Thursday 22nd of August 2019

English Tamil


මාසික ශුද්ධිය ඇති ඉන්දියානු කාන්තාවන් ගර්භාෂ ඉවත් කරන්නේ ඇයි..?


2019-07-15 1239

කාන්තාවන් රැකියාවේ යෙදීම සහ ආර්තවය හෙවත් මාසික ශුද්ධිය සම්බන්ධයෙන් ඉතා සෝචනීය පුවත් කිහිපයක් ගැන ඉන්දියාවෙන් අසන්නට ලැබිණි.

කාන්තාවන්ගේ ආර්තවය වර්තමානයේදී පවා ඉන්දියාව තුළ ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකාවකි. මාසික ශුද්ධිය පවතින කාලය ඇතුළත කාන්තාවන් අපිරිසිදු යැයි සැලකෙන අතර, ආගමික සහ සමාජීය ක්‍රියාකාරකම්වලට සහභාගි වීමට අවසර නොදෙයි. මෑතකදී හෙළිවූ වාර්තා දෙකකින් කියවුණේ, ආර්තවය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ඇති වැරදි ආකල්ප තවදුරටත් පවතින බවය.

අඩු ආදායම්ලාභී පවුල්වලට අයත්, අධ්‍යාපනයක් නොලද කාන්තාවන් බොහෝ දෙනෙකුට සිය සෞඛ්‍ය තත්ත්වයට දීර්ඝ කාලීනව බලාපාන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වීමට බලපෑම් කෙරෙන බවය. ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇති මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තරුණියන් දහස් ගණනක් පසුගිය වසර තුන ඇතුළත සිය ගර්භාෂය ඉවත් කර ගැනීමේ සැත්කම්වලට ලක්වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම සැත්කමට ලක්වූවන්ගෙන් බොහෝ දෙනා උක් කැපීමේ රැකියාවේ නිරත වූ කාන්තාවෝ වූහ. අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් දහස් ගණනක පිරිසක් සෑම වසරකදී ම බීඩ්, ඔස්මානාබාද්, සංග්ලි සහ සොලාපූර් යන ප්‍රදේශවල සිට ප්‍රාන්තය තුළ වැඩි රැකියා අවස්ථා ඇති බටහිර ප්‍රදේශවලට පැමිණෙනු දැකිය හැකිය. එම ප්‍රදේශ හඳුන්වන්නේ "සීනි තීරය" නමින් වන අතර එහි පිහිටි උක් යායවල මාස හයක කාලයක් "උක් කපන්නන්" ලෙස රැකියාවේ යෙදෙති.

රැකියාවට ගිය පසු අතිශය කෑදර සේවා කොන්ත්‍රාත්කරුවන්ගේ පාලනයට යටත් වන අතර, සෑම ආකාරයකින් ම ඔවුහු සූරා කෑමට ලක් වෙති. උක් කැපීම ඉතා බරපතළ කාර්යයක් බැවින් ඊට කාන්තාවන් බඳවා ගැනීමට කොන්ත්‍රාත්කරුවෝ මුලදී මැලි වූහ. මාසික ශුද්ධිය අතරේදී කාන්තාවන්ට දිනක් හෝ දෙකක් රැකියාවට ඒමට නොහැකි වේ. එසේ වූ විට ඔවුහු දඩ මුදලකට ද යටත් කෙරෙති. එම වගාබිම් පුද්ගලයන්ට දිවි ගෙවීමට සුදුසු මට්ටමක නොපවතී. සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ අය වගාබිම්වලට ආසන්නයේ පිහිටා ඇති කූඩාරම්වල දිවි ගෙවන අතර, වැසිකිළි පහසුකම් ද නොමැත. එමෙන් ම, සමහර අවස්ථාවලදී රාත්‍රී කාලයේදී පවා අස්වැන්න නෙළන අතර, නිදා ගැනීමට හෝ අවදි වීමට නියමිත කාලයක් නොමැත. ඒ අතර, මාසික ශුද්ධිය කාලය අතරතුර කාන්තාවන්ට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ.

