Thursday 22nd of August 2019

English Tamil


තමා රණසිංහ ප්‍රේමදාසගේම පුතා බව සජිත් ප්‍රේමදාස සිය ක්‍රියාවෙන්ම යළිත් තහවුරු කරයි..!


2019-07-25 13843

එජාප නව සන්ධානයට අකුල් හෙළයි..!

 

"රණසිංහ ප්‍රේමදාස එජාප අපේක්ෂකයා වුනෙත් ජේ.ආර්.ට මරණිය තර්ජන එල්ල කරලා"

 

සියලු ජනමාධ්‍ය වසන් කළ එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ ඇත්ත සිද්ධිය එළියට..!

 

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කතා කළේ "කබීර්-රංජිත්-හරීන්" විතරයි..!

 

"එජාපයේ නියෝජ්‍ය නායකයා ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත්තුව කවුරුත් දන්නවා"

 
(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය මැදිහත් වී ගොඩනගන විශාලතම දේශපාලන සන්ධානයට එරෙහිව එම පක්ෂයේම මන්ත්‍රීවරුන් සුළුතරයක් සහ පාක්ෂිකයින් උසි ගැන්වීමේ කුමන්ත්‍රණයක් සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කරමින් සිටියි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ ද සර්වාගමික, සිවිල් වගේම බහුජන සංවිධාන රැසක් ද එකට ඒකරාශී කර ගනිමින් එක්සත් ජාතික පෙරමුණ "ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ" නමින් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් යුතුව මේ නව සහ පුළුල් දේශපාලන සන්ධානයට අත්සන් කරද්දී,රට පුරා සිය අධාරකරුවන් එම ස්ථානයට කැඳවා තමා එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂත්වයට නම් කරන ලෙසට බලපෑම් එල්ල කරමින් එම ඓතිහාසික දේශපාලන අවස්තාව කඩා කප්පල් කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ.

මේ සම්බන්ධයෙන් රට පුරා ආසන සංවිධායකවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සියලු තොරතුරු වාර්තා කර තිබෙන අතර මේ කඩාකප්පල්කාරී ක්‍රියාවට එරෙහිව ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්, නිලධාරින් සහ අසන සංවිධායකවරුන් වෙත මේ වන විටත් උපදේස් ලබා දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන්නේ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී අගහරුවාදා (22) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව සම්මත නොවූ තත්ත්වය හමුවේය.

කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව සමබන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිළි කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී නව සන්ධානයට අත්සන් කර එම දේශපාලන නායකයින් සමග ද සකච්ඡා කිරීමෙන් පසුව නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවය.

මේ කාරණය සම්බන්ධයෙන් තමා සජිත් ප්‍රේමදාස සහ කතා නායක කරු ජයසුරිය යන මහත්වරුන් සමග ද කරුණු සකච්ඡා කළ බව අගමැතිවරයා එහි දී කියා සිටි අවස්ථාවේදී කබීර් හෂීම් මහතා චෝදනාත්මකව අවධාරණය කර සිටියේ මේ කියන අලුත් දේශපාලන සන්ධානය ගැන එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වශයෙන් තමා කිසිවක් නොදන්නා බවය.

එහිදී මේ දේශපාලන සන්ධානය සඳහා අත්සන් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව පෙන්වා දුන් අගමැතිවරයා ඒ සඳහා අනුමැතිය ලබා දුන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඔබත් එක්ව සිටියා නේදැයි කබීර් හෂීම් මහතාගෙන් ප්‍රශ්න කරද්දී ඔහු නිරුත්තර විය.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසට කබීර් හෂීම් මහතා කළ යෝජනාවට ඍජුවම සහ පක්ෂව කතා කළේ රංජිත් මද්දුම බණ්ඩාර සහ, හරීන් ප්‍රනාන්දු යන ඇමතිවරුන් පමණකි.

තලතා අතුකෝරාල, ඉරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ,හර්ෂ ද සිල්වා සහ නලීන් බණ්ඩාර යන මැති ඇමතිවරුන් ද ඒ අවස්ථාවේදී සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළත් ඒ සියලු දෙනා සජිත් ප්‍රේමදාස මහතාගේ නම එළිපිට සහ ඍජුව ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියහ.

