Saturday 14th of December 2019

English Tamil
Advertiesment


ආර්ථිකය බිම් බෝම්බයක්, හසුරුවන්න පුළුවන් නායකයෙක් ඕනෙ..!


2019-07-27 15873

ජනාධිපතිවරණය අත ළඟ. එජාපයට තාම අපේක්ෂකයෙක් නැද්ද..?

ඉක්මනට අපෙක්ෂකයෙක් නම් කරගන්න ඕන කියන එක මම පිළිගන්නවා. සම්ප්‍රදාය නම් පක්ෂ නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමයි. ඒ එක්කම කියන්න ඕනෙ, වහෙන් ඔරෝ නෙමේ, මට දුන්නොත් මම සූදානම්. මම දිනලා පෙන්නනවා. මට ආත්ම විශ්වාසයක් තියෙනවා. හැබැයි අපේක්ෂකත්වය ඉල්ලන අය තමන් ඉල්ලන දිස්ත්‍රික්ක, පළාත් දිනන්න ඕන. ජේ ආර් ජයවර්ධනගෙ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා හැම ජනාධිපතිවරයාම තමන්ගෙ පළාත දිනලයි ආවෙ.

ඔබ හිතන්නෙ රටේ ජනතාවගෙ දැවෙන ප්‍රශ්නවලට විසඳුම ජනාධිපතිවරණය කියලාද..?

නෑ, අපේ රටේ ජනාධිපති වෙන්න ඕනෙ ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන් කෙනෙක්. නැතුව වෙන ආකර්ෂණයක් තිබ්බට වැඩක් නෑ. අද වෙනකොට රටේ අවුරුද්දෙ ආදායම මදි, රටේ ණය වාරිකයි-පොලියයි ගෙවන්න. ඇයි අවුරුදු දෙකක් තියෙද්දි මහින්ද ඡන්දයක් තිබ්බෙ? එයාට ඊළඟ අවුරුදු දෙකේ ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරි නිසා. ඒ විදියට ගිහින් 2015 දි මහින්ද දිනුවා නම් අපේ රටට සම්බාධක වැටෙනවා.

ඉතිං 2015 ඇවිත් ආර්ථිකය කළමනාකරණය කළාද ..?

අඩුපාඩු තිබුණා, මම නෑ කියන්නෙ නෑ. ඒත් අපි ගෙවන්න ඕන ණය ගෙවලා, ජාත්‍යන්තර සහයෝගය අරගෙන ඒ කළමනාකරණය කළා.

හරි එහෙමනම්, තෝරන්න ඕන ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක්ද, රටට නායකයෙක් ද..?

රටට නායකයෙක් තෝරන්න ඕනෙ, මේක හැන්ඞ්ල් කරන්න පුළුවන්. ආර්ථිකය තේරෙන කෙනෙක් ඕනෙ. පහුගිය අවුරුදු හතරහමාරෙ, වෙන වෙන අය මුදල් ඇමතිලා වෙලා හිටියට අගමැතිතුමා ඒක ඩ්‍රයිව් (ාරසඩැ) කළා. රනිල් අගමැතිතුමාට ආර්ථිකය ගැටගහගෙන යන්න පුළුවන් බුද්ධිය තියෙනවා. එ වුණාට එජාපය වුණත් තෝරමින් ඉන්නෙ, නායකයෙක් නෙමේ, අපේක්ෂකයෙක්. ඇත්ත, ලංකාවෙ ආර්ථිකය දැන් බිම් බෝම්බයක් හා සමානයි. මේ රට කරනවා කියන එක සෙල්ලමක් නෙමේ. උපදේශකවරු හිටියට ඒ කියන දේවල් තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕනෙ. අපිට අය-වැය අතිරික්තයක් (Surplus budget) තිබුණා නම් රට පාලනය කරන්න ලේසියි. දැන් තියෙන්නෙ හිඟයක්. හැබැයි එකක් කියන්න ඕන, මේ ණය ගන්න එකනම් ශාපයක්.

ඒ වුණාට 2015 ආපු එජාප ආණ්ඩුව ආර්ථිකය කළමනාකරණය කළ බවක් දැනෙන්නෙ නෑනෙ..?

කළා, එහෙම කළ නිසා තමයි, ණය බරත් අඩු කරලා, පඩිත් වැඩි කරලා සහන දෙන්නත් පුළුවන් වුනේ.

ඒ කියන්නෙ, අවම පහසුකම් යටතේවත් ජීවත් වෙන්න පුළුවන් ජීවන මට්ටමක් ජනතාවට ගොඩනගලා දීලා ද තියෙන්නෙ..? එන්න එන්න ජීවත්වෙන්න අමාරුයි කියලා මිනිස්සු කියන එක බොරුද..?

