ලංවිම සහ ලෙකෝ ආයතනය ජනන වියදමට වඩා අඩුවෙන් විදුලිය ලබා දෙමින් රටට ජනතාවට වර්ෂයකට රුපියල් කෝටි 3900ක ඇති විශාල සහනාධාරයක් ලබා දෙමින් සිටින්නේ යැයි විදුලි බල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.
ඔහු මේ අදහස් පළ කළේ ලංකා විදුලි පෞද්ගලික සමාගම(LECO) මඟින් සකස් කෙරුණු (my Leco) පරිගණක මෘදුකාංගය එළි දැක්වීම නිමිත්තෙන් කොළඹ වොර්ටස් එජ් හෝටලයේ බදාදා (17) පැවති උත්සයට එක් වෙමිනි.
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති තිස්ස නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුව මේ පරිගණක මෘදුකාංගය පාර්භෝගික ජනතාව වෙත හඳුන්වා දුන්නේ එම සමාගම නවීකරණය කිරීමේ වැඩ සටහන යටතේය.
මේ "my leco" මෘදුකාංගය මඟින් විදුලි බිල්පත් ගෙවීම,කලින් ගෙවූ බිල්පත් පරික්ෂා කිරීම, පැමිණිලි ඉදිරිපත් කිරීම, ඉල්ලීම් ඉදිරිපත් කිරීම සහ දෛනික විදුලි ගැටළු විසදා ගැනීම ඇතුළු සේවා රැසක් ලබා ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්තාව උදා වේ.
ලංකා විදුලි පෞද්ගලික සමාගම නවීකරණය කිරීම සඳහා මෙවැනි නවීන ක්‍රියා මාර්ග ගැනීම සම්බන්ධයෙන් එහි සභාපති තිස්ස නානායක්කාර මහතා වෙත සිය විශේෂ ස්තුතිය පුද කරමින් එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේ ද කිය.
"අපි මේ රට හදන්න නම්, බය නැතිව තීන්දු තිරණ ගත යුතුයි. ඒ වාතාවරණය වෙනස් වෙලා තිබෙන්නේ අද එක් එක් කොමිසන් පත්කර තිබීම තුළින්. නමුත් සත්‍ය දේ කරනවා නම් බය වෙන්න අවශ්‍ය නැහැ. කව්රු මොන සංදර්ශන ඇති කළත්, අවසානයේ යතාර්ථය වෙනස් කරන්න බැහැ. අපි වෙනසක් ඇති කරන්නනම්, ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුයි.
අපි නිදහස ලබාගත්තට, සුදු හමට ගරු කරන මානසිකත්වයකින් තමයි කටයුතු කරලා තිබෙන්නේ. එය වෙනස් කළ යුතුයි. එකට වැඩ කරන, රට මුල්කරගෙන, අපේ සංකල්ප ඉදිරියට ගෙනයන යුගයක් ඇති කළ යුතුයි. අතීතයේ බැලුවොත් හාල් නිකන් දෙනවා, සිනි අඩුවට දෙනවා. සමෘද්ධීය දෙනවා. නමුත් දුප්පත්කම නැතිවෙලා තියෙනවාද. තාමත් එදා වගේමයි. පවුල් ලක්ෂ 55 ක් රටේ සිටිනවා. ඒකෙන් අඩකටම තාමත් උදව් අවශ්‍ය තත්ත්වයක සිටින්නේ. ඒ වෙනස ඇති කරන්න තමයි අපි වෙනස්විය යුත්තේ. රටක් ඉදිරියට ගෙනයනවා කියන්නේ, උපතේ සිට මරණය දක්වා සැමදෙයක්ම නොමිලයේ දෙන එක නෙමෙයි.
සමෘද්ධියට කෝටි 4600 ක් ගෙවනකොට, ලංවිම සහ ලෙකෝ කෝටි 3900ක් ජනන වියදමට වඩා අඩුවෙන් විදුලිය ලබාදීම තුළින් ජනතාවට සහනාධාරයක් ලබාදෙනවා. ඒක ගැන කව්රුත් කතා කරන්නේ නැහැ.