තලතා අතුකෝරාල මහත්මිය එහි දී කියා සිටියේ පක්ෂය අභ්‍යන්තරයේ එකී නෙකා ගහ මරා ගැනීම නතර කර සිය ජනාධිපති අපේක්ෂකයා ඉක්මනින් නම් කරමින් ඒ කවුරු වුනත් සියලුදෙනාම ඔහු වටා එකට එක්ව මේ ගමන ඉදිරියට යා යුතු බවය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා හැමදාම උත්සහ කළේ හොඳ දෙවෙනියෙක් වීමට නොව නායකයාට පිටු පසින් ඇවිත් පිහියෙන් ඇණ පළමු වැනියා වීමට යැයි කොළඹ සේදවත්ත පුරාණ රජ මහා විහාරාධිපති,ජාතික යොවුන් පෙරමුණේ උපදේශක,එක්සත් භික්ෂූ පෙරමුණේ සහ ජාතික විද්වත් සභාවේ ජාතික සංවිධායක අඹන්පොල ඥානාලෝක නා හිමියෝ චෝදනා කර සිටිති.

මේ තත්ත්වය එක්සත් ජාතික පක්ෂයට සහ රනිල් වික්‍රමසිංහ මහතාට මහා ශාපයක් සහ හෙණයක් යැයි අවධාරණය කළ අඹන්වල ඥානාලෝක නා හිමියෝ රණසිංහ ප්‍රේමදාස මහතාට නායකත්වය දී ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය කර ගත් වරද සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය දී අනාගතයේදී යළි සිදු නොකර ගත යුතු යැයි ද පෙන්වා දුන්හ.

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් වැඩි දුරටත් අදහස් දැක්වූ අඹන්වල ඥානාලෝක නා හිමියෝ මෙසේ ද පැවසූහ. ජාතික මැතිවරණයක් ආසන්න වන සහ එමගින් එක්සත් ජාතික පක්ෂයට නියත ජයක් අත්වීමට යන සෑම අවස්ථාවකදීම සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට එරෙහි කැරැල්ලට දිය යටින් ගින්දර අවුළුවා පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද ඇති කරනවා.මේ ක්‍රියාව ඉතා පිළිකුල් සහගත පහත් ක්‍රියාවක් වන අතර මේ තත්ත්වය එක්සත් ජාතික පක්ෂයට ශාපයක් සහ හෙනයක් වී තිබෙන බව කිව යුතුයි.

එක්සත් ජාතික පාක්ෂිකයින් බැදී සිටින්නේ පුද්ගලයා වටා නොව පක්ෂය වටා වන අතර පක්ෂයෙන් තොරව පුද්ගලිකව රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට ඇතුළු මේ පක්ෂයේ කිසිවෙකුට ඡන්ද පදනමක් නොමැති බව අප තරයේ කියා සිටිනවා.දක්ෂයාට එක්සත් ජාතික පක්ෂයේ ස්ථානයක් නොමැති අතර ඔහුට සාධාරණය ඉටු නොවන බව ද සජිත් ප්‍රේමදාස මහතා කියනවා.එහෙම කියන සජිත් ප්‍රේමදාස මහතාගෙන් අප අහන්නේ ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාට නිසි තැන ලැබී ඔහුට සාධාරණය ඉටු නොවුණා ද කියායි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් තමාට ඉටුවූ සාධාරණය, ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන කෘත හස්ත සහ අසහාය නායකයින්ට ඉටු කිරීමට තරම් රණසිංහ ප්‍රේමදාස මහතා නිහතමානී වුණාද කියා මහා සංඝරත්නය ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් අප ප්‍රශ්න කර අතර ඔහු ඊට පිළිතුරු දිය යුතුයි. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂයට මේ ඉරණම,හෙනය සහ විනාශය අත් වූයේ ගාමිණී දිසානායකලා සහ ලලිත් ඇතුලත්මුදලිලා ඇතුළු පතාක නායකයින් සිටියදී, රණසිංහ ප්‍රේමදාස මහතාට විශේෂ සාධාරණයක් ඉටු කළ නිසා බව එම දේශපාලන ඉතිහාසය දන්නා කවුරුත් දන්නවා. ඉතිහාසයේ කළ ඒ වරද, එක්සත් ජාතික පක්ෂය අනාගතයේදී නොකරනු ඇතැයි අප විශවාස කරනවා.

රටක පාලකයින් සහ නායකයින් විය යුත්තේ බොහෝ ඇසූ පිරූ තැන් සහ දැන උගත්කම් ඇති තැන්පත්,නිරවුල් සහ සාමකාමී මානසිකත්වයකින් යුතු පරිණත ප්‍රභූවරුන් බව ලෝකප්‍රකට දාර්ශනිකයෙකු වූ සොක්‍රටීස් කියා තිබෙන්නේ කට කහනවාට නොවෙයි.නායකයායි, ජනප්‍රියභාවයයි පටළවා ගැනීම දේශපාලනයේදී අප ඉතිහාසයේ සිටම කරන වරදක් බව කිව යුතුයි.නායකයෙක්ට ජනප්‍රිය විය හැකි නමුත් ජනප්‍රියකම තිබුණා යැයි කියා එමගින් ඔහු නායකයෙකු බව ගම්‍ය වන්නේ නැහැ.