මිනිස්සු එහෙම කිව්වට, ඡන්දෙට එනකොට ජනතාව පැහැදිලි චිත්‍රයක් මවාගනියි. ඉන්දියාවෙ මෝදි අගමැතිවරයා ආපහු දිනුවෙ කොහොමද..? ඉන්දියාවෙ ආර්ථිකය හොඳ මට්ටමක නෑ. කන බොන දේවලින් බැලුවා නම් මෝදි දිනන්නෙ නෑ. ආර්ථිකය හසුරුවන්න පුළුවන්, රට කරන්න පුළුවන් පෞරුෂත්වයක් විදහාපාන්න ඕන, දිනන්න නම්. ඇතුළෙ මොනවා වුණත්, ආණ්ඩුව ශක්තිමත් නෑ, රට අස්ථාවරයි කියලා බාහිරට පේනවනේ. ඔව්, යූඑන්පිය තමයි මෛත්‍රීපාල ජනාධිපතිවරයාව දිනෙව්වෙ. දිනුවායින් පස්සෙ ඔහු යූඑන්පිය එක්ක වැඩ කළා නම් ඔය ප්‍රශ්නෙ වෙන්නෙ නෑ. එයාට විරුද්ධව වැඩ කළ පැරදිච්ච ශ්‍රීලංකාකාරයො ගෙනල්ලා, කැබිනට් ඇමතිකම් පවා දුන්නා. ඒ අයට මෛත්‍රීපාලගෙ ජයග්‍රහණය ගැන හැඟීමක් තිබුණෙ නෑ. ඔවුන් කැබිනට් එකට රිංගලා කෙරුවෙ කකුලෙන් අදින එකමයි.

ඔබට කොළඹ- මහනුවර අධිවේගී මාර්ගය අවසන් කරගන්න බැරි වුණෙත් ඒකද..?

ඔබ දන්නවද කොළඹ -මහනුවර අධිවෙගී මාර්ගයේ මහින්දගෙ කාලයේ එක බිම් අඟලක් මැනලා තිබුණෙ නෑ. ඡන්දෙ ළං වෙනකොට බොරුවට පස් තැනක මුල්ගල් තිබ්බා. අපි ගිය අවුරුදු හතර තුළ ඉඩම් කැබලි 20000කට වැඩිය මැන්නා, කඩවත සිට ගලගෙදර දක්වා. මාර්ගයෙ මැද කොටස මේ අවුරුද්ද අවසානයෙ ඉවර වෙනවා. ඒ කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දෙන්න කිව්වෙත් මම. අනිත් කොටස් දෙක කල් යන්නෙ ණය ලැබීම් ප්‍රමාද නිසා.

ජාතික ප්‍රශ්නය විසඳන පදනමවත් දාගන්න, එජාපයට මේ අවුරුදු ගාණ තුළ බැරි වුණානෙ..?

පදනම දැම්මානෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයෙ මෙහෙයුම් කමිටුවක් දැම්මා. ඒකෙ වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මා. අගමැතිතුමා කිව්වෙ ඒකෙ වගන්ති එකින් එක සාකච්ඡා කරමු කියලා. ඒත් පොහොට්ටුව පාර්ලිමේන්තුව ඇතුළෙදි එකක් කියනවා, පිටතදී තව එකක් කියනවා. දැන් අන්තිමට තිබුණ පක්ෂ නායක රැස්වීමෙදිත් මම කිව්වා විපක්ෂයේ අයට මේ වාර්තාවෙ එක් එක් වගන්තිය ගැන ඕගොල්ලන්ගෙ මතය කියන්න කියලා.

ඒකද අගමැතිවරයා උතුරට ගිහින් කියන්නෙ, ජාතික ප්‍රශ්නය විසඳන්න තව අවුරුදු දෙකක් දෙන්න කියලා..?

හරි, පිළිගන්නවා, වැඬේ සම්පූර්ණ වෙලා නෑ. හැබැයි අපි මෙහෙයුම් කමිටු වාර්තාවක් ඉදිරිපත් කළානෙ. එජාපය තමයි බය නැතිව එහෙම වාර්තා ඉදිරිපත් කරලා තියෙන්නෙ. පළාත් සභා පනත ඉදිරිපත් කළෙත් අපිනෙ. උතුරු- නැගෙනහිර මන්ත්‍රීවරු ඉල්ලන්නෙ, වෙනම රටක් නෙමේ, පළාත් සභා ක්‍රමය ශක්තිමත් කරන්න කියලා.

ඉතිං අවුරුදු තුනහමාරක් හරි හතරහමාරක් හරි මදිද අලුත් ව්‍යවස්ථාවක් ගේන්න..?

ප්‍රශ්නෙ තියෙන්නෙ, අපිට තුනෙන් දෙක නෑනෙ.

ජාතික ප්‍රශ්නයට එජාපයෙ විසඳුම මොකක්ද..?

