Saturday 16th of November 2019

English Tamil
Advertiesment


යූ.ඇන්.පී සිංහල බෞද්ධ හතර මහ නිධානය..!


2019-07-08 3112

මහින්ද එදා දිනන හැටි සහ පැරදුනු හැටි..!

සිරිකොත හැංගු දේ ගොඩගන්න පුළුවන්ද..!

(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 

"ගෝඨා ආවොත් සිංහල බෞද්ධ ඡන්ද හුරලා  ගනී..." "යූ.ඇන්පී යට  අද සිංහල බෞද්ධ ඡන්ද නැහැ ..." "වේදිකාවේ  රිෂාඩ්ලා, සුමන්තිරන්ලා දකිනකොට සිංහල බෞද්ධයෝ දුවයි..."

මේ අද ගමේ හැම තැනකම කියන කතාවය. යූඇන්පී කරයොත් මේ  කතාවට හාමිටි හූමිටි දෙන්නේ කියාගන්න දෙයක් නැතිවය.

"ඇත්තටම යූඑන්පීයට සිංහල බෞද්ධ ඡන්ද ආකර්ශනය  කරගන්න බැරිද...?"

යුඇන්පියට රාජපක්ෂලාටත් වඩා හොඳින් සිංහල බෞද්ධ ඡන්ද ආකර්ෂණය කරගන්න පුළුවන් නායකයන් තිදෙනෙක් සිටිති.

පළමුවැන්නා කරු ජයසූරියය. 2011දී මල්වතු,අස්ගිරි, රාමඤ්ඤ යන නිකායන්වල මහ නායක හිමිවරු හතර දෙනාම පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය යන දෙකෙන් එකක් කරුට දෙන්න යැයි යුඇන්පියෙන් ඉල්ලීමක් කළහ. ඉන්පසු යූඇන්පීයේ නායකත්ව මණ්ඩලයට කරු ජයසූරිය පත්වුණෙත් මහ නාහිමිවරුන්ගේ මැදිහත් වීමෙන් ය. පසුගියදා මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් එක්වී කරු ජසූරියට "ශාසන කීර්ති ශ්‍රී දේශභිමානි" යන ගෞරව නාමය පුදනු ලැබිය. එම ගෞරව නාමය මල්වතු පාර්ශවය වූ 2000දී මහින්දට පුදනු ලැබූ "ශ්‍රී රෝහණ ජනරංජන" ගෞරව නාමයටත් වඩා ඉහළ නම්බු නාමකි.කරුට අනෙකුත් නිකායන්වලින් ද එවැනි ගෞරව නාම හිමිවී ඇත.1995 සිට රට පුරාම පපුරාම පන්සල්වලට ගොස් එම පන්සල්වල හාමුදුරුවන් සමග සම්බන්ධතා හදාගෙන කරු රටේම දිවයන පන්සල ජාලයක් ගොඩනඟා ගෙන තිබේ.ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුණත් කරු මේ පන්සල් ජාලය මෙහෙයවන්න ගතහොත් යුඇන්පියට සිංහල බෞද්ධ ඡන්ද දිනාගැනීම මහා ලොකු දෙයක් නොවේ.හේතුව කරුවැනි නායකයෙක් බෞද්ධාගමට අහිතකර තීන්දුවකට හිස නොනමන බවට මහා නාහිමිවරු ඇතුළු සංඝයා තුළ තිබෙන විශ්වාසය.

