Saturday 14th of December 2019

English Tamil
Advertiesment


ජීවිතවල අවුල..!


2019-07-20 4685

ස්වයන් මරණ අයිතිය තහවුරු කරමු..!

(වික්ටර් අයිවන්)

ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ හා සමාජ ක්‍රමයේ පමණක් නොව මිනිසුන්ගේ ජීවිතවලද ලොකු අවුලක් තිබෙන බව දැකිය හැකිය. ලංකාවේ මිනිසුන්ට සිනාසෙන මුහුණු ඇතත්, සතුටින් ජීවත් වන මිනිසුන් රටේ සුලභ නැත. අසතුටින් ජීවත් වන මිනිසුන්ගේ පංගුව විශාලය. සතුටින් ජීවත්වීමට අවශ්‍ය සියලු දේ තිබෙන අය අතර පවා දැකිය හැක්කේ සතුට රජකරන තත්ත්වයක් නොව, අසතුටුව රජ කරන තත්ත්වයකි. මෙය වර්ගය, ආගම, කුලය, පන්තිය ලිංගය වැනි අන්තර් සම්බන්ධතා තුළ සේ ම පුද්ගලයා හා පවුල තුළද දක්නට තිබෙන ලක්ෂණයකි.

මාගේ මතය වන්නේ අප පුද්ගලයන් වශයෙන්ද, පවුල් වශයෙන්ද, වර්ග, කුල, ආගම්, පන්ති, ලිංග යනාදී වශයෙන් සමාජ කණ්ඩායම් වශයෙන්ද සිටින්නේ අවුලකය. රාජ්‍යයේ තිබෙන අවුල එහි ප්‍රතිබිම්බයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ පුද්ගලයා හා පුද්ගලයා ඇතුළත් පවුල, ස්වාමි පුරුෂයා, බිරිඳ, දරුවන් හා සීයලා ආච්චිලා අතර තිබෙන අන්තර් සම්බන්ධයේ අවුල ජීවිතය පිළිබඳ පැහැදිලි හා ප්‍රායෝගික දැක්මක් නැතිකම ආශ්‍රයෙන් ඇතිවී තිබෙන අර්බුදයක් ලෙස සැලකිය හැකිය. එම තත්ත්වය කෙරෙහි ලංකාවේ සමාජය මරණ බිය රජ කළ, ප්‍රචණ්ඩ හා ලේ වැගිරෙන වටපිටාවක් තුළ අවුරුදු 30ක් තරම් කාලයක් ජීවත්වීම එම අශීලාචාර කාලය තුළ ජන ජීවිතයේ ඇතිවූ මහා විකෘතීන්ද බලපෑ බවට සැකයක් නැත. ජීවිතය පිළිබඳව සරල ප්‍රායේගික දැක්මක් නැතිකමද පුද්ගල ජීවිතය, පවුල් ජීවිතය හා සමාජ ජීවිතය අවුල් කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය.

එම තත්ත්වය කෙරෙහි පුද්ගලයන් අනවශ්‍ය තරමට ආගමිකවීමද බලපා තිබේ.

පසුගාමී ආකල්ප

පුනරුදයට පෙර මධ්‍යකාලීන යුරෝපයේ ජනතාව කල්පනා කළෙත් දැන් ලංකාවේ ජනතාව කල්පනා කරන විදියටය. ඒ කාලේ ඔවුන් මෙලොව ජීවිතය සලකන ලද්දේ හොඳ පරලෝක ජීවිතයක් දිනාගැනීම සඳහා දුක් විඳිය යුතු අතරමැදි ලෝකයක් ලෙසය. ලංකාවේ ජනයා කල්පනා කරන්නෙත් ඊට සමාන ආකාරයටය. එක කකුලක් මේ ලෝකෙ තිබෙන විට අනෙක් කකුල තිබෙන්නේ පරලෝකයේය. ජීවිතය විඳීමට තිබෙන හැකියාව ඒ මගින් අහිමි කරගෙන තිබෙන්නේ යැයි කිව හැකිය. ලංකාවේ මිනිසුනගේ ලෞකික ජීවිතවල තිබෙන අසාර්ථකභාවය කෙරෙහි ඒ සාධකයන්ද බලපා තිබෙන්නේ යැයි කිව හැකිය.