දෙමළ පක්ෂ ඉල්ලන්නෙ පළාත් සභා ක්‍රමය ශක්තිමත් කරන්න කියලා. වෙනම රාජ්‍යයක්, ෆෙඩරල් ක්‍රමයක්, උතුර- නැගෙනහිර එකාබද්ධ කිරීමක් ඉල්ලන්නෙ නෑ. විශේෂයෙන් ම ඉඩම් ප්‍රශ්නය විසඳන්න කියලා ඉල්ලලා තියෙනවා. මම අහන්නෙ එජාපයෙ විසඳුම්, ඉඩම් ප්‍රශ්නයට අපි කියන්නෙ, ජාතික ඉඩම් කොමිසමක් පිහිටුවලා, පළාත් ඉඩම් කොමිසමකුත් පිහිටුවලා විසඳුම් හොයමු කියලා. හැබැයි පළාත් ඉඩම් කොමිසමේ වැඩ, ජාතික කොමිසම අධීක්ෂණය කළ යුතුයි. අවසාන තීරණය ජාතික ඉඩම් කොමිසම සතුයි. දෙමළ පක්ෂ කියන්නෙ ජන අනුපාතය ආරක්ෂා වන විදියට ඉඩම් බෙදන්න කියලා. පොලිස් බලතලත් එහෙමයි, ජාතික පොලිස් කොමිසමක් තියෙනවා, පළාත් පොලිස් කොමිසමකුත් තියෙනවා. පළාත් පොලිස් කොමිසමෙන් හරි පළාත් ඉඩම් කොමිසමෙන් හරි වැරැද්දක් වුණොත් ඒවා නිවැරදි කරන්න ජාතික කොමිසම්වලට බලය තියෙනවා.

19 වන සංශෝධනයට තිබුණ තුනෙන් දෙක කෙළින්ම අලුත් ව්‍යවස්ථාවකට භාවිත කරන්න තිබුණෙ නැද්ද..?

ඒ වාතාවරණය තුළ 19ට වඩා දෙයක් කරන්න අමාරුයි. 19 මුල් පනතෙ අගමැතිවරයාට මීට වඩා විශාල බලතල තියෙන වගන්ති තිබුණා. ජනාධිපතිතුමාට කිසිදු බලතලයක් නැතිවෙන විදියට තමයි මුල් පනත හැදුවෙ. ඒත් ශේෂ්ඨාධිකරණය කිව්වා ජනපතිගෙ සමහර බලතල ඉවත් කරන්නනම් ජනමතවිචාරණයකට යන්න ඕනෙ කියලා. ඒකෙන් ම පේන්නෙ නැද්ද, 19 වන සංශෝධනය විකෘතියක් කියලා. නෑ, ඒක විකෘතියක් වගේ පේන්නෙ, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර වගේ තීන්දුවක් දුන්න නිසානෙ. 19 වන සංශෝධනයෙ ෆ්ලෝ (flow) එකක්, කතාවක (Story) තිබුණා. ගලාගෙන ගියා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණය අර වගේ තීන්දුවක් දුන්න නිසා ඒ කතාවෙ කඩතොළු හැදුනණා. දැන් හරි කතාවක් නෑ.

පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් දූෂිතයෝ කියලා ජනතාව තුළ පොදු මතයක් හැදිලා තියෙනවා..?

දැන් දූෂණ ගැන පාර්ලිමෙන්තුවෙත් කතා කරනවා. කීයක්ද අධිකරණයෙන් ඔප්පු වෙලා තියෙන්නෙ.. ? ප්‍රවෘත්ති නැති වුනාම මාධ්‍යත් ඒ වගේ ඒවා ලොකු කරලා දානවා. කීයක්ද ඔප්පු වෙලා තියෙන්නෙ..? පාර්ලිමේන්තුව විදියට අපි ස්වාධීන කොමිෂන් දාලා ආයතන හදලා තියෙනවා, එයාල ඉතිරි ටික බලාගන්න ඕන. අපේ වැරැද්දක් නෑ. මේ ආණ්ඩුවෙන් ඇමතිවරුන්ටත් විරුද්ධව නඩු පවරලා තියෙනවා.

අඩු ගාණෙ මන්ත්‍රීවරුන් තමන්ගෙ වත්කම්- බැරකම් ලැයිස්තුවත් නියම වෙලාවට ප්‍රසිද්ධ නොකරන එක වැරැද්දක් නොමේද..?

ඒ අය ඒවා වෙලාවට දෙන්නෙ නැත්නම් අල්ලස් කොමිසමට තමා බලය තියෙන්නෙ, ඒ අය නීතිය ඉදිරියට ගේන්න. ඇයි ගේන්නෙ නැත්තෙ?ලංකා ඉතිහාසයේ මම තමයි ප්‍රථම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ නැගිටලා මගෙ වත්කම් ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු ඇතුළු ජනතා නියෝජිතයො, රජය සමඟ ව්‍යාපාර කිරීම හොඳයි..ද?

