Thursday 22nd of August 2019

English Tamil


"වහබ්වාදීන්ගේ මහා සමුළුව" බස්නාහිර ආණ්ඩුකාරයාගේ වැඩක්..!


2019-07-24 1263

මන්සුර් මව්ලානගෙන් සල්ලි ගෙන ජනපතිවත් අන්දලා..!

(නායක බණ්ඩාර) 

ලොව ප්‍රධානතම වහාබ්වාදයේ ප්‍රවර්ධකයන් වන "මුස්ලිම් ලෝක ලීගය" (MWL) ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ට හා ආගමික නායකයන්ට සාමය උගැන්වීමට මෙම විශේෂ "මහා සමුළුව" සංවිධානය කර තිබේ.

එය මේ මස (ජූලි 30දා) කොළඹ නෙළුම් පොකුණ රඟහළේ දී රඟ දැක්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර අවසන් ය. මේ අතර බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි මෙම සමුළුව පැවැත්වීමට නොදන බවට අනතුරු අඟවා ඇත. බොදු බලය පවසන අන්දමට පාස්කු ප්‍රහාරයේ උණුසුම යන්නත් පෙර වාහාබ්වාදීන් යළි රට තුළ හිස එසවීම බරපතල කරුණකි.

ලොව පුරා ඉස්ලාම් අන්තවාදී "වහාබ්වාදය" ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියා ලෙස සැලකෙන "මුස්ලිම් ලෝක ලීගය" (MWL) ශ්‍රී ලංකාවේ මහානායක හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නයට හා ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට ඉස්ලාම් වහාබ්වාදයේ ඊනියා සාම පණිවිඩය රැගෙන ඒම තරම් විහිළුවට කරුණක් තවත් නැත.

අනෙක් කරුණ වන්නේ මේ සඳහා ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය ලබා දීමය. තුර්කිය හා තවත් බොහෝ රටවල ඉස්ලාමයේ වහාබ්වාදී ඉගැන්වීම් ප්‍රවර්ධන කිරීමට අනුග්‍රාහය ලබා දීමේ ප්‍රධාන කඳවුර ලෙස මෙම "මුස්ලිම් ලෝක ලීගය" (MWL) නම් දරා ඇත.

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව MWL නමිත් හඳුන්වන Muslim world league නමැති සෞදි අරාබියාවේ ස්ථාපිත මෙම සංවිධානය ලොව ප්‍රධානතම මුස්ලිම් සංවිධානයයි. සෞදියේ 'මැකා' නුවර මෙම MWL සංවිධානය ස්ථානය කර ඇති අතර සෞදි රාජ්‍යය විසින් ඊට පූර්ණ අනුග්‍රහය සපයනු ලබයි. සමාජසේවා, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රජා සංවර්ධනය, හදිසි ආධාර, තාක්ෂණික සහාය ආදී සේවා සපයන බව පෙන්වමින් ලොව පුරා බොහෝ රටවලට යන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ඉස්ලාමික රාජ්‍යයක් බිහිකිරීමට අවශ්‍ය මූලික පදනම දැමීමය.

ඒ සඳහා කුරාණයේ ඉගැන්වීම්, ශරියා ඉගැන්වීම්වල මූලිකාංග ඉතා සූක්ෂම ලෙස සමාජගත කිරීම මොවුන්ගේ නිල වෙබ්අඩවියට අනුව ඔවුන්ගේ වැඩපිළිවෙල වන්නේ ඉස්ලාමීය සැබෑ අරමුණ ලොවට ගෙන යෑමය. මේ සංවිධානය යටතේ තවත් උප සංවිධාන රාශියක් ද ක්‍රියාත්මකයි. මෙම "මුස්ලිම් ලෝක ලීගය" (MWL) විවිධ රටවල ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, ඇමැතිවරුන්, ඉතා උපක්‍රමශීලීව සම්බන්ධ කර ගැනීම සඳහා විශාල ලෙස මුදල් සහ අනෙකුත් ත්‍යාග ලබා දීමටත් එම නායකයන් සෞදි රජ සමඟ සම්බන්ධ කිරීමටත් ඉතා සූක්ෂම ලෙස කටයුතු කරයි. www.themwl.org වෙබ්අඩවිය මඟින් මෙහි ප්‍රසිද්ධ කර ඇති තොරතුරු පමණක් බලාගත හැකිය.