ලංකාවේ ජනතාව අතර පවත්නා මෙම පසුගාමී තත්ත්වය කෙරෙහි ලංකාවේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයද බලපා තිබේ. මහත්මා ගාන්ධි සැලකෙනුයේ ආගමට බර නායකයකු ලෙසය. එහෙත් ඔහු අධ්‍යාපනය සම්බන්ධයෙන් දරන ලද දැඩි මතය වූයේ අධ්‍යාපනය ලෞකික දෙයක් වන නිසා පාසල් අධ්‍යාපනයේදී ආගම විෂයක් ලෙස ඉගැන්වීම සුදුසු නැති බවය. ආගම ඉගෙන ගත යුත්තේ ගෙදරින් හා පූජනීය ස්ථානවලින් බව ගාන්ධිගේ මතය විය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ඒ සම්බන්ධයෙන් දරන ලද අදහස්ද ගාන්ධිගේ අදහස්වලට සමානය. ආගම පාසලේ ඉගැන්විය යුතු විෂයයක් නොවන බව ඔහු විසින් ද දරන ලද මතය වී යැයි කිව හැකිය. අපට තිබෙන්නේ ආගම් පමණක් නොව, ඉතාමත්ම ම්ලේච්ඡ මිථ්‍යා විශ්වාසයන් පවා පාසල් ළමුන්ට පොවන අධ්‍යාපන ක්‍රමයකි. විභාගවලට පෙනී සිටින ළමුන් භාරහාරවීමට පන්සල්, පල්ලි හා දේවාලවලට රැගෙන යන ක්‍රමයක් පාසල් ක්‍රමය තුළ ක්‍රියාත්මක වේ. ජීවම් කළ පැන්වලින් විභාගවලට ලිවීමේ අවලස්සන ක්‍රමයක්ද ස්ථාපිත වී තිබේ. කට පාඩමින් ඉගෙන ගන්නා ක්‍රමයද පාසල් ළමුන් තුළ තර්කානුකූලව හා නිර්මාණශීලීව කල්පනා කරන්නට තිබෙන හැකියාව සීමා කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය.

මරණය ගැන

ජීවිතය හා මරණය ගැන ප්‍රායෝගික දැක්මක් නැතිකමද ලංකාවේ පුද්ගල ජීවිත අවුල් කිරීමට හා අසාර්ථක කිරීමට බලපා තිබෙන තවත් වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. මරණය පිළිබඳව යථාර්ථවාදී දැක්මක් නැති පුද්ගලයකුට ජීවිතය සඳහා අවශ්‍ය හරි දැක්මක් ඇති කරගත නොහැකිය. විශ්‍රාම යන වයසට එළැඹෙන විට ලංකාවේ බොහෝ මිනිසුන් විශේෂයෙන්ම කාන්තාවන් ජීවිත කාලයෙන් හතරෙන් එකක් තරම් වන ඉතිරි ජීවිත කාලය ගත කරන්නේ මරණය කෙරෙහි ඇති කරගත් භීතියකින් යුතුවය. එය නැතිකර ගන්න උත්සාහ කරන්නේ පින් කිරීමෙනි. ඒ සියල්ල ඔවුන් කරන්නේ මරණයෙන් පසු ජීවිතය සැපවත් කරගැනීම සඳහාය. මරණය ජීවිතයේ නොවැළැක්විය හැකි අනිවාර්යතාවකි. සියලුම ආගමික ශාස්තෲවරුන්ද මරණයට පත්වූහ. සමහර මරණ ලස්සන හා අසිරිමත් මරණ ලෙස සැලකිය හැකි අතර, සමහර මරණ සැලකිය හැක්කේ ඛේදජනක මරණ ලෙසය.

