Sunday 22nd of September 2019

English Tamil


අධ්‍යාපනය සංවර්ධනය නොකරන රට අඳුරේ ගිළි යනු ඇත..!


2019-07-02 1740

රටක් ගොඩ නැගිය හැක්කේ ජනතාවට නොමිලයේ නිවාස ලබා දීමෙන් නොව අධ්‍යාපනය දියුණු කිරීමෙනි..!

නායකයකුගේ දේශානුරාගය මැනිය හැක්කේ ඔහුගේ ඇඳුමෙන් නොව ජාතිය කෙරෙහි ඔහුට තිබෙන දැක්මෙනි..!

( දේශප්‍රිය නානායක්කාර)

"ඔබ වසරකට සැලසුම් කරන්නේ නම් වී වපුරන්න...ඔබ දශ වසරකට සැලසුම් කරන්නේ නම් ගස් වවන්න... ඔබ ශත වර්ෂයකට සැලසුම් කරන්නේ නම් සියලු ජනයාට අධ්‍යාපනය ලබා දෙන්න"  "If you are planning for a year, sow rice; if you are planning for a decade, plant trees; if you are planning for a lifetime, educate people."

දිළිදුකම නිසා ලැජ්ජාවට පැමිණෙයි. ලැජ්ජාවට පත්වූවාහූ තේජසින් පිරිහෙති. තේජස් නැති තැනැත්තා ලෝකයා විසින් හෙළා දකිනු ලබයි. හෙළා දැකීම නිසා කලකිරිමට පත් වෙයි. කලකිරීමට පත් වූ විට ශෝකයට පැමිණෙයි. ශෝකයට පත් වූ විට නුවණින් පිරිහෙයි. නුවණින් පිරිහිණු විට විනාශයට පැමිණෙයි.අහෝ..! දිළිදු බව මේ සියලු විපත්වලට හේතුවයි” හිතෝපදේශයේ උක්ත ආකාරයෙන් දිළිදුකම විස්තර කර ඇත. දිළිදු බව අහෝසි කිරීමේ ක්‍රියාදාමයයේ පළමු තැන හිමි විය යුත්තේ අධ්‍යාපනය දියුණු කිරීමටය.

1970 වන විට ගුරු සේවය දේශපාලනික බලපෑම්වලට යටවී ගුණාත්මකව පිරිහී තිබිණි.රනිල් වික්‍රමසිංහයන් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් ගුරු ප්‍රජාව ක්‍රමිකව පුහුණු කළ අතර දේශපාලන නිර්දේශ මත ගුරුවරුන් බදවා ගැනීමේ ක්‍රියාපිළිවෙළ ද අත් හිටු වන ලදී.

දේශපාලනයේ නිරත පවුල්වල දූ පුතුන්ට ගුරු සේවය සදහා අවශ්‍ය සුදුසුකම් නොතිබුණත් ගුරු සේවයට බදවා ගන්නා ආකාරය “චිට්” ක්‍රමය වශයෙන් ප්‍රචලිත වී තිබුණි. උක්ත “චිට්” ක්‍රමය නොහොත් මන්ත්‍රී නිර්දේශ මත ගුරුවරුන් බදවා ගැනීම අහෝසි කොට තරග විභාග හා විද්‍යා පීඨ හරහා ගුරුවරුන් බදවා ගැනීමට කටයුතු කරන ලදී .

අධ්‍යාපනික සේවාවේ ගුණාත්මකභාවය ක්‍රමිකව පිරිහීම ආරම්භ වී තිබුණේ ඉහත චිට් ක්‍රමය නිසා බව වටහා ගත් රනිල් වික්‍රමසිංහ තරුණ අධ්‍යාපන ඇමතිවරයා එම ක්‍රමය මුලිනුපුටා දමන ලදුව ජේ ආර් ජයවර්ධනයන්ගේ ආණ්ඩුවේ මන්ත්‍රී කණඩායම තමන්ගේම පක්‍ෂයේ අධ්‍යාපන ඇමතිවරයාට විශ්වාස භංගයක් යෝජනා කරන ලදී. එකළ පැවති වාමාංශික ව්‍යාපාරය සිරිත් පරිදි උක්ත විශ්වාස භංග යෝජනාවට විශාල ප්‍රචාරයක් ලබා දෙන ලදී. මොහොතක් සිතන්න..! එවැනි ක්‍රමයකින් ගුරුවරුන් බදවා ගැනීම අද දක්වා ක්‍රියාත්මක වුයේ නම් රටට වන විනාශය කෙතරම් වනු ඇත්ද..?

නිදහසින් පසු උපන්,නිදහස් අධ්‍යාපනයෙන් උගත්,තම ජාතියේ මව් භාෂාව වන සිංහලයෙන් උසස් අධ්‍යාපනයේ යෙදුණ තරුණ අධ්‍යාපන ඇමැතිවරයාගේ ස්ථාවරය වූයේ ශ්‍රී ලංකාවේ බහුතර ජනයාගේ ආදරණිය දූ පුතුන්ගේ අනාගතය වෙනුවෙන් සැබෑ උවමනාවක් තිබේ නම් දේශපාලන “චිට්” ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරදී අත් හිටුවමින්, ගුරු පත්වීම්,ගුරු මාරුවීම්,ගුරු විනය පරීක්ෂණ අධ්‍යාපන කොමිෂන් සභාව වෙත පවරා දිය යුතු බවයි.

