Monday 14th of October 2019

English Tamil
Advertiesment


දැන් මතකද..! ඉරණවිල ඇමරිකානු හඬ..?


2019-07-13 3039

"සෝෆා " ගිවිසුමට විපක්ෂය විරුද්ධ ඇයි..?

 

ඇමරිකානු විරෝධයෙන් එදා ඡන්ද දිනුව හැටි..!

 

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

1998 දෙසැම්බර් 23 "ඉන්ටර් ප්‍රෙස් සර්විස්" මාධ්‍ය ආයතනය ඉරණවිලට ගියේය. එකල ඉරණවිල කියන්නේ රටම ගිනි තියන තැනකි. හේතුව ඉරණවිල පටන්ගත් ඇමරිකානු හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය නිසාය.

ඇමරිකානු හඬ කලින් තිබුනේ ඒකල ය. එය අක්කර විශාල ගණනක භුමි ප්‍රදේශයකට ගෙන ගොස් ව්‍යාප්ත කරන්න ඇමරිකාව තීරණය කළේ 1982 ජේ. ආර්. ගේ ආණ්ඩු කාලයේය. ඉරණවිල ප්‍රදේශය සංචාරක පාරාදීසයක් කිරීමටත්, තරුපහේ හෝටල් සමුහයක් ඉදි කිරීමටත් ඇමරිකාව එකගත්වය පළ කළේය. යෝජනාව ආවෙත් ඇමරිකාව  පැත්තෙනි. ජේ. ආර්ගේ ආණ්ඩුව ඊට පැනල කැමති විය.

ඒත් එවකට ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම වාමාංශික පක්ෂ ඉරණවිල ඇමරිකානු හඬට විරුද්ධව රට ගිනි තියන්න පටන් ගත්හ. එකල ඉන්දියාවේ අගමැතිනි ඉන්දිරා ගාන්ධි හිටියෙත් දැඩි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තියකය. ඇයගේ ආණ්ඩුව සෝවියට් හිතවාදී විය. ඇයගේ ආණ්ඩුවත් ඇමරිකානු හඬ යෝජනාවට තදින්ම එරෙහි විය.

විරෝධයට බයවී ජේ. ආර්.ගේ ආණ්ඩුව සංචාරක පාරාදීසය යෝජනාව අකුලා ගත්තේ ඒ සඳහා වූ ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව ඉරණවිල ජනතාව පාරට බැස්ස නිසාය. ඒත් ජේ.ආර්. කෙසේ හෝ ඉරණවිල ඇමරිකානු හඬ ව්‍යාපෘතියට ඉඩ දුන්නේ ය.

ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ මේ ඉරණවිල ඇමරිකානු හඬට එරෙහිව කතෝලික පල්ලිය පාරට බැස්සෝය. එවකට හලාවත රදගුරු "ෆ්‍රෑන්ක් මාක්ස් පියතුමා" මහා සංඝ රත්නයද එක්කර ගෙන ඇමරිකානු හඬ ඉදිරිපිට උපවාස, සත්‍යග්‍රහ දියත් කළහ.

1994 මහා මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් වුයේ ඇමරිකානු හඬ වසන  බවය. 1985 සිට ලංකාවේ ඇමරිකානු හඬට එරෙහිව ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ වාමාංශික පක්ෂ හදපු කැම්පේන් එකක් තිබිණි. එය නම් ඇමරිකානු හඬ භුමිය තුලට ඇමරිකානු හමුදා  එන බවත්, ඉන් පසු ඉරණවිල ඇමරිකානු කඳවුරක් වන බවටත් ඇමරිකානු හඬ සන්නිවේදන යන්ත්‍ර හරහා ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාවේම ආරක්ෂක ජාලය කඩා කප්පල් කරන බවටත්, ඔවුහු රස කතා නිර්මාණය කළහ. ගුවන් විදුලිය හරහා ඇමරිකානු විරෝධී රටවලට පහර ගසන වැඩසටහන් විකාශය කරන බවත්, එයට එරෙහිව එම රටවල් ලංකාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන බවත් ඔවුහු රස කර කර කිහ.