සොක්‍රටීස්ගේ මරණය අසිරිමත් මරණයක් ලෙස සැලකිය හැකිය. සොක්‍රටීස්ට අවශ්‍ය නම් උසාවියට පිළිගත හැකි දඩයක් ගෙවීමෙන් හෝ බන්ධනාගාරයෙන් පලායෑමෙන්ද මරණ දඬුවමට ලක්වීමෙන් වැළකීමේ හැකියාව තිබුණි. එහෙත් ඔහු එසේ නොකළේය. ඔහු මරණ දඬුවම වශයෙන් ඔහුට ලැබුණු වස කෝප්පය බොන්නට පෙර තමන්ගේ උගත් මිතුරන් සමග දාර්ශනික සංවාදයක යෙදුණි. වස පානය කිරීමෙන් පසුද එක්තරා කාලවේලාවක් ඒ සංවාදය කරගෙන ගියේය. ඔහු තමන් වෙත ළඟා වන මරණයට මුහුණ දුන්නේ ඉතාමත් සන්සුන්වය. මරණය ඉතාමත් සාමාන්‍ය හා නොවැළැක්විය හැකි සදාකාලික සුව නින්දක් ලෙස සැලකිය හැකි නම් විශ්‍රාම වයස එළැඹීමෙන් පසු මරණය තෙක් අර්ථවත්, තෘප්තිමත් ක්‍රියාකාරී හා ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකිය. එවැනි සරල දැක්මක් ඇතිවිට වයසට ගිය දෙමාපියන් හා දරුවන් අතරද අන්තර් සබඳතා යහපත් කිරීමට හේතුවේ.

දෙමාපියන් බලා ගැනීම

ආච්චිලා හා සීයලාගේ තත්ත්වයට පත්ව සිටින දෙමාපියන් හා ඔවුන්ගේ දරුවන් අතර පවත්නා අන්තර් සම්බන්ධය බොහෝ විට යහපත් තත්ත්වයක නොපවතී. එවැනි දෙමාපියන් පමණක් නොව, සමාජයද වියපත් දෙමාපියන් බලාගැනීම දූදරුවන් වෙත පැවරෙන වගකීමක් ලෙස සලකයි.

බොහෝ විට දූ දරුවන් ජීවත්වන්නේ තම දෙමාපියන් සමග නොව බිරිඳ හෝ සැමියා සමග හා දූ දරුවන් සමග පිටස්තර ප්‍රදේශවලය. සමහරවිට විදේශ රටවලය. පරණ කෘෂිකාර්මික යුගයේදී දූ දරුවන් විවාහ වූ පසුද ජීවත් වූයේ එකම ගෙදරක හෝ ළඟ ළඟ තිබෙන අවට ගෙවල්වලය. ඒ නිසා වැඩිහිටි දෙමාපියන් බලාගැනීමේ හැකියාවක් දරුවන්ට තිබුණි. එහෙත් වර්තමානයේ මහලු දෙමාපියන් බලාගැනීමේ ඇත්ත හැකියාවක් බොහෝ දූ දරුවන්ට නැති අතර වර්තමානයේ වැඩිහිටි දෙමාපියන් බලාගැනීමේ වගකීම රජය විසින් භාරගත යුතුව තිබෙන වගකීමකි.

අනෙක් අතට ලංකාවේ දෙමාපියන් තමන් සතු සියලු දේ දරුවන්ට දී වියපත් කාලයේදී තමන් බලා ගැනීම ඒ දරුවන් අතින් සිදුවිය යුතු දෙයක් ලෙස කල්පනා කරති. තමන්ගේ මහලු කාලයේ නඩත්තුව පිණිස කිසියම් ප්‍රමාණයක හෝ ධනයක් තමන් ළඟ තබා ගැනීමේ හැකියාවක් ඇති අය පවා එසේ කිරීමෙන් තොරව තමන් ළඟ තිබෙන සියලු දේ දරුවන්ට දෙති. ඉන්පසු තමන්ගේ අවශ්‍යතාවක් සඳහා අවශ්‍ය වියදම් නැති විට ඔවුන් දරුවන්ට දොස් කියති. තමන්ගේ දරුවන් සමග ජීවත් වන දෙමාපියන් පවා බොහෝවිට ජීවත්වන්නේ සතුටින් නොවේ. තම දරුවන්ගේ දූ දරුවන් බලා ගන්නට සිදුවී ඇත්තේ ඔවුන්ටය. ඔවුන්ගේ වයසේ තරමට ඔවුන්ට කරගසන්නට සිදුවී තිබෙන කාර්යභාරය ගැළපෙන්නේ නැත.

