Saturday 16th of November 2019

English Tamil
Advertiesment


දහනායක-ඩී.බී සහ මෛත්‍රීපාල..!


2019-07-01 4736

වඳුරු උපදේශකයන්ගෙන් උපදෙස් අරන් වෙච්ච දේ..!

 

දහනායකගේ වෙස් මාරුව ඉලංගරත්න ලියපු හැටි..!

 

අහඹු රාජ්‍ය නායකයින් අවසානයේ සතුරන්ගේම ගොදුරු වෙන හැටි..!

  

 
(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

"අහම්බෙන් රාජ්‍ය නායකයෝ වෙන හැමෝම අන්තිමට වැටෙන්නේ ඔවුන්ගේම හතුරන්ගේ ඔඩොක්කුවට"

මේ පරණ වාමවාදියෙක් කී  කතාවකි. ඔහු කිවේ ලංකාවේ අහම්බෙන් රාජ්‍ය නායකයා වූ පළමුවැන්නා වූ දහනායක ගැනය. දහනායක, බණ්ඩාරනායකගේ ගෝලයෙකි. ඔහු අගමැති ධුරයට පත් වන්නේ බණ්ඩාරනායක ඝාතනයට පසුවය. බණ්ඩාරනායක පවුල සේම ශ්‍රීලනිපයේ බණ්ඩාරනායකවාදීන්, දහනායකව  අගමැති ධුරයට පත් කර ගන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ආරක්ෂා කර ගෙන ආණ්ඩුව ගෙන යෑමටත්, ඝාතන කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් කොට ආණ්ඩුවේ බණ්ඩාරනායක විරෝධීන් පන්නා දැමීමටත්ය.

එහෙත් සිදු වුයේ එහි අනෙක් පැත්තය. දහනායක ශ්‍රීලනිපයේ බණ්ඩාරනායකවාදීන්ට පන්න පන්නා පහර ගසා බණ්ඩාරනායක විරෝධීන් පමණක් නොව බණ්ඩාරනායක ඝාතනයට සම්බන්ධ යැයි සැක කළ කුමන්ත්‍රණකරුවන්ද ළඟට ගත්තේය. මේ දහනායකගේ වෙස් මාරුව ටී. බී. ඉලංගරත්න සිය "යුගයක ගමන" පොතෙහි සටහන් කරන්නේ මෙසේය.

"ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරතුමා නව අගමැතිවරයෙකු පත් කිරීම ගැන සකච්ඡා කිරීමට ඇමැතිවරුන් කැදෙව්වේය. ශෝකාකුල වූ ඒ අවස්ථාවේ කාගේත් අදහස වුයේ දිවංගත අගමැතිතුමාණන්ගේ අවසාන අපේක්ෂාවන් ඉටු කිරීමය. බණ්ඩාරනායක අගමැතිතුමා පිටරට ගමන සැලසුම් කරන විට අදහස් කර සිටියේ රාජ්‍ය නායක වශයෙන් දහනායක පත් කිරීමටය. සී.පී. ද සිල්වා රෝගාතුරව පිටරට ගිය විට වැඩ බලන සභා නායකයා වශයෙන් පත් කරනු ලැබ සිටියේ ඔහු ජ්‍යෙෂ්ඨතම මහජන මන්ත්‍රීවරයා වූ හෙයිනි. දිවංගත අගමැතිතුමාගේ අවසාන චේතානාවන් ඉටු කිරීම ඒ හැඟුම්බර අවස්ථාවේ කාගේත් අදහස වූ නිසා දහනායක නව අගමැති වශයෙන් ඒකමතිකව පත් කරනු ලැබුවේය.

නොබෝ කලකින් අභිනව අගමැති දහනායක රාජකාරි ප්‍රමුඛත්වය පවා නිරාකරණය කර ගැනීමට නොහැකි තරමට අවුල් වී සිටි බවක් පෙනුණි. වෙන එකක් තබා අගමැති ඝාතනයට හවුල් වූ අපරාධකාරයන් නීති රැහැනට අසු කිරීම ආදිය ගැනත් නව අගමැතිට බල කිරීමට ඇමැති මණ්ඩලයේ අප කිහිප දෙනෙකුට සිදු විය. අගමැති ඝාතනය සම්බන්ධයෙන් 1956 ඔක්තෝබර් 28 දා ඇති වූ පාර්ලිමේන්තු සාකච්ඡාවේදී ද ඝාතකයන් සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කිරීමට සිදු වූයේ රජය වෙනුවෙන් මා වෙත පැවරුණු අවසාන කතාවේදීය.