අපට අලුතෙන් හිතන්න පුළුවන් නව තාක්ෂණය යොදාගන්න පුළුවන් වුණානම්, අපේ ආයතන ඉබි ගමනින් යන ගමන වඩාත් ශක්තිමත්ව, සාර්ථකව, අර්ථවත්ව, පාරිභෝගිකයා මුල්කරගනිමින් කටයුතු කරන්න පුලුවන් වේවි. ඒ නිසා තමයි අපි CEB Care මෘදුකාංගය හදුන්වා දුන්නේ. ඒ තුළින් පාරිභෝගිකයාට යම් වාසියක් ලබාගන්න අවස්ථාව උදාකරලා දුන්නා. ඒ වගේම අද හදුන්වා දෙන මේ My leco මෘදුකාංගය තුළින්ද විදුලි පාරිභෝගික ජනතාවට තම දැනුම වර්ධනය කරගනිමින් අවශ්‍යතා ඉටුකරන්න වැඩපිළිවෙලක් හදුන්වා දී තිබෙනවා.
1983 දී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් තරගකාරිත්වයක් තුළින් පාරිභෝගිකයාට වඩා හොද සේවයක් සහ කළමණාකරණයක් ඇතිවෙයි කියන විශ්වසයෙන් තමයි මේ ලෙකෝ ආයතනය බිහිවුණේ. එතුමාගේ මනා ඉදිරි දැක්ම තුළින් අනාගතයේදී ලංකාව ලෝකයට සම්බන්ධ කරන්නේ කෙසේද යන සංකල්පය තුළීන් තමයි අද ලංකාව මේ තත්ත්වයටවත් ඉදිරියට විත් තිබෙන්නේ. අද අපි වෙනස් වෙන්න අවශ්‍යයි. පාරිභෝගිකයා මුල්කරගෙන වැඩකරන යුගයක් ඇතිකළ යුතුයි. අද බොහෝ ආයතන කඩාවැටී තිබෙන්නේ තැනේ හැටියට වැඩකරන්නේ නැති නිසයි. අපි නිරන්තරයෙන් පාරිභෝගිකයා මුල්කරගෙන කටයුතු කළ යුත්තේ, පාරිභෝගිකයා නොමැතිනම් අපේ පැවැත්මක් නොමැති නිසයි.
ඒ නිසා ඒකාධිකාරය පසෙකලා, පාරිභොගිකයා මුල්කරගත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. එදා දර වලින් තමයි අපි විදුලිය නිෂ්පාදනය කළේ. පසුව ජලවිදුලිය. ඊට පස්සේ තෙල්, එල්.එන්.ජී., ගල් අගුරු. සූර්ය බලය, සුළං මේ ආදි විවිධ ප්රභේදයන්ට මාරු වුණා. අවම මිලට ජනනය කරන්න අවශ්‍යයනම්. අපි අළුතින් සිතිය යුතුයි. එදා දර වලින් නිෂ්පාදනය කළා කියලා. අදත් ඒකෙන්ම නිෂ්පාදනය කරන්න බලාගෙන හිටියොත්,අපිට පාරිභෝගිකයාට සහනදායි, සාර්ථක ඉදිරි ගමනක් නැතිවෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයත් අවම මිලට විදුලිය ජනනය කිරීමට අවශ්‍යනම්, අළුතින් හිතන්න ඕන. නැතිනම් ආයතනය මූල්‍ය බර තුළින් කඩා වැටෙන්න පුළුවන්. නවීකරණය තුළින් අද ලෝකය පරිවර්ථනයකට භාජනය වෙලා. අපිත් ඒ ආකාරයෙන් පරිවර්ථනය විය යුතුයි. තාක්ෂණයේ දියුණුවත් සමගින් සංකීර්ණ පුළුල් පරාසයක් අද සරලත්වයට පත් වෙලා.