ඒ අනුව අධ්‍යාපන සේවාවේ උසස් වීම් සදහා නිවැරදි ක්‍රමයක් හදුන්වා දෙන ලදී. අධ්‍යාපන සේවා කොමිෂන් සභාවට දේශපාලන හිතවතුන් පත් කිරීමද අත් හිටු වන ලදුව දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් ගුරු සේවය ප්‍රයෝජනයට ගැනීමද වළක්වාලන ලදී. අධ්‍යාපන සේවාවේ උසස් වීම් සදහා විද්‍යාත්මක කළමනාකරණය හදුන්වා දෙන ලදී .

එකසත් ජාතික පක්ෂය, අධ්‍යාපන සංවර්ධනය පිළිබද ක්‍රියා කරනුයේ ඊළග මැතිවරණය ඉලක්ක කොට ගෙන නොව ඊළග සියවස ඉලක්ක කොට ගෙන බව එජාප ආණ්ඩුකරණ ඉතිහාසය පිළිබද විමසා බැලීමෙන් ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකිය .

ගෝලීය අධ්‍යාපනික නිර්නායකයන් අනුව පොදුවේ සියලු පාසල්වල ශිෂ්‍ය ගුරු අනුපාතය(Student–teacher ratio)ක්‍රමිකව අවම කිරීමට උත්සහායක් පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අංශයේ ගුරු ශිෂ්‍ය අනුපාතය 23.2 කී.

ඒ අනුව සුදුසුකම් නොමැති එක් ප්‍රාථමික ගුරුවරයෙක් යනු ළමුන් විසි තුන් දෙනෙකු වසර හයකක්ම නොමග යවන්නෙකු හෝ එසේ නැත හොත් ළමුන්ගේ අනාගතය විනාශ කරන්නෙකි.

එමෙන්ම සුදුසුකම් නොමැති, ඉගැන්වීමේ හැකියාව සහ ඊට අදාළ දැනුම නොමැති ද්වීතීක ගුරුවරයෙක් යනු පාසල් දරුවන්ගේ වසර 13 ම අදුරේ හෙළන පුද්ගලයෙකි.

ඉගැන්වීම පිළිබද දාර්ශනික මතය වී ඇත්තේ නරක ළමයින් කොහෙත්ම නොමැති අතර ඇත්තේ නරක ගුරුවරුන් බවයි.ඒ අනුව ගුරු ප්‍රජාව විද්‍යාත්මකව ගොඩනැගීම ජාතික අවශ්‍යයතාවයක් බව පැහැදිළි වනු ඇත.

2019 වන විට ශ්‍රී ලාංකික ගුරු ප්‍රජාවගේ සුදුසුකම් පහත පරිදිය.රනිල් වික්‍රමසිංහයන්ගේ සැබෑ ජාතික චින්තනය අවබෝධ කර ගැනීමට උක්ත කාරණය පමණක්ම ප්‍රමාණවත්ය.

අද්‍යතන ශ්‍රී ලංකාවේ පාසල් 10,194 කි. එනම් ජාතික පාසල් 353කි.පළාත් පාසල් 9,841කි. ගුරු ප්‍රජාවගේ වටිනාකම් ඉහළ මට්ටමක ඇත. ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් සිසු සිසුවියන් 4,165 ,964කී. ඒ ශිෂ්‍යයන් 2,059,805ක් සහ ශිෂ්‍යාවන් 2,106,159 වශයෙනි.ඒ සිසු සිසුවියන් සඳහා සුදුසුකම් ඇති ගුරු ප්‍රජාවක් ඇත.

සමස්ත ගුරු සංඛ්‍යාව 241,591කි.ඒ උපාධිධාරී ගුරු භවතුන් 106,756ක්ද, පුහුණු ගුරු භවතුන් 129,638ක්ද, නුපුහුණ ගුරු භවතුන් 3,311ක්ද, අභ්‍යාස ලාභී ගුරු භවතුන් 1,293ක් සහ අනෙක් ගුරු භවතුන් 593ක් වශයෙනි.උක්ත ගුරු භවතුන් 241,591 අතර ගුරු මහත්වරුන් 64,635ක් සහ ගුරු මහත්මීන් 176,956ක් සිටිති.

“සාමාන්‍යය ගුරුවරයා වචනයෙන් විස්තර කරයි...හොඳ ගුරුවරයා අරුත් දක්වමින් පැහැදිලි කරයි...උතුම් ගුරුවරයා තර්කානුකූලව පෙන්නුම් කරයි... ශ්‍රේෂ්ඨ ගුරුවරයා නිර්මාණාත්මකව උගන්වයි...” යනුවෙන් ඉංග්‍රීසි කියමනක් ඇත. ඒ අනුව පැහැදිළි වනුයේ ගුරු ප්‍රජාව ඕනෑම රටක අනාගතය ගොඬනඟන උත්තරීතර පිරිසක් බවයි .

උක්ත උත්තරීතර මානව ගුණය පොදු සමාජය වෙත ලබා ගැනීමට නම් ගුරු ප්‍රජාවගේ ජිවිතයේ තෘප්තිමත්භාවය(Life satisfaction)පිළිබදව පුළුල් දැක්මක් දේශපාලනඥයන්ට සහ පරිපාලනයට තිබිය යුතුය. ජීවිතයේ තෘප්තිමත්භාවය යනු ආර්ථික තත්ත්වය, අධ්‍යාපන මට්ටම, අත්දැකීම්, පදිංචිය, ඇතුළු තව දුරටත් විකාශය වන මාතෘකාවකී.