"දැනට තිබෙන ප්‍රශ්නවලින් ඉතාම ප්‍රමුඛ ප්‍රශ්නය, ඉතාම ශ්‍රේෂ්ඨ ප්‍රශ්නය, පළමුවැනි ප්‍රශ්නය, ඒ අගමැති ඝාතනය පිළිබඳ යම් කිසි  කෙනෙක් සම්බන්ධ වුණා නම්  ඒ සියලු  දෙනාම අල්ලා නිත්‍යානුකූලව සියලු දෙනාටම දඬුවම් පමුණුවා   නැවතත් මේ සමාජය පිරිසිදු කිරීමයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හෝ වේවා, කුඩා හෝ සාමාන්‍ය හෝ ලොකු හෝ කවර ස්ථානයක සිටින පුද්ගලයන් හෝ වේවා ඒ කුමන්ත්‍රණයට සහභාගී වූ යම් කිසිවෙක් සිටි නම් ඔහුට යථා පරිදි දඬුවම් දීමට මුළු ජිවිතයම කැප කරන බව මම ප්‍රකාශ කරන්න කැමතියි."

විරුද්ධ පක්ෂය වෙනුවෙන් අවසාන කතාව කළ ඇන්. ඇම්.එවැනි ප්‍රතිඥාවක් අවසාන කතාවේදීවත් රජයෙන් සඳහන් වීම ධෛර්යයට  කාරණයක් යැයි මට කළ ප්‍රශංසාව මට හොඳට මතකය. එහෙත් මම එක වරදක් කළෙමි. එනම්, මා දැරූ ස්වදේශී භාර ඇමැති ධුරයට ආරක්ෂක ඇමතිකමත් සම්බන්ධ කිරීමට ඉදිරිපත් වූ යෝජනාව පිළි නොගැනීමයි. එය දුර දිග නොබලා ප්‍රතික්ෂේප කිරීමකි.

ඒ නිසා දෝ ඒ කාලය තුළ ඇමැති මණ්ඩලය රැස් වූ හැම අවස්ථාවේදීම නීතිපති සහ පොලිස්පති ගෙන්වා අගමැති ඝාතනය සම්බන්ධයෙන් ඔවුන්ගේ රාජකාරිවලට කිසියම් බාධාවක් ඇද්ද යන ප්‍රශ්නය පන්සිල් ගන්නා සේ දිනපතාම හැගිස්සුවෙමි. අවහිරයක් නැත යන පිළිතුර ප්‍රසිද්ධියේ ලබා ගත් පසු අනෙක් සාකච්ඡාවලට සහභාගී වීමු. 

අවමංගල්‍යයෙන් සති කිහිපයකට පසු අගමැති නිල නිවාසය වූ අරලිය ගහ මැඳුරේ ඇමැති මණ්ඩල රැස්වීමකදී දහනායක අගමැති අප අමතා, තමා දේශපාලන පක්ෂයක් ගොඩනගන්නට තීරණය කර ගත් බව කියා සිටියේය. අප විමතියට පත් වීමු.ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ අගමැතිවරයා වෙන පක්ෂයක් ගොඩනගන්නට යෑම නිසයි. නව පක්ෂයේ ප්‍රතිපත්ති වශයෙන් ඔහු ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම් ප්‍රතිපත්තිවලට හාත් පසින්ම පටහැනි වැඩ පිළිවෙළකි. ඇමැති මණ්ඩලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වූ අපේ තත්ත්වය කුමක් දැයි අසු විට පිළිතුරු වශයෙන් ඔහු කිවේ අපටත් ඔහුගේ නව පක්ෂයට බැඳිය හැකි බවත් එසේ නැත හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම  සිටිය හැකි බවත්ය. ඔහුගේ ඒ ගුණමකු අගරු ප්‍රකාශයත් සමගම ඇමැති මණ්ඩල රැස්වීමද ක්ෂණයකින්ම  ඊළඟ දිනයට කල් දමා විසුරුවා හැර නැගීට  ගියේය.

