කවියෝ ගැහැනුන් ගේ මුහුණ උපමා කරන්නේ ‘පුර හඳට’ ‘සිසිවන වුවන’ කියලා පුරාණ කවියා කියන කොට,වත්මන් කවියා ‘පුරහඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ’ කියලා රචනා කළේ ඒකයි. පුර හඳ සෞම්‍යයි. සුන්දරයි. බලන්න, බලාගෙන ඉන්න ප්‍රියයි. ඒ නිසා වෙන්න ඇති ගැහැනු මුහුණත් හඳට උපමා කළේ.
කොහොම වුණත් හඳේ ලප තියෙනවා කියලා කවුරුත් දන්නවා. ඒ හඳේ තිබෙන කඳු, ආවාට නිසා. අපිට හඳේ ඉන්න හාවා වගේ පේන්නේ ඒ කඳු. මේ කතාව කොහොමද ඔබට අදාළ වෙන්නේ. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි තරුණ ඔබේ මුහුණත් හඳ වාගේ ලස්සනට තියා ගන්න ඔබ අපමණ වෙහෙසක් ගන්න බව මම දන්න නිසයි.
ඒත් හඳ වගේ තියෙන ඔබේ ලස්සන මුහුණ ක්‍රමයෙන් අවලස්සන වෙන්න පටන් ගන්නවා. හරියට හඳේ ලප වාගේ මුහුණෙත් ආවාට, කඳු හැදෙනවා. ඒක වෙන්නේ ඔබටත් හිතාගන්න බැරි තරම් ඉක්මනින්. මෙහෙම වෙන්නේ තරුණ ඔබට අමිහිරි අත්දැකීමක් එක් කරන ‘කුරුලෑ’ නිසානේ.
‘රුව ගුණ වරුණ’ තුළින් මා කියන්න යන්නේ මේ කරදරකාරී කුරුලෑවලට වැට බැඳලා මුහුණ පුර හඳ වාගේ හැමදාම තියාගන්න පුළුවන් ක්‍රම ගැන.
කුරුලෑ කියන්නේ ඔබ යොවුන් වියට පිවිසුණ බව පෙන්නුම් කරන දූතයෙක් කියලා කිව්වොත් හරි. පිරිමි දරුවෙක්ගේ දැලි රැවුල වැවෙන කොට, උඟුරු ඇටේ පනින කොට, කටහඬ රළු වෙන කොට ඔන්න එක පාරට කුරුලෑ එන්න පටන් ගන්නවා.
ගැහැනු ළමයෙකු සම්බන්ධයෙනුත් ඒක ඒ ආකාරයෙන්ම සිදුවෙනවා. වැඩිවියට පත් වූ පසු ක්‍රමයෙන් ඇඟපත වැඩෙන කොට, මුහුණ පිරෙන කොට ඔන්න එක පාරටම උදේ පාන්දර මුණේ කුරුලෑවක් ඇවිත්. ඒක මුල් කාලේ ටිකක් සුන්දර අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ කුරුලෑව මිරික මිරික ඉන්න එක, ඒක මිරිකලා ඒකේ තියෙන පීය අතට ගන්න එක ඔබට අලූත් අත්දැකීමක් වෙන්න ඇති.
වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට ‘කුරුලෑ’ කියන්නේ බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් නොවෙයි. තරුණ වයසේ දී කුරුලෑ ඇති වීම ස්වභාවික තත්ත්වයක් වශයෙනුයි සැලකෙන්නේ. කුරුලෑ ඇති වූ විට ඒවා පාලනය කිරීම නිවැරදි සෞඛ්‍ය පුරුදු මඟින් ඉතා හොඳින් කළ හැකියි. එහෙම නැතිව කුරුලෑ උරුලෑවෙකු ගේ තත්ත්වයට ආවොත් වෛද්‍ය ප්‍රතිකාර මගින් ඒවා පාලනය කළ හැකියි.
මිනිස් සිරුරේ හැම දෙයක්ම හැදෙන්න යම් කිසි නිශ්චිත හේතුවක් හෝ හේතු කිහිපයක් බලපානවා. ඒ නිසා කුරුලෑ ඇති වීමටත් බලපාන හේතු තිබෙනවා.
මිනිසාගේ බාහිර සම සකස් වී තිබෙන්නේ ‘අජීවී සෙලවලින්. ඒ නිසා අප නොදැනුවත්වම මේ අජීවී සෙල සහිත බාහිර සම ගැළවී යනවා. ඒ වෙනුවට නව සෙල මේ ගැළ වී යන සෙලවල තැන ගන්නවා.
