Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


ශරීරයේ පොළොං විෂ දුවද්දී පැය දෙකක් දම් දෙසූ මාහිමි


2019-07-02 1949

(දේ. සු. ද සොයිසා)

මීට දශක කිහිපයකට පෙර වැඩ සිටි සිල්වත් හිමි නමක් ඇසුරෙන් සිදුවූ දහම් කතාවකි මේ.  නූතන බණ කතාවක් ලෙස මෙය හැඳින්වීම නිවැරදි යැයි මට සිතේ. අතීතයේද, නූතනයේද, වර්තමානයේද අප ජීවත්වන සමාජය තුළ විවිධ ධර්මානුකූල කතා ප‍්‍රවෘත්ති රැස්වේ. එම කතා ප‍්‍රවෘත්ති බොහෝ විට එම සිදුවීමට අදාළ කුඩා පිරිසක් පමණක් දැන ගෙන සිට පසුව සමාජයෙන් වසන්වී යයි. එවැනි කතා වලින් සමාජයට ලබා ගත හැකි ආදර්ශ අති විශාලය. ඒ තුළින් හඳුනාගත හැකි බෝසත් චරිතද විශාල ප‍්‍රමාණයකි. එවැනි වැදගත් නූතන බණ කතා සිය ගණනක් මා දැනගෙන සිටිමි. අප සමාජයේ හා මතු සමායේ ජීවත් වන පින්වතුන්ගේ දැන ගැනීම පිණිසත්, ආදර්ශය පිණිසත් ඒවා ලියා පළ කිරීම සුදුසු යැයි මා කල්පනා කළ හෙයින් මෙසේ ලියන්නට අදහස් කළෙමි.

පුරාණ වැලිතොට හෙවත් වර්තමාන බළපිටිය ඈත අතීතයේ සිට සුපේශල ශික්ෂකාමි ධර්මධර - විනයධර මහ තෙරවරුන්ට සැවත් නුවරක් බදු වූ පුණ්‍ය භූමියකි. දුගී පැල්පතේ සිට රජවාසල මහා වලව්ව දක්වා මහා සංඝරත්නයට ගරු කල හා සිව්පසය සැපයූ ජනී ජනයාගෙ න් පිරුණු මෙම ප‍්‍රදේශය පසු කලෙක දෙවන මිහින්තලාව ලෙසද අරුත් ගැන්විනි. මෙම ප‍්‍රදේශයේ වැඩ වාසය කළ සුසිල්වත්  මහතෙර නමක් හා බැඳුන පුදුම සහගත බෝසත් කතා ප‍්‍රවෘත්තියක් ධර්මදාන පති‍්‍රකාවේ නූතන බණ කතා තුළින් මා ඔබ හමුවේ තබමි.

මෙම කතාවේ කතානායක වනුයේ බළපිටිය රන්දොඹේ මහචේතිය පිරිවනෙහි පරිවේනාධිපතිව වැඩ විසු ධර්මධර පරම පූජනීය තොටගමුවේ පඤ්ඤාමෝලි තිස්ස මහනානායක මා හිමිපාණන් වහන්සේය. පඤ්ඤාමෝලි මහ නා හිමියන් ශී‍්‍රමත් අනගාරික ධර්මපාල තුමන්ගෙ ්ද, බ‍්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර ශී‍්‍රමාණන්ගේද ජීවිත හා සම්බන්ධ කමක් තිබුණ මා හිමි නමකි. ඒ සබඳතාවයන්ද මා මෙම ලිපිය තුළින් මා ඔබට ඉදිරිපත් කරමි.