එදා රෑම 1959 දෙසැම්බර් අට වැනිදා ඔලිවර් ගුණතිලක අග්‍රාණ්ඩුකාරතුමා ලවා අප පස් දෙනෙකු ඇමැති ධුරවලින් පහ කළේය. ඒ,ස්වදේශ භාර ඇමැති ටී. බී. ඉලංගරත්න ප්‍රවාහන සහ විදුලි ඇමැති මෛත්‍රීපාල සේනානායක, සෞඛ්‍ය ඇමැති ඒ. පී. ජයසුරිය, සංස්කෘතික සහ සමාජ සේවා ඇමැති පී.බී.ජි. කළුගල්ල හා කම්කරු ඇමැති ඇම්. පී. සොයිසාත්ය. එසේම දහනායක ප්‍රිය නොකළ නියෝජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක් ද තනතුරුවලින් පහ කරන ලදහ.

බණ්ඩාරනායක ඝාතනය සැලසුම් කළ කුමන්ත්‍රණකාරයන්ගේ අරමුණ වූ, ප්‍රතිගාමිත්වය රජ කරවීම එයාකාරයෙන්ම එයින් තවත් සාර්ථක විය. ලංකාව පුංචි එංගලන්තයක් කිරීම එකම අරමුණ කර ගත් අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මහතා, දහනායකගේ නියමුවාද, උපදේශකවරයාද වාදකයාද වූයේය." 

දහනායක, තමාව අගමැති කළ බණ්ඩාරනායකවාදිනුත්, බණ්ඩාරනායක ප්‍රතිපත්ති ආරක්ෂා කළ ආණ්ඩුවත් කරපිංචා සේ විසි කර දැමීමේ  ප්‍රතිඵලය  වූයේ   ඔහුත් ඔහුගේ නව පක්ෂයත්, ආණ්ඩුවත් 1960 මාර්තු මහා මැතිවරණයේදී අන්ත පරාජයකට පත් වීමය.

දහනායකගෙන් පසු ලංකාවේ අහම්බයෙන් රාජ්‍ය නායකයා වුණේ ඩි. බී. විජේතුංගය. 1993 මැයි පළමු වැනිදා මරා ගෙන මැරෙන බෝම්බකරු "බාබු" ප්‍රේමදාසව   ඝාතනය කරන විට ඩි. බී. විජේතුංග හිටියේ මැයි පෙළ පාළියේය. බෝම්බය පුපුරා ගිය බව දැන ගත් විගස එවකට කර්මාන්ත ඇමැති රනිල් ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේ වහාම විජේතුංග ආරක්‍ෂිත ස්ථානයකට ගෙන යන්න කියාය. රනිල් පෙළපාළිය විසුරුවා ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස්, අතුරුදන් වූ ජනාධිපති ප්‍රේමදාසව සොයන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේය. හැමෝම හිතුවේ ප්‍රේමදාස හැංගිලා ඇති කියාය. ඒත් රනිල් මහා ඉස්පිරිතාලේ මෝචරියේ ඇති මළසිරුරු බලන්න දොස්තර ජයලත් ජයවර්ධනව පිටත් කළේ ඔහු ප්‍රේමදාස පවුලේ වෛද්‍යවරයා වූ නිසාය.

