Thursday 22nd of August 2019

English Tamil


රට භාර දිය හැකි එකම ජාතික නායකයා කතානායක බව මහා සඟ රුවන අවධාරණය කරති..!


2019-07-12 7574

ජනපති-අගමැති කතානායකට ආශීර්වාද කළ යුතුයි..!

 

සියලු ජාතීන්-ආගමිකයින් එකතු කළ හැක්කේ කතානායකට පමණයි..!

 

"චෝදනා නැහැ-චරිතය පිරිසිදුයි-විශ්වසනීයයි"

 

මහා සංඝ රත්නයේ ආශීර්වාදය කරු ජයසූරියට පමණයි..!

 

"අග රදගුරුගේ විශ්වාසයත් කතානායක ගැනයි"

 
(සුජිත් මංගල ද සිල්වා)

සියලු ජාතින් සහ සියලු ආගම් එකට ඒකරාශී  කළ හැකි එකම නායකයා වන කතානායක කරු ජයසුරිය මහතා ඉදිරි ජන්ධිපතිවරණයෙදී නියත ලෙසම රටේ ජනාධිපති ධුරයට පත කළ යුතු යැයි  මහා සංඝ රත්නය අවධාරණය කර සිටිති.

කතානායකයා ලෙස කරු ජයසුරිය මහතා සියලු ජාතීන්ට සහ සියලු ආගමිකයින්ට පොදු නිසා ඔහු රටේ ජාතික නායකත්වයට ඕනෑවටත් වඩා සුදුසු බව ඉතිහාසයේ සිටම ඔප්පු කර ඇතැයි උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන  සංඝ නායක සහ අනුරාධපුර තන්තිරිමලේ රාජ මහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නා හිමියෝ අවධාරණය කළහ. 

දේශපාලන, පක්ෂ සහ පාට භේදයෙන් තොරව ජාතියේ සමස්ත මහා සංඝ රත්නයේ ආශීර්වාදය කරු ජයසුරිය මහතාට හිමිව තිබෙන නිසා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඔහුට ඒ සඳහා ආශීර්වාද කළ යුතු යැයි ද උන් වහන්සේ පෙන්වා දුන්නහ.

තන්තිරිමලේ චන්දරතන නා හිමියන් මේ බව අවධාරණය කළේ කොළඹ පුස්තකාල සහ ප්‍රලේඛනසේවා මණ්ඩලයේ ප්‍රධාන ශාලාවේදී, සමස්ත ලංකා ජාතික භික්ෂු සංසදය මඟින් බ්‍රහස්පතින්දා (11) සංවිධානය  කෙරුණු  ප්‍රවෘත්ති සකච්ඡාවේදිය.

එහිදී වැඩි දුරටත් අනුශාසනා කරමින් තන්තිරිමලේ චන්දරතන නා හිමියෝ මෙසේ ද අවධාරණය කළහ.

"කරු ජයසුරිය මහතා සිය දේශපාලන දිවියේදී කවදාවත් පක්ෂග්‍රාහීව,ජාතිවාදීව හෝ ආගම්වාදිව කටයුතු කර නැහැ.එතුමා සැම විටම රටත්, ජනතාවත් වෙනුවෙන් හදවතින්ම ඇප කැප වී ක්‍රියා කරනවා. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ  රටේ නායකත්වයට එකම සුදුස්සා කරු ජයසුරිය මහතා බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන්ද අවධාරණය කර සිටියේ මේ පසුබිම මතයි.පොදු අපේක්ෂක භූමිකාව ජනාධිපතිවරයා කෙලෙසා තිබෙන තත්ත්වය හමුවේ ඉදිරි ජනාධිපතිවරණයටත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම ගැන දේශපාලකයින් විවිධ කටකතා පතුරුවමින් සිටිනවා. කවුරුන් කෙසේ කුමන මත ඉදිරිපත් කළත් රටම ඉල්ලන සහ මුළු රටටම විස්වාසය  තැබිය හැකි එකම පොදු අපේක්ෂකයා කරු ජයසුරිය මහතායි. 

දුෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද විවිධ අපරාධ සම්බන්ධයෙන්ද කිසිදු චෝදනාවක් එදා මෙදා තුර එල්ල වී නොමැති  ඉතාම පිරිසිදු චරිතයකින් යුතු කරු ජයසුරිය මහතාට අකමැති කිසිවෙක් මේ සිංහල බෞද්ධ රටේ ඇත්තේ නැහැ.කරු ජයසුරිය මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් සිදු වන්නේ රටේ සියලු  ජාතින් සහ ආගමිකයින් එකට ඒකරාශී වීමයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රට ජනතාව වෙනුවෙන් සැම විටම කැප වන නායකයෙකු වන නිසා මේ තීරණයට විරුද්ධ වීමට ඔහුට හැකියාවක් ඇත්තේ නැහැ.

යුද්ධය පැවති අවස්ථාවේදී කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක් වී යුද්ධය නිම කිරීම සඳහා සිය සහයෝගය දැක්වුයේ මහා සංඝ රත්නයේ ආශීර්වාදය සහ අනුශාසනා මධ්‍යයේ රටත් ජනතාවත් වෙනුවෙනුයි. ඔහු එදා එම දේශපාලන තීන්දුව ගෙන එසේ ක්‍රියා නොකලා නම් අපේ රට තවමත් යුද්ධයෙන් පිඩා විදිනවා. එම නිසා මහා සංඝ රත්නය ලෙස මේ කරුණු කාරණා අවධාරණය කරමින් අප තරයේ ඉල්ලා  සිටින්නේ  කරු ජයසුරිය මහතා රටේ නායකත්වයට පත් කරන ලෙසයි.

එහිදී ශ්‍රී ලංකා රාමඥඥ මහා නිකායේ අනු නායක මාතලේ ධම්ම කුසල නා  හිමියෝ අනුශාසනා කරමින් මෙසේ අවධාරණය කළහ. 

සිංහලකම සහ බෞද්ධ කම අතීත උරුමයෙන්ම දායාද කොට ගත් ශ්‍රී ලංකාව දීර්ඝ ඉතිහාසයක් තිබෙන බෞද්ධ රටක් බව කිව යුතුයි. ලෝකයේ අපේ රට බැබලෙන්නේ අපේ රටේ එම බෞද්ධ උරුමය නිසයි. මේ සිංහල බෞද්ධ රට ආරක්ෂා කර ගැනීම සඳහා රටට ජාතියට ආදරය කරන ජාතික නායකයෙකු රටට ජනතාවට අවශ්‍ය වී තිබෙනවා. එම නිසා ජාතිය ආගම සහ අපේ ඉතිහාසය හොදින් දන්නා පළපුරුදු නායකයෙකු රටට  අවශ්‍යයි. ජාතික නායකත්වයට ජනතාව තෝරා ගත යුත්තේ ජාතික සිරිත් විරිත් හදුනන රට ගැන අවබෝධයක් තිබෙන නිහතමානි පරිණත සහ ඍජු නායකයෙකු බව කිව  යුතුයි.

මේ සුදුසුකම් තිබෙන නායකයින් සමුහයක් අපට ඇත්තේ නැහැ.  රටට ම සිටින්නේ මේ සියලු සුදුසුකම් සපුරා සිටින එකම එක නායකයායි.ඒ කරු ජයසුරිය මහතා පමණයි. සියලු ජාතින් සහ ආගමිකයින් සමග මානව දයාවෙන් වැඩ කරන ඔහු සමග කතාබහ කරන විටත් ඒ බව මනාව පැහැදිළි  වනවා.

උඩු දුම්බර සහ පාත දුම්බර ප්‍රධාන සංඝ නායක තල්කොත ධම්මජෝති සහ මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පේමඩුවේ සුමංගල යන නා හිමිවරු ද මේ අවස්ථාවේ එක්ව සිටියහ.