක ජනතාව ආකර්ෂණය කරගන්න කතාවක් කරන්න බැරිය. 2015 මෛත‍්‍රී දින්නේ චම්පිකලා, රාජිතලා, ෆොන්සේකලාගේ කතා නිසාය. ඔවුන් නැතිව යූ.ඇන්.පී.යට ඡන්ද දිනන්න බැරි තැනට යූ.ඇන්.පී.ය පත් කළේත් ඔය අද සජිත් ඕනා කියන අයමය.

මේ වේලාව යූ.ඇන්.පී.යේ නායකයා වෙනස් කරන වේලාවක් නෙවේ. යූ.ඇන්.පී.ය හදන්න පුළුවන් වේලාවකුත් නෙවේ. දැන් කරන්න ඕන රාජපක්ෂ විරෝධී හැමෝම එකතු කරගෙන ජනාධිපතිවරණයට යන එකය. යූ.ඇන්.පී.ය තනියම තරග කරන්න ගිහින් චම්පිකලා, රාජිතලා, ෆොන්සේකලා වෙනම සන්ධානයක් හදා ගෙන පොදු අපේක්ෂකයෙක් දැම්මොත් සජිත් නොව පේ‍්‍රමදාසව වළෙන් නැ`ගිටලා ගෙනාවත් යූ.ඇන්.පී.යට අබසරණය.

අද යූ.ඇන්.පී.ය ඉන්නේ 2015 හිටියාටත් වඩා අන්ත තැනකය. අද සජිත් ඕනා කියන තනියම යමු කියන අය පාඩම උගෙන ගන්න ඕනා මහින්දගෙන්ය. මහින්ද මහා පෞරුෂයක් තියෙන ලංකාවේ අද ඉන්න ජනප‍්‍රියතම නායකයාය. හැබැයි මහින්ද විමල්ට, ගම්මන්පිලට, වාසුදේවට බයය. මහින්ද නැත්නම් ඔවුන්ට යන එන මං නැති බව මහින්ද දනී. ඒත් ඔවුන් එක්වී වෙනම තරග කළොත් තවත් කොයිතරම් ජනප‍්‍රිය වුණත් තමන් පරදින බව මහින්ද දනී. හේතුව මහින්දව විකුණන්න ජනතාවට ආකර්ෂණය වෙන්න කතා කරන්න පුළුවන් ඔවුන්ටය. ඔවුන් වේදිකාවේ නැතිනම් තමන් තනි වෙන බව මහින්ද දනී. ”මහින්දත් එහෙම හිතනවා නම් යූ.ඇන්.පී.ය තනියම යන්නේ කොහොමද..?

” 2010 යූ.ඇන්.පී. පක්‍ෂ සම්මේලනය පවත්වන කොට සජිත් කියන්නේ මහින්දට අභියෝග කරන්න පුළුවන් තරමේ ජනප‍්‍රිය නායකයෙකි. එදා සිරිකොත දොරටු කඩාගෙන යූ.ඇන්.පී. කාරයෝ ආවේ ඒ ඉවටය. ඒත් අද සජිත් ඕන කියන අය එදා සජිත්ව දුර්වල කළේය. එදා සජිත්ට නායකත්වය දී 2011 පුංචි ඡන්දයට ගියා නම් දිනන්න බැරි වුණත් යූ.ඇන්.පී.ය මහින්දත් එක්ක කරට කර එනවාය. කොතරම්ද කියනවානම් මහින්දත් සජිත්ට බය විය. මහින්ද සජිත්ගේ සම්බන්ධතා හරහා නායකත්වය භාර නොගන්න යැයි බලපෑම් කළේ ඒ නිසාය.

එයින් පසු සජිත් වැටිණි. 2011 පුංචි ඡන්දයේදී සජිත් හම්බන්තොටින් අන්ත පරාජයකට ලක් විය. දකුණු පළාත් සභා ඡන්දයෙන් සජිත් හම්බන්තොටින් අන්ත පරාජයකට ලක්විය. 2015 ජනාධිපතිවරණයේදී ද හම්බන්තොට මෛත‍්‍රී අන්ත පරාජයකට ලක්විය. 2015 මහ මැතිවරණයේදී මහින්ද හම්බන්තොටට නායකත්වය දුන්නේ නැත. ඒ වෙනුවට සජිත් එක්ක හැප්පුණේ නාමල්ය. හම්බන්තොට යූ.ඇන්.පී.ය අන්ත පරාජයකට ලක් වූවා පමණක් නොව නාමල් සජිත්ටත් වඩා මනාප ගත්තේය. 2015 රාජ්‍ය බලය තිබුණේ යූ.ඇන්.පී.යටය. පහුගිය 2018 පුංචි ඡන්දයේදීද හම්බන්තොට යූ.ඇන්.පී.ය පැරදුණේ අන්ත විදියටය. ඇත්තටම යූ.ඇන්.පී.යට සම්පතක් වූ සජිත්ව දුර්වල කොට වැට්ටුවේ අද සජිත්ව ඕනා කියන අයමය. දැන් ඒ අය කරු ගැහැව්වට සජිත්ව උස්සන්නත් බැරිය. යූ.ඇන්.පී.ය උස්සන්නත් බැරිය. 2020 ජනාධිපතිවරණය දිනන්න නම් චම්පික, රාජිත, ෆොන්සේකා, හකීම්, රිෂාඞ්, මනෝ, දිගම්බරම්, සම්බන්දන් මේ හැමෝම යූ.ඇන්.පී.යට කරුගහන්න ඕනෑය.

පළමුව ඔක්කොම එකතු කරගෙන සන්ධානය හදන්න ඕනාය. ඉන්පසු සජිත්ගේ පාර්ශ්වයට සජිත්ගේ නම යෝජනා කළ හැකිය. රනිල්වාදීන්ට රනිල්ද, කරුවාදීන්ට කරුගෙ නමද යෝජනා කළ හැකිය. හැමෝම කැමති හැමෝටම එකතු වෙන්න පුළුවන් අපේක්ෂකයා 2020 අපේක්‍ෂකයා විය යුතුය. රාජිත, චම්පික, ෆොන්සේකා කියන්නේ රාජපක්ෂලා දින්නොත් ඉස්සෙල්ලාම හිරේට යන අයය. ඒ නිසා ඔවුන් හිරේට යන්න පරදින අපේක්ෂකයෙක්ට ඔට්ටු අල්ලයි කියල හිතන්න බැරිය.

1982ට පසු යූ.ඇන්.පී.ය තනියෙන් ජනාධිපති කෙනෙක් පත්කර ගත්තේ 1988දීය. ඒ පේ‍්‍රමදාසය. ඒ වෙනකොට පේ‍්‍රමදාස සජිත්ටත් වඩා අතිශය ජනප‍්‍රි නායකයෙකි. ඒත් ඔහු දින්නේත් අන්තිම මොහොතේ මැතිනියගේ සන්ධානයෙන් අස්රොෆ්ව කඩාගෙන නැගෙනහිර මුස්ලිම් ඡන්ද සහ උතුරෙ ඉන්දීය සාම සාධක හමුදාව අරන් දුන්න පෙරුමාල්ගේ දෙමළ ඡන්දවලින්ය.

ඉතින් සජිත්ට තියා කාට දිනන්නත් සන්ධානයක් ඕනෑය. දින්නාට පස්සේ තනියම දිනන්න යූ.ඇන්.පී.ය හදා ගන්න 2025 වනතෙක් කල් තියෙනවාය.

 

 

 

-ගුරුදා විග්‍රහය-

මව්රට