එකෙනෙහිම හෙළිකොප්ටරයක් යවා හේමා ප්‍රේමදාසවත් ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වා ගත්තේ රනිල්ය. එවකට විශ්‍රාම සුවයෙන් සිටි ජේ. ආර්. ගෙන් අවශ්‍ය උපදෙස් ගෙන රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කොට විජේතුංග ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වා ගෙන ඔහුට වැඩ බලන ජනධිපති ධුරයේ දිවුරුම් දෙන ලෙස උපදෙස් දෙද්දී, විජේතුංග සිටියේ බය වෙලා වගේය. මසක් ඇතුළත ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තේරී පත් විය යුතු අතර එජාප ආණ්ඩුවේ ප්‍රබලයෝ බොහෝ දෙනෙක්, විජේතුංගට රටක් පාලනය කර පුරුදු නැති නිසා පාර්ලිමේන්තුව තුළ ජනාධිපති තෝරන සටනට රනිල් ඉදිරිපත් විය යුතු යැයි රනිල්ට බල කළහ. එත් රනිල් විජේතුංගට ඉදිරිපත් වන ලෙස කිවේ ආණ්ඩුවේ බර තමන් කරට ගන්නා බවට පොරොන්දු වෙමිනි.

ඒ වෙලාවේ විජේතුංගට රනිල්ව නැතිවම බැරි විය. රනිල් පමණක් නොව සිරිසේන කුරේ ඇතුළු ප්‍රේමදාසවාදීහු ද විජේතුංගට සහය පළ කළහ. වැඩි දවසක් ගියේ නැත. විජේතුංග, ජනාධිපති ලේකම් කාර්යාලයට ගත්ත විජේතුංගගේ උපදේශකයෝ රනිල් සහ කුරේගෙන් පරෙස්සම් වෙන්න යැයි විජේතුංගට කේළාම් කියන්න පටන් ගත්හ. විජේතුංග, උපදේශකයන් ලෙස පත් කර ගත් බොහොමයක් එවකට එජාපය හැර ගොස් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ හදා ගත් ගාමිණී දිසානායකගේ ඉත්තන් විය. එතන සිටි ලොකුම ප්‍රබලයා ආචාර්ය සරත් අමුනුණුගම ය. විජේතුංග සහ ගාමිණී අතර පාලම හැදුවේ ඔහුය.

ගාමිණි, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසුරුවා යළි එජාපයට බැඳෙන්න කැමැත්ත පළ කළේය. හැමෝම කිවේ ගාමිණිව අර ගෙන රනිල් පන්නා, ගාමිණි අගමැති කොට 1994 ජනාධිපතිවරණයට යන්න කියාය. විජේතුංගත් ඒ ලණුව කෑවේය. ප්‍රේමදාස නිසා, ලේ සහ ගොම වැදුණු පක්ෂය පිරිසිදු කිරීමට ප්‍රේමදාසවාදීන් පන්නන්න යැයි විජේතුංග වට කර ගත් ගාමිණීවාදී උපදේශකයෝ උපදෙස් දුන්හ. විජේතුංග කුරේව පක්ෂ ලේකම්කමින් පනා දැමුවේය. තමාව අගමැති කළ, තමාව ජනාධිපති ධුරයට පත් කළ රනිල්-කුරේ ඇතුළු ප්‍රේමදාසවාදීන් ගෙන් පන්න පන්නා පළි ගත්තේය. ප්‍රේමදාස විරෝධී අනුර, රුක්මන්, රොනී ද මැල් යළි එජාපයට එකතු කර ගත්තේය. ප්‍රේමදාස නිසා ජනධිපති වූ ඔහු ප්‍රේමදාස විරෝධීන් වට කර ගෙන ගල උද සටන කියා 1994 දකුණු පළාත් සභා ඡන්දයට ගියේය. ඒ ඡන්දයෙන් විජේතුංග පමණක් නොව යුඇන්පීය යළි ගොඩ ගත නොහැකි  සේ තුවාල කර ගෙන පරාජයට පත් විය. වසර 17 කට පසු යළි ශ්‍රීලනිපය බලයට ආවේ, විජේතුංග මිතුරන් හතුරන් කර ගෙන හතුරන් මිතුරන් කර ගන්න ගොස් කාපු ලණු නිසාය.විජේතුංගට, රනිල් සහ කුරේ කිවේ ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙන නිසා පළමුව ජනාධිපතිවරණයට යන්න කියාය. එහෙම ගියා නම් විජේතුනාග තරග කරන්නේ රෝද පුටුවේ යන කතා කළ නොහැකි මැතිනිය සමගය. එසේ වූවා නම් අපේක්ෂකත්වයට චන්ද්‍රිකා, අනුර, ගාමිණී මරා ගන්න ඉඩ තිබිණි. විජේතුංගට දිනන්න තිබුණු චාන්ස් වැඩිය. එත් විජේතුංග, වඳුරු උපදේශකයන්ගේ උපදෙස් ගෙන මිතුරෝ හතුරෝ කර ගන්න ගිහින් ගෙදර ගියේ යුඇන්පීයත් වසර 17 කට පසු ගෙදර යවමින්ය.

