Saturday 16th of November 2019

English Tamil
Advertiesment


ජනපති සිහින දැකීමට පෙර සාමාන්‍ය පෙළ ලියනු..!


2019-07-03 9905

"ජනපතිකමට තිබෙන එකම සුදුසුකම කථිකත්වය නොවෙයි"

 

 

 (නායක බණ්ඩාර)

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනපති අපේක්ෂකයා විය යුත්තේ ශ්‍රී ලංකාවත් ලෝකයත් එකට එක් කළ හැකි සියලු ජාතීන් සහ ආගමිකයින් එකට ඒකරාශී කළ හැකි උගත්,බුද්ධිමත්,පරිණත පුද්ගලයෙකු විනා මෙලෝ තොරතෝංචියක් නොමැතිව උදේ සිට රෑ වන තුරු කුණු කානු සහ බෝක්කු ගැන කතා කරන පුද්ගලයෙකු නොවන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ 14,බණ්ඩාරනායක මාවතේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී අඩු අදායම් ලාභීන් වෙත පරිගණක යන්ත්‍ර බෙදා හැරීමේ උත්සයට එක්වූ අවස්ථාව්දී ජන මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විදුලි බල,බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේද කීය.

"එක්සත් ජාතික පෙරමුණේ මීළඟ ජනපති අපේක්ෂකයා විය යුත්තේ ශ්‍රී ලංකාවත් ලෝකයත් එකට එක් කළ හැකි,සියලු ජාතීන් සහ ආගමිකයින් එකට ඒකරාශී කළ හැකි උගත්,බුද්ධිමත්,පරිණත පුද්ගලයෙකු බව කිව යුතුයි. 

ජූලි හතයි...ශ්‍රී ලාංකීය දේශපාලනයේ මහා පෙරළියක් මාතරින් අරඹනවාලු..! රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදයෙන් අහවලා ජනපති අපේක්ෂකයා කරනවාලු...එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා අවම වශයෙන් සාමාන්‍ය පෙළවත් සමත් විය යුතුයි.රට ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්න රැසකට මුහුණ දී සිටියදී ඒ ගැන වගේ වගක් නොමැතිව කුණු කානු සහ බෝක්කු ගැන කතා කරන අය ජනපතිකම් කරන්නේ කෙසේද..?

මේ කියන පෙරළිය මාතරින් නොව මුළු රටේම ඇති කළ යුතුයි.මාතර පෙරළිය වැනි අනවශ්‍ය සහ බොළඳ කතා එක්සත් ජාතික පෙරමුණට අවශ්‍යම නැහැ.අපේ පක්ෂයේ විනයක් සහ නීතියක් තිබෙනවා.එමනිසා චන්ද්‍රිකා කුමාරතුංගගේ පිළෙන් ආ දේශපාලන අනාථයින්ට එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට අප කිසිසේත් ඉඩ තබන්නේ නැහැ.ඩී.එස් සේනානායක,ඩඩ්ලි සේනානායක,ජේ.ආර් ජයවර්ධන,ඩී.බී විජේතුංග සහ රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කළ එක්සත් ජාතික පක්ෂය එක්කෙකුගේ දෙදෙනෙකුගේ බූදලයක් කර ගැනීමට අප ඉඩ තබන්නේ නැහැ.

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා කවුරුන්ද කියා පක්ෂ අභ්‍යන්තරයේ දැන ගත යුතු පුද්ගලයින් දන්නවා.මාධ්‍ය ඉදිරියට පැමිණ කතා කිරීම හැකිවීම පමණක් ජනාධිපතිවීමට සුදුසුකමක් නොවේ.

ජනාධිපති ධූරයට ඉදිරිපත්වීමට අද නොයෙක් දෙනා අපේක්ෂා කරනවා. සමහරුන්ට එසේ අපේක්ෂා කිරීමට පවා කිසිදු සුදුසුකමක් නැහැ. මාධ්‍ය ඉදිරියට පැමිණ කතා කිරීම පමණක්ම ජනාධිපතිවරණයට සුදුසුකමක් වෙන්නේ නැහැ. එ.ජා.ප. ය කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ගොඩනැගුව පක්ෂයක් නෙමෙයි. බහුතරයකගේ කැපවීම මත ගොඩනැගුන පක්ෂයක්. මේ පක්ෂය තුළින් ජනාධිපතිවරණය වෙනුවෙන් වඩාත් පරිනතභාවයෙන් යුක්ත, මේ රට ජාත්‍යන්තරය කරා ගෙන යා හැකි, රටත් ජනතාවත් ගැන හිතන, ආදරයක් තියෙන, වැඩක් කළ හැකි පුද්ගලයෙක්. මේ පුද්ගලයා අඩුම ගණනේ සාමාන්‍ය පෙළවත් සමත් පුද්ගලයෙක් වියයුතුයි.

රෑ වැටුණ වළේ අපිට දවල් වැටෙන්නනම් බැහැ" "මේ සිංහල බෞද්ධ රට බෞද්ධ රටක් නෙමෙයි කියන අබෞද්ධයෝ තවත් අබෞද්ධ වැඩ කරන පිරිස් ජනාධිපතිවරණයට නම් කරන්න හදනවානම්, එක්සත් ජාතික පක්ෂය ඒවගේ දේවල් අනුමත කරන්නේ නැහැ. අපේ පක්ෂයේ විනයක් තිබෙනවා. නොයෙක් කල්ලිවලට අපේ පක්ෂයේ ඉඩක් නැහැ. පක්ෂයේ එකමුතුභාවය නැති කරන්න දෙන්නේ නැහැ. අද යම් අය කශේරුවක් නැති තත්ත්වයට පත් වෙලා. මෙතෙක් කලක් රැකගෙන ආව එක්සත් ජාතික පක්ෂය, එක්කෙනෙක්ගෙ දෙන්නේක්ගේ බූදලයක් බවට පත්කරන්න දෙන්නේ නැහැ."

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, "ආර්ථික අපහසුතා ඇති, සහජ දක්ෂතා සහිත පිරිස් වෙත ස්වශක්තියෙන් නැගී සිටීමටයි අද මේ පරිගණක ලබාදුන්නේ. මේ තුළින් තමාගේ දැනුම වැඩිදියුණූ කරගන්නා සේම, තවත් පිරිසකට යම් අන්දමක දැනුමක් ලබාදීමට අවස්ථාවක් උදාවෙනවා. රජයෙන් සෑම දෙයක්ම නොමිලේ ලබා දෙනවාට වඩා, ජනතාව තුළ දැනුම වර්ධනය කිරීමට කටයුතු කිරීමයි වැදගත් වන්නේ. සමාජ සත්කාරයක් වශයෙන් ශාරීරික දුබලතා ඇති පුද්ගලයින්ට රෝද පුටු ලබාදීමටත් අපි කටයුතු කරනවා.

විවිධ දක්ෂතා සහිත ආර්ථික හැකියාවක් නොමැති පුද්ගලයින්ට උදව් කිරීමෙන්, ඔවුන්ගේ ජීවිත වලට යම් ශක්තියක්, සතුටක් වෙන්න පුළුවන්නම්, දේශපාලඥයෙක් වශයෙන් ඒක තමයි කළ හැකි ලොකුම කාර්යය වන්නේ. අපි සත්කාර්යයන් ක්‍රියාවට නැංවිය යුත්තේ ප්‍රදර්ශනාත්මකව නෙමෙයි"

Advertiesment