ගුරු ප්‍රජාවගේ යහපත් මානසික සෞඛ්‍යය සහ යහපැවත්ම(Positive Mental Health and Well-Being)ක්‍රමිකව උසස් තත්ත්වයට ගොඩනැගෙනුයේ ධනාත්මක මනෝභාවයන්, ධනාත්මක මානසික ක්‍රියාකාරීත්වයන් සහ ධනාත්මක සමාජ ක්‍රියාකාරීත්වයන් සපිරි යහපත් ජිවිතයක් ගත කිරීමට පහසුකම් ඇති පරිපාලන ක්‍රියාවලියක් ඇතුළත දී පමණි.

සතුට හා තෘප්තිමත් හැඟීම් සපිරි ප්‍රීතිමත් ගුරු ප්‍රජාවක් යනු පරිපාලනයේ නිර්මාණයකි. දොම්නස් සහගත ගුරුවරුන්(Unhappy Teachers)බිහි වනුයේ පරිපාලන දුර්වලතා හේතුවෙනි.දොම්නස් සහගත ගුරුවරුන් සිය ශිෂ්‍ය ප්‍රජාවට නිතී රීතීවලින් ඉගැන්වීමට උත්සාහ කරනු ඇත. ළමුන්ට නීති රීතිවලින් ඉගැන්විය නොහැකිය.

නීතිය නිතරම ළමා මනසින් ලිස්සා ඉවතට විසි වෙයි. අපට අවශ්‍ය දේ ළමුන්ගේ අභ්‍යන්තරයේ රෝපණය කළ යුත්තේ ප්‍රයෝගික බව හරහාම පමණි. මේ අනුව ගුරුවරයෙකු තෝරා ගැනීම හෝ තෝරා දීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු කාර්යභාරයක්මය. ළමයින්ට හික්මීම සහ පාලනය උගන්වන්නේද ගුරුවරුය. නිවැරදි ගුරුවරුන් ළමයින් සලකන්නේ තාර්කික බුද්ධියෙන් යුත් සත්ත්වයෙකු පරිදිය.

ළමයින්ගේ බුද්ධිය ඔප්නංවා ගැනීමට උපකාර කිරීම සහ මඟ පෙන්වීම ගුරුවරුන්ගේ බලවත් වගේම තීරණාත්මක කාර්යභාරයයි. සාර්ථකත්වය රඳා පවතින්නේ ස්වභාවික ගුණාංගයන්,විඥානය,මතකය සහ සිතීමේ හැකියාවන්ට වඩා බුද්ධිමය ලෙස මනස යෙදවීමේ ප්‍රීතිය මතය. එම නිසා නිශ්චිත සහ නිවැරදි බුද්ධිය සෑදීම වගේම වර්ධනය කිරීම සඳහා සොබාදහමට වඩා අධ්‍යාපනය බලපානු ඇත.

මේ අනුව සදාචාරය-ප්‍රඥාව-ආචාර ධර්ම සහ ඉගැන්වීම යනු ගුරුවරයාගේ අත් නොහළ හැකි වගකීම් බව ජෝන් ලොක් පවසා ඇත. තව දුරටත් ඔහු පවසා ඇත්තේ ප්‍රඥාවට සුදානම් කරන ළමයින්ට තිබිය යුතු නුසුදුසුකම් වන බොරුව, වැරදි ක්‍රියා සහ කපටිකම ළමයින් වෙතින් දුරස්ථ කළ යුතු බවයි. මක්නිසාදයත්, උතුම් සිතුවිලි පැන නගින්නේ එවන් මනසකින් බව පෙන්වා දෙන ජෝන් ලොක්, මිනිසෙකුට සදාචාරය පළමුව හිමි විය යුත්තේ එමගින් ඔහුට මනා ඇගැයීමක් ලැබෙන අතරම සමාජීය පිළිගැනීම සේම ආදරයද හිමි වන නිසා බව පෙන්වා දෙයි.

එම තත්ත්වය ළමයාට සතුටක් සහ ගෞරවයක් ගෙන දෙන අතර උක්ත වටිනාකම් අහිමි පුද්ගලයාට මෙලොව වගේම පරලොව ද සතුටක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියි. එමෙන්ම දාර්ශනිකයෙකු වූ ජීන් ජැක් රූසෝ(Jean-Jacques Rousseau) ප්‍රකාශ කර ඇත්තේ වගා කිරීම මගින් ගස් වැල් හැඩ ගැසෙන්නා සේ මිනිසා අධ්‍යාපනයෙන් හැඩ ගැසෙන බවය.

“හියුමිනිස්ටා” යනු “මානව සංස්කෘතිය කෙරෙහි කැපවීම දක්වන උගත් මිනිසා” යනුයි. 12-14 සහ 16 වැනි සියවස් සමයෙහි යුරෝපයේ සම්භාව්‍ය සාහිත්‍ය කලාවන්හි ඇතිවූ නවෝදය පුනරුද යුගය(The Renaissance)වශයෙන් පිළි ගැනීමට ලක් වී ඇත. උක්ත අලුත් වීම නොහොත් නවීන ශාස්ත්‍රීය පුනරුදය යුරෝපයේ මධ්‍යතන යුගයේ සාර්ථක වූ අතර, එම වකවානුව යුරෝපීය සමාජයේ සම්භාව්‍ය දර්ශනය සහ පොදු සමාජීය වටිනාකම් නැවත තහවුරු කිරීමට ප්‍රයත්න දැරූ කාල පරිච්ඡේදයක් විය.

