Monday 14th of October 2019

English Tamil
Advertiesment


‘ඛේමාගේ කොලුවා’ සහ ‘හේමාගේ කොලුවා’


2019-07-15 2447

(ටිරන් කුමාර බංගගමආරච්චි) 

මංගල සමරවීරගේ දේශපාලන දිවියට තිස් වසරකි. එය සැමරෙන්නේ ඔහු ගැන ලියූ ‘ඛේමාගේ කොලුවා’ පොත පාදක කරගෙනය. ඒ දකුණේදීය. එදා පොත ඛේමාගේ කොලුවාගේ වුවත් කතාබහ නම් හේමාගේ කොලුවා ගැනය. ඒ ඛේමාගේ කොලුවා හේමාගේ කොලුවා කරට ගෙන ඇති නිසාය.

මංගල සමරවීර යනු නියම දේශපාලන නූල් සූත්තරකාරයෙකි. දේශපාලනයේ සිටින දකුණේ හොඳ කට්ටඩියෙකි. බොහෝ අය ඔහුව දකින්නේ නූතන දේශපාලන චරිතයක් විදිහටය. මෝස්තර නිරූපණයට උපාධි ලබා ඇති මංගල මේ රටේ එක්තරා පන්තියක් තම මෝස්තරවලට හසු කරගෙන ඇත. ඒ නිසා එක් පිරිසකට මංගල මහා විරුවෙකි. එහෙත් එය ඇත්තක්ද? මංගල දේශපාලනය තුළ කළ පෙරළියක් වේද? මංගල දේශපාලනිකව ආමන්ත්‍රණය කළ පන්තියක් විය. ඒ පන්තියත් මංගල පන්නයේම මෝස්තරකාරයන්ය. ඔවුන්ට මංගල කුමක් කීවද එය මහා විප්ලවයක් බඳුය. අපට නම් මංගල කාලෙන් කාලයට කියන කතා කාලය කා දමන්නට හොඳ අතුරුපස විනා ගතයුත්තක් නොවේය. මංගල ගැන තව බොහෝ දේ ලිවිය හැකිමුත් මේ ලිපියේ අරමුණ මංගල ගැනම ලිවීම නොවේ. ඒ නිසා මංගල ගැන ටික ටික කතා කරමු. මේ ඛේමාගේ කොලුවා තමාගේ දේශපාලන අවසානය ගැන කතා කරන්නේ හේමාගේ කොලුවාගේ දේශපාලනයේ උපරිම සන්ධිස්ථානයට ගෙන එන බවද කියමිනි.

තමා ලබන මහ මැතිවරණයට තරග කර ඉන්පසු දේශපාලනයෙන් සමුගන්නා බව කියන මංගල දැන් උපරිම උත්සාහ කරන්නේ සජිත් ප්‍රේමදාසව ජනාධිපති කරන්නටය. දේශපාලන කෛරාටිකයකු වන මංගල චන්ද්‍රිකාට උදව් කර ඉන්පසු චන්ද්‍රිකා මත්තේම හිඳ චන්ද්‍රිකාව පැත්තකට කර මහින්දව තෝරා ගත්තේ ඇයි? මහින්දට ආදරයටද? ඔහුගේ දේශපාලන ගමන හදා ගන්නටය. මංගලටත් තමා ඉන්නා තැන මුදුනා වීමේ ආශාවක් ඇත. ඒ සඳහා ඔහුට හොඳම වටිනාම ඇමතිකම් වුවමනාය. ඔහු දැරූ ඇමතිකම් දෙස බලන කල ඔහු ආණ්ඩුවේ ඇති ඉහළම තනතුරු හොබවා ඇත. මේවා ලැබෙන්නේ ඔහු වැඩකරුවකු නිසා නොව, දේශපාලනිකව අංකූරකු වන නිසාය.