"මෛත්‍රීට වෙන්න යන්නෙත් මේ විජේතුංගට-දහනායකට වෙච්ච දෙය ද..?

පේන්නේ නම් ඒ වගේය. සජිත් ඇතුළු රනිල් විරෝධීන් එපා කියද්දී, මෛත්‍රීපාලට අපේක්ෂකත්වය දුන්නේ රනිල්ය. සජිත්, මෛත්‍රීපාලට අපේක්ෂකත්වය දෙන්න එපා යැයි පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දේශනයක් පැවැත් විය. ඒ වෙලාවේ සජිත්ට ගැහුවේ රවී සහ මංගලය. මෛත්‍රීපාලට අපේක්ෂකත්වය දිය යුතු යැයි කිවේ ඔවුන් දෙදෙනාය. මෛත්‍රීව මාධ්‍ය සාකච්ඡාවකට රැගෙන විත් ඔහු අපේක්ෂකයා යැයි ප්‍රකාශයට පත් කළේ චන්ද්‍රිකා, රාජිත, අර්ජුන සහ දුමින්ද දිසානායකය. මෛත්‍රී, ඒ වෙලාවේ කිවේ එජාපය තමන්ට සහය දෙන බවය. ඒ වෙන කොටත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෛත්‍රීගේ අපේක්ෂකත්වය අනුමැත කර තිබුණේ නැත. රනිල් විරෝධී සජිත්වාදීන්ගේ විරෝධය මැද රනිල් මෛත්‍රීගේ අපේක්ෂකත්වයට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ගත්තේ අමාරුවෙනි. ෆොන්සේකා, චම්පික මෛත්‍රීට එක් වූහ. හිරුනිකා ද එක්විය.

මෛත්‍රී ජනාධිපති වූ විගස ජනාධිපති ලේකම් කාර්යාලයට වද්දා ගත්තේ රනිල් විරෝධින්ය. විජේතුංගට උපදෙස් දුන් වඳුරු උපදේශකයෝ මෛත්‍රීට උපදෙස් දුන්නේ, රනිල්ට ගහලා 2020 අපේක්ෂකයා වෙන්න කියාය. රනිල් ශක්තිමත් වෙයි කියා, දින 100න් තියන්න පොරෝන්දු වුණු මහා ඡන්දය කල් දමන්න උපදෙස් දුන්නෙත් මේ වඳුරන්ය. අද පාර්ලිමේන්තුව, ආණ්ඩුව, රට අස්ථාවර නිසා මහා මැතිවරණයක් කැඳවන්න කියා මෛත්‍රීට උපදෙස් දෙන වඳුරන් එදා තුනෙන් දෙකක බලයක් තිබුණු මහින්දගේ විපක්ෂය එක්ක යුඇන්පීයට සුළුතර ආණ්ඩුවක් කර ගෙන යන්න යැයි උපදෙස් දුන්හ.

ඒ වෙලාවේ 19 වැනි ව්‍යයවස්ථා සංශෝධනයක් තිබුණේ නැත. මෛත්‍රීට ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිව තිබිණි. මෛත්‍,රී 2015 ජනාධිපතිවරණයේදී ද ජනතාවට පොරොන්දු වූයේ දින 100 න් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියාය. විසුරුවා හරින්න බලය තිබෙද්දී, ඒ වෙලාවේ විසුරුවා හැරියේ නැත්තේ යුඇන්පීය ශක්තිමත් ආණ්ඩුවක් හදයි කියා බයටය. අද විසුරුවන්න බැරි වෙලාත් විසුරුවන්න දත කන්නේ යුඇන්පීය ඉවර කරන්නටය.