ශී‍්‍ර බුද්ධ වර්ෂ 2400 හෙවත් රාජ්‍ය වර්ෂ 1856 මාර්තු මස 07 වන දින දකුණු සිරිලක තොටග මුව නම් ඵෙතිහාසික ගම්මානයේදී උපත ලද පඤ්ඤාමෝලි මා හිමියන් පුත් කුමරුවන් සත් දෙනෙක් සිටි පවුලක සත්වන දරුවා විය. බෞද්ධ පාසල් නොතිබුණු එම යුගයේ ගමේ පන්සලෙහි අකුරු උගෙනීම ආරම්භ කළේ ගරුතර ස්වාමීන් වහන්සේලාගේ සෙවණෙහිය. මෙම ශිල්ප හැදෑරීම සිදුවූයේ තොටගමුවේ සිරි සුභද්‍රාරාම මහ විහාරස්ථානයේදීය.

ඉතා තැන්පත්ව, විනීත ගති පැවතුම් වලින් යුක්තව තම වයසේ අන් ළමුන්ට වඩා සුවිශේෂි චරිතයක් ගත කළ මෙම පින්වත් කුමරා තරුණවිය ගත කරන සමයේදී එළඹුන වස්සාන කාලයක තොටග මුවේ සිරි සුභද්‍රාරාම විහාරයේ වස් විසුමට වැඩම කළේ එවකට සිරිලක අග‍්‍රගණ්‍ය පඬිරුවනක් වූ අති පූජ්‍ය වැලිතර විමසාර තිස්ස මහා නායක මා හිමිපාණන් වහන්සේය. උන්වහන්සේ වස් වැසු දිනයේ සිටම දිනපතාම සුභද්‍රාරාම මහා විහාරයේ පින්කම් සිදුවිය. ඒ පින්කම් අතර විශේෂිත අංගයක් වූයේ දිනපතාම රාතී‍්‍ර කාලයේ විමසාර මහා නා හිමියන් විසින් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනාවන්ය. මේ දහම් දෙසුම් වලට සවන් දීම සඳහා තොටගමුවාසී ජනයා රාති‍්‍රයේ ගිනි හුළු අතු දල්වාගෙන පන්සලට පැමිණ හෝරාවක් දෙකක් ධර්මය අසා ගෙවල්වලට ගියේ නිවුන සිතින්ය.

මෙම දහම් දෙසුම් තම මිතුරන් සමග නොවරදවාම ශ‍්‍රවණය කළ අයෙකි අප සඳහන් කරන ලද ඉහත සඳහන් තරුණයා. මාසයක් පමණ එක දිගට ධර්මය ඇසීමෙන් පසු මෙම තරුණයාගේ ඒකායන බලාපොරොත්තුව වූයේ පැවිදි දිවියට ඇතුළත් වීමයි. මේ පිළිබඳව සිය පියාණන් වූ විතාන එන්ද්‍රිස් ද සිල්වාටත්, සිය මෑණියන්ටත් කියා අවසර ලබා ගත් මොහු පන්සලේ නායක හාමුදුරුවන් වූ තොටගමුවේ පඤ්ඤාසිරි මා හිමියන්ටද පවසා කැමැත්ත ගෙන සාමණේර බණ දහම් උගෙන ගන්නට විය. මෙලෙස බණ දහම් උගත් මේ තරුණයා 18 වන වියට පිවිසෙද්දී වර්ෂ 1974 ඉල් මස පුන් පොහෝ දින වැලිතර විමලසාර මහනායක මාහිමියන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවති පැවිදි කිරීමේ මහා පූජෝත්සවයේදී තොටගමුවේ පඤ්ඤාමෝලි යන නමින් බලපිටියේ වැලිතර ශී‍්‍ර පුෂ්පාරාම මහා විහාරය හෙවත් නායක පන්සලේදී ශී‍්‍ර සුගත තථාගත සම්මා සම්බුදු ශාසනයට ඇතුලත් වූහ.