මේවා ජනතාව විශ්වාස කළහ. ඇමරිකානු හඬ හරහා ලංකාව ඇමරිකාවේ කොලනියක් වන බවට බොහෝ දෙනෙකුගේ බයක් තිබිණි. 1994 මහා මැතිවරණයේදී පොදු පෙරමුණ ඉරණවිල පෙන්නා ලංකාවේම ඡන්ද ගරා ගත්තේය. ඇමරිකානු හඬ පටන් ගත්තේ 1985දිය. 1994 වන විට වසර 9ක් ගෙවී තිබිණි. 1985 සිට කි ඇමරිකානු කඳවුරු කිසිවක් ඉරණවිල භූමියට ආවේ නැත. ඇමරිකානු හඬ හරහා අනෙක් රටවල ආරක්ෂක ජාලයට ඇතුළුවන බවට චෝදනා හෝ ඇමරිකානු හඬ අන් රටවලට පහර එල්ල කරන බවට චෝදනා ආවේ නැත. සෝවියට් දේශය ඇද වැටීමෙන් පසු ඉන්දියාවද ඇමරිකානු  හිතවාදී ප්‍රතිපත්තියක් ගත් නිසා ඉන්දියාවෙන් ඊට එරෙහිව චෝදනා එල්ල කලෙත් නැත.

1994 බලයට ආ පොදු පෙරමුණ ද ඇමරිකාවේ පිහිටෙන් 1994 නිදහස් සාධාරණ ඡන්දයක් ලබා ගත් නිසා ඇමරිකාවේ සුවච කීකරු ආණ්ඩුවක් බවට පත්විය. ඇමරිකාව සමග ඇති කර ගත්  ගිවිසුමක් වෙනස් කරන්න තමන්ට  නොහැකි යැයි බලයට ආ පසු කි පොදු පෙරමුණු ආණ්ඩුව ඇමරිකානු හඬ වටා ආරක්ෂාව තර කොට දුන්නේ තමන්ව  බලයට ගෙන ආ පාක්ෂිකයන් ගහයි කියන බයටය. එත් රදගුරු "ෆ්‍රෑන්ක් මාක්ස්" අත හරියේ නැත. ඔහු ඉරණවිලට පෙළපාලියකින් ගියේ 1994 ඔක්තෝම්බරයේ පොදු පෙරමුණ බලයට පත් වූ අලුතය.

ආණ්ඩුව පොලිස් බලය යෙදවිය. ඇමරිකානු හඬ භූමියට ඇතුළු වෙන්න ගිය තරුණයකු වෙඩි කා මැරී වැටිණි. එවකට විපක්ෂයේ සිටි යුඇන්පී ය සමච්චලයට හිනා වුනි. 1998  "ඉන්ටර්ප්‍රෙස්"  මාධ්‍ය ඉරණවිලට ගියේ මින්පසුවය. එහි පදිංචි  "ප්‍රනාන්දු" නැමැත්තෙක් කියා සිටියේ තමන් උදේ අවදි වූ විට ඇමරිකානු හඬ විනාශ වේවා කියා දෙවියන් යදින බවය. ඉදිරියට  වුවද ඇමරිකානු හමුදා මෙහි පැමිණීමට ඉඩ ඇති බවත් ගුවන් විදුලිය හරහා රටේ සංස්කෘතිය විනාශ කරනු ඇති බවත් ඔහු අදෝනා නගමින් කීය.

මේ ප්‍රනාන්දු නැමැත්තා පමණක් නොව ඇමරිකානු හඬට එරෙහිව හඬ අවධි කළ හැමෝම තවමත් ඉරණවිල සිටී. වෙඩි පහරින් මිය ගිය අයගේ ඥාතීන්ද සිටි. පහුගිය 2016 දෙසැම්බරයේදී ඇමරිකාව ඉරණවිල ඇමරිකානු හඬ ගුවන් විදුලිය වහන්න තීරණය කළේය. ඉඩම යළි රජයට භාර දුන් අතර යන්ත්‍ර උපකරණ ලංකාවේ ගුවන් විදුලි සංස්ථාවට   සහ  හමුදාවට භාර  දුන්නේය.  ඇමරිකාව  ඉරණවිලෙන් යද්දී ඇමරිකානු  හඬට එරෙහි වූ  ජනතාව ඒ නිසා වෙඩි කෑ අයගේ ඥාතින් ඇස් උඩ තියන් බලා සිටි බව එය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදියෙක් කිවේය.

" අපරාදේ ඒ වෙලාවේ තරුපහේ හෝටල් ටික හදලා මෙතැන සංචාරක කලාපයක් කරන්න දුන්නා නම් ඒකත් අපේ රටට දීලා යනවානේ.."

ඉරණවිල ජනයා මාධ්‍යවේදියාගේ ඒ කතාව නෑහුනා වගේ සිටියහ.

මේ දේශපාලඥයෝ තමයි අපිව ඇවිස්සුවේ.."