මනස යනු (මොළය සමග ව්‍යාකුල නොවී) සංඥාව, පරිකල්පනය, සංකල්ප, චින්තනය, විනිශ්චය, භාෂාව සහ මතකය වැනි සංජානන ගුණාංග සමූහයකි. සැබැවින්ම පුනර්ජීවන චින්තකයන් විසින් මිනිසාගේ සිත්වලට අයිති දේපොළ (Mind Property) වශයෙන් සැළකෙන සිතීම සහ මතකය යන ස්වභාවික ක්‍රියාවලිය නව්‍යකරණයට ලක් කර ඇත. ඒ අනුව ශාස්ත්‍රීය පුනරුදය විසින් මෙතෙක් පැවැති සම්භාව්‍ය වටිනාකම් සහ දර්ශනවාදී අර්ථ නිරූපණය පුළුල් කිරීම, වර්ධනය කිරීම, කලා කෘති නිර්මාණය කිරීම, විද්‍යාත්මක චින්තනය සේම දාර්ශනික සිතුම් පැතුම් ආදීයද නව්‍යකරණයට ඇතුළු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ආගම,සංගීතය,සාහිත්‍යය,අධ්‍යාපනය,දේශපාලනය,දර්ශනය,විද්‍යාව,ගෘහ නිර්මාණ ශිල්පය, කලාව පොදුවේ නව්‍යකරණයට ලක් වී ඇත.

උක්ත අලුත්වීමේ මහා ක්‍රියාවලිය නොහොත් පුනර්ජීවනයේ බුද්ධිමය පදනමක් වූයේ “Humanism” මානවවාදයයි. ඉතාලි ශාස්ත්‍රීය විශාරදයෙක් සහ මුල්ම මානවවාදියෙකු වූ බැලීයජියෑන් ෆ්රැන්චෙස්කෝ පෝගියෝ බ්රැචියොලිනි (Gian Francesco PoggioBracciolini) ද, ඉතාලි මානව වාදියෙකු, භාව ප්‍රබෝධකයෙකු, (Rhetorician) අධ්‍යාපනඥයකු සහ කතෝලික පුජකයෙකුවූ ලොරෙන්සෝ වාලා (Lorenzo Valla) ද, මානව වාදීයෙකු,ඉතාලි වංශාධිපතියෙකු සහ දාර්ශනිකයෙකු වූ ජුවවානි පීකො ඩෙල් මිරැන්ඩෝලා (Giovanni Pico dellaMirandola) ද,ඉතාලි කවියෙකු ඩුරන්ටී ඩයි ඇලිජියෙරෝ ඩේග්ලී ඇල්ගියාරි (Durante di Alighierodegli Alighieri)ද, ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වූ නිකොලොයි ඩයි පියට්රෝ ග්‍රැනිණි (Niccolò di PietroGerini)ද, ඉතාලි කලා ශිල්පියෙකු වූ ලොරෙන්සෝ ගිබර්ටි (Lorenzo Ghiberti) ද, ඉතාලි ජාතික විද්වතෙක් සහ කවියෙකු වූ ෆ්රැන්චෙස්කෝ පේත්රාකා (Francesco Petrarca) ද, ෆ්ලොරෙන්ටිනියානු කලාකරුවෙකුවූ මසාචියෝ (Masaccio) ද, පුනරුද යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ පියා වශයෙන් සැලකෙන ෆිලිපෝ බෘනෙලෙස්කි (Filippo Brunelleschi) ද, ඉතාලි මුර්ති ශිල්පියෙකු වූ ඩොනාටෝ ඩයි නිකොකොලෝ ඩයී බෙටෝ බාර්ඩි (Donato di Niccolò di BettoBardi) සහ ඉතාලි ජාතික මානවවාදියෙකු වූ නිකලෝ ඩයි නිකොලෝයි (Niccolò de' Niccoli) යන අය පුනර්ජීවනයේ බුද්ධිම පදනම වූ මානවවාදයේ ප්‍රධානතම චින්තකයෝය.

1348 සිට 1350 අතර කාලයේදී උද්ගත වූ මහාමාරිය වසංගතයද (black plague-black death) මානවවාදී පුනරුදයට වක්‍රව බලපා ඇත. මානව වාදය, මධ්‍යතන යුගය සහ නවීන ඉතිහාසය අතර පාලම වශයෙන් පිළි ගැනීමට ලක් වී ඇත. මේ මානව වාදය, ජර්මානු පුනරුදය, ප්‍රංශ පුනරුදය, ඉංග්‍රීසි පුනරුදය, බෙල්ජියන් පුනරුදය,නෙදර්ලන්ත පුනරුදය, පෝලන්ත පුනරුදය සහ අනෙකුත් ජාතික සහ ප්‍රාදේශීය ව්‍යාපාරවල විවිධ ලක්ෂණවලට සේම ශක්තීන්වලට බලපෑවේය.