මහින්ද දිනවන වැඬේට බහින මංගල වරාය ඇතුළුව අමාත්‍යාංශ ගණනාවක හිමිකරුවකු විය. මහින්දගෙන් ගැලවී රනිල් ළඟට යන මංගල රනිල් දිනවා විදේශ කටයුතු ඇමති විය. දැන් මුදල් ඇමති වී ඇත. දැන් ඔහුට රනිල්ගෙන් තව ගන්නට දෙයක් නැත. ඔහුට දැන් අගමැති සිහිනය ඇතිවීද? අපගේ හැඟීම නැත යන්නය. ඔහු ඊට වඩා සූත්තරකාරයෙකි. ඒ සඳහා ගෝඨා සමග ගොස් වැඩක් නැත. රනිල් සමග හිඳීමෙන් ද පළක් නැත. ඊට වෙනම පන්නයේ අශ්වයකු සොයා ගත යුතුය. දියවන්නා ඔය තරණය කළ හැකි අශ්වයකු වුවමනාය. ඒ අනුව මංගලගේ තේරීම සජිත්ය. මීට පෙරද ඔහු සජිත්ව ඉදිරියට ගෙන ආ යුතුයැයි කතා කළේය.

ඒ රනිල් සමග සුහදවය. ඒත් දැන් තත්ත්වය වෙනස්ය. රනිල් කැමති වුවද අකමැති වුවද මංගලට වුවමනා සජිත් ජනපති කිරීමය. සජිත් යනු සිරිසේන පන්නයේම බඩුවකි. අමතක නොකළයුත්තේ මංගල යනු රනිල් පන්නයේම බඩුවක් බවය. එසේ නම් මංගල සජිත්ව තෝර ගන්නේ අත ලෙව කන්නට නොවේය. මංගල සජීත් කරට ගත් කල එජාපය හෙළවෙන්නේ ඇයි? මංගල දේශපාලනිකව නියම කට්ටඩියකු නිසාය. කට්ටඩියන්ට මිනිස්සු බයය. මේ සංස්කෘතියේ හැටි එසේය. සජිත්ගේ සූදානම මීට පෙර බොහෝ පිරිස් සජිත්ව කරළියට තල්ලු කළද, සජිත් සූක්ෂ්මව ඒ අය බිල්ලට දී ඇඟ බේරා ගත්තේය. ආශාව සජිත්ගේ වුවත් අන් අය පෙනී සිටියේ ඔහු වෙනුවෙන් වුවත් සජිත් කළේ තමා වෙනම පන්නයේ අමුතු චරිතයක් බව පෙන්වීමය. එජාපයේ පිරිස් ඔහු වෙනුවෙන් හිස දන් දෙද්දී මුනිවත රැකි සජිත් මංගල ඔහුව කරට ගත් සැණින් වීරයා වී ඇත. දැන් ගෝඨාභය මැතිරූ මන්තරයම සජිත්ද මතුරන්නට පටන් ගෙනය. එනම් තමාද සූදානම් බවය. දැන් ගෝඨාත් ජනතාව වෙනුවෙන් සූදානම්ය. සජිත් ද ජනතාව වෙනුවෙන් සූදානම්ය. මේ අය නොදන්නා කරුණ නම් තවමත් ජනතාව මේ අය වෙනුවෙන් සූදානම් නැති බවය.

මේ මොහොතේ සියල්ල කරන්නේ ඒ ඒ බල කඳවුරුය. ගෝඨා ජනතාවට වැඩ කරන්නට එන්නේ යැයි කීවද ජනතාව අවංකව ගෝඨාව ඉල්ලුවේද? සජිත්ව ඉල්ලුවේද? ඇත්තටම මේ තවමත් නිකම්ම නිකම් කතාය. ගෝඨා තදින්ම ඉල්ලනුයේ ගම්මන්පිල සහ විමල්ය. මේ ඡන්ද බලයක් ඇති අයද? සජිත් ඉල්ලනුයේ මංගලය. මංගලට මහා දේශපාලන හයියක් ඇත්ද? එසේ නම් මේ අයට එලෙස නම් කරන්නට පුළුවන් වන්නේ කෙසේද? ඔවුන් මහා කෙරුමන් බව ඔවුන් සිතන නිසා මෙන්ම ඔවුන් වටා යටිනූල් සූත්තර ක්‍රියාත්මක වන නිසාය. මේ අයට ඡන්ද පදනමක් නැති වුවද ඡන්ද පදනම ඇති ඉහළ ඔළුගෙඩි මේ අය පාවිච්චි කරනු ලබයි. මේ අය පෙනී සිටින අයය. එතනදී මංගලගේ හයියටද තව බොහෝ ප්‍රබල චරිත සිටිය හැකිය.

