Thursday 22nd of August 2019

English Tamil


"රාජපක්ෂ යුගයේ ආරම්භ කළ "බැටික්ලෝ කැම්පස්" සංහිඳියාවට බාධා කරන නීති විරෝධි එකක්"


2019-07-17 6466

(නායක බණ්ඩාර)

මඩකලපුව ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින "බැටික්ලෝ කැම්පස්" පෞද්ගලික අධ්‍යාපන ආයතනය, නීති විරෝධී මෙන්ම ජාතික සමඟියට හා සංහිඳියාවට බාධාවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කිරීම වෙනුවෙන් සිට පක්ෂ මූලසස්ථානයේ අද(17) පැවැති මාධ්‍ය හමුවක දී ජවිපෙ පාර්ලිමෙන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මේ අදහස් පලකළේය.

"බැටික්ලෝ කැම්පස්" පෞද්ගලික අධ්‍යාපන ආයතනය 2013 ජුනි මස 11වැනිදා “යුනිවර්සිටි කොලේජ් බැටිකොලෝ” ආයතනය නමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ, එනම් 2012 වසරේ ආරම්භ කර මේ දක්වා ක්‍රමාණුකූලව වර්ධනය වී ඇති බවත්, එය ආරම්භ කිරීමට අවසර ලබාගැනීමේ දී ඉදිරිපත් කළ අරමුණුවලට පටහැනිව මේ වනවිට ක්‍රියාකර ඇති බවත් මන්තීවරයා පෙන්වා දෙයි. 2013 ජුනි මස 11වැනිදා “යුනිවර්සිටි කොලේජ් බැටිකොලෝ” ආයතනය ආරම්භ කිරීමට තරුණ කටයුතු සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා 'හීරා' පදනම අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. එය අත්සන් කරනු ලැබුවේ එවකට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා හීරා පදනමේ හිස්බුල්ලා මන්ත්‍රීවරයා විසිනි.

2014 දෙසැම්බර් 10 වැනි දින ශ්‍රී ලංකා හීරා පදනම විසින් එම ආයතනය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ලියාපදිංචිය ලබාගෙන ඇත. 2016 මැයි 19වැනි දා එම ආයතනය ආරම්භ කිරීමට ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කර ඇත. නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ට නොමිලයේ වෘත්තීය පුහුණු පාඨමාලා ලබාදීමේ අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරන බව පවසා මහවැලි අධිකාරියෙන් කළ ඉල්ලීමකට අනුව 2013 ජූලි 24වැනි දා මඩකලපුව උතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අක්කර 35ක ඉඩමක් අක්කරයකට රුපියල් 14,340ක් බදු වශයෙන් අයකර ගැනීමේ පදනම යටතේ වසර 35ක කාලයකට හීරා පදනමට බදු දී තිබේ. පසුව 2016 මාර්තු මාසයේ සිට 2017 ජුනි මස දක්වා වසරක පමණ කාලයක් තුළ සෞදි අරාබියේ "අලි ෆාලී" නම් පදනමක් මගින් අවස්ථා 07කදී හීරා පදනමට රුපියල් කෝටි 360ක් ලබා දී තිබෙන බව නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මෙහි දී පෙන්වා දෙයි.

මෙහි දී ඒ පිළිබඳ තවදුරටත් කරුණු දැක්වූ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා...

මෙම බැටිකොලෝ කැම්පස් ආයතනය නීති විරෝධී ආයතනයක්. ඒ වගේම ජාතික සමගියට දැඩි බලපෑමක් එල්ල කරන ආයතනයක්. ඉඩම මිල දී ගැනීමේදී වංචා කොට තිබෙනවා. මෙම ඉඩම ලබාගැනීමේදී හීරා පදනම හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ නොමිලයේ වෘත්තීය පුහුණුව ලබාදෙන පොදු කටයුත්තක් සඳහා ඉදිකරන ආයතනයක් කියලා. නමුත් ඔවුන් ඉදිකරන්නේ මුදලට පාඨමාලා විකුණන ආයනතයක්. ඒ වගේම මහවැලි අධිකාරිය මෙම ඉඩම වෙන්කොට තිබුණේ සිද්ධපුර නගරය නම් ව්‍යාපෘතියක් සඳහායි. එම ව්‍යාපෘතිය නතර කොට තමයි මේ ඉඩම හීරා පදනමට ලබා දෙන්නේ. ඒ වගේම එවකට මහවැලි අධිකාරිය අයත් අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ඉඩම බැහැර කිරීමේ ක‍්‍රමවේදය ගැටලු සහගතයි.