අපේ සම තුළ ඇසට නොපෙනෙන සිදුරු තිබෙනවා. ඔබට දහඩිය දමන විට ඒවා සම මතු පිටට එන්නේ මෙන්න මේ සිදුරු වලින්. ඒවා හඳුන්වන්නේ ‘රෝම කූප’ කියලා. ඇතුල් සමෙහි තිබෙන ‘ස්නේහස්රාවී’ නමින් හඳුන්වන ග්රන්ථිවලින් වෑස්සෙන ‘සීබම්’ කියන දියරය නොකඩවා මේ රෝම කූප තුළට ගමන් කරනවා.
මෙහිදී ඉතා වැදගත් කරුණක් ගැන ඔබ දැනුවත් විය යුතුයි. ඒ ‘සිබම්’ සමෙන් ඉවත් වීමට නම් රෝම කූප අවහිර නොවිය යුතුයි. ඒත් ඇතැම් විට, ඇතැම් පුද්ගලයින්ගේ මේ ක්‍රියාවට අවහිර වෙනවා. ඒ කියන්නේ සිබම් සිරුර මතුපිටට පැමිණෙන රෝම කූප අවහිර වීම සිදුවෙනවා. එවිට සිදුවන්නේ ඒවා ස්නේහාස්රාවී ග්‍රන්ථි තුළම ගොඩගැසීමයි.
කුරුලෑවක ආරම්භය සිදුවන්නේ මේ අවස්ථාවේදීයි. ඉහත සඳහන් කළ ආකාරයට රෝම කූප අවහිර වීමට හේතු වෙන්නේ රෝප කූප ආස්ථරණය කරන සෙල මිය ගියාට පස්සේ ඒවා ගැළ වී ඉවත් වෙනවා වෙනුවට ඒ තුළම තැන්පත් වීමයි.
ඔබ මොහොතක් කල්පනා කරලා බැලූවොත් ඔබට විවිධ කුරුලෑ ඔබේ මුහුණේ මතු වූ බව මතක් වේවි. ඒ කියන්නේ විවිධ කුරුලෑ වර්ග තිබෙනවා.
මේ ආකාරයට විවිධ කුරුලෑ වර්ග හටගන්නේ රෝම කූපය අවහිර වන ආකාරය අනුව.
කුරුලෑ එන්නේ යොවුන් වියට පත් වූ පසු බව අපි දන්නවා. ඒත් යොවුන් වියේ දී කුරුලෑ හට ගන්නේ ඇයි? මේ ප්රශ්නය විසඳා ගැනීමට ඔබ කැමැති වේවි
යොවුන් වයසේ දී ඔවුන් ගෙන් ලිංගික හෝමෝන ස්රාවය වෙන්න පටන් ගන්නවා. මේ ලිංගික හෝමෝන තමයි කුරුලෑ ඇති වීමට බලපෑම් කරන්නේ. කුරුලෑ ඇති වීමට බලපාන හෝමෝනය හඳුන්වන පොදු නම තමයි ‘ඇන්ඩ්රජන්’ කියලා කියන්නේ. මේ හෝමෝනය ‘අධිවෘක්ක ග්රන්ථියෙන් ’ ස්රාවය වන දෙයක්. ඒ වගේම පිරිමින්ගේ වෘෂණ කෝෂ ආශ්‍රිතව ද ගැහැනුන්ගේ ඩිම්බ කෝෂ ආශ්‍රිතව ද මේ හෝමෝනය ශ්‍රාවය වෙනවා.
ඇන්ඩ්රජන් හෝමෝනය ඕනෑම තරුණ තරුණියක ගෙන් ස්රාවය වෙනවා. මේක පොදු තත්ත්වයක්. ඒත් කුරුලෑ හැමෝටම පොදු වුණත් එහි විවිධතා තිබෙනවා. සමහරුන්ගේ මුහුණේ කුරුලෑ එන්නේ කිහිපයක් පමණයි. ඒත් ඇතැමුන්ගේ මුහුණ විකෘති වන තත්ත්වය දක්වා කුරුලෑ හට ගන්නවා. මේක වෙන්නේ රෝම කූප අවහිර වීම අනුවයි. ඇතැමුන්ගේ රෝම කුප අවහිර වීම සුළුවෙනුත්, තවත් අයෙකුගේ වැඩියෙනුත් සිදුවිය හැකියි. ඒ අනුව කුරුලෑ හට ගැනීමත් අඩු වැඩි වශයෙන් සිදුවෙනවා. ඒ වගේම තමයි කුරුලෑ හට නොගන්නා තරුණ තරුණයින් ද ඇතැම් විට අපට දැකගත හැකියි.