මැදිවියේ උගත් පිරිමියෙක් කිවේය.

කතාව ඇත්තය. ඇමරිකාව ඇමරිකානු හඬ ලංකාවට ගෙනාවේ ලංකාවේ ඒ පළාත් දියුණු  කරලා දීලා තමන්ගේ වැඩෙත්  කරගෙන යන්නටය. ඒ ලංකාවේ ඇමරිකානු කඳවුරු හදන්නටවත්, අනෙක් රටවල් එක්ක යුද්ධයට යන්නවත් නොවේ. අන්තිමේදී ඇමරිකාව බලය පෙන්නාලා ඇමරිකානු හඬ මෙහි පිහිටුවා ගත්තේය. ඒ සඳහා ලංකාවට ලැබිය යුතු ප්‍රතිලාභ ලංකාවේ ජනතාවම අහිමි කර ගත්තේය.

මේ පරණ කතාව මතක් වුනේ "සෝෆා" නම් වූ ඇමරිකානු ගිවිසුමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය  පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මරළතෝනි දෙන හැටි ඇහෙන කොටය. මහින්දගේ ආණ්ඩු කාලයේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය මේ වගේ ගිවිසුමක් ඇමරිකාව එක්ක ගැසීය. ගෝඨාභය යනු ඇමරිකානු පුරවැසියෙකි. ඇමරිකානු පුරවැසියා ඇමරිකාව සමග ගිවිසුම් ගහනවා කවුරුත් දන්නේ නැත. ඒ ගැන කවුරුත් කතා කලෙත් නැත. ඒ ගිවිසුමට අනුව ඇමරිකාවට අවශ්‍ය  අයෙක් ලංකාවේ සිටිනවා නම් ඇමරිකානු හමුදාවන්ට ලංකාවට ඇවිත් කුදලාගෙන ඇමරිකාවට ගෙන යා හැකිය.

ගෝඨාභය ඒ ගිවිසුමට එකඟ වුයේ ලංකාවට අවශ්‍ය එල්.ටී.ටී.ඊ. යුද නැව් විනාශ කරන්න ඇමරිකාව උදව් කළ නිසාය. යුද්ධය දිනන්න ආසියානු කාලපිය ඇමරිකා නාවික හමුදා බල ඇණිය විශාල වශයෙන් උදව් කළ බව ගෝඨාභය  ප්‍රසිද්ධියේ කිවේය.

ලංකාව අයි.එස්.අයි.එස්. ත්‍රස්ත්‍ර සංවිධානයේ තිත්පොලක් වෙන්න යන බව ඇමරිකාව එකල අනතුරු ඇගවීය. එය පරාජය කිරීමට ඇමරිකාවට අවශ්‍ය  අයි.එස්.අයි.එස්. ත්‍රස්ත්‍රයන් ලංකාවේ සිටි නම් ඔවුන් අත් අඩංගුවට ගැනීමට ඇමරිකාව ලංකාවත් සමග ආරක්ෂක ගිවිසුම් වලට එලබීම අමුතු දෙයක් නොවේ.

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙයට එරෙහි වන්නේ මෙයින් ඇමරිකාව සහ එජාප ආණ්ඩුව ඇතිකර ගන්න මිත්‍රත්වයෙන් ලංකාවට අත්වන වාසිවලට ඊර්ෂියාවෙන්ය.මහින්දගේ ආණ්ඩුව 2005 සිට ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් අරමුදලෙන් ආධාර ඉල්ලුවේය. එත් ඇමරිකාව දුන්නේ නැත. දැන් ඇමරිකාව එජාප ආණ්ඩුවට ආධාර කිරීමට කැමැත්ත පළ කොට ඇත.

ඒකාබද්ධය  සහ ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය මෙයට ඊර්ෂියා  කරමින් සිටි. ඒ ආධාරවලින් ජනතාවට ප්‍රතිලාභ ලැබී ඡන්දය පරදියි කියා ඔවුන්  බයය. "සෝෆා" ගිවිසුම යකෙක් කර රට පුරා ඇමරිකානු විරෝධය හදන්නේ ඒ නිසාය.

ඇමරිකානු පුරවැසියෙක් රටේ ජනාධිපති කරන්න දත කන එකාබද්ධයේ ඇමරිකානු විරෝධය, කරන්න ඕනා වුනාම කබරගොයත් තලගොයා කර ගැනීම මිස අනෙකක් නොවේ. 

 

(මව්රට)
-ගුරුදා විග්‍රහය- 
Advertiesment