ඇල්ප්ස් කඳුකරයේ උතුරු යුරෝපයේ සිදුවූ පුනරුදයේ (The Northern Renaissance) චින්තකයන් අතර උතුරු පුනරුදයේ උසස්ම විශාරදයා වූ ලන්දේසි ක්‍රිස්තියානි මානවවාදියෙකු වූ ඩෙසිඩියස් ඊරාස්මස් රොටෝඩේමස් (Desiderius Erasmus Roterodamus) ප්‍රධානය. “ඉරාස්මස්” යනු පවිත්‍ර ලතින් භාෂාවෙන් ලියූ සම්භාව්‍ය සාහිත්‍යයේ වැදගත් චරිතයකි. උතුරු පුනරුදයේ මානවවාදීන්ගේ සම්භාවනීය අධිපත්‍යය ඔහු සතු අතර ක්‍රිස්තියානි මානවවාදීන්ගේ ඔටුන්නට හිමි තේජස ඔහු විසින් අත් පත් කර ගෙන තිබිණි. ඔහු නව්‍යකරණය වෙනුවෙන් නිරන්තරව ක්‍රියා කර ඇත්තේ නොයෙකුත් ක්ෂේස්ත්‍ර ඔස්සේය.

ඩෙසිඩියස් ඊරාස්මස්ගේ මිත්‍රයකුවූ ද, ඉංග්‍රීසි ජාතික පුරෝගාමී අධ්‍යාපනඥයකුවූ ද, ලන්ඩන් සාන්ත පාවුළු දේවස්ථානයේ පීඨාධිපතිවූ ද, ජෝන් කොලේට් (John Colet) සහ ඩෙසිඩියස් ඊරාස්මස්ද මිනිසාගේ උත්තම ආකෘතිය ලෙස පිළි ගත්තේ,මානව චරිතයේ ජීවමානවූ ද, උතුම් වූ ද සාධකය ලෙස සැලකු ග්‍රීසියේ සම්භාව්‍ය යුගයයි.(Classical Greece) නමුත් ඊට හාත්පසින්ම වෙනස් වූ ඉංග්‍රීසි ජාතිකයන් ,මහත්මා ගුණ ලෙස සැලකුවේ මහ ජන සේවයට ඇති කැපවීම විනා මිනිසාගේ සර්ව සම්පූර්ණ බව ලබා ගැනීම නොවේ. එම නිසා ඉංග්‍රීසි සමාජය,කාලය සමග වෙනස් වෙමින් නිරන්තරව අලුත් වූ අතර එහි අධ්‍යාපනික න්‍යායන් වෙනස් වූයේ නැත. වෙළෙද ආර්ථිකයේ (Market Economy) වර්ධනයත් සමග, ලෞකික සාක්ෂරතා (Secular Literacy) ප්‍රවනතාවයන් සහ සාහිත්‍ය ඇතුළු අධ්‍යාපනය එරටට විශේෂිත වූ ඉංග්‍රීසි බසින් ලබා දීම සිදු කර ඇත.

උක්ත කරුණු හේතුවෙන් ඔවුන්ට වෙනත් ඉංග්‍රීසි සාහිත්‍යයක් සොයා ගැනීමට සිදු වී ඇති බව පැහැදිළිය. ඒ අනුව මිනිසාගේ අභ්‍යන්තරයේ ඇති සහජ හැකියාවක් වන ඥාන විභාගය (Epistemology) හෙවත් ඕනෑම දෙයක් දැන ගැනීමට මිනිසාට ඇති හැකියාව පරික්ෂාවට ලක් වෙමින් නව්‍යකරණය වී ඇත.

සමොසා හී පයිතගොරස් (Pythagoras of Samos) ප්‍රකාශ කර ඇත්තේ “මිනිසා සෑම දෙයකම මිණුම” බවයි. ළමා මනස යනු ජලය සේම කැමති ක්‍රමයකට හැඩය වෙනස් කළ හැකි වස්තුවකි. ලිබරල් වාදයේ නොහොත් ස්වතන්ත්‍රවාදයේ පියා වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති ඉංග්‍රීසි දාර්ශනිකයෙකු වූ ජෝන් ලොක් (John Locke ) 1690 දී එළි දැක්වූ මානව අවබෝධය යන අදහස ද්වනිත වන “An Essay Concerning Human Understanding” කෘතියේ තාර්කික ශක්තියෙන් යුත් ගිරවෙකු පිළිබද විස්තර කර ඇත.

හොඳ සිහිබුද්ධිය ඇති කෙනෙකු සේම හොදින් කතා කිරීමටද උක්ත ගිරවාට හැකියාව තිබී ඇති අතර ගිරවාගෙන් අසන ලද ඕනෑම ප්‍රශ්නයකට සුදුසු පිළිතුරු ලබා දීමට තරම් හැකියාවක් ඌට තිබී ඇත. ගිරවා උපයා ගෙන තිබු කතා කිරීමේ හැකියාව මායාවක් හෝ ගුප්ත බලයක් ලෙස ඇදහූ අයද සිටි අතර එම නිසාම ඕලන්දය පුරා ගිරවුන් ඇති කිරිම අත් හැර දමා ඇත. මෙම කතාවට අනුව ජෝන් ලොක් විස්තර කරන්නේ උක්ත ගිරවා ජීවියෙකු වශයෙන් යම් ප්‍රවර්ධනයක් ලබා ඇතත් මිනිසෙකු වශයෙන් පුහුදුන් තත්ත්වයට ළඟාවී නැති බවයි.

