Monday 22nd of July 2019

English Tamil


සර්ව පාක්ෂික සන්ධානයකින් ජාතික අපේක්ෂකයා කරළියට..!


2019-06-25 5680

ජාතික අපේක්ෂක යෝජනාවට “ඉන්දු-ඇමරිකානු” සහය..!


අගමැතිගෙයි-හිටපු ජනපතිනියගෙයි සහයත් ලැබෙන ලකුණු..!


ඊනියා පොදු අපේක්ෂකයින් එපා..!







(සුජිත් මංගල ද සිල්වා)


රටේ උද්ගත වී තිබෙන දේශපාලන,ආර්ථික,සමාජ සහ සංස්කෘතික අර්බුදය හමුවේ 2020 ජනාධිපතිවරණයේදී රට භාර දිය යුත්තේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන අපේක්ෂකයෙකුට හෝ ඊනියා පොදු අපේක්ෂකයෙකුට නොව,සියලු ජාතීන්ට වගේම ආගමිකයින්ට පිළි ගත හැකිවූ ද,සියලු දේශපාලන පක්ෂවලට සහය පළ කළ හැකිවූ ද, ජාතික අපේක්ෂකයෙකුට වන බවට යෝජනා ඉදිරිපත්ව තිබේ.

ජාතික අපේක්ෂකයෙකු සම්බන්ධ කරුණු දහයකින් යුතු මේ යෝජනාව ඉදිරිපත් කරමින් මේ කාරණය අවධාරණය කර සිටින්නේ සර්වාගමික නායකයින්,විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන්,සිවිල් ක්‍රියාකාරීන්,කලාකරුවන්,උගතුන් සහ බුද්ධිමතුන්ය

මේ යෝජනාව දේශපාලන නායකයින් වෙත මේ වන විටත් ඉදිරිපත් කර ඇති මේ කණ්ඩායම මේ මතය සමාජ ගත කරමින් ඒ වෙනුවෙන් පුළුල් ජාතික සහ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනගමින් සිටියි.

මේ සම්බන්ධයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන සහ වාණිජ්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය,ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාගෙන් lankanewsweek කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.

“අපේ රට මුහුණ දී සිටින්නේ දේශපාලනය සම්බන්ධ ප්‍රශ්නයකට හෝ දේශපාලන නායකයෙකු සම්බන්ධ ප්‍රශ්නයකට නොව, රටට නායකයෙකු නොමැතිවීමේ,නොඑසේ නම් සියලු ජාතීන්ට වග කියන ජාතික නායකයෙකු නොමැතිවීමේ ප්‍රශ්නයටයි.

දේශපාලන පක්ෂවලට නායකයින් සිටියාට රටට-ජනතාවට-අපට නායකයෙක් ඇත්තේ නැහැ.2015 ජනාධිපතිවරණයේදීත් හැට දෙලක්ෂයකට අධික ජනතාවක් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති ධූරයට පත් කළේ ඒ අඩුව පුරවා ගැනීමටයි.

නමුත් එතුමා ජනාධිපති වුණාට පසුව නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස නොසිට දේශපාලන පක්ෂයක නායකකම භාර ගැනීමත් සමග රටත්-ජනතාවත් තැබූ සියලු බලාපොරොත්තු සුනු විසුණු වී ගියා. ඒ අනුව රටට-ජනතාවට යළි උරුම වූයේ සම්ප්‍රදායික සහ පරණ මදිලියේම ජනාධිපතිවරයෙකු වගේම අගමැතිවරයෙකු ප්‍රධාන ආණ්ඩුවකුයි.

2020 ජනාධිපතිවරණයේදීවත් සැබෑ ජාතික නායකයෙකු,නොඑසේ නම් රටට නායකයෙකු තෝරා ගැනීම සඳහා අප සියලු පාර්ශවයන් ජාති,ආගම් සහ දේශපාලන භේදයෙන් තොරව ඇපකැප වී සිටින්නේ ඒ නිසයි.

රටයි-ජනතාවයි-ලෝකයයි දෙස දේශපාලන පාට කණ්ණාඩිවලින් බලන දේශපාලන පක්ෂවල සිටින පාරාජිකා වූ දේශපාලන අපේක්ෂකයින් තව දුරටත් ජනාධිපතිවරුන් කරවා මේ ප්‍රශ්න විසඳීමටවත් රට ඉදිරියට ගෙන යාමටවත් හැකියාවක් නැහැ.

