Wednesday 18th of September 2019

English Tamil


ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි ගමනට යෝජනා..!


2019-06-21 1455

කොහොම ද මචං... මට හොඳයි... ශ්‍රී ලංකාව හොඳට කරයි.... ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු බ්‍රිතාන්‍ය ජාතික පෝල් ෆාබ්‍රේස් (Paul Farbrace) ශ්‍රී ලංකාව බොහෝ ප්‍රියකරන තැනැත්තෙකි. අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර දරා තිබෙන ඔහුට, තරමක් දුරට සිංහල භාෂාව කතා කිරීමට හැකියාව තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඇසුරු කිරීම හේතුවෙනි. ශ්‍රී ලංකාවට ඇති ඒ ලෙන්ගතුකම නිසා ම ශ්‍රී ලාංකිකයෙකු හමු වූ සෑම අවස්ථාවක ම තමන් දන්නා සිංහල දැනුම ප්‍රදර්ශනය කරන්නට ඔහු උනන්දුවක් දක්වයි. එංගලන්තයට පසු සිය ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව බව පෝල් ෆාබ්‍රේස් ප්‍රසිද්ධියේ පවසයි. මෑතක් වන තුරු එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරුවා ලෙස කටයුතු කළ පෝල් ෆාබ්‍රේස් ලෝක කුසලාන තරගාවලිය අතරතුර බීබීසි සිංහල සේවය සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි අනාගතය ගැන කෙටි සංවාදයකට එක් විය.


මෑත ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථක ම වසර වන 2014 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය දැරුවේ ඔහුය. ඔහු යටතේ විස්සයි විස්ස ලෝක කුසලානය සහ ආසියානු කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. 2007 වසරේ සිට 2009 වසර දක්වා ද ශ්‍රී ලංකා කණ්ඩායම සමග පෝල් ෆාබ්‍රේස් කටයුතු කළේ, ජාතික කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසය. 2014 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇති වී තිබෙන පසුබෑම සහ වර්තමාන ලෝක කුසලානය ගැන ඔහු බීබීසි සිංහල සේවය සමග පළ කළ කරුණු කිහිපයකි, මේ.


නිතර වෙනස් වන තේරීම් කමිටු සහ තේරීම් ගැටලු


ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ට ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මෙන් ම මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයන්ගේ හිඩැස් පිරවීම ඒ වෙනුවෙන් ආදේශ කරන ක්‍රීඩකයන්ට ඇති ලොකු අභියෝගයකි. ඒ සඳහා ඔවුන්ට නිසි කාලයක් ලබා දිය යුතු බව පෝල් ෆාබ්‍රේස්ගේ මතයයි. විශේෂයෙන් ම නිතර වෙනස් වන තේරීම් කමිටු සහ ස්ථාවර කණඩායමක් නොමැති වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබැස්මට හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි. ක්‍රීඩකයන්ට හා කණ්ඩායමකට ස්ථාවර වීම සඳහා යම් කාලයක් ලබා දිය යුතු බව පවසන ඔහු, නිතර ක්‍රීඩකයන් වෙනස් වීමේ තත්ත්වයන් ක්‍රීඩා කණ්ඩායම් අසාර්ථක වීමට හේතු වන බව කියා සිටියේය. ක්‍රීඩකයෙක් තෝරා ගත්තොත් ඔහුට නිසි ලෙස අවස්ථාව දෙන්න ඕනේ,ඔහු පවසයි.


පසුගිය කාලවකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නිතර වෙනස් කිරීම ගැන දැඩි කතාබහක් ඇති වූ අතර 2015 ලෝක කුසලානයේ සිට 2019 ලෝක කුසලානය දක්වා වැඩි ම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට යොදා ගෙන තිබෙන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඇතැම් ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබී තිබුණේ එක් තරගයක් වීමත් විශේෂත්වයකි.



දේශීය ක්‍රිකට් ව්‍යුහයේ වෙනසක