රනිල්ගේ දකුණු අත වූ මලික් සමරවික්‍රම අද ඉන්නේ සජිත් පැත්තේය. ඒ ආකාරයට තව බොහෝ අය මංගලට ශක්තිය සපයනවා ඇත. එය හරියට තහවුරු නොවන්න සජිත් තමා සූදානම් බව කියන්නේ නැත. සජිත් තරම් ඇඟ බේරාගෙන දේශපාලනය කරන පතෝල චරිතයක් තවත් නොවේ. ඔහු අද සූදානම් කියන්නේ මෙතෙක් කල් ඔහුව සූදානම් කළ මහරාජා දැන් හරි කිව් නිසාද විය හැකිය. මහරාජාට සජිත්ව රජ කරන්නට වුවමනා වූයේ අද ඊයේ නොවේ. එහෙත් එජාපයේ රජු රනිල් ඉද්දී එය කිරීම ලේසි නැත. දැන් සැවොම බලන්නේ රනිල්ට වටකර පහර දී බලෙන් රජකම ගන්නටය. රනිල්ගෙන් ඉල්ලා නම් ගන්නට බැරිය. එසේ නම් දැන් වැඬේ බලෙන් කෙරෙන තැනට තල්ලු වී ඇත. ඊට කුරුඳුපොලුකාරයා නියම මැරයෙකි. රනිල්ට බැහැයි කීවේ පුළුවන් නිසා යැයි පන්නයේ ගොබ්බ කතා කියන මංගලම හෙට රනිල්ට බැහැයි කීවේ බැරිම නිසා යැයිද කිව හැකිය. ප්‍රශ්නය රනිල්ට බැරිනම් සජිත්ට පුළුවන්ද යන්නය.

කුකුල් කූඩු අටවමින් රට වටා යන සජිත්ට ඒ කුඩා ගේ කෑල්ලට එහා දැක්මක් වේද? ලෝකය එකම යායක් වන තැනක සජිත් වැන්නකු රටේ නායකයා කොට අපට සිටින්නට වනුයේ, පුංචිම පැලකය. එවිට ශ්‍රී ලංකාව ‘සජිතගම’ විය හැකිය. සජිත් මේ තරම් නිර්භීත වූයේ මංගල හයියට ආ නිසාම නොව, ඊට වඩා විරුවකු ඔහුට හමුවූ නිසාය. ඒ ඔහු පන්නයේම මහරාජා ගැත්තකු වන ජනපති සිරිසේන නිසාය. පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේදී ජනපති සිරිසේන අපූරු ප්‍රකාශයක් කළේය. තමන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, එජාපයෙන් තරුණ ජවයක් සහිත අපේක්ෂකයෙක් ඉදිරිපත් වන්නේ නම් තමන් සහය දක්වන බවත් එම ප්‍රකාශය විය. දැන් අප සලකා බැලිය යුත්තේ ජනපති සිරිසේන එසේ කීවේ කවුරුන් ගැනද යන්නය. ඒ සජිත් බව ඕනෑම පහේ පන්තියේ ළමයකුට වුව වැටහෙනු ඇත. එසේ නම් එහෙව් කී සිරිසේන නැවතත් බලයට එන්නට වලිකනුයේ ඇයි? ඔහු සජිත්ට දුන්නේ බොරු පොරොන්දුවක්ද? පොහොට්ටුව එකතු වුවහොත් එහෙමය. නැතහොත් ඒත් එහෙමය. එලෙස එඩිතරව සිරිසේනට සිටිය හැක්කේ කෙසේද? ඒ වෙන කිසිවක් නිසා නොව සජිත් සිටින නිසාය. සජිත්ගේ සහයට මංගල එන්නේත් සිරිසේනගේ කතාවේම දිගුවක් ලෙස විය හැකිය. බොහෝ දුරට එකතු විය හැක්කේ සිරිසේන සහ සජිත්ය. දැන් සජිත්ටද රනිල් එකතු වුවත් එකය. නැතත් එකය. ඔහු සූදානම් කීවේ මේ හයිය නිසාය.

