Thursday 5th of December 2019

English Tamil
Advertiesment


මාරාන්තික ශක්ති ප්‍රභවයක අඳුරු භීතිය X-Men Dark Phoenix..!


2019-06-25 1810

ලොව මාවල් චිත්‍රකතා චරිත සතු ජනප්‍රියත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. ජාන විකෘති හේතුවෙන් සුපිරි බලයන් හිමි මිනිස් කොට්ඨාසයක් ලෙසින් මාවල් චිත්‍රකතා චරිත අතරේ X-Men කණ්ඩායම නිර්මාණය වූයේ ස්ටැන් ලී සහ ජැක් කර්බි විසිනි.

ඒන්ජල්, බීස්ට්, සයික්ලොප්ස්, අයිස්මෑන්, ජීන් ග්‍රේ, ප්‍රොෆෙසර් සේවියර් සහ මැග්නිටෝ මෙම කණ්ඩායමේ මුල් සාමාජිකයන් විය. X-Men චරිත ඇසුරෙන් චිත්‍රපට මාලාවක් ආරම්භ කෙරුණේ 2000 වසරේදීයි.

මේ වන විට එහි චිත්‍රපට 11ක් තිරගත වී ඇති අතර එහි 12 වැන්න Dark Phoenix ලෙසින් නම් වී ඇත.ජීන් ග්‍රේ පළමුව අධිමානසික හැකියාවන් පෙන්නුම් කරන්නේ 1975 වසරේදී ඇය වසර පහක කුඩා ගැහැනු දරුවකුව සිටි කාලයේදීය. මේ සිදුවීමෙන් පසු මහාචාර්ය සේවියර් විසින් ඇය සිය විශේෂිත හැකියාවන්ගෙන් යුත් දරුවන් සඳහා වන විද්‍යාලය තුළ හදාවඩා ගන්නා අතර ඇයගේ මානසික හැකියාවන් දියුණු කරනු ලබයි. අභ්‍යවකාශ මෙහෙයුමකදී ජින් බලගතු අන්තරීක්ෂ බලයකට නිරාවරණය වන අතර ඒ හේතුවෙන් ඇය ඉතා බල සම්පන්න තත්ත්වයකට පත් වේ.

ඉතා අස්ථාවර ස්වභාවයක් ගන්නා මෙම බලය විනාශ කළ නොහැකි මාරාන්තික ශක්ති ප්‍රභවයක් වේ. එය ඇයගේ සිත තුළ කාලයක් තිස්සේ පැවති නපුරු සිතුවිල්ලක් දුෂ්ට තත්ත්වයට පත් කරන අතර අඳුරු භීතියක් (Dark Phoenix ) ලෙස නම් වෙයි. සුපිරි වීර පවුල වූ X-Men සමූහයා මෙතෙක් කල් මුහුණ දුන් බලවත්ම තර්ජනය බවට මෙම අඳුරු භීතිය පත් වේ.සුපිරි වීර චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රිය තිරරචකයකු මෙන්ම නිෂ්පාදකවරයකු වන සයිමන් කින්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ Dark Phoenix චිත්‍රපටය ජූනි 07 වැනිදා සිට ලොවපුරා තිරගත කෙරේ.

X-Men චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කළ කින්බර්ග් X-Men: The Last Stand, X-Men: Days of Future Past, X-Men: Apocalypse චිත්‍රපටයන්ට තිරරචනයෙන් ද දායක වී තිබේ.ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ සන්සාගේ චරිතයෙන් ජනප්‍රිය වූ සොෆී ටර්නර් විසින් ජීන් ග්‍රේ හෙවත් Dark Phoenix  චරිතයට පණ පොවන අතර ජේම්ස් මැකෝයි මහාචාර්ය සේවියර් ලෙසද මයිකල් ෆැසබෙන්ඩර් මැග්නිටෝ ලෙසද ජෙනිෆර් ලෝරන්ස් මිස්ටික් ලෙස ද නිකලස් හෝල්ට් බීස්ට් ලෙස ද ටයි ශෙරීඩන් සයික්ලොප්ස් ලෙස ද මෙහි රංගනයෙන් දායක වී සිටිති. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියට අනුව මෙම චිත්‍රපටය X-Men චිත්‍රපට මාලාවේ වැඩිම ඝෘණ ප්‍රතිචාර ලද චිත්‍රපටය වන අතර එහි පොදු විචාරය පවසන ආකාරයට X-Men චිත්‍රපට මාලාවට පිහියෙන් ඇනීමක් වැන්නකි. එහි මේ වෙනුවෙන් ලබා දී ඇති ලකුණු ප්‍රමාණය 23%කි. මෙම චිත්‍රපටය විචාරකයන්ගේ දරුණු විවේචනයට ලක් වී ඇති අතර ඔවුන්ගේ අදහස වන්නේ Dark Phoenix චිත්‍රපටය හැඟීම්වලින් තොර හිස්, අවසානයක් X-Men චිත්‍රපට මාලාවට ලබා දී ඇති බවයි.








-සරසවිය-

Advertiesment