අද දේශපාලඥයෝ ළිදේ ඉන්න ගෙම්බෝ වගේ. ඉදිරියක් පෙනෙන්නේ නැහැ. වෙනස්වන කෙනාට චෝදනා කරනවා දූෂිත වැඩ කරනවා කියලා. කොහොමද අපි මේක වෙනස් කරන්නේ. අපි දැන් ස්මාර්ට් මීටර් වලට පරිවර්ථනය විය යුතුයි. රට පුරාම දීපව්‍යාප්තව මේ වෙනස ඇති කළ යුතුයි. අපේ විදුලි ඒකක නිෂ්පාදන වියදම රු. 23.50. යි. විකිණූම් මිල රු. 16.00යි. ලෙකෝ ආයතනයට යම් ගණනකට මෙය ලැබෙනවා. එම ආයතනයට පාඩුවක් සිදුවන්නේ නැහැ. නමුත් ලංවිම මෙහි බර උසුලගෙන යනවා. මේ තත්ත්වය රටට ප්‍රශ්නයක්. මේ ප්රශ්නය සමතයකට පත් කරන්න නම්, අපි විදුලි ජනන වියදම පුළුවන් තරම් අඩු කල යුතුයි.
ගෘහස්ත පාරිභෝගික මිල කිසිසේත්ම අසාධාරණ අන්දමින් වැඩිකරන්නේ නැහැ. මෑතකදි ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. සූර්යබල සංග්‍රාමයත් සමග. අපි ලංවිමට මෙන්ම පාරිභෝගිකයන්ට සහනයක් වන අන්දමේ වෙසනක් ඇති කරන්නයි උත්සාහ කළේ. නමුත් ඒ තුළින් අපේ චරිත ඝාතනය කිරීමට පවා සමහරක් පෙළඹුණා. ඒකට හේතුව තමයි කුහක කමින් ව්‍යාපාර කරන පිරිසක් සිටීම. මෙය වෙනස් කල යුතුයි.
මේ වනවිට රු. 45.00 ක් වැනි මුදලකට ලබාදෙන විදුලි ඒකකත් පවතිනවා. අපි හැකි ඉක්මනින් මෙය වෙසන් කල යුතුයි. අපි විදුලි ඒකක 4200 ක් නිෂ්පාදනය කරනවා. අපේ සැබෑ ඉල්ලුම ඒකක 5500. මෙහෙම රටක් ඉදිරියට ගෙනයන්නේ කොහොමද. අපි අළුතින් හිතලා, නිර්මාණශීලීව වැඩ කරලා, හොද දේශපාලන නායකත්වයක් ලබාදීලා රටට වෙනසක් ඇති කළ යුතුයි. නමුත් මේ රටේ සිදුවෙන්නේ වෙනසක් ඇතිකරන්න හදන කෙනාට පහර දෙන එකයි. ඒක තමයි අපේ රටේ වෙනස.
අද මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍යනම්, ජාතික ආරක්ෂාවක් අවශ්‍යයි, ජාතික ආර්ථිකයක් අවශ්‍යයි, තරුණයා මුල්කොටගත් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. නැතිනම් රට කඩාවැටෙනවා. ඒ තත්වයට වෙනසක් ඇති කළොත් තමයි, රට ඉදිරියට ගෙනයන්න හැකිවන්නේ. ඒක තමයි අවශ්‍ය වන්නේ. නලවලා කතා කිරීම, සුරංගනා ලෝකයක් පෙන්වීම නෙමෙයි කළ යුත්තේ.
අද ගෙවල් හදනවා. නමුත් එක පර්චස් එකක ගෙවල් හදලා හරියන්නෙ නැහැ. වර්ගඅඩි 300, 400 මුඩුක්කු ගෙවල් හදලා හරියන්නේ නැහැ. ජනතාවගේ දුප්පත්කම නැතිකරනවා මිසක්, දුප්පත්කමෙන් රැකගෙන ඉන්න එක නෙමෙයි අවශ්‍ය වන්නේ "යැයි පැවසීය.
Lanka Newsweek © 2024