පෙර පින් ඇති මෙම සාමණේර නම අඹගහපිට මහා විහාරයේ වැඩ වෙසෙමින් ගරුතර මහා සංඝරත්නය ඇසුරෙන් ති‍්‍රපිටක ධර්මය උගත්හ. සිංහල, පාලි, සංස්කෘත භාෂාවන් ප්‍රගුණ කළ පඤ්ඤාමෝලි හිමියෝ කට පාඩමින්, සිලෝ හා ගාථාවන් සජ්ඣායනා කිරීමේ අති දක්‍ෂයෙකු විය. විසි වසක් සම්පූර්ණ වූ කළ අමරපුර මූලවංසික මහා නිකායේ මහා සඟරුවන වෙතින් පැවිදි උපසම්පදාව බලපිටිය මාදු නදියේ පිහිටි උදක්කුඛේප සීමාමාලකයේදී ලබා ගත්හ. මේ හිමියන් අධිසීලය සිය ප‍්‍රාණය දෙවැනි තැන තබා ආරක්‍ෂා කරන්නට විය. ධර්ම දේශනයටත්, පිරිත් සජ්ඣායනටත් එකසේ දස්කම් පෑ හෙයින් සතර පේරුවේ දායක පිරිසගේ ඉමහත් ප‍්‍රසාදටය පත්විය. උන්වහන්සේ පිළිබඳව විශාල පැහැදීමකින් සැම්සන් රාජපක්‍ෂ රජ වාසල මහා මුදලිතුමන්ද කටයුතු කළහ.

මීට වසර එකසිය පහකට පමණ පෙර 1911 දී පඤ්ඤාමෝලි මහා හිමියන් අඹගහපිටිය මහා විහාරයේසිට පා ගමනින් ධර්මදේශනයකට වැඩම කළේ මීගෙට්ටුවත්ත නම් චිර ප‍්‍රසිද්ධ ගමටය. රාතී‍්‍ර කාලයේ තම දායක මහතෙකු වන කරෝලිස් ද සිල්වා වෙද මහත්මයා සමග ගිය මෙම ගමනේදී මිගෙට්ටුවත්තේ අභිනවාරාමය ආසන්නව තිබියදී පඤ්ඤාමෝලි මා හිමියන්ගේ පාදයට සර්පයෙකු දෂ්ඨ කර ඇත. සුළු වේලාවක් යන විට කකුළේ වේදනාවක් හටගත් හෙයින් තමා සමග ගමන් කරන වෙද මහතාට පැවසුවේ තමාගේ කකුල සර්පයෙකු විසින් දෂ්ඨ කර ලද බවත්, දැන් තරමක වේදනාවක් පවතින බවය. පන්සලට ගිය පසු පරීක්‍ෂා කර බෙහෙතක් ගැල්වුවහොත් හොඳයි. එසේ වුවත් පන්සලේ සිටින කාටවත් මේ ගැන නොදන්වා කටයුතු කරන ලෙස වෙද මහතාට දන්වා සිටියේ පිරිස කලබලවීමෙන් පන්සලේ පැවැත්වෙන පින්කමටත්, ධර්මදේශනාවටත් බාධාවන නිසාය.

ටික වේලාවකින් පන්සලට වැඩම කළ නායක හාමුදුරුවෝ ධර්ම දේශනයට සූදානම් කළ අතර වෙද මහත්මා හමුදුරුවන්ගේ සර්පයා කෑ මුඛය පාදා බෙහෙත් බඳින්නට වූයේ කාටවත් කිසිවක් නොකියා කලින් තිබූ තුවාලයකට ඔසු ලබා දෙන සෙයක් පෙන්වමිනි. ස්වාමීන්වහන්සේගේ පාදයට දෂ්ඨ කර ඇත්තේ පොළගෙ කු බවත්, ශරීරයේ විෂ පැතිරෙමින් තිබෙන නිසා ජීවිතයට අනතුරක් ඇති බවත් වෙද මහතාට හැඟී ගියේය. මෙසේ තිබියදීත් වේදනාව උහුලාගෙන හාමුදුරුවෝ ධර්ම දේශනා කරන අපූරුව දෙස බලා වෙද මහතා පුදුමයට පත්විය.