අද වනවිට ලබාදුන් අක්කර 35ට අමතරව අක්කර 08ක පමණ නීති විරෝධී ගොඩනැගිලි ඉදිකර තිබෙන අතර තවත් අක්කර 15ක් නීතිවිරෝධී ලෙස හෙළි පෙහෙළි කර තිබෙනවා. ඒ වගේම මෙම බැටිකොලෝ කැම්පස් ආයතනය ගොඩනැගිලි සඳහා අදාළ ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබාගෙන නැහැ.බැටිකොලෝ කැම්පස් ආයනය ඉදිකළ ශ්‍රී ලංකා හීරා පදනම ලියාපදිංචියේ ගැටලු තිබෙනවා. 1980 අංක 31 දරන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ පනතට අනුව ශ්‍රී ලංකා හීරා පදනම හෝ හීරා පදනම ලියාපදිංචි කර නැහැ. ඒ වගේම මෙම ආයනයට මුදල් ලැබීම පිළිබඳව බරපතළ ප‍්‍රශ්න තිබෙනවා. සෞදි අරාබියෙන් මෙම මුදල ලැබුණේ ණයක්ද, ප‍්‍රදානයක්ද කියලා පැහැදිලි නැහැ.

මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී හිස්බුල්ලා මන්ත්‍රීවරයා මෙම මුදල ණයක් බව පිළිගත්තා. නමුත් එය ණය මුදලක් නම් බී.ඕ.අයි. ආයතනයේ අනුමැතියත් තිබිය යුතුයි. ඒ වගේම එම මුදලට අදාළ ණය ගිවිසුමක් නැහැ. ණයක් නම් ආපසු ගෙවිය යුතුයි. ඒ සඳහා ණය ලබාගැනීමේදී අනුගමනය කරන විදේශ ණය ගැනුම් ගිණුමක් ආරම්භ කොට නැහැ. මහ බැංකුවේ අවසරයක් නැහැ. ඒ නිසා මෙම ගනුදෙනුව පිළිබඳ හිස්බුල්ලාගේ ප‍්‍රකාශය පරස්පරයි.

එම නිසා මෙම බැටිකොලෝ කැම්පස් ආයතනය 2012 සිට ආයතනය ආරම්භ කිරීම සඳහා අවසර ලබාගැනීම්, බී.ඕ.අයි. ලියාපදිංචිය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් අවසර ලබාගැනීම, මහවැලි අධිකාරියෙන් ඉඩම ලබාගැනීම, ණය මුදල සඳහා ගිණුම් විවෘත කිරීම ගැටලුසහගත වන අතරම හිස්බුල්ලා මන්ත්‍රීවරයා එවකට ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු හෝ රාජ්‍ය ඇමතිවරයෙකුව හිඳිමින් ආණ්ඩුව සමඟ ගිවිසුම් අත්සන් කිරීම ළබැඳියාවන් අතර ගැටලුවක්ව තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි මෙම ආයතනයට මුදල් ලැබුණු ආකාරය, පාඨමාලාවන් සඳහා සෞදි අරාබියෙන් ආචාර්යවරුන් ගෙන්වාගැනීම දෙස බලද්දී මෙම ආයතනය රටේ ජාතික සමගියට බාධාවක් එල්ල කරන මූලධර්මවාදී විශ්වවිද්‍යාලයක් බවට පත්වීමේ ඉඩ තිබෙනවා. එම ආයතනයේ පාඨමාලා ලෙස ෂරියා නීතිය පිළිබඳ පාඨමාලා, ඉස්ලාම් බැංකුකරණය පිළිබඳ පාඨමාලා අන්තර්ගතවීම ඊට හේතුවයි. ඒ වගේම මෙවැනි ආයතනවලට අවසර ලබාගත් පසුව ආයතනයේ ක්‍රියාවලිය ප‍්‍රශ්න කිරීමට අපේ රටේ නීති ප‍්‍රමාණවත් නැහැ. එනිසා මේ පදනමින් දෙමළ ඩයස්පෝරාවටත් අවශ්‍ය නම් ලංකාව තුළ දෙමළ ජාතිවාදය පෝෂණය කිරීමේ පදනමින් උපාධි ප‍්‍රදානය කරන ආයතනයක් ස්ථාපිත කළ හැකියි. මෙම ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභාවන්වලදී ප‍්‍රශ්න කෙරුණා. ඒ වගේම කියන්න ඕනෑ, මෙම ආයතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ අප්‍රේල් 21 ප‍්‍රහාරයටත් කලින් සිටයි. මේ වසරේ මුල් කාලයේ සිටම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය කාරක සභාවේදී, කෝප් කමිටුවේදී විමර්ශනය කොට තිබෙනවා.