පසුගිය වසර කිහිපය තුළ වහබ්වාදී මුස්ලිම් අන්තවාදීන් විසින් ප්‍රධාන ලෙස ගමන් කරනු ලබන්නේ බුරුමයේ සහ ශ්‍රී ලංකාවේ ගොඩනැඟෙමින් තිබෙන මුස්ලිම් විරෝධය සමනය කිරීම සඳහා අදාළ රටවල රාජ්‍ය නායකයන් හා බෞද්ධ නායකයන් සම්බන්ධ කරගැනීමට විශාල ආයෝජකයක් කිරීමට මෙම සෞදි සංවිධානය කටයුතු කරමින් සිටින අතර ඒ අනුව බෞද්ධ සමාජයෙන් නැගෙන විරෝධය සමනය කර කොට ඉස්ලාම්කරණයේ කූඨ උපක්‍රමය සාමය හා සංහිඳියාව තේමාව කොටගනිමින් සිදුකිරීමට ඉතා සූක්ෂමව කටයුතු කරයි.

මෙහිදී මෙම ව්‍යාපෘති තුළින් ඉතා අධික මුදලක් විශේෂයෙන් ශ්‍රී ලංකාව සහ බුරුම රාජ්‍ය නායකයන්ට මෙන්ම බෞද්ධ නායකයන්ට සිතාගත නොහැකි ප්‍රමාණයේ මූල්‍ය ආයෝජනයක් කිරීමට මෙම සංවිධානය  දැනටමත් කටයුතු කර ඇත. ⁣මෙම සංවිධානයේ ශ්‍රී ලංකා ආගමනය සිදුවන්නේ සෞදි පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයකු වන "මන්සූර් මව්ලානා" නමැත්තාගේ මැදිහත් වීමෙනි.

ශ්‍රී ලංකා රජයේ නායකයන්ට හා බෞද්ධ නායකයන්ට ලබාදෙන බව පවසමින් මේ වනවිටත් සෞදි බලධාරීන්ද නොමඟ යවා  ඉහත කී මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගැනීමට මව්ලානා විසින් කටයුතු කරනු ලැබ ඇත. මව්ලානාගේ කූඨ උපක්‍රම සහ දක්ෂතා දෙස බලන කල එම වංචනික ක්‍රියාකාරකම් හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පමණක් නොව මහා නායක හිමිවරුන් ද හසුවී සිටීම පුදුමයක් ද නොවේ. මව්ලානාගේ ඊළඟ තුරුම්පුව වන්නේ මේ මාසය අවසානයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේ මහා සමුළුවක් පැවැත්වීමය. මේ සඳහා මහා නායක හිමිවරුන් ද සහභාගී කරවා ගැනීමට මේ වනවිටත් ආරාධනා කර අවසන් ය.

සාම්ප්‍රදායක මුස්ලිම්වරයකු ලෙස පෙනී හිඳිමින් ඉතා සූක්ෂමව වහාබ්වාදී මුස්ලිම්කරණය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින මව්ලානා, මේ වනවිට බස්නාහිර පළාත් වත්මන් ආණ්ඩුකාර මුස්සම්මිල්ට විශාල අල්ලසක් ලබා දෙමින් ඔහු ලවා ජනාධිපතිවරයා තම වැඩපිළිවෙලට නතු කරවා ගැනීමට තුරුම්පුවක් ගසමින් සිටී. මව්ලානාගේ "ඇන්දවීමේ" හැකියාව කෙසේ ද යත් මේ වනවිට මුස්ලිම් අන්තවාදී ව්‍යාපෘතිවල පිහිටෙන් සිංගප්පූරුවේ සහ ඩුබායි බැංකුවල පවත්වාගෙන යන රහස් ගිණුම් තර වී හමාරය. එහෙත් තමාගේ නමින් මහා ලොකු ධනයක් සෞදි අරාබියේ තැම්පත් නොකිරීමටද මව්ලානා වගබලාගෙන තිබීම පැසසිය යුතුය.