නෑ, ඒක නවත්තන්න ඕනෙ, පැහැදිලිවම. මම කියන්නෙ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට රජය සමග ව්‍යාපාර කරන්න බෑ, හැබැයි ව්‍යාපාර කරන යාළුවො අවශ්‍යයි. නීතියෙන් විතරක් මේක නවත්තන්න බෑනේ. මේක අශීලාචාර නැද්ද? ඔව්, සාරධර්ම පැත්තක් තියෙනවා. තමන් මහජන සේවයට යනකොට දැනගන්න ඕන තමන්ට රජය සමග ව්‍යාපාර කිරීමේ සීමාවක් තියෙන බව.

එජාපයේ මෙහෙම රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරු නැද්ද..?

එක්කෙනෙක් දෙන්නෙක් ඇති, මම නෑ කියන්නේ නෑ. ඒත් අති බහුතරය එහෙම ව්‍යාපාර කරන්නෙ නැති අහිංසක මන්ත්‍රිවරු.

රට ගොඩනගන්න එජාපය වැඩපිළිවෙළක් අඳුනගෙන තියෙනවද..?

ආයෝජන, අපනයන අත්‍යවශ්‍යයි. ආයෝජන ගෙන්වාගෙන නිෂ්පාදන වැඩි කරන්න ඕන. ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ මෙරට නිෂ්පාදන ඉන්දියාවට අපනයනය කිරීම හොඳ වැඩපිළිවෙළක් ලෙස හඳුනගෙන තියෙනවා. මිනිස්සුන්ගෙ ආර්ථිකය හොඳ නම් ජාතික, ආගමික, සංස්කෘතික අනිකුත් ප්‍රශ්න පැත්තකට තල්ලු වෙනවා.

එහෙනම්, ජනාධිපති අපේක්ෂක සංවාදය ඉස්මතු වෙන්න දෙන එක නෙමේ නේද කළයුත්තේ. රට හදන වැඩපිළිවෙළ ඉස්මතු කරන එකනෙ..?

ඔව්, මම නායකතුමාටත් කිව්වා, අපි පෞද්ගලිකත්වය මත වාද විවාද නොකර, ප්‍රතිපත්ති ටික හදාගෙන, ඒවා මත රට හදන්න පුළුවන් කාටද යන්න මත සංවාද කළ යුතුයි කියා.

මෑතකදී රට වගේම ආණ්ඩුව මුහුණ දීපු බරපතළ ප්‍රශ්නය, මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකමත් එක්ක ආපු මුස්ලිම් අන්තවාදී ප්‍රශ්නය. ඒත් ඒකෙ මූලය අඳුනගන්නවත්, ඒ මූලයට විසඳුම් දෙන්නවත් ආණ්ඩුව සමත්වෙලා නෑ කිව්වොත්.. ?

ඔව්, දැන් පාර්ලිමේන්තුව ගන්න. එහි කොයි මන්ත්‍රීවරයද ඉස්ලාමීය ත්‍රස්තවාදය ගැන කතා කළේ. හැමෝම කතා කළේ ඉස්ලාමීය අන්තවාදය ගැන විතරයි. මේ ත්‍රස්තවාදය බලාපොරොත්තු නොවූ දෙයක්. ලංකා ජයරත්න මහෙස්ත්‍රාත්තුමියත් සිය තීන්දුවක මේ ගැන කියලා තිබුණා. මුස්ලිම් පක්ෂත් අන්තවාදය ගැන දැනගෙන හිටියත් ත්‍රස්තවාදය ගැන දැනගෙන හිටියෙ නෑ.

රටක් විදියට පිරිහෙන්න විශේෂයෙන් දේශපාලන නායකයන්ගේ නීතියට ගරු නොකිරීම, අවංක නොවීම, ලැජ්ජා-භය නොමැතිවීම එහෙම බලපාලා තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද..?

පිළිගන්නවා. දේශපාලකයන් අතරෙ විතරක් නෙමේ, හැම වෘත්තියක ම මේ තත්ත්වය තියෙනවා.

හරි, විශේෂයෙන් අද දවසේ දේශපාලකයො පුද්ගලයො විදියට පිරිහිලා නැද්ද..?

ඒක පිළිගන්නවා. දේශපාලනයට පිවිසෙන විට අවංකකම ඉදිරියට ගෙනයාමේ අභිමානය තමන්ට තියෙන්න ඕනෙ. You must live in yourself- ඉස්සෙල්ලා තමන් එක්ක ජීවත් වෙන්න එපැයි.

 

(රාවය)
Advertiesment