Monday 14th of October 2019

English Tamil
Advertiesment


පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළොත් මෙවරත් ජය එජාපයටයි..!


2019-07-27 11009

ප්‍රශ්ණය -ඔබට මොකක්ද හිතෙන්නේ වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබදව..?

වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබදව අනාවැකි පල කිරීම ඉතාම අපහසු කාර්යයකි. පවත්නා නීති රීති අණුව නම් යමක් කියන්නට පුඵවන්. නමුත් දැන් සිදු වෙන්නේ පවත්නා නීති සහ සම්ප්‍රදායගෙන් පිටත යම් යම් කාරනා සිදු වීමයි. බොහෝ අවස්ථාවන්හිදි අධිකරණ ක්‍රියා මාර්ග වලට විධායකය සහ ව්‍යවස්ථාදායකය යොමු බව පෙනෙන්නට තිබෙනවා. ඉදිරියේ දීත් එවැනි අවස්ථාවන් දැක බලා ගැනීමට අපට අවස්ථාව ලැබේවි. ඒ වාතාවරනය යටතේ ස්ථිරවම යමක් ප්‍රකාශ කිරීමට අපහසුයි. මෙයට ආසන්නම හේතුව වශයෙන් මම දකින්නේ ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයයි. ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේ පැවැත්වීම ගැන ස්ථිරවම යමක් කිව නොහැකියි. සමහර විට අධිකරණ ක්‍රියා මාර්ගයකින් එයත් වෙනස් වීමට ඉඩ තිබෙනවා. පළාත් සභා මැතිවරණයත් යම් යම් හේතු දක්වමින් අවුරුදු කීපයක් කල් දමනු ලැබුවා

ප්‍රශ්ණය -ඔබ අග්‍රාමාත්‍ය පුද්ගලික ලේකම් සහ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේධන බලකායේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හැටියට ලැබූ අත් දැකීම් තුලින් පක්ෂයේ අනාගතය දකින්නේ කෙසේද..?

ජනාධිපතිවරණය යම් ආකාරයකින් නොවැම්බර් මාසයේ පැවැත්වුවහොත් තනි පක්ෂයක් විදියට එක්සත් ජාතික පක්ෂයට ජය ගැනීමට අපහසුයි. නමුත් සන්ධානයක් හෝ පෙරමුණක් වශයෙන් තවත් පක්ෂ කීපයක් සමග එකතුව සියඵ දෙනාගේ කැමැත්තෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කල හොත් වැඩි වාසියක් ලබා ගත හැකියි. ඉදිරි මැතිවරණවලදි දෙමළ සහ මුස්ලිම් දේශපාලණ පක්ෂ වල සහය ලබන කණ්ඩායමකට ජයග්‍රහනය ලැබීම පහසුයි. බොහෝ විට එම පක්ෂවල සහයෝගය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණකටයි.

ප්‍රශ්ණය- එක්සත් ජාතික පාක්ෂිකයින්ට පොදු අපේක්ෂක යන වචනය පවා ඇසීමට අකමැති අවස්ථාක ඔබ පොදු අපේක්ෂයෙකු ගැන කථා කිරීම ගැටඵකාරියි නේද..?

ඔව් ඔබ හරි. නමුත් එක්සත් ජාතික පාක්ෂිකයාට එක්සත් පක්ෂ අපේක්ෂකයෙකු තනි පක්ෂයක් ලෙසට ඉදිරිපත් කර විරුද්ධ පක්ෂයට යනවාද, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයග්‍රහනය කරනවාද යන ප්‍රශ්ණයට මුලින්ම පිළිතුරු සොයා ගැනීමට සිද්ධ වෙනවා. පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජනාධිපතිවරණය ජයග්‍රහනය කර ඉන් පසු එළඹෙන මහා මැතිවරණය ජයග්‍රහනය කර ආණ්ඩු බලය ලබා ගත හැකියි. අගමැතිවරයාගේ බලතල 19වෙනි ව්‍යවස්ථාවෙන් වැඩිකරගෙන ඇති නිසා ඒ තුලින් රටට යමක් සිදු කිරීමට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම කාලෝචිතයි කියලා මා කල්පනා කරනවා. එම නිසා මා විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ස්වාධීන, අපේක්ෂකු තෝරා ගැනීමට සිදුවීම වැලැක්විය නොහැකියි කියලා. පසුගිය 2015 මැතිවරණය ජයග්‍රහනය කිරීමට හැකි වූවේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කල නිසයි. නමුත් මම හිතන්නේ එම පොදු අපේක්ෂකයාට ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි වූයේ 19වෙනි ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා ගැනීම සදහා ජනාධිපති තුමාට එම පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සිදු වූ හෙයින් බලාපොරොත්තු වූ පොදු අපේෂකත්වයේ අරමුණ හරි ආකාරව ඉෂ්ඨ කර ගැනීමට නොහැකි වාතාවරණයක් උදා වුන නිසා අර්බුද හට ගැනීමයි. මෙම අර්බුද වලට තවත් කරුණු කාරණා පසුව එකතු වන්නට පටන් ගත් පසුව තත්වය තව තවත් උග්‍ර ලෙසට දරුණු වෙන්නට පටන් ගත්තා.