ඉහත විස්තර කළ ආකාරයට ඇන්ඩ්රජන් හෝමෝනයට අමතරව කුරුලෑ වැඩියෙන් හට ගැනීම කෙරෙහි තවත් කරුණු කිහිපයක් බලපානවා.
කුරුලෑ ඇති වීම සම්බන්ධයෙන් අප අතර පවතින ජනප්‍රිය මිත්‍යා මත කිහිපයක් ද තිබෙනවා.
කුරුලෑවක් හටගත් විට අපි බොහෝ දෙනෙකුට එය ස්වභාවිකව වියලෙන තෙක් සිටීමට හැකියාවක් නැහැ. අපි බොහෝ දෙනෙක් කරන්නේ ඒක මිරිකලා දාන එක. ඒත් වෛද්‍ය විද්‍යාත්මකව නම් එය නොකළ යුතු දෙයක්. මොකද කුරුලෑව මිරිකීමෙන් ස්නේහස්රාවී ග්‍රන්ථි හානියට පත් වෙනවා. ඒවා තුවාල වීමෙන් සම මතුපිට කැලැල් ඇතිවිය හැකියි. විශේෂයෙන් දෙඇසි මධ්‍යයේ සිට මුව දෙපස දක්වා ප්‍රදේශයේ කුරුලෑ මිරිකීම ඉතාම හානිකරයි.
කුරුලෑ හටගත් විට ඒවා පාලනය කිරීම මෙන්ම කුරුලෑ හට ගැනීම අවම කිරීමත් අපට ඉතා පහසුවෙන් කළ හැකියි. ඒ සඳහා ඉතාම හොඳ හා පහසු, ලාභදායි ක්‍රමයක් වන්නේ ‘හුමාලයට මුහුණ ඇල්ලීමයි.
හුමාලයට මුහුණ ඇල්ලීම නිසා රෝම කූපවල විවර ප්‍රසාරණය වෙලා රෝම කූප වල ඇති බාධා ඉවත් වෙනවා. එවිට සීබම්වලට පිටතට පැමිණීම පහසු වෙනවා.
ඔබ සබන් වර්ගයක් පාවිච්චි කිරීමට කැමැති නම් ළදරු සබන් වැනි මෘදු සබන් වර්ගයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. ඒ වගේම හොඳින් මතක තියා ගන්න මුහුණ පිස දැමීම සඳහා පිරිසිදු තුවායක් භාවිත කළ යුතුමයි.
ඉහත සඳහන් කළ ක්‍රම මගින් අපහසුවකින් තොරව ඔබට කුරුලෑ පාලනය කරගත හැකියි. එහෙත් ඇතැම් අයගේ කුරුලෑ ආසාදන තත්ත්වයට පත්වන බවක් දැකිය හැකියි. එවිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය හැකියි. එහිදී කුරුලෑවේ ස්වභාවය හඳුනා ගැනීම ඉතා ම වැදගත් වෙනවා. එය කළ හැක්කේ පළපුරුදු වෛද්‍යවරයෙකුට පමණයි. ඇතැම් සරල ආලේපනවලින් කුරුලෑ සුව කළ හැකියි. තවත් අයෙකුට ඒ සඳහා ඖෂධ මාත්‍රා වශයෙන් පාවිච්චි කරන්න සිදුවිය හැකියි. ඒ නිසා වෛද්‍යවරයාගේ මග පෙන්වීම මත ඉවසීමෙන් යුතුව අඛණ්ඩව ප්‍රතිකාර කිරීම සිදුවිය යුතුයි. එසේ නැතිව දවසකින් දෙකකින් ප්‍රතිකාර නතර කළ හොත් අවශ්‍ය සුවය ලැබෙන එකක් නැහැ.
මෙහිදී ඔබ දැඩිසේ සැලකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. ඒ වෙළෙඳපොළේ ඇති ඕනෑම ආලේපනයක් මගින් කුරුලෑ සුව කළ නොහැකියි. තමන්ට ආසාදනය වී ඇති කුරුලෑ විශේෂයට අදාළ නියම ප්‍රතිකාර ඔබ විසින් ලබාගත යුතුයි. ඒ සඳහා පුහුණු වෛද්‍යවරයෙකුගේ හෝ පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියකගේ / ශිල්පියෙකුගේ මග පෙන්වීම ලබාගත යුතුයි.
සැකසුම ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
Lanka Newsweek © 2021