පාර්ලිමේන්තුවේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම බැටිකොලෝ කැම්පස් ආයතනයට අයත් සියලු වත්කම් රජයට පවරා ගන්නා ලෙසත් මෙම ආයතනය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වාගෙන යාමටත් නිර්දේශ ඉදිරිපත් කොට තිබෙනවා. ඒ වගේම මෙය ජාතික විශ්විද්‍යාලයක් බවට පත්කොට සහජීවනයේ විද්‍යා භූමියක් බවට පත්කළ යුතු බවට සියලු දෙනාගේ එකඟත්වයෙන් යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා. එසේ තිබියදී රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම ආයතනය සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත්කොට තිබෙනවා. ඒ සඳහා මලික් සමරවික‍්‍රම, මංගල සමරවීර, මනෝ ගනේෂන් සහ ලකී ජයවර්ධන සාමාජිකයින් ලෙස පත්කොට තිබෙනව.

මෙම කැබිනට් අනුකාරක සභාවේ සංයුතිය අනුව බොහෝ දුරට විසඳුම විය හැක්කේ මෙම ආයතනය හිස්බුල්ලාටම පවරා දී පෞද්ගලික උපාධි ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමයි. ඒ වගේම මෙම අනු කමිටුවේ ඉන්නේ මෙම ගැටලුවේ චූදිතයෝ. බැටිකොලෝ කැම්පස් ආයතනයට මුදල් ලැබුණු ආකාරය විමර්ශනය කළ යුතු මහ බැංකුවට වගකිව යුත්තේ මුදල් ඇමති මංගල සමරවීරයි. ඒ වගේම මෙහි අනෙකුත් පාර්ශ්වකරුවෙක් වන බී.ඕ.අයි. ආයතනය අයත්ව තිබෙන්නේ මලික් සමරවික‍්‍රමගේ අමාත්‍යාංශයටයි. එනිසා මංගල සමරවීරත් මලික් සමරවික‍්‍රමත් රනිල්ගේ වුවමනාව ඉටුකරන බවට කිසිදු සැකයක් නැහැ. රනිල්, මලික්, මංගල තුන් බෑ ජටිලයන් ඩොලර් මිලියන 100ක් එනවා කිවුවොත් ඕනෑම දෙයක් කරන්න බලාගෙන ඉන්න පුද්ගලයන් තිදෙනෙක්.

අපේ රට කුණු ගොඩක් කරන්න පිඹුරුපත් සකසන්නේ මේ ජටිලයන් තුන් දෙනා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්න ව්‍යාපෘතිය හදන්නේ මේ ජටිලයන් තුන් දෙනා. චීනයට හම්බන්තොට වරාය විකිණීමේ ව්‍යාපෘතියේ හිටියේ මේ ජටිලයන් තුන් දෙනා. ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමේ ව්‍යාපෘතියේ ඉන්නේ මේ ජටිලයන් තුන් දෙනා. ආයෝජකයන් අපේ රටට එන්නේ නැතිවෙයි කියලා බොරු භීතියක් හදලා බැටිකොලෝ කැම්පස් ආයතනය හිස්බුල්ලාටම පවරා දීමට තමයි මොවුන්ගේ උත්සාහය වෙලා තියෙන්නේ.

එනිසා මෙම බැටිකොලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් ඉල්ලා සිටීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට තිබෙනවා. ඒ වගේම එම ආයතනය රජයට පවරා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති නීතිමය තත්වය පිළිබඳව අපි උපදෙස් ලබාගනිමින් ඉන්නවා. ඒ වගේම එම ආයතනය රජයට පවරා ගැනීම සඳහා ආණ්ඩුවට බලපෑම් කරන අරගල අපේ රටේ විශ්විවද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ව්‍යාපාරය සමග එක්වී දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම ආයතනය ඉදිකිරීම සඳහා හිස්බුල්ලා විසින් හේතුව ලෙස සඳහන් කළ නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් වෙනුවෙන් නොමිලයේ අධ්‍යාපන පාඨමාලා ලබාදෙනවා යන්න සැබෑ වුවමනාව නම් මෙය රජයට පවරා දී ඒ සඳහා අවස්ථාව උදාකර දීමට කටයුතු කරන ලෙස හිස්බුල්ලා මන්ත්‍රීවරයාට අපි කියා සිටිනවා.”