ප්‍රශ්ණය- ඔබ හිතන ආකාරයට මොනවගේ කරුණුද /පුද්ගලයෝද ඒ සදහා බලපෑම් කලේ..?

බලපෑම් කල පුද්ගලයින්ට වඩා මම හිතන්නේ මෙයට බලපෑ ප්‍රධානම කාරණාව තමයි දෙපාර්ශයේ අදහස් නොගැලපීම. ඒත් දෙපාර්ශය අතර මනා සන්නිවේදනයක් පැවතියා නම් පහසුවෙන්ම මෙම ගැටඵ නිරාකරනය කර ගැනීමට හැකියාව තිබුනා. එක්සත් ජාතික පක්ෂය ධනවාදි, ලිබරල් අදහස් අණුව කටයුතු කරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජවාදයට බර අදහස් දරණ පක්ෂයක්. මෙවැනි ප්‍රථිවිරුද්ධ අදහස් දරණ පක්ෂ දෙකක් එක්ව ජාතික රජයකට එකතුවී කටයුතු කිරීම ඉතාම අපහසු දෙයක් වූවත්, දෙපාර්ෂවමය එක්ව ජාතික සැළැස්මක් සකස් කර ඒ තුළින් කටයුතු කලා නම් මේ තත්වය ඇති නොවන්නට තිබුනා. එක් උදාහරණයක් ඔබට මම කිව්වොත් රජයේ 1වන සහ 2වන අයවැය ලේඛණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මංත්‍රීවරුන් දැණුවත් කිරීමේ වැඩ මුඵ හම්බන්තොට සහ කොළඹදී පවත්වනු ලැබුවා. මෙම වැඩ මුඵ වලට ජනාධිපති තුමා සහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කලා නම් තත්වය ඊට වඩා හාත් පසින්ම වෙනස් වන්නට තිබුනා. ජාතික ආණ්ඩුවක සිටින මන්ත්‍රීවරුන් හැටියට පාර්ලිමේන්තු විවාදවලදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් රජයට පක්ෂපාතිව අදහස් ප්‍රකාශ කරන්නට සිදුවුනා. නමුත් එම අවස්ථාවේ දි ඔවුන්ව ඉවත් කර බෙදීමක් ඇති කර ගත්තා. ඉතින් මේ ආකාරයෙන් සෑම දෙයකින්ම බෙදීමක්, දුරස්වීමක් හැර එක් වීමක් දක්නට ලැබුනේ නැහැ. අගමැති තුමා විසින් ජනාධිපති තුමාව තදබල ලෙස නොසලකා හැරීමක් සිදු කරන බව ද මම පැහැදිලිවම දැක්කා. ජනාධිපති තුමත් රජයට විරුද්ධව යම් යම් දරුණු තීරණ වලට එළඹීමට එම කාරණා හේතු වන්නට ඇති. ජනාධිපතිතුමත් ඉතින් මනුස්සයෙක්නේ. එතුමට දුක, වේදනාව,තරහව වෛරය ඇති වීම සාධාරණයි.

ප්‍රශ්ණය- ඇයි ඔබ ස්වාධීන අපේක්ෂකයෙකු සම්බන්ධව කථා කරන්නේ. එක්සත් ජාතික පක්ෂ නායක, අගමැති තුමාට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්වීමේ හැකියාව තියෙනවා නේද..?