අවාසනාවන්ත අත්දැකීම්

මාගේ මව එකතැන ජීවත් වන තත්ත්වයකට පත්වුවත් ඇය එක තැන ජීවත් වූයේ සති දෙකකට අඩු කාලයක් පමණය. ඒ නිසා ඇගේ එක තැන ජීවිතය මට ලොකු කරදරයක් නොවීය. එහෙත් මහලු වයසට පත්ව එකතැන්වී අවුරුදු ගණන් ජීවත් වන අය සිටිති. මා හොඳින් දන්නා හඳුනන පුද්ගලයකුගේ මහලු බවට පත් මවක් අවුරුදු 5කට වැඩි කාලයක් එක්තැන්වූ ජීවිතයක් ගත කළේය. ඇයට සිටියේ එකම පුතකු වන අතර ඔහු සේවිකාවන් යොදා මවගේ කටයුතු කරන්නට උත්සාහ කළත්, මව ඒ සියලුදෙනාට බැණ වැදී පලවා හැරීම නිසා සිය මව බලාගැනීමේ සම්පූර්ණ බර සිය කරට ගන්නට ඔහුට සිදුවිය. ඔහුගේ බිරිඳ හා දරුවන් ජීවත් වූයේ වෙනත් ගෙදරකය. ඔහුගේ මව ඔහුගේ බිරිඳට වෙනස්කම් කිරීම නිසා ඇය එම නිවස අතහැර තමන්ගේ මුදලින් තනා ගත් වෙනත් නිවසක් තනාගෙන දරුවන් සමග එහි ජීවත් වූ අතර ඉන්පසු ඇගේ සැමියාගේ මව ජීවත් වූ නිවසේ පස් පාගන්නටවත් එහි නොගියාය.

එම තත්ත්වය ඉදිරියේ කිසිවකුගේ සහාය නැතිව තනියෙන්ම මව බලා ගන්නට ඔහුට සිදුවූ අතර ඔහු වෙත පැවරී තිබුණු කාරිය පහසු දෙයක් නොවූ අතර සමහර අවස්ථාවල මහලු මව හිතාමතාම පුතා පීඩාවට පත් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළාය. ඔහු මවට උපස්ථාන කළේ සමහර අවස්ථාවලදී සතුටින් නොව කනගාටුවෙන් හා කේන්තියෙනි. ඇය එක තැන ජීවත් වූ අවුරුදු 5ට තරමක් වැඩි කාලය තුළ ඔහුගේ ජීවිතය පරිපූර්ණ කාලකණ්ණි තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබුණි. කෙනකු ජීවත් විය යුත්තේ ඇගේ හෝ ඔහුගේ ජීවිතය අනුන්ට සේ ම තමන්ටද කරදරයක් නොවන තාක් පමණය. ඉතාමත් සාධාරණ හේතු ඇතිවිට මරණය තෝරා ගැනීමේ අයිතිය ලබාදී තිබෙන රටවල් සේම ඒ සඳහා විශේෂ ආයතන ක්‍රමය පවත්වාගෙන යන රටවල් තිබෙන්නේය. ස්විස්ටර්ලන්තය ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයකි. එහෙත් එවැනි ආකල්පයක් අප තුළ ඇති කරගත හැක්කේ ජීවිතය හා මරණය පිළිබඳව ප්‍රායෝගික දැක්මක් ඇතොත් පමණය.