ඒ වගේම මේ ජාතික අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව තීරණයක් ගත යුත්තේ දේශපාලන පක්ෂවල ඒ ඒ මණ්ඩලවල සහ තිරය පිටු පස සිටින දේශපාලන වශයෙන් පාරාජිකා වූ,දේශපාලන වගේම මුල්‍ය වශයෙන් කූට ගනුදෙනු කරමින් දේශපාලන න්‍යායාචාර්යවරුන් ලෙස දේශපාලන සමාජයේ පෙනී සිටින මාෆියාකරුවන් නොව පොදු සමාජයයි.”

මේ අතර ජාතික අපේක්ෂකයා සම්බන්ධ මේ යෝජනාවට “ඉන්දු-ඇමරිකානු”කඳවුර ඇතුළු ජාත්‍යන්තරයේ සහය ද ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති අංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එක්සත් ජාතික පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චන්ද්‍රිකා කුමාරතුංග පාර්ශවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දුන්නේ මේ යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ හිටපු ජනපතිනියගේ ද සහයෝගය පළ වෙමින් පවතින බවය.

කරුණු දහයකින් යුතු ජාතික අපේක්ෂකයා සම්බන්ධ එම සුවිශේෂී යෝජනාව මෙසේය.

අප රටේ වර්තමානයේ මුහුණදී තිබෙන අර්බුධ එකින් එක මේ වන විට තවදුරටත් සංකීර්ණ ස්වභාවයක් ගන්නා බවට පෙනෙන්නට තිබේ. එමෙන්ම ජනාධිපතිවරණයට තව ඇත්තේ මාස හයක් වැනි කෙටි කාලසීමවකි. එම කාලසීමව තුල පොදු අපේක්ෂකයින් පිළිබදවද විවිධ පක්ෂ වල දේශපාලන අපේක්ෂකයින් පිළිබදව සමාජ අවධානය යොමුවනු දක්නට ලැබෙනු ඇත. එහෙත් අප විශ්වාස කරන අන්දමට මේ තිබෙන අරාජික තත්ත්වයෙන් රට මුදවා ගැනීමට එළබෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කළයුත්තේ ජාතික අපේක්ෂකයෙකි.

එම ජාතික අපේක්ෂකයා සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියම මේ මොහොතේ මුහුණදෙන දේශපාලන, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික යන සියලු ආකාරයේ අර්බුධයන් සදහා තිරසා‍ර විසදුමක් ලබාදී රට නිවරදි මාවතකට යොමුකර තරුණ පරම්පරාවට රට භාරදීමේ අරමුණින් පැමිණෙන එක් ධුර කාලයකට පමණක් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු විය යුතුය.


 එකී ජාතික අපේක්ෂකයා සතුව පහත ලක්ෂණ තිබිය යුතු බවට අප විසින් යෝජනා කරනු ලැබේ.

1. සමස්ථ ශ්‍රී ලංකීය ජාතියේම අපේක්ෂාව නියෝජනය කල හැකි පරිනත සහ නිකලැල් චරිතයකින් හෙබි කෘතහස්ත රාජත්‍රාන්තිකයෙකු විය යුතුය.

2. රටට එරෙහිව මතුවිය හැති සකලවිද අභියෝගයන්ට එරෙහිව ජාතිකත්ව පදනමක පිහිටා කටයුතු කරමින් සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කල හැකි අයෙකු විය යුතුය.

3. ථෙරවාදී බුදුදහමෙහි කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාවේ සුවිශේෂත්වය සළකන, රටේ සංස්කෘතික හා ආගමික සාරධර්ම කෙරෙහි ගරුත්වයකින් යුතුව , ඒවා හා බැදීමෙන් කටයුතු කරන පුද්ගලයෙකු විය යුතු අතර සියලු ජනවාර්ගිකයන්ගේ සහ ආගමික භක්තිකයන්ගේ විශ්වාසය දිනා ගන්නා නායකයෙකු විය යුතුය.