අද්‍යතන සමහර දෙමාපියන්ද, ගුරුවරුන්ද සිය දු දරුවන්, ශිෂ්‍ය, ශිෂ්‍යාවන් මෙම වර්ගයේ ගිරවුන් බවට පත් කිරීමට දඟලන අයුරු අපට පැහැදිලිව දර්ශනය වේ. දු දරුවන්ට අධ්‍යාපන දැනුම පමණක් දී කවා පොවා සතුන් සේ ඇතිදැඩි කිරීමට වෙහෙසෙන මෝඩ දෙමාපියෝ අප අතර සිටිති. ජිවිතයේ යථාර්තයට වඩා අධ්‍යාපන දැනුම ළමුන්ගේ මනසට ඇතුළු කිරීම ඔවුන්ගේ පරම අභිප්‍රාය වී ඇත.

මේ නිසාම ජෝන් ලොක් ප්‍රකාශ කර ඇත්තේ සත්ව අනන්‍යතාවය සමග මානව අනන්‍යතාවය පටලවා නොගත යුතු බවයි. මේ අනුව සත්වයා සහ මානවයා යනු වෙනස් විෂයන් දෙකකි. මානවයාගේ අනන්‍යතාවය රඳා පවතිනුයේ අන් කිසිවක් මත නොව,එකම සිරුරක් අභ්‍යන්තරයේ අඛණ්ඩව එහෙත් වේගයෙන් ගෙවීයන ද්‍රව්‍යය සමුහයක සහභාගීත්වයේ ප්‍රතිපලයක් ලෙස බව ජෝන් ලොක් දැඩි විශ්වාසයෙන් නිගමනය කර ඇත. ජෝන් ලොක්ගේ, “අධ්‍යාපනය සම්බන්ධ ඇතැම් සිතුවිලි” යන අදහස ද්වනිත වන “Some Thoughts Concerning Education” කෘතියේ ළමා මනස හදුන්වා ඇත්තේ, ජලය සේම කැමති ක්‍රමයට හැඩය වෙනස් කළ හැකි වස්තුවක් ලෙසයි. ඒ අනුව ඉතාමත් බලවත් අයුරින් අවබෝධ වනුයේ ගුරුවරයා ඉගැන්වීමේ කලාව ඉතා හොදින් පුරුදු පුහුණු වූ අයෙකු විය යුතු බවයි.

“ඉගැන්වීම කලාවකි...ගුරුවරයා කලාකරුවෙකි...” යැයි ප්‍රංශ දාර්ශනික ජැක් මොරිටෙන් (Jacques Maritain) ප්‍රකාශ කර ඇත . “හිට්ලර්ගෙන් ගැලවීම” යන අර්ථය ද්වනිත වන “Escaping Hitler” කෘතියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ග්‍රහණයෙන් මිදුණු යුදෙව් තරුණයා වූ Günter Sternගේ (වත්මන් නම Joe Stirling) ප්‍රකාශය අනුව ද ඉතා හොදින් අවබෝධ වනුයේ රටක ජාතියක අනාගතය යනු ඉගැන්වීම බවයි. උක්ත ප්‍රකාශය පහත පරිදිය.

“මිත්‍රවරුනි මා විසින් මානව සංහතියේ තීරණාත්මක උගතුන් වන ඉංජිනේරුවන් විසින්, මානව පවුලේ පියවරුන්, මව්වරුන්,සහෝදර සහෝදරියන් අමු අමුවේ මරා දැමීමට ගෑස් කුටි තනන අයුරු දුටුවෙමි. මිත්‍රවරුනි, සෑම ජන සමාජයක්ම උතුම් කොට සළකන විශිෂ්ටතම වෛද්‍යවරු විසින්, මිනිසුන්ට විෂ එන්නත් කරන අයුරු මා දුටුවේ පණ භයේ මගේ ශරීරය වෙව්ලත්දීය. විධිමත්ව පුහුණුව ලත් හෙදියන් විසින් ළදරුවන් මරා දමන අතරේ උපාධිධාරීන් විසින් ගැහැනුන් සහ ළමයින් මරා පුළුස්සන අයුරුත් මම දුටුවෙමි. ලොව පුරා මිනිසුන් විසින් නොදුටු නොදැකිය යුතු බොහෝ දෑ ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මනියේදී මම දුටුවෙමි. ඒ නයින් මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි. මාගේ ගෞරවණිය ආයාචනය වනුයේ, ගුරුවරුන් සිසුන්ට දැනුම දිය යුත්තේ මානව දයාවෙන් යුතු මිනිසුන් වශයෙන් ක්‍රියා කිරීමටයි. එසේ නොමැතිව ගුරුවරුන්ගේ අප්‍රහිත උත්සාහය විය යුත්තේ, අවසානයේදී ලොවට උගත් අමනුෂ්‍යයන්, දක්ෂ යක්ෂයන් බිහි කිරීම නොවේ. කියවීම, ලිවීම, ගණිතය, විද්‍යාව,තක්ෂණය ඉතිහාසය වැදගත් වන්නේ එමගින් අපේ අනාගත පරපුරට වඩා මානව හිතවාදීව මහජන සේවයට ඇති කැපවීම පිළිබදව කියා දෙන්නේ නම් පමණි.” යනුවෙනි.

ඒ අනුවත් නැවත නැවත පැහැදිළි වනුයේ ගුරුවරුන් සහ අධ්‍යාපන ක්‍රමය නිවැරදි ඉලක්ක කරා යොමු කිරීම ඉතා තීරණාත්මක බවයි. බුදුන් වහන්සේගේ දේශනා අනුව අධ්‍යාපනය යාව ජීව ක්‍රියාවලියකි.ඒ අනුව යමින් උසස් අධ්‍යාපනය පිළිබඳ ලෝක සමුළු යුනෙස්කෝ ආයතනය අනුග්‍රහයෙන් හවානා,ඩැකා,ටෝකියෝ සහ බීරූට් යන නගරවල පැවැත්වූ අතර එහිදී උසස් අධ්‍යාපනය 21 සියවස අභියසදී මුහුණ දී ඇති අභියෝග 12ක් හදුනා ගන්නා ලදී. 