අයින්ස්ටයින් හා ප්‍රොයිඞ්

ලෝකය මෙතෙක් බිහිකළ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැලකිය හැකි ඇල්බට් අයින්ස්ටයින්ට 76 වන වියේදී අභ්‍යන්තරයේ ලේ කාන්දු වන තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවිය. ඇමරිකාවේ ප්‍රින්ස්ටන් රෝහලට රැගෙන යෑමෙන් පසු ඔහු රෝහල් බලධාරීන්ගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියේ තමන් ශල්‍ය කර්මයකට භාජනය නොකරන ලෙසය. සමාජයට යුතුකම් හොඳින් ඉටු කළ පුද්ගලයකු වශයෙන් කෘත්‍රිම ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නැති බවත් තමන්ට සතුටුදායක මරණයකට ඉඩ දෙන ලෙසත් ඉල්ලා සිටියේය. රෝහල් බලධාරීන් ඔහුට සතුටුදායක මරණයක් ලබාදීම සඳහා ඔහුට මොෆින් ලබාදෙන ලද අතර ඔහු පසුදින උදේ මිය ගියේය. සිග්මන් ප්‍රොයිඞ්ද නිසි අවස්ථාවේදී මරණ තමන් විසින් ළඟා කරගත් කෙනකු ලෙස සැලකිය හැකිය. ඔහු මරණයට පත්වූයේ වයස අවුරුදු 83දීය. ඔහුට මුඛ පිළිකාවක් තිබුණ අතර එය විටින් විට කපා ඉවත් කළද නැවත නැවත වර්ධනය වීම නිසා සිය ජීවිතයේ අවසාන කාලය ගත කළේ මහත් වේදනාවකිනි. ඔහු තමාගේ මිත්‍ර වෛද්‍යවරයකු සමග මරණය අරබයා එකඟත්වයක් ඇති කරගෙන තිබුණු අතර, ෆ්‍රොයිඞ් කිසියම් දිනක එම වෛද්‍ය මිතුරා තමන් වෙත ගෙන්වාගෙන මරණය පිළිබඳව ඇති කරගත් එකඟතාව මතක් කරදෙමින් තමන්ට තවදුරටත් මුඛ පිළිකාව දරාගත නොහැකි දරුණු වධයක් බවට පත්වී තිබෙන නිසා දිවි තොර කරගැනීමට කාලය පැමිණ ඇති බැවින් ඒ කාර්යය සඳහා තම දියණිය සමග සාකච්ඡා කොට ඇය කැමති කරවා ගන්නා ලෙස සිය මිතුරාගෙන් ඉල්ලා සිටියේය.

වෛද්‍යවරයා විසින් දියණියට කරුණු පැහැදිලි කරදී ඇයගේද එකඟත්වය ලබාගැනීමෙන් පසු වෛද්‍යවරයා විසින් ෆ්‍රොයිඞ්ට මෝෆීන් එන්නත් කරන ලදුව එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු මරණයට පත්විය. මරණය පිළිබඳ එවැනි දැක්මක් ඇතිකර ගැනීමට හැකිවූ විට ජීවිතය පමණක් නොව මරණය ද සුන්දර දෙයක් බවට පත් කරගත හැකිය.

ධනය ගැන

මා ජීවිතය හා මරණය ගැන 2013 වසරේදී ‘ජීවිතයේ ප්‍රබෝධය මරණයේ අසිරිය’ නමින් පොතක් ලියා පළ කළෙමි. මා එය ලිවීමේ අරමුණ වූයේ ජීවිතය විඳීමට අවශ්‍ය ප්‍රායෝගික දැක්මක් කියවන්නන් තුළ ඇති කිරීම සඳහාය.

මාගේ අපේක්ෂාව වූයේ සැමියා හා බිරිඳගේද, දරුවන්ගේද, සීයලා හා ආච්චිලාගේ උනන්දුවට හේතුවන පොතක් ලිවීමය. මා ඒ අරමුණ ජයගැනීමට සමත් වූවා යැයි කිව හැකිය. ධනය ගැනද ලියන පරිච්ඡේදයක් පොතට එකතු කිරීමේ අදහසක් මා තුළ තිබුණද විවිධ හේතු නිසා ඒ අරමුණ ඉටු කරගත නොහැකි විය. ඒ ගැන මෙහි පළකරන අදහස් වොරන් බෆට්ගෙන් ඉගෙන ගත් දේවල් ලෙස සැලකිය හැකිය. ඔහු ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයන් තුන්හතර දෙනාගෙන් කෙනෙකි. 2008දී ඔහු ලෝකයේ සිටි ධනවත්ම පුද්ගලයා විය. ඒ වසරේදී ඔහුගේ ධනවත්කමේ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 62ක් විය. වොරන් බෆට්ගේ මතය වන්නේ ධනය නිර්මාණය කිරීම හැම කෙනකුටම කළ නොහැකි විශේෂ කලාවක් බවය.