ඊළඟ සිංහල බෞද්ධ ජනතාව අතරේ ජනප්‍රිය "චම්පික රණවකය". 1992දී පමණ ශ්‍රී.ල.නි.ප.ය තුළ හෙළ උරුම සංවිධානය ගොඩනැඟුවේ ඔහුය.ඒ 1988දී ජවිපෙ කලබල කාලයේ සිට ඔහු සිංහල බෞද්ධ බලවේග සමඟ වැඩකොට ලබපු අත්දැකීම් වලිනි.ඔහු හෙළ උරුමය හැදුවේ පන්සල්වල බිම් මට්ටමේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරපු හාමුදුරුවන් එකතු කරගෙන ය. වසර 17කට පසු 1994 දකුණු පළාත් සභා මැතිවරණයේදී ශ්‍රීලනිපය දින්නේ ඔහු එම සිංහල බෞද්ධ බලය මත හදපු "ජනතා මිතුරෝ" සංවිධානය නිසාය. එවකට අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ කීවේ චන්ද්‍රිකා දිනන්නේ "ජනතා මිතුරෝ" නිසා කියාය. චන්ද්‍රිකා බලයට ආ පසු "ජනතා මිතුරෝ" සංවිධානයට කරපිංචා තියරිය අනුගමනය කළ නිසා චම්පිකලා මහින්දට එක් වූහ. 2000 ජී.එල්.ගේ පැකේජයට එරෙහිව චම්පිකලා රට පුරා නිර්මාණය කළ සිංහල බෞද්ධ රැල්ල 2003 සෝම හිමි අපවත් වීම හරහා මහා ජන කැරැල්ලක් විය. හාමුදුරුවරු පාර්ලිමේන්තුවට ආවේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. 2005දී චම්පිකලා මේ සිංහල බෞද්ධ ජන රැල්ල හැරවූයේ මහින්ද රාජපක්ෂට ය. ඒ  සුනාමි සහන ගිවිසුමට එරෙහිව රට පුරා  සත්‍යග්‍රහ, විරෝධතා, උද්ඝෝෂණ කරමින් ය. 2005 මහින්දට දිනන්න සංවිධානය ශක්තිය දුන්නෙ ජවිපෙ ය. සිංහල  බෞද්ධ මතය හදලා දුන්නේ චම්පිකළාය. 2015දී යූඇන්පීියට මහින්ද පරාජය කරන්න පුළුවන් වූයේ චම්පිකලා මහින්දගන් එලියට ඇවිත් යූඇන්පියට ගහලා තිබුණු කොටි හංවඩුව මකල හෝදලා දාපු නිසාය. ඒකට හේතුව චම්පිකලා ඉන්න තැනක සිංහල බෞද්ධයන්ට අසාධාරණයක් නොවන බවට මෙරට සිංහල බෞද්ධ  සංවිධාන තුළ තිබෙන විශ්වාසයය. ඇත්තටම 2004  මහා මැතිවරණයේදී යුඇන්පී යේ  සිංහල බෞද්ධ ඡන්ද කැඩුවේ  චම්පිකලා ය.රනිල්ගේ ආණ්ඩුව සටන් විරාමය ගැන කලකිරුණු යූඇන්පියේ සිංහල බෞද්ධ මුදුන් මුල් චන්ද්‍රිකාට හෝ ජවිපෙට කතිරය ගැසුවේ තරහින් ය. චම්පික 2015 මහින්ද හැර යන විට ඒ සිංහල බෞද්ධ ඡන්ද වලින් කොටසක් යළි යූඇන්පියට රැගෙන ආවේය. පසුගියදා චම්පික කැඳවූ සඝ සමුළුවට දහස් ගණනින් හාමුදුරුවන් වැඩියේ  චම්පිකගේ ඒ සිංහල බෞද්ධ බලයටය. ඊළඟ ජනාධිපතිවරණයේදී  චම්පිකට ඒ බලය පාවිච්චි කිරීමට තවත් හයිය හත්තිය තිබේ.

තුන්වැන්නා සරත් ෆොන්සේකාය. යුද ජයග්‍රහණය කළ සෙන්පති වීම නිසා ෆොන්සේකා මෙරට සංඝයා වහන්සේලා සහ සිංහල බෞද්ධවාදීන් අතර ජනප්‍රිය නායකයෙක් විය. මහින්ද 2009දී ෆොන්සේකාව හමුදාපති ධූරයෙන් ඉවත් කළේ ඔහු මහින්දට වඩා ජනප්‍රිය බවට ලැබුණු බුද්ධි අංශ වාර්තාවකට බය වෙලාය. 2010  ජනාධිපතිවරණයේ දී මල්වතු පාර්ශවය සහාය පල කළේ ෆොන්සේකාට ය. මල්වතු පාර්ශ්වය සහ මල්වතු මහහා නායක හිමි මහින්දගේ ආණ්ඩුව සමඟ ප්‍රශ්න ඇතිකර ගත්තේ ජනාධිපතිවරණයෙන් පසු මහින්දගේ ආණ්ඩුව ෆොන්සේකාව සිර කළ නිසාය. මල්වතු මහා නායක හිමි අනෙකුත් මහා නායක හිමිවරුන් සමඟ එක්ව ෆොන්සේකා නිදහස් කරන්නැයි මහින්දට ලිපි ලිව්වත් මහින්ද ඒවා ගණන් ගත්තේ නැත. අන්තිමේදී මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරු දළදා මාලිගාව ඉදිරිපිට සංගායනාවක් කරන්න සූදානම් වූහ. සංගායනාවක් පැවැත්වුවහොත්  මාලිගාවට බෝම්බ ගහනවා  යැයි මහින්දගේ ගෝලයන් තර්ජනය කළේ මහින්දගේ අනුදැනුම මතය. මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරු සංගායනාව නතර කළහ. මහින්ද සහ මහනායක හිමිවරුන් අතර පැවැති සුහදත්වය පළුදු වූයේ එයින් පසුවය.