මේ අතර හාමුදුරුවන්ගේ කණට ළංකර වෙද මහතා තත්ත්වය බැරුම් කම කීය. ‘‘මටත් හරි අමාරුයි වෙද මහත්තයෝ. වේදනාව උහුලන්න බැහැ. මම මේ බණ කියන අතරම අපවත් වුණොත් මේ වේදනාව යටපත් වී ජීවිතය බේරෙනවට වඩා සතුටුයි. පුළුවන් දෙයක් කරන්න. මම වේදනාව බුදු ගුණයෙන් යටපත් කරගෙන බණ කියනවා.’’ නා හිමියන් දිගටම ධර්ම දේශනය කළහ. ධර්ම දේශනාව පැය දෙකකින් සමාප්ත විය. හාමුදුරුවෝ සිහි මුර්ජා වී ධර්මාසනයේ ඇලවිණි. සියල්ලෝම තුෂ්ණිම්භූත විය. සිදුවී ඇති දෑ වෙද මහත්මා සැමටම දැන්වීය. මේ විස්තර ඇසූ සියලූ දෙනාම පුදුමයටත්, කණගාටුවටත් පත්විය. ගම්වැසියෝ නිදි වර්ජිතව ඖෂධ වර්ග සොයා ගෙන එමින් ස්වාමීන් වහන්සේ සුවපත් කිරීමට වෙද මහතාට සහය වන්නට විය. නමුත් පසුදා සවස් වනතුරු ස්වාමීන් වහන්සේට සිහිය නොලැබුණි. පොළොං විෂ ශරීරය පුරා විහිද ගොස් තිබුණු නිසා සිහි ආවද කතා කිරීමට මා හිමියන්ට ඉතා අපහසු විය. ටික දිනකින් ස්වාමීන් වහන්සේට යම් සුවයක් ලැබිණි. දායක පිරිස සිදුවූ දේවල් නාහිමියන්ට පැවසීය.

ඒ අසා ස්වාමීන් වහන්සේ පැවසුවේ තමා දහම් දෙසන විට අධික වේදනාවෙන් පෙළුනත් බුද්ධ ගෞරවයෙන් සියල්ල යටපත් කරගත් බවයි. ඒ වනවිට වේදනාව ඉවත් යන නිසා එක දිගට දහම් දෙසීමට හැකියාව ලැබීම මහත් සහනයක් වූ බව ප‍්‍රකාශ කෙරිණි. තමා මෙසේ සුවය ලැබුවත් දහම් දෙසන විට අපවත් වූයේ නම් තමන් වහන්සේ ජීවත් වනවාට වඩා සතුටක් ලබන බවද කියා ඇත. ටිකෙන් ටික සුවපත් වුවද කාලයෙන් කාලයට මේ සර්ප දෂ්ඨනය නිසා නා හිමියන් රෝගාතුර වීම සිදුවිය. මේ නිසා හිතවත් වෛදවරුන්ගෙන් ස්වාමීන් වහන්සේට නිතරම වෛද්‍ය පහසුකම් ලැබිණි. නා හිමියන්ගේ රෝග තත්ත්වයන් නිට්ටාවටම සුව කිරීමට නොහැකි වූයේ දහවල් 12.00 න් පසු කිසිම හේතුවක් නිසා අකැප කිසිම දෙයක් වැළදීමට දැක්වූ අකමැත්තය. දහවල් 12න් පසු කිරිපිටි වීදුරුවක් වත් වළඳවන්නට කිසි වෛද්‍යවරයෙකුට හැකියාවක් ලැබී නැත. ජීවත් වීම සඳහා සිල්පද කඩන්නට තමා නොපොළඹන්නැයි නායක හිමියන්ගේ උපදේශය වී ඇත.