එපමණක් ද නොව. මඩකලපුවේ ස්ථාපිත ශරියා විශ්ව විද්‍යාලයට අවශ්‍ය මූල්‍ය පරිත්‍යාගයන් අරාබියෙන් ගෙන ඒමට කපුකම් කළේ ද මව්ලානාය. එහෙත් එයින් ලබාගත් කොමිස් මුදල පිළිබඳ හෙළි වීමෙන් පසු හිස්බුල්ලා මොහු සමඟ තිබූ ගණු දෙනු නවතා දමා ඇත. තවද, මව්ලානා විසින් අරාබි ජාතිකයන් හට ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවලින් වටිනා ඉඩකඩම් මිලට නෙ දීමට හොඳ උපක්‍රමයක් හඳුන්වා දෙනු ලැබ ඇත. ඒ දුප්පත් ශ්‍රී ලාංකිකයන් හට සොච්චම් මුදලක් දී ඔවුන්ගේ නම්වලට ඉඩකඩම් මිලට ගැනීමය.

ශ්‍රී පාදස්ථානය අවට සහ තවත් වටිනා ප්‍රදේශ ගණනාවක ඉඩකඩම් මිලට ගැනීමට මොවු මෙම ක්‍රමය භාවිත කර ඇත. රාජපක්ෂ පාලන සමයේ ද යම් යම් අකටයුතුකම්වල නිරත වී සිටි මව්ලානා එක් අවස්ථාවක දී ජනාධිපති ලේකම් කාර්යාලයේ නාම පුවරුවක් සහිත වාහනයක් යොදා ගෙන "වල්ලාපට්ටා" ප්‍රවාහනය කරද්දී පොලිසියට හසු වී ඇත.

සුව එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් හිටපු බුරුම තානාපති එච්.ආර්.පියසිරි ලිපියක් යොමුකරනු ලැබ ඇත්තේ මොහු ජනාධිපති උපදේශකවරයකු ලෙස ව්‍යාජව පෙනී සිට ඇති බවට දන්වමිනි. රජයේ ත්‍රස්ත විමර්ශන අංශවලින් මොහුගේ හා පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම්වල දත්ත පරීක්ෂා කර බැලුවහොත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම්කරණයට මව්ලානාගේ ඇති දායකත්වයේ තරම රටටම දැනගන්නට හැකිවනු ඇත.

එපමණක් ද නොවේ. අප්‍රේල් 21 පාස්කු දින එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයට පසු සෞදියේ සැඟව සිටි "මව්ලානා" ආණ්ඩුකාර මුස්සාමිල් හරහා නැවත ජනාධිපතිවරයා සමීපයට යෑම සුළුකොට තැකිය හැක්කක් නොවන බව අදාළ බලධාරීන් තේරුම් ගත යුතුය.

ජනාධිපතිවරයා තුළ "නොබෙල් ත්‍යාගය" පිළිබඳ සිහිනයක් ඇති කර, ඊට ළඟාවීමේ සරළම ක්‍රමය මෙම සමුළුව බවට ඒත්තු ගන්වා, එයින් ද නොනැවතී, ලබන ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ඡන්ද ලබාගැනීමට ද එය ඉවහල් වන බව පෙන්වා, ජනාධිපතිවරයාට හිතවත් නිලධාරීන් හරහා උත්සාහ කිරීමට මව්ලානා උපක්‍රමශීලී වී ඇති බවද සැලකිය යුතුම කරුණකි.