මහින්ද වෙනුවෙන් පෙනී සිටින හාමුදුරුවරු මොනවා කීවත් මෙරට බෞද්ධ භික්ෂුව මෙන් සිංහල බෞද්ධ ජනයා අතර ෆොන්සේකාට ලොකු ගෞරවයක් තිබේ. ඒ ඔහු යුද්ධය දින්න හැටි ඔවුන් දෑසින් දුටු නිසාය. ඊළඟ ජනාධිපතිවරනයේදී යූඇන්පී ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරිපත් වන අපේක්ෂකයා දෙසට සිංහල බෞද්ධ ඡන්ද හරවන්න ෆොන්සේකාට තිබෙන බලය අවතක්සේරු කළ නොහැකිය.

කරු, චම්පික, ෆොන්සේකා වගේම කිරිඇල්ලත්  මහ නාහිමිවරුන්ගේ විශ්වාසය දිනාගෙන සිටින නායකයෙකි.ගෝඨාභය හිට්ලර් වගේ වගේ රට පාලනය කළ යුතු යැයි කී අස්ගිරි අනුනායක හිමි කිරිඇල්ල වර්ණනා කළේ නුවර අධිවේගී මාර්ගය හරහා ඔහු නුවරට කරන සේවය අගයමිනි.එම අනුනායක හිමි කිරිඇල්ලව අගයද්දී   මහින්දවාදින්ටත්  කට උත්තර නැති විය. මෑතකදී මහනායක හිමිවරු කීවේ නුවරට වැඩියෙන්ම වැඩ කර ඇත්තේ කිරිඇල්ල කියාය. මේ නිසාම කිරිඇල්ලට අස්ගිරි මහා විහාරයෙන් "ශාසන මාමක ජනප්‍රසාද " සම්මානය ද පිරිනමා තිබිණි.

ඊළඟ ජනාධිපතිවරනයේදී යුඇන්පීය   ප්‍රමුඛ සන්ධානයකට සිංහල බෞද්ධ ඡන්ද දිනා ගන්න මේ චරිත හතරම ඇතිය. මහින්දලා හිතාගෙන ඉන්නේ මහනායක හිමිවරු, ප්‍රසිද්ධ  හිමිවරුන් ලවා  යූඇන්පියට පහර දී රටේ ම සිංහල බෞද්ධ ඡන්ද ඩැහැගැනීමටය. මහින්දවාදීන්ගේ අන්තිම තුරුම්පුව මෙම හිමිවරු ලවා යූඇන්පීියට ඡන්ද දෙන්න එපා කියන්න ය.

මහින්දලාගගේ එම තුරුම්පුව අතේ පත්තු වෙන්න ඉඩ සලසන යූඇන්පීයේ මේ සිංහල බෞද්ධ හතර මහා නිධානයට පුලළුවන්ය. මොවුන්ට තිබෙන සිංහල බෞද්ධ බලය තරාදියක ට දැම්මොත් ඒ බලය මහින්දලා සතු සිංහල බෞද්ධ බලයට සමවෙයි. මහින්දලා අතර මහ නායක හිමිවරු ප්‍රකට හිමියන් ඇහුම්කන් දෙන බලයක් ඇත්තේ මහින්දට විතරය. ගෝඨාභය තියෙන්නේත්මහින්ද  හදාගත්ත  බලයමය. පොහොට්ටුවේ වෙනත් කිසිදු නායකයකුට මහින්දගේ සිංහල බලය නැත. හැබැයි යුඇන්පියේ සිංහල බෞද්ධ බලය නැමති සතර මහා නිධානයෙන් වැඩ ගන්න යුඇන්පිය දැනගත යුතුය. මහින්දලා අද සිංහල බෞද්ධ ඡන්ද පිටියේ පොරවල් වී ඉන්නේ තාමත් යූඇන්පීය මේ හතර මහා නිධානය පිටියට බස්සලා නැති නිසාය.

නිධාන තියෙන්නෙ හංගලා ය. නිධානයේ  වටිනාකම එය ගොඩගත් විටය. සිරිකොත යට හංගලා තියෙන මේ හතර මහා නිධානය ගොඩගැනීම යුඇන්පියේ වගකීමකි.

 

මව්රට 

-ගුරුදා විග්‍රහය- 

Advertiesment