-උසස් අධ්‍යාපනය සහ සංවර්ධනය යටතේ-

01. වැඩ ලෝකය සහ සම්බන්ධය ප්‍රමාණවත් නොවීම.

02. උසස් අධ්‍යාපනය තිරසර මානව සංවර්ධනය සදහා ප්‍රමාණවත් නොවීම.

03.කලාපිය සහ ජාතික සංවර්ධනයේ දායකත්වයට ප්‍රමාණවත් නොවීම.

04. උසස් අධ්‍යාපනයට සම්බන්ධ කාර්ය මණ්ඩලයන්හි සංවර්ධනය ප්‍රමාණවත් නොවීම.

-උසස් අධ්‍යාපනයෙහි නව ප්‍රවණතා සහ නවෝත්පාදන

- 01. නව සමාජයක් සදහා උසස් අධ්‍යාපනයෙහි දායකත්වය ප්‍රමාණවත් නොවීම.

02. සාම්ප්‍රදායන් වෙනස් කිරීමට ඇති අකැමත්ත.

03. උසස් අධ්‍යාපනය සහ පර්යේෂණ ප්‍රමාණවත් නොවීම.

04. සමස්ත අධ්‍යාපන පද්ධතියේ ව්‍යාප්තිය සඳහා උසස් අධ්‍යාපනයෙහි දායකත්වය ප්‍රමාණවත් නොවීම.

-උසස් අධ්‍යාපනය සංස්කෘතිය සහ සමාජය-

01. කාන්තා සංවර්ධනය සඳහා උසස් අධ්‍යාපනයෙහි දායකත්වය ප්‍රමාණවත් නොවීම.

02.සාමකාමී බහු සංස්කෘතික මානව සමාජයක් බිහි කිරීම සහ සංවර්ධනය සඳහා උසස් අධ්‍යාපනයෙහි දායකත්වය ප්‍රමාණවත් නොවීම.

03. සංස්කෘතිකයෙහි ශක්තිය භාවිතා කිරීම ප්‍රමාණවත් නොවීම.

04. සමාජ වගකීම් සහ අධ්‍යාපන නිදහස.

-උසස් අධ්‍යාපනය සඳහා ජය ගත යුතු අභියෝග-

01. උසස් අධ්‍යාපනයෙහි විශ්ව ව්‍යාප්තකරණය.

02.උසස් අධ්‍යාපනය ඇතුළත ප්‍රජාතන්ත්‍රීයකරණය.

03.උසස් අධ්‍යාපනය සඳහා විද්‍යා තාක්‍ෂණික වර්ධනය ගළපා ගැනීම.

04. උසස් අධ්‍යාපනයට පරිසරය පිළිබඳ ගැටලු ගලපා ගැනීම.

05.උසස් අධ්‍යාපනය සහ බුද්ධි ගලනය පිළිබඳ ගැටලුව ගලපා ගැනීම.

06.අවි ගැටුම් සමනය සඳහා උසස් අධ්‍යාපනය භාවිතා කිරීම.

07. සමාජ අවශ්‍යතා බැහැර කිරීමේ ගැටලුව උසස් අධ්‍යාපනය සමග ගළපා ගැනීම. 

මේ අනුව ප්‍රධාන ඉල්ලක 03ක් ඇත-

01. උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය.

02.සංවර්ධනය සදහා අදාළත්වය.

03.ගෝලීය සහයෝගිතාවය සඳහා උසස් අධ්‍යාපනය.

21 වන සියවස සදහා උසස් අධ්‍යාපන ඉල්ලුම විශ්වාස කළ නොහැකි තරම් පුළුල් වී තිබේ. අනාගතය ගොඩනැගීම සඳහා තරුණ ජන ගහනය උසස් අධ්‍යාපනය මගින් කුසලතා,දැනුම සහ නව්‍ය ආකල්පවලින් සවිබලකරණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය.ඒ සඳහා උසස් අධ්‍යාපනය මගින් සියලු වර්ගයන්හි අධ්‍යන කර්යයයන්ද,පර්යේෂණ සහ පුහුණුවද,සම්පාදනය කළ යුතුව ඇත.

21 වන සියවස සදහා උසස් අධ්‍යාපන විශ්ව ප්‍රකාශනයේ දර්ශනය සහ ක්‍රියාන්විතය ඉතා ගැඹුරට විහිදී ඇත.එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය මගින් 21 වන සියව සඳහා ඉදිරිපත් කර ඇති උසස් අධ්‍යාපන ප්‍රඥප්තිය පහත පරිදිය.

01/. ව්‍යවස්ථාව . මානව සම්පත් පුහුණුව සහ පර්යේෂණ .

02/.ව්‍යවස්ථාව . සදාචාරමය වර්ධනය - ස්වශක්ති වර්ධනය හා වගකීම් භාරගැනීමේ හැකියාව .

03/.ව්‍යවස්ථාව . උසස් අධ්‍යාපනයට නව දර්ශනයක් ලබාදීම සහ ප්‍රවේශයේදී සාධාරණත්වය ලබා දීම .