එම විශේෂ හැකියාව ඇති අය තමන් උපයන ධනය තමන් අත ගොඩ ගසා ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් එය සමාජය කෙරෙහි විශාල හානියක් ඇති කරන බවත් තමන් වෙත ජීවත්වීමට අවශ්‍ය තරම් ධනයක් තබා ගනිමින් ඉතිරි ධනය පොදු යහපත වෙනුවෙන් සමාජයට මුදාහැරිය යුතු බවත්ය. ඔහු වැඩිදුරටත් කියන්නේ ඉතාමත් හොඳින් කා බී සුව පහසු ජීවිතයක් ගතකරන කෙනකුට පවා අවශ්‍ය වන්නේ සීමිත ධනයක් බවත්, ඒ ධනය පමණක් තමා වෙත තබාගෙන ඉතිරිය සමාජයට මුදාහැරිය යුතු බවත්ය. බෆට් සිය දරුවන්ට දුන්නේ තම ධනයෙන් 1% බැගින් වන ප්‍රමාණයක් පමණය. ඔහු කියන්නේ දරුවන්ට දිය යුත්තේ ඔවුන්ට නැගී සිටීමට අවශ්‍ය තරම් ධනයක් පමණක් බවය. ඊට වැඩියෙන් කිසිවක් දීම නුසුදුසු බවය. 2006දී ඔහු සිය ධනයේ අයිතියෙන් 83%ක් බිල් සහ මෙලින් ද ගේට්ස් පදනමට ලියා දුන්නේය. ඔහුගේ එම පරිත්‍යාගයේ වටිනාකම ඩොලර් බිලියන 30.7ක් විය. ඔහු දානශීලී ධනවාදයක් වෙනුවෙන් පෙනී සිටියේය. එම අරමුණ ලෝකයේ ලොකුම ධනවතුන්ට ඒත්තු ගැන්වීම සඳහා විශාල ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගියේය.

ඔහු 2010යේ දෙසැම්බර්වලදී බිල් ගේට්ස් හා මාක් සකර්බර්ග් සමග තමන්ගේ ධනයෙන් අඩුම වශයෙන් 50%ක් පරිත්‍යාග කිරීම සඳහා ගිවිසුමක් ඇතිකර ගනිමින් එම වැඩසටහනට එකතු වන ලෙස ලෝක ධනවතුන්ගෙන් ඉල්ලා සිටියේය. අසල්වැසි ඉන්දියාවේ පවා ශක්තිමත් දානපති සංස්කෘතියක් පවතී. 2011 වර්ෂයේදී ඉන්දියාවේ සංවර්ධනය සඳහා විවිධ ආකාරවලින් දානපතීන් කර තිබුණු පරිත්‍යාගයන්ගේ ප්‍රමාණය ඒ සඳහා කෙරුණු මුළු ආයෝජන වියදමින් 32%ක් බවට ගණන් බලා තිබේ. විප්රො ( Wipro ) සමාගමේ හිමිකරු අසීම් ප්‍රේම්ජී ( Izim Premji ) 2015 වසරේදී අධ්‍යාපනය සඳහා කර තිබෙන පරිත්‍යාගයන්ගේ ප්‍රමාණය ඩොලර් බිලියන 4.5කි. ඔහු සිය සමාගම උපයන ආදායමෙන් 50%ක් පොදු යහපතට වෙන් කරන බව සහතික වී තිබේ. පොදු යහපත වෙනුවෙන් මහා පරිමාණයෙන් ධනය පරිත්‍යාග කරන ධනවතුන් විශාල සංඛ්‍යාවක් ඉන්දියාවේ සිටින්නේය. එම විෂයේදීද ලංකාව පවතින්නේ කාන්තාර තත්ත්වයකය.

අපට සිටින්නේ මඩිය තරකර ගන්නා හා රටේ පොදු දියුණුව පිණිස නොව පූජනීය ස්ථාන සඳහා මුදල් පරිත්‍යාග කරන ධනවතුන්ය.

 

 

Advertiesment