ඔහුට එජාපයේ කොටසක් ගලවා ගැනීම අපහසු නැත. එයට ශ්‍රී ලංකා කොටස රැක ගනිමින් පොහොට්ටුවේ අයද ඩැහැ ගන්නට මංගල සියලු කපුකම් කරනු ඇත. මංගල සජිත් කර තබා ගත්තේ නිකං නොවේ. එසේ නම් ජනපති සිරිසේන, සජිත් අගමැතිද? අවුරුදු ගණනාවක් සජිත්ට නියත විවරණ දී ඔහුව රැකගත් සිරස හි මහරාජා රනිල් අල්ලා ගන්නට කොතෙක් දත කෑවද රනිල් අහු නොවීය. ඉන්පසු රනිල්ට එලව එලවා ගහන්නට විය. ඉන්පසු සිරිසේනව දැලට බා ගත්තේය. අද සිරිසේනද සජිත් මෙන්ම මහරාජාගේ දැලේය. අද සිරිසේන ළඟ සිටින ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න හෙට සජිත්ට සහය නොදේද? එසේ නම් සිරිසේන ළඟ හිඳිමින් සජිත්ට සහය දෙන්නේ ඇයි? මේ ඔක්කොම එකම පිලක් නිසාය. රනිල් අසරණවීම දේශපාලනිකව මේ මොහොතේ රනිල් අසරණය. හැමදාම ඔහු ඉහළින්ම ඔසවා තැබූ අය අවසානයේ එළියට බහින්නේ රනිල්ට පයින් ගහගෙනය. මිලින්ද මොරගොඩ කළේ එයය. රනිල් අදටත් මිලින්ද කිසිවකට ළංකර නොගනී. තිස්ස අත්තනායක තවකෙකි. දැන් අලුත්ම චරිතය මලික්ය. එසේ නම් දැන් රනිල්ට ඇති එකම ගැලවුම කරුය. ර

නිල් කවදාවත් සජිත්ට කැමති නැත. අද රනිල්ගෙන් බලය ගන්න බැරි යම් සේ ද එසේම හෙට සජිත්ට බලය දුන්නද එසේමය. සජිත් යනු සිරිසේන පන්නයේ කෙනෙකි. ඒ නිසාම දරුණු වැඩිය. ප්‍රේමදාස කොතරම් දරුණු කෙනෙක් වුවත් එකල ඔහු වටා සිටියේ උගත් දක්ෂ පිරිස්ය. අද රනිල් ජේ.ආර්.ට වඩා කපටියකු වුවත් සිරිසේන ඊට වඩා විනාශකාරයෙකි. සජිත් මෙතෙක් රනිල්ට තිබූ බය අත්හැරියේ සිරිසේන නිසාය. එසේ නම් සජිත්ට ගැළපෙන නායකයා රනිල්ට වඩා සිරිසේනය. රනිල්ට වුව මොන හේතු මත හෝ සජිත්ට වඩා කරු සමග හිටගත හැකිය. කරු ජනපති කොට රනිල් නැවත අගමැති වන්නේ නම් කරුව කර තබාගෙන සිටින පිරිස ඊට කැමති වේද? ඔවුන් ඒ සඳහා රනිල් වෙනුවට චම්පික බලාපොරොත්තු වේද?

දැන් අසරණම වී ඇත්තේ රනිල්ය. රනිල් මෙන්ම මහින්දද අසරණය. ඒ අය ජනතා ප්‍රසාදය දිනාගෙන වඩා ගත් ජනප්‍රියත්වය දැන් ගේම්වලින් විනාශ වන්නේය. එදා මේ දෙපළ ගේම් ගැහැව්වේ බලය ඇතිවය. දැන් බලය නැතිව වුව ගේම් ගැසිය හැකිය. ඒ බව ඔප්පු වී හමාරය. විමල්ලා, මංගලලා කෙරුමන් වන්නේත් පුරවැසි සංවිධාන පවා බලපුළුවන්කාරයන් වන්නේ මේ නිසාය. දැන් එකාට එකා කුළල් කා ගන්නා හිරිකිත දේශපාලනය උපරිම ලෙස වර්ධනය වී ඇත. හැමදෙනාම කරන්නේ තක්කඩිකමකි. හැමට වුවමනා බලයය. ඒ ඒ අයට උදව් කරන අයටත් වුවමනා බලයය. පිරිසක් කරු කරගහ ගත්තේද? මංගල සජිත් කරතබා ගත්තේද? තව පිරිසක් ගෝඨාව කරට ගත්තේද ඒ ඒ අයගේ වාසිවලටය. ඉලක්කවලටය. මේ කිසිවෙක් රටේ ජනතාවගේ අවශ්‍යතා සඳහා කැපවූවන්ද? එසේ නම් දැන් ජනතාව මේ හොර රැළෙන් මිදී විකල්ප සෙවිය යුතු නැද්ද?