04/. ව්‍යවස්ථාව . කාන්තාවන්ගේ සහභාගීත්වය සහ ඔවුන්ගේ භූමිකාව සහ සංවර්ධනය .

05/. ව්‍යවස්ථාව . විද්‍යාත්මක,මානව විද්‍යා, මානව ශාස්ත්‍ර පර්යේෂණ ඇසුරෙන් නව දැනුම සොයා ගැනීම .

06 /.ව්‍යවස්ථාව දිගුකාලින පදනමක් සහිත වූ උසස් අධ්‍යාපනයේ අදාලත්වය ඇති කිරීම .

07/. ව්‍යවස්ථාව . සමාජ අවශ්‍යතා අනුව සහයෝගිතාවය මගින් උසස් අධ්‍යාපනය වැඩ ලෝකයට සම්බන්ධකිරිම .

08 /. ව්‍යවස්ථාව . විවිධතාවලට ඉඩ ප්‍රස්තා ලබා දීම තුළින් සධාරණ අවස්ථා ලබා දීම .

09/. ව්‍යවස්ථාව . නවිකෘත අධ්‍යාපන ප්‍රවේශ සංවර්ධනය .

10 /. ව්‍යවස්ථාව . සිසුන් හා පුද්ගල සංවර්ධනය උසස් අධ්‍යාපනයෙහි ප්‍රධාන භූමිකාව ලෙස සැළකීම .

11/. ව්‍යවස්ථාව . ගුණාත්මක ඇගයීම් ක්‍රම භාවිතා කිරීම .

12/. ව්‍යවස්ථාව . තාක්‍ෂණික අභියෝග ජයග්‍රහනය කිරීම .

13 /. ව්‍යවස්ථාව . උසස් අධ්‍යාපනයේ හි කළමනාකරණය සහ මුලික කටයුතු සංවර්ධනය .

14 /. ව්‍යවස්ථාව . ප්‍රජා සේවාවක් ලෙස උසස් අධ්‍යාපනයෙහි මුල්‍ය කටයුතු කිරීම .

15/. ව්‍යවස්ථාව . දැනුම බෙදාගැනීම සහ හුවමාරු කර ගැනීම .

16/. ව්‍යවස්ථාව . බුද්ධිගලනය වෙනුවට බුද්ධිය ලබා ගැනීම යනුවෙනි .

කොරියාවේ අධ්‍යාපන ක්‍රමය දියුණු කර ඇත්තේද ගෝලීයකරණයට අවශ්‍ය ආකාරයටය.කොරියාවේ අධ්‍යාපන ක්‍රමය සාමාන්‍ය-උසස් පාසල් (Normal High School),වෘත්තීය උසස් පාසල් (Vocational High School), කෘෂි කාර්මික උසස් පාසල් (Agricultural High School), තාක්ෂණ උසස් පාසල් (Technical High School), වාණිජ්‍ය උසස් පාසල් (Commerce High Schools), ධිවර සහ නාවික උසස් පාසල් (Fishery and Marine High School),වෘත්තීය සහ විස්තීරණ උසස් පාසල් (Vocational and Comprehensive High School), විද්‍යා උසස් පාසල් (Science High School), විශේෂ අරමුණු සහිත පාසල් (High School with special purposes) වගේම අති දක්‍ෂ සිසුන්, එසේ නැත හොත් සුභග සිසුන් සදහා වෙන වෙනම පාසල් ක්‍රියාත්මක කර ඇත.

ගුරු පුහුණුව පිළිබදව කොරියාව ඉතා විද්‍යානූකූල ක්‍රම ක්‍රියාත්මක කර ඇත. කොරියාවේ අධ්‍යාපන විද්‍යා පීඨයන්හි දෙපාර්මේන්තු 15 ක් ඇත. ඉන් එක් විද්‍යා පීඨයක ඉංග්‍රීසි අධ්‍යාපන දෙපාර්තමේන්තුවක්, ප්‍රංශ අධ්‍යාපන දෙපාර්තමේන්තුවක්, ජර්මන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් සහ පෘතුවි විද්‍යා අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් ද ඇත. මක්නිසාදයත් ගෝලීය භාෂා කුසලතාවය ඕනෑම රටක දියුණුවට අත්‍යවශ්‍ය හෙයිනි.

ඇමරිකාව 2001 දී පැරණි ද්විත්ව භාෂා ඉගැන්වීම් ක්‍රමය අත්හිටුවා ඉංග්‍රීසි භාෂා උපාර්ජනය පනත English language Acquisition Act Of 2001 ඉදිරිපත් කරන ලද්දේද ඉංග්‍රීසි භාෂාව පිළීබද ඇති අනාගත දැක්ම අනුවය. මධ්‍යම පංතියේ අධ්‍යාපනය සමස්ථ මානව සංහතියම නව්‍යකරණයට ලක් කර ඇති බව ඉතා හොදින් දර්ශනය වී ඇත. අධ්‍යාපන ක්‍රියාවලිය නිසියාකාරව ගොඩනැගීමට ඕනෑම රටක් අසමත් වුවහොත් ඒ රටේ අනාගතය අඳුරේ ගිළී නොපෙනීම යනු ඇත. ඒ හේතුවෙන් ඔබේ දරුවන්ගේ අධ්‍යාපන නව්‍යකරණය පිළිබදව ක්‍රියාත්මක වන දේශපාලන නායකයා නිතැතින්ම ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් ක්‍රියා කරන සැබෑ දේශානුරාගී ජාතික නායකයෙකු බව පිළි ගත යුතුය.