4. රට මුහුණ දී ඇති ආර්ථික මන්දගාමීත්වය නිමාකීමට සහ ණය අර්බුධයෙන් ගොඩ ඒම සදහා නිශ්චිත සහ ඉලක්කගත ජාතික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට සහ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කළමණාකරන නිපුණතාව ප්‍රදර්ශනය කර ඇති කෘතහස්ත පරිපාලකයෙකු විය යුතුය.

5. නොබැදි මෙන්ම උපායමාර්ගික වශයෙන් දියුණු විදේශ සම්බන්ධතා ජාලයක් ගොඩනැංවිය හැකි ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් ඇති රාජ්‍යතාන්ත්‍රිකයකු විය යුතුය.

6. රටේ තරුණ ප්‍රජාවගේ හදගැස්ම නිවැරදිව හදුනාගෙන තරුණ පරපුරේ අපේක්ෂාවන් යථාර්තයක් කළහැකි රටක් බිහි කිරීම උදෙසා කැපවෙන, ඒ සදහා පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන අයෙකු විය යුතු අතර කිසිලෙසකින්වත් පවුල් පාලනයක් සදහා මංපෙත් විවරකරන්නෙකු නොවිය යුතුය.

7 .දශක ගණනාවක් තිස්සේ අප රට මුහුණ දෙන සංස්කෘතික පසුගාමීත්වය පිටුදැක දියුණු මානවීය ගුණාංගයන්ගෙන් යුත් ප්‍රජාතාන්ත්‍රීය සංස්කෘතික සහ පුරවැසි නිදහස පිළිබදව විශ්වීය අවකාශයක් නිර්මාණය කිරීමට දැක්මක් ඇති අයෙකු විය යුතුය.

8. දේශපාලන පක්ෂ ක්‍රියාදාමයන් අථික්‍රමනය කලා වූ පුලුල් ජාතික පෙරමුණක් නියෝජනය කරමින් මැතිවරණය සදහා ඉදිරිපත් විය යුතු අතර එම පුද්ගලයා කිසියම් දේශපාලන පක්ෂයක සමාජිකයෙකු නම් , ජාතික අපේක්ෂකයෙකු ලෙස සියලුම දේශපාලන මත දරන්නන් , සියලුම ආගමික කොටස් සහ සියලු ජාතීන් හට සමානාත්ම තාවයකින් යුතුව සැලකිම පිළිබදව විශ්වාසය තහවුරු කිරීම සදහා නාම යෝජනා භාරදුන් පසු දේශපාලන පක්ෂ සමාජිකත්වයෙන් ඉවත්විය යුතුය.

9. එක් ධුර කාලයක් සදහා වසර පහකට ඉදිරිපත් වන සංක්‍රාන්තික නායකයෙකු විය යුතු අතර , එම කාලය තුළ ඉදිරිපත් කර දියත් කරනු ලබන වැඩසටහන් නිශ්චිතව ඉදිරිපත් කර , ඒ තුළ ඇති ප්‍රතිසංස්කරණ , පරිවර්තන සහ සංවර්ධන වැඩසටහන සාර්ථකව දියත් කොට, රටෙහි තරුණ ප්‍රජාව හට වඩාත් සාධනීය වූ අපේක්ෂා දල්වාගත හැකි දේශයක් භාර දිමට එකග වන නායකයෙකු විය යුතු අතර විධායක ජනාධිපති පදවිය බලයට පත්වී මාස 6 ත් 12 ත් අතර කාලය තුළ අහෝසි කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර පාර්ලිමේන්තුව තුළින් කැබිනට් ආණ්ඩුක්‍රමය වහාම ස්ථාපිත කිරීම සදහා කටයුතු කිරීමට පූර්ණ වශයෙන් එකග අයකු විය යුතුය.

10. තිරසර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමටත්, රටෙහි සංවර්ධන ක්‍රියාදාමය මගින් කිසිවෙකුත් මග නොහැරෙන බව තහවුරු කිරිමට සමත් අන්දමින් , සමාජ සංස්ථාවන්ගෙන් කුඩාම ඒකකය වන පවුල සහ ගම මුල් කරගෙන අංග සම්පූර්ණ සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරිමට සමත් වන්නකු විය යුතුය.