එයට විසඳුම ජවිපෙ සමග පාර දිගේ යෑමද? ජවිපෙ විකල්පයත් දැන් කල් ඉකුත් වී හමාරය. දැන් සැබැවින්ම නියම අවශ්‍යතාවක් ඇති මොහොතකි. නියම ක්‍රමවේදයක් ඇති කරගත හැකි මොහොතකි. එහෙත් ලේසි නැත්තේ ජනතාවත් මේ දේශපාලන ගේම් එකට පුදුම විදිහට ප්‍රිය කිරීමය. එහි කොටස්කාරයන් වීමට ආශා කිරීමය. දැන් අපි කොළපාට, අපි නිල්, අපි රතු කියාම කියන පිරිස හරි අඩුය. දැන් ඇත්තේ පාට පාට සමාජයකි. ඒ නිසා පාට මිශ්‍ර වන තරමට වාසිය. ඒ නිසා පාවාදීමේ, යටි කූට්ටු ගේම් ගැසීමේ හැර අලුත් දේශපාලන විකල්ප නැත. එය අලුත් විය හැක්කේ මේ වසරින් පසුවය. ඒ එන කෙනා කවුරු වුව එතැන් සිට නැවත දේශපාලනයට අලුත් ඉරක් ගසාගත හැකි බැවිනි. මන්ද 2015 යහපාලනය මෙරට දේශපාලනය විකෘතියක් කළ බැවිනි.

දැන් ඒ විකෘතියෙන් මිදෙන්නට නම් විකෘතියේ එක් කොටස්කාරයකු හමුවූ පසු ඔහු සමග සටන් කළ යුතුව ඇත. දැන් සිදුව ඇත්තේ හැම සමග සටන් කරන්නටය. ඒ නිසා ජනතාවට හොඳ නරක තෝරා බේරා ගන්නට නොහැකි වී ඇත. සිරස බලන කල සජිත් හොඳය. රනිල් වැරදිය. දෙරණ බලන කල රාජපක්ෂලා හොඳය. එජාපය වැරදිය. හිරුත් එසේමය. රූපවාහිනිය හැමදා ඇති එක සමගය. එසේ නම් මේ අතරමංවීම සුළු නැත. එයට විකල්ප සෙවීම ආරම්භ කළ හැක්කේ රේස් එක දුවන්නට ඉඩදී ඉන් අනතුරුවය. එසේ නොවන තාක් අපි සැම කාගේ හෝ උගුලක පැටලෙනු ඇත. ඒ රනිල් මහින්ද සිරිසේන කරු ගෝඨා චම්පික කවුරු හෝ විය හැකිය.

මේ දවස්වල හැම වේදිකාවකම කෑගසන්නේ කවුරු හෝ වෙනුවෙනි. ඛේමාගේ කොලුවා හේමාගේ කොලුවට දරදිය අදින්නේ හොඳ කැඳ හැලියක් හදන්නට බව පැහැදිලිය. තවම ඇත්තේ මල් වෙඩිය. උඩ බලාගෙන සිටිනවා හැර එහි ලස්සන බිම බලාගෙන විඳිය හැකිද? මල්වෙඩි බොහෝ අයට පේනමුත් යවන්නේ එකෙකු දෙන්නෙකි හෝ කිහිප දෙනෙකි.

සැමට එළිපිට නටන්නට අවස්ථාවක් ළඟදීම එනු ඇත. එතෙක් ජයග්‍රාහකයන් තෝරන්නට වෙහෙසනු ඇයි? කල්තියා ඔට්ටු ඇල්ලිය නොහැක්කේ මේ තරගවල අශ්වයා අතහැර ජොකියාද දුවන අවස්ථා උදාවිය හැකි බැවිනි.

 

(රාවය)

Advertiesment