අපිරිසිදු බව නිසා කාන්තාවන්ට බොහෝ ලෙඩ රෝගවලට ද මුහුණ දීමට සිදු වේ. රෝගවලට ප්‍රතිකාර කරන, ආචාරධර්මවලට පටහැනි වෛද්‍යවරුන්, ඖෂධවලින් පාලනය කළ හැකි මට්ටමේ නාරි සහ ප්‍රසව රෝගවලට පවා අනවශ්‍ය සැත්කම් කිරීමට අදාළ කාන්තාවන් පොළඹවන බව ක්‍රියාකාරීහු පවසති. සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ අය වගාබිම්වලට ආසන්නයේ පිහිටා ඇති කූඩාරම්වල දිවි ගෙවන අතර, වැසිකිළි පහසුකම් නොමැත රැකියාවේ නිරත කාන්තාවන් අතරින් බොහෝ දෙනා ඉතා තරුණ අවධියේ විවාහ වූ අය වන අතර ඉනුත් බොහොමයක් වයස විසිගණන්වල මැද භාගය වන විට දරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු ලබා සිටියහ.

ගර්භාෂ ඉවත් කිරීමෙන් ඇති විය හැකි විපාක ගැන වෛද්‍යවරුන් ඔවුන් දැනුවත් කර නොමැති නිසා, එය සුදුසු ක්‍රියාවක් ලෙස ඔවුහු සලකති. මේ හේතුව නිසා ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් "ගර්භාෂ නොමැති කාන්තාවන්ගේ ගම්" බවට පත් වී තිබේ. ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරියක වන නීලම් ගොර්හේ මෙම ගැටලුව පසුගිය මස ප්‍රාන්ත සභා රැස්වීමට ඉදිරිපත් කළ විට, මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත සෞඛ්‍ය ඇමති එක්නාත් ෂින්දේ පැවසුවේ වසර තුනක් ඇතුළත 'බීඩ්' දිස්ත්‍රික්කයේ පමණක් ගර්භාෂ ඉවත් කිරීමේ සැත්කම් 4,605ක් සිදු කර ඇති බවය. නමුත්, සැත්කම්වලට භාජනය වූ සියලු කාන්තාවන් උක් වගාබිම්වල රැකියාවේ යෙදෙන අය නොවන බව ද ඔහු පැවසීය.

මේ අතරින් සිදුවීම් කිහිපයක් ගැන පරීක්ෂණ පැවැත්වීමට කමිටුවක් පත් කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. බීඩ් දිස්ත්‍රික්කයේ ගම්මානයක් වන 'වන්ජාවාඩි' ගම්මානයේ  සෑම වසරක ම ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලයේ ගම්මානයේ පදිංචිකරුවන්ගෙන් 80%ක් පමණ උක් වගාබිම්වල රැකියාව සඳහා සංක්‍රමණය වන වෙයි. එම ගම්මානයේ කාන්තාවන්ගෙන් අඩක් ගර්භාෂය ඉවත් කර ඇති බව ඇය වාර්තා කළාය. ඔවුන්ගෙන් වැඩි දෙනා වයස හතළිහට අඩු අතර, අනෙක් අය තවමත් විසි වන විය පසු කරමින් සිටිති.  කාන්තාවන් බොහෝ දෙනෙකු සැත්කම සිදු කිරීමෙන් පසු තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූ බව පවසා පවසයි.එක් කාන්තාවක් ප්‍රකාශ කළේ, ඇය උදෑසන නින්දෙන් අවදි වන විට "දෑත්, මුහුණ සහ යටි පතුල් ඉදිමී" තිබෙනු දකින බව ද පවසුවාය.

තවත් කාන්තාවක් පැවසුවේ ඇයට නිතර "ක්ලාන්ත ගතියක්" දැනෙන අතර, කෙටි දුරක් පවා ඇවිද යාමට අපහසු බවය. ඒ අනුව, ඔවුන් දෙදෙනාට ම වගාබිම්වල රැකියාවේ නිරත වීමට නොහැකි වී තිබේ. තමිල්නාඩුවෙන් ද මේ හා සමාන පුවතක් අසන්නට ලැබිණි. එහි ඩොලර් බිලියන ගණනක් වටිනා ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත කාන්තාවන් චෝදනා කරන්නේ මාසික ශුද්ධිය නිසා ඇති වන වේදනාවට නිවාඩුවක් ලබා දීම වෙනුවට තමන්ට ලේබලයක් නොමැති ඖෂධ ලබා දී තිබෙන බවය.