මේ වඳුරෝ එක පත්තකින් මෛත්‍රීපාලට සජිත්ව සෙට් කරන්න බලන අතර අනෙක් පැත්තෙන් ගෝඨාභයව සෙට් කරන්න උත්සහ කළහ. මෛත්‍රී, දහනායක සහ විජේතුංග මෙන් තමන්ව ජනාධිපති කළ මිතුරන්ට පන්න පන්නා පහර ගසා හතුරන්ව ලං කර ගත්තේය. ඔහු තමාව දිනවන්න රට වටා ගිය ෆොන්සේකාව අත හැර, ෆොන්සේකාගේ පරම හතුරා වූ ගෝඨාභයව ළඟට ගත්තේය. මෛත්‍රීව දිනවන්න ආ විට බදා ගෙන සිප ගත් අර්ජුන රණතුන්ගව අත හැර ඔහුගේ හතුරා වූ, 2015 මහින්ද දිනවන්න වැඩ කළ තිලංග සුමතිපාලව ළඟට ගත්තේය. මෛත්‍රීට අපේක්ෂකත්වය අරන් දෙන්න පක්ෂය තුළ දර දිය ඇද්ද රවීට ගහලා සජිතව ඉස්සුවේය. චම්පිකව අත හැර, 2015 චම්පික සමග ආණ්ඩුවෙන් එළියට ඇවිත් පසුව මහින්ද ළඟට දුව ගිය ගම්මන්පිලව ළඟට ගත්තේය. තිස්ස එජාපයෙන් ඉවත් වූ වෙලාවේ, මෛත්‍රී ශක්තිමත් කරන්න ආ හිරුණිකාව ඇත හැර, ඇයගේ හතුරාගේ නාළිකාව ළඟට ගත්තේය. මෛත්‍රීව දිනවන්න ලියපු මාධ්‍යවේදීන් ඇත හැර, 2015 මහින්ද දිනවන්න කඩේ ගිය මාධ්‍යවේදීන් සහ මාධ්‍ය මුදලාලිලා ළඟට ගත්තේය.

මෛත්‍රී වගේම දහනයකත් විජේතුංගත් ගමේ අහිංසක ගැමියන්ය. මේ හැමෝම විනාශ වන්නේ වඳුරු උපදේශක රැලකට කඩුව දෙන්න ගිහින්ය. මේ විනාශය ගැන ඉලංගරත්න සිය පොතෙහි පටන් ගැන්මේ ලියන මේ උපුටා දැක්වීම අගේටම ගැළපෙයි.

" යම් කණ්ඩායමක් බලයට නගිමින් ආධිපත්‍යට පැමිණෙන කාලය තුළ එය ස්ථිර වශයෙන්ම සතුරන්ට භයානක වන අතර, මිතුරන්ගේත් සහකාරයන්ගේත් පක්ෂපාත හා විශ්වාසවන්ත ආරක්ෂකයා ද වනු ඇත. එසේම ඒ නැගීම අවසාන වී ආධිපත්‍යය තහවුරු වූ විට එය සතුරන් සහ මිතුරන් අතර වෙනස පවා ඇඳින ගැනීමට බැරි තරම් අවස්ථාවකට පැමිණ, ඇතැම් විට හතුරන්ටත් වඩා මිතුරන්ට භයානක වෙයි. බැස්ම පටන් ගත් විට මිතුරන්ට වඩාත් භයානක වී හතුරන්ට හිතවත් වෙයි. බැස්ම වේගවත් වී බලය දිය වී යන විට මිතුරන්ටත් වඩා තමන්ටම භයානක වනු ඇත. පුරාණ ඉතිහාසඥයන් මෙන්ම නවීන නිරීක්ෂකයන් ද අත් දුටු සිද්ධාන්තයක් වූ මෙහි වැදගත්කම ප්‍රමාද වීමට පෙර කාටත් අවබෝධ වේවා"

-මව්රට-

-ගුරුදා විග්‍රහය- 

Advertiesment