අතිශය වැදගත්,උගත්,බුද්ධිමත්,ප්‍රභූ,නිර්ප්‍රභූවූ,සාමාන්‍ය සහ අහිංසක ජනතාවගේ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට මැර සංස්කෘතිය හඳුන්වා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි.

පසු කාලීනව මහින්ද රාජපක්ෂ කඳවුර ඒ මැර සංස්කෘතිය වඩාත් වර්ධනය කරමින් ඉදිරියටම ගෙන ගියා.එක්සත් ජාතික පක්ෂයට මැර දේශපාලන සංස්කෘතිය හඳුන්වා දුන් රණසිංහ ප්‍රේමදාස මහතා, මැරයින් යොදවා ජේ.ආර් ජයවර්ධන මහතාට බලපෑම් කර 1989 දී ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගත් විගස කළේ නිස්සංක විජේරත්න,ඊ.එල්.බී හුරුල්ලේ,රංජිත් අතපත්තු,ආනන්ද තිස්ස ද අල්විස් සහ පී.බී වේරපිටිය යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ වැදගත්,උගත්,බුද්ධිමත් ප්‍රභූන් සියල්ල එළවා දැමීමයි.

ඊට පසුව එක්සත් ජාතික පක්ෂයට,එහි පුරෝගාමී සහ වැදගත් නායකයින්ට අත් වූ ඉරණමත් මැර දේශපාලන සංස්කෘතිය මුළු රටම වෙලා ගත් ආකාරයත් මේ රටේ කවුරුත් දන්නා නිසා ඒ ගැන පුන පුනා කීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. එක්සත් ජාතික පක්ෂයි නායක රනිල් වික්‍රමසිංහ මහතායි හැමදාම පැරදුණේ පක්ෂයටත් ඔහුටත් හොඳ දෙවෙනියෙක් නොසිටී නිසයි.

දේශපාලනය ඇතුළු සෑම ක්‍ෂේත්‍රයකදීම යමෙකුට ප්‍රධානියා හෝ නායකයා හෝ පළමු වැනියා වීමට අවශ්‍ය නම් ඔහු මුලින්ම හොඳ දෙවෙනියෙක් විය යුතුයි.එහෙත් එක්සත් ජාතික පක්ෂයේත්,පාක්ෂිකයගේත්,රනිල් වික්‍රමසිංහ මහතාගේත් අවාසනාවකට සජිත් ප්‍රේමදාස මහතා ඉතිහාසයේ සිට සෑම අවස්ථාවකදීම කළේ හොඳ දෙවෙනියෙක් වීමට අවංකව සහ නිහතමානීව උත්සහ දරමින් පක්ෂය සහ පාක්ෂිකයා ජයග්‍රහණය කරවනවා වෙනුවට නායකයාට පිටු පසින් පිහියෙන් ඇණ පළමු වැනියා වීමට මාන බැලීමයි.

දේශපාලන පක්ෂයකුත් තිබෙනවා නම් ඊට නායකයෙකුත් සිටිනවා නම් පාක්ෂිකයින් සහ ක්‍රියාකාරීන් කළ යුත්තේ සියලු දෙනාම එකට එකතු වී කළ යුත්තේ සිය පක්ෂය සහ නායකයා දිනවීම නොවේද..?

දේශපාලනයේදී ඉවසීම නොමැතිකම,කෙටි මාර්ග සෙවීම සහ අධි තක්සේරුව විශාල ප්‍රශ්නයක් බව කිව යුතුයි.ඉල්ලීම් හෝ බලපෑම කර හෝ ගැටුම් ඇති කර හෝ නායකයෙකු විය නොහැකියි. රට දිනවන්න යැයි කියමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා කැරළි ගැසීමට පෙර, සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ ආසනය දින විය යුතුයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ දුර්වලම ආසනය බවට ඔහු නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය පත්ව තිබීමෙන්ම ඔහුගේ තරම පැහැදිළි වනවා. එක්සත් ජාතික පෙරමුණ මුල් වී ගොඩනැගීමට යන ඉතිහාසයේ විශාලතම සන්ධානයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමෙන් සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කරන්නේ කිනම් පාර්ශවයක කොන්ත්‍රාත්තුවක් ද කියා ඕනෑම අයෙකු දන්නවා.”