Thursday 22nd of August 2019

English Tamil


උපතින් අබෞද්ධ ආලෝක ඇමතිගේ බෞද්ධ ආලෝක පූජාව..!


2019-07-18 6286

(නිලන්ති  චන්ද්‍රසේන) 

බෞද්ධ විහාරස්ථාන ඇතුළු රට පුරා සියලුම සර්වාගමික සිද්ධස්ථාන සඳහා නොමිලයේ විදුලි ආලෝකය ලබා දීමට විදුලිබල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා තීරණය කර තිබේ. 

උපතින් බෞද්ධයෙකු නොවුනත් ක්‍රියාවෙන් බෞද්ධයෙකු වීමට තමා ඇප කැප වී සිටින්නේ යැයි, කතරගම බෝධිරාජාරාමය විහාරස්ථානය විදුලිය ගාස්තුවෙන් නිදහස් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් රවී කරුණානායක මහතා පැවසිය. 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විදුලි බල, බල ශක්ති සහ ව්‍යාපාර සන්වර්ධන් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ ද කීය.

"අපි ජනතා නියෝජිතයෝ ව‍ශයෙන් පත්වෙලා සිටින්නේ ජනතාවට උදව් කරන්න මිසක් අපේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න නොවෙයි. අබෞද්ධයෙක් වුවත්, බෞද්ධාගම වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන්න මම බැදිලා ඉන්නවා. අපි කැපවෙලා සිටිනවා බෞද්ධ ධර්මය රට පුරා ප්‍රචලිත කරන්න. අපි මේ පුංචි ලංකාව ආදර්ශමත් රටක් බවට පත්කළ යුතුයි.

අද අපේ ජනතාව කෘතීමව තමයි ආගම අදහන්නේ. අද බහුතරයක් රූපවාහිනියෙන් තමයි බෞද්ධ ජීවිත ගත කරන්න හදන්නේ. මේ තත්ත්වය වෙනස් කරලා, ප්‍රායෝගීකව ආගමික ජීවිතයකට එළඹෙන්න පුළුවන්නම්, රටේ සහජීවනය තහවුරු කර ගෙන, ජනතාව තුළ තිබෙන අසහනකාරී තත්ත්වයන් නැති කරන්න පුළුවන්. බෞද්ධ රටක් වුවත්, කතෝලික, හින්දු, මුස්ලිම් යන පිරිස්වලටත් එකට ජීවත් වෙන්න බැරිද..?"

අද වෙලා තියෙන්නේ රජයේ නිලධාරීන් ගන්න තීන්දු, තීරණ නිසා අපි අසරණ වෙනවා. අපි ඇමතිවරු වශයෙන් යම් දෙයක් කරන්න තීන්දු කළත්, රජයේ නිලධාරීන් ඒ වෙනුවෙන් ගන්නා තීරණ නිසා අදාළ කාර්යයන් ඉටු කිරීමට පමා වෙනවා. ඔවුන් තුල තිබෙන්නේ වෙනම අධිෂ්ඨානයක්. මේ තත්ත්වය වෙනස් කරන එක ලෙහෙසි නැහැ. නමුත් අපි ඒ තත්ත්වයන් නිවැරදි කරගෙන ඉදිරියට යනවා.

අපි යම් දෙයක් සම්බන්ධයෙන් ඉලක්කයක් ගත්තොත්, ජනතාව වෙනුවෙන් කුමන බාධක මධ්‍යයේ වුවත් ඒ ඉලක්කය සපුරා ගැනීම සාක්ශාත් කරගන්නවා. ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ රටේ සියළු ආගමික ස්ථාන වල විදුලිය අවශ්‍යතා වෙනුවෙන් මිලියන 898 ක මුදලක් වැය කරනවා. මේ ආකාරයෙන් රටේ ආගමික ස්ථානවල විදුලිය වෙනුවෙන් වන වියදම්, පුනර්ජනනීය බල ශක්තියෙන් අවම කිරීමට හෝ නැති කිරීමට අපි කටයුතු කර ගෙන යනවා.

තවත් මාස දෙක තුනකික්  වැනි කෙටි කාලයකින්  අපට ඒ තත්ත්වයට ළගාවිය හැකියි. ඒ වෙද්දි අපිට රජයක් වශයෙන් සියලුම ආගමික ස්ථානවලට විදුලිය නොමියේ ලබාදීමට හැකිවේ යැයි බලාපොරොත්තු වෙනවා".

මේ අවස්ථාවේදී අදහස් දක්වමින්  දකුණු පළාත් ප්‍රධාන සංඝ නායක, අභිනවාරාමාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, කතරගම ශාසනාරක්ෂක, ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නා හිමිපාණන් වහන්සේ පවසා සිටියේ, රවී කරුණානායක අමාත්‍යවරයා යථාවාදී තථාකාරී ගුණයෙන් යුත් පාලකයෙක් බවයි.

මීට ප්‍රථම නොයෙක් අවස්ථාවල මෙම විහාරස්ථානයේ විදුලි බිල නිදහස් කර දෙන ලෙස නොයෙක් පුද්ගලයන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කළද මෙම කාර්යය ඉටු කර දීමට හැකි වුණේ රවී  කරුණානායක මහතාට බවත්, ඔහු නිරන්තරයෙන් බෞද්ධාගම කෙරෙහි දැඩි ඇල්මක් ඇතිව කටයුතු කරන සහ  සංඝයා වහන්සේ වෙත උපරිමයෙන් ගරු කටයුතුව ක්‍රියා කරන අමාත්‍යවරයෙකු  වන නිසා  ඔහු වැනි ශ්‍රේෂ්ඨ නායකයෙක්ට කෘතගුණ සැලකීමක් වශයෙන් සහ අනාගත පරපුරට දැන ගැනීම පිණිස මෙම විදුලිය බිල නිදහස් කරදීම ශිලා ලේඛනයක සටහන් කර තැබීමට ක්‍රියා කරන බවත් කපුගම සරණතිස්ස නා හිමියෝ වැඩි දුරටත් අවධාරණය කළහ.