අවස්ථාව නම් තියෙනවා. නමුත් 2010 සහ 2015 ජනාධිපතිවරණවලට එතුමා ඉදිරිපත් නොවි පොදු අපේක්ෂකයෙකන් ඉදිරිපත් කලා. 2010 නම් යුධ ජයග්‍රහනයෙන් පසුව යුද්ධයට සම්බන්ධ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සෙකා මහතාව ඉදිරිපත් කිරීම සාධාරණයි. නමුත් 2015 දී එවැනි යුධ වාතාවරණයක් නොවෙයි තිබුනේ. ජනතාව යුධ මානසිකත්වයෙන් තොරව නිර්මානය වෙලා තිබුණු සාමකාමි පරිසරයකයි මැතිවරණයට සූදානම් වූවේ. නමුත් රනිල් වික්‍රමසිංහ මැති තුමාට පක්ෂ අභ්‍යන්තරයේ මෙන්ම බාහිර විරෝධතා නිසා පොදු අපේක්ෂයෙකු ගැන තීරණයක් ගන්නට සිද්ධ වුනා. නමුත් අද ඇතිවෙලා තිබෙන්නේ මීට හාත්පසින්ම වෙනත් වාතාවරණයක්. අද එක් පැත්තකින් පාක්ෂිකයාට සහ ජනතාවට පොදු අපේක්ෂක වචනයත් එපා වෙලා තිබෙන්නේ. ඒ හා සමානව රනිල් වික්‍රමසිංහ යන නමත් එවැනිම තත්වයකට අවසානාවන්ත ලෙසට පත්වෙලා තිබෙනවා. එතුමාව අපි මැතිවරණ ව්‍යාපාරයේදි අලෙවි කලේ මිස්ටර් ක්ලීන් නැතිනම් පිරිසිදු නායකයා කියලා. නමුත් මහා බැංකු බැදුම්කර සිද්ධියෙන් අනතුරුව මින් ඉදිරියට කිසිසේත්ම පිරිසිදු නායකයා මිස්ටර් ක්ලීන් යන්න වලංගු වෙන්නේ නැහැ. දෙවණුවට අප එතුමාව අලෙවි කලේ ආසියාවේ බුද්ධිමත්ම රාජතාන්ත්‍රිකයා කියලා. නමුත් එවැනි බුද්ධිමත් තීන්දු තීරණ සහ එවැනි ප්‍රථිපලයක් ජනතාවට දැණුනේ නැහැ. එම නිසයි මම කියන්නේ ඉදිරියටත් එතුමාව පොදු අපේක්ෂකයෙකු වශයෙන් පත් කිරීම අපහසුයි කියලා. එසේ කිරීමට උත්සාහ කලොත් බාහිර සහ අභ්‍යන්තර බලපැම් එල්ලවීම වැලැක්විය නොහැකියි.

ප්‍රශ්ණය-ඔබ ඔය සදහන් කරණ ආකාරයට මහා මැතිවරණය කලින් පැවැත්වුවහොත් ඇතිවිය හැකි තත්වය කුමක්ද..?

යම් ආකාරයකින් ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයකට මුහුණ දීමට සිදු වුවහොත් එය අනිවාර්යයයෙන්ම වෙනත් මුහුණුවරක් ගනීවි. ප්‍රශ්ණය- ඔබ එයින් අදහස් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට මහා මැතිවරණයකින් ජය ගැනීම අපහසුයි කියලද? ඔව්. මම නැවතත් කියන්නේ තනි පක්ෂයක් විදියට මහාමැතිවරණයකින් වූවද ජයග්‍රහනය කිරීමට අපහසුයි කියලයි.

ප්‍රශ්ණය- මේ අවස්ථාවේදි රජය ජනතාවට සහන රැසක් ලබා දෙමින් සිටිනවා. රජය ආරම්භ කල සංවර්ධන වැඩ අවසන් කරමින් ඒවා විවෘත කරමින් යනවා. එවැනි වාතාවරණයක් තුල එහි වාසිය පක්ෂයට ලැබෙන්නේ නැද්ද..?