ඇඟළුම් කර්මාන්තශාලාවල රැකියාවේ නිරත කාන්තාවන්ට ලේබලයක් නොමැති ඖෂධ ලබා දී තිබෙන බව වාර්තා වේ එවැනි කාන්තාවන් 100 දෙනෙකු පමණ සමග කළ සාකච්ඡා පදනම්ව, තොම්සන් රොයිටර්ස් පදනම මේ බව හෙළි කර තිබේ. දුගී පවුල්වල කාන්තාවන් වූ ඔවුන් සියලු දෙනා ම පවසා ඇත්තේ මාසික ශුද්ධියේ වේදනාව මත තමන්ට දෛනික වැටුප අහිමි කර ගත නොහැකි බවය. තමන්ට යම් ඖෂධයක් ලැබුණු බව කී ඔවුන්ගෙන් අඩක් ම පවසා ඇත්තේ මේ ඖෂධ හේතුවෙන් තමන් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑ බවකි. ඔවුන් බොහෝ දෙනෙකුට ඖෂධවල නම් හෝ ඒවායේ අතුරු ප්‍රතිඵල ගැන අනතුරු ඇඟවීම් කර නොමැත.

මානසික ආතතිය, කාංසාව, මුත්‍රා මාර්ගයේ ආසාදන, ගර්භාෂයේ ගෙඩි මෙන් ම ගබ්සා වීම ඇතුළු සෞඛ්‍ය ගැටලු බොහොමයකට මෙම පෙති වර්ග හේතු වන බවට ඔවුහු චෝදනා කරති.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කාන්තාවන්ගේ තත්ත්වය "ඉතා අභාග්‍යසම්පන්න සහ දුක්ඛිත" බව ජාතික කාන්තා කොමිසම දන්වා තිබෙන අතර, ඉදිරියේදී මෙවැනි දේ සිදු වීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රාන්ත රජයෙන් ඉල්ලා තිබේ. තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ද ඇඟළුම් සේවකයන්ගේ සෞඛ්‍ය ගැන සොයා බලන බව පවසා ඇත. ලෝකය පුරා රැකියා සඳහා කාන්තා දායකත්වය වැඩි කිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින අවදියක මෙම වාර්තාව නිකුත් වී තිබේ.

ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් "ගර්භාෂ නොමැති කාන්තාවන්ගේ ගම්" බවට පත් වී තිබේ 2005-06 වසරවල 36%ක් ලෙස තිබූ රැකියාවේ නිරත ඉන්දියානු කාන්තාවන්ගේ ප්‍රතිශතය 2015-16 වසරවල 25.8% දක්වා පහත වැටී තිබේ. කාන්තාවන් මුහුණ දෙන දුක්ඛිත තත්ත්වය මෙයට හේතුව බව වටහා ගැනීමට අපහසු නොවේ. ඉන්දුනීසියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු තවත් රටවල් කිහිපයක කාන්තාවන්ගේ මාසික ශුද්ධිය කාලය තුළ නිවාඩුවක් ලබා දීමට ක්‍රියා කරති. බොහෝ පෞද්ගලික ආයතන ද කාන්තාවන්ට මේ හා සමාන සහනයක් ලබා දෙන්නේය. "ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත ආණ්ඩුව සේවිකාවන්ට සෑම මාසයක ම මාසික ශුද්ධිය කාලයේදී අමතර දවස් දෙකක් නිවාඩු දෙනවා. මේ ක්‍රමය 1992 ඉදන් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා," යැයි ඉන්දියානු ආණ්ඩුවේ සමාජ ප්‍රතිපත්ති විශේෂඥවරියක වන ඌර්වශී ප්‍රසාද් පැවසීය.

මේ අතර, සෑම කාන්තාවකට ම මාසික ශුද්ධිය කාලය අතරතුර දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතු බව සඳහන් කරමින් පසුගිය වසරේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරියක කටයුතු කළාය.

 

(BBC සිංහල සේවය)