Saturday 14th of December 2019

English Tamil
Advertiesment


විශ්වාස භංගයෙන් ආණ්ඩුවේ ශක්තිය ඔප්පු කළාට අගමැතිගෙන් ජවිපෙට ප්‍රණාමය..!


2019-07-12 8204

විශ්වාස භංගය පරදවා එජාපය ජනපතිවරණ විජයග්‍රහණය තහවුරු කළා..!

ජවිපෙට විපක්ෂයෙන් කුණු බැණුම්..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ ශක්තිය රටට-ජනතාවට යළි ඔප්පු කිරීමට හොඳ අවස්ථාවක් ලබා දුන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

ආණ්ඩුවට එම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විපක්ෂයට ස්තුතිය පළ කළ යුතු යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් කිරීමෙන් පසුව එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සමග අරලිය ගහ මන්දිරයේදී බ්‍රහස්පතින්දා (11) පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්ද 119ක් ලැබෙද්දී, ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 92ක් පමණක් වන අතර ඒ අනුව ආණ්ඩුව එම විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 27කින් පරාජයට පත් කිරීමට සමත් විය.

එක්සත් ජාතික පෙරමුණේ එම මැති ඇමතිවරුන් සමග පැවැත්වූ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.  

“ආණ්ඩුවට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ මේ විශ්වාස භංග යෝජනාව, ආණ්ඩුවේ දේශපාලන හයිය රටට-ජනතාවට යළි ඔප්පු කරන්න හොඳ අවස්ථාවක් වුණා.පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සෙ උද්ගත වී තිබූ තත්ත්වය අනුව මේ විශ්වාස වැදගත් වූ බව කිව යුතුයි.මේ සම්බන්ධයෙන් ඇත්තටම ආණ්ඩුව ලෙස අප විපක්ෂයට අපේ ස්තුතිය පුද කළ යුතුයි.”

මෙහිදී එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මහත්වරුන් තවත් කාරණයක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අවදානය යොමු කරවමින් මෙසේ පැවසීය.

“වසර 10ක් තිස්සේ මිනිස්සු  භුක්ති විඳපු රජයේ ඉඩම්, ඒ අසරණ මිනිස්සුන්ටම පවරා දෙන ආණ්ඩුවේ ඉඩම් පනතට ජනාධිපති ඇතුළු විපක්ෂය හොඳටම බිය වෙලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායම් දෙකක් ජනතාවට ලැබෙන මේ ඉඩම් ප්‍රතිලාභයට විරුද්ධව උසාවියේ නඩු පවරලා.

පවුල් දස ලක්ෂයකට ඉඩම් බෙදන වට විරුද්ධ වෙලා තියෙන්නෙ චීනයේ ෂැන්ග්‍රිලා හෝටලයට හමුදා මූලස්ථාන ඉඩමයි, චීනයට “PORT CITY” ව්‍යාපෘතියෙන් භාගයක් සහ  ඇමරිකාවේ “ඩෝල්” සමාගමට කෙසෙල් ඇතුළු භෝග වගා කරන්න ඉඩම් අක්කර 15,000ක් සින්නකරවම ලියා දුන්නු කණ්ඩායමයි.

මේ කාරණයට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

“අසරණ මිනිස්සුන්ට මේ ඉඩම් බෙදා දෙන ව්‍යාපෘතිය අවුරුදු දෙකක්  කැබිනට් මණ්ඩලයේ පල් වුණා.එම පනත ඉතා අමාරුවෙන් සම්මත කර ගෙන ගැසට් කළාම පාර්ශව දෙකක් ඊට එරෙහිව අධිකරණයේ නඩු පවරලා.මේ අයට විරුද්ධව ඉඩම් හිමි ජනතාවත් එක්ක මහා  පාරට සටන් කළ යුතුයි.සියලු දෙනාම මේ පහත් ක්‍රියාව කරන්නේ  ආණ්ඩුව ජනප්‍රිය වේවි කියලා තිබෙන බියටයි.”

මේ අතර එක්සත් ජාතික පෙරමුණ පෙන්වා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරුණු මේ විශ්වාස භංග යෝජනාව පරාජය කරමින් සිය පෙරමුණ 2020 ජනාධිපතිවරණයේ නියත විජයග්‍රහණය ද තහවුරු කළ බවය.

Advertiesment