ජනතාවට ලැබෙන වාසිය අණුව ජනතාව යම් යම් තීරණ වලට එළඹේවි. නමුත් එක්සත් ජාතික පාක්ෂිකයා මීට වඩා වෙනස් මට්ටමකයි සිටින්නේ. මම එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හද ගැස්ම ඉතා හොදින් හදුනමි. ඔවුන්ගෙන් බහුතරයක් තමන්ට පුද්ගලිකව ලැබෙන ලාභ ප්‍රයෝජන ගැන හිතන පිරිසක් නොවේ. තමන්ට නැතත් රටට යමක් සිද්ධ වෙනවා නම් ඔවුන් එයින් සතුටට පත් වෙනවා. නමුත් මෙතන තිබෙන්නේ ඊටත් එහා ගිය බරපතල ගැටඵවක්. බලය ලැබුන පසුව එක්සත් ජාතික පාක්ෂිකයින්ව නොසලකා හැරීම, අමතක කිරීම, ඔවුන්ව ඇගයීමකට ලක් නොකිරීම ඉතාම බරපතල තත්වයක්. මෙම නොසලකා හැරීම තුලින් ඔවුන්ගේ සිත් තුල වේදනාවක්,දුකක්,තරහක් වෛරයක් ඇති වෙලා තිබෙනවා. මෙම තත්වයට පිළිතුරු සොයන්නේ නැතුව ඉදිරියට යෑම තුළින් මම සදහන් කල ඉහත ප්‍රථිපලය ඇති විය හැකියි. නමුත් තවත් ප්‍රමාද නොවී පාක්ෂිකයාගේ හදවත් දිනා ගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවන්නේ නම් ජයග්‍රහනය සිහිනයක් පමණක් වනු ඇත. නමුත් එවැන්නක් ගැන තවමත් කල්පනා කර තිබෙන බවක් මට නම් පෙනෙන්නට නැත. බලය ලැබුන පසුව තමන්ව බලයට පත් කල පාක්ෂිකයාව අමතක කිරීම මහත් ඛේදවාචයකි. සෑම පක්ෂයක්ම බලයට පත් වූ පසුව පාක්ෂිකයා අමතක කරන්නේ නම් බිම් මට්ටමේ සංවිධාන ශක්තිය අඩපණ වෙනවා. අද එක්සත් ජාතික පක්ෂයට සිදුවෙලා තිබෙන්නේ එයයි. ශාඛා සමිතියේ සාමාජිකයා සිට ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ මැතිවරණ කොට්ඨාශ සංවිධායක වරුන්ටත් මෙම තත්වය බලපා තිබෙනවා. ඡන්ද කාලයට පමණක් නම් ඔවුන්ව මතක් වන්නේ නම් එය ඉතාම ශෝචනීය තත්වයකි. මම ඉල්ලා අස්වීමට එක් හේතුවක් වුනේ පාක්ෂිකයා නොසලකා හැරීමයි. නමුත් අවාසනාවකට මේ තත්වය තවම එසේම පවතිනවා.

ප්‍රශ්ණය- එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු යයි ඔබ කල්පනා කරනවාද..?

ඇත්ත වශයෙන්ම නායකත්වයේ වෙනසක් සිදුවිය  යුතු බව බහුතරයක් පාක්ෂිකයින්ගේ මතයයි. නමුත් මම පුද්ගලිකව විශ්වාස කරනවා එයට මෙය සුදුසු අවස්ථාවක් නොවෙයි කියලා. ඉදිරි මැතිවරණවලින් රාජ්‍ය බලය ලැබුණ නායකයෙකුට එනම් අගමැති තනතුරවත් දරණ අයෙකුට නායකත්වය භාර දුනහොත් පක්ෂයේ අභ්‍යන්තර දෙදරා යෑම් මදකට අවම කර ගන්නට හැකි වේවි. නොඑසේ නම් පක්ෂය කැලිවලට කැඩි වෙන්ව ගොස් කාලයක් ගිය පසු අඵත් පිරිසකගේ නායකත්වයෙන් ඉදිරියට පැමිණේවි. එයට තවත් අවුරුදු කීපයක් ගත වේවි.

 
 
-නිමල කොඩිතුවක්කු-
(ලංකාදීප)
 
Advertiesment