නායක මා හිමියන්ගේ සිල්වත් බව හොඳින්ම දැනගෙන සිටි අයකි ශී‍්‍රමත් අනගාරික ධර්මපාල තුමා. එතුමා ජීවිතයේ අවසාන කාලයේදී සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි විය. මෙම පැවිදි පින්කමේදී අනගාරික ධර්මපාල තුමන්ට පෙරවීම සඳහා සිවුරු පිරිකර පූජා කිරීමට බොහෝ දෙනා කැමැත්තෙන් සිටියහ. නමුත් ධර්මපාල තුමා ඒ කිසිම පිරිකරක් පැවිදිවීමේදී පෙරවීම සඳහා සහා සිවුරු වශයෙන් පාවිච්චි කළේ නැත. දඹදිව සිට ධර්මපාල තුමා දන්වා එවා තිබුණේ තමාට පැවිදිවෙන විට පෙරවීම සඳහා තොටගමුවේ පඤ්ඤාමෝලි නා හිමියන් විසින් පොරවා ගෙන සිටින සිවුරක් ගෙනවිත් දෙන ලෙසය. කොළඹ මහබෝධි සමාගමේ පිරිස බළපිටියට පැමිණ නා හිමියන් පොරවන ලද සිවුරක් ඉල්ලාගෙන ගොස් ධර්මපාල තුමාට පිරිනමා ඇත. ධර්මපාල තුමා එම සිවුර මහත් ගෞරවයෙන් පිළිගෙන සිවුර සිඹ වැඳ නමස්කාර කර පැවිදි පින්කමේදී පළමුවෙන් පොරවා ගත්තේ මෙරට බළපිටියේ ජීවත් වූ සුසිල්වත් හිමිනමකගේ සීලට ගරු කරමිනි.

දිනක් අඟුරුකාරමුල්ල පන්සලේ ධර්මදේශනයකට වැඩම කළ පඤ්ඤාමෝලි මා හිමියන් හමුවීමට පැමිණි තරුණයෙකු නාහිමියන් වැඳ පසෙකට වී පවසා සිටියේ ‘ස්වාමීනි මගේ නම වලිසිංහ එඞ්වඞ් ද සිල්වා. මම ආගමික ජීවිතයකට නැඹුරු වී සිටිනවා. ගිහි ගෙයින් නික්ම බ‍්‍රහ්මචාරී වීමටයි මගේ අදහස. ඒ නිසා සුදුසු නමක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියහ.’’ නැකැත් සතර දේහ ලක්‍ෂණ විද්‍යාව ආදියද දැනගෙන සිටි නා හිමියන් තරුණයා දෙස හොඳට අවධානය යොමුකර බලා සිට පැවසුවේ ඔබට සුදුසු නම ‘‘වලිසිංහ හරිස්චන්ද්‍ර’’ කියා භාවිතා කිරීමයි. නා හිමියෝ සුදුසුම නම තැබීය.

එම නම් යෝජනාවෙන් මෙරට සිංහල ජාතිකයන් බුදු දහම පවතින තුරු අමතක නොවන ජාතික වීරවරයෙක් බ‍්‍රහ්මචාරී වලිංසිංහ හරිස්චන්ද්‍ර යන නමින් රට දැයට බිහිවිය.

අමරපුර නිකායේ මහානායක පදවියෙන් පුද ලද මේ සුසිල්වත් මහ තෙරණුවන් පසු කළෙක අපවත් වී වදාළේ මහ රහතුන් වහන්සේලා ගිය මඟ ගිය මහා යතිවරයෙකු ලෙසය. මෙවන් යතිවරුන් වර්තමාන සමාජයේද අප රට තුළ නැතුවා නොවේ. එවන් මහා ස්වාමීන් වහන්සේලා වැඩ සිටින තුරු සම්බුදු සසුන බබළනු නියතය. පෙරහැර දහසක් කරනවාට වඩා, විවිධ සංදර්ශන පූජා දහසක් පවත්වනවාට වඩා, දේශපාලකයන්ට පාවඩ එළනවට වඩා සිල්වත්ව එක් දවසක් ජීවත් වී අපවත් වීම බෞද්ධ ලෝකයාටම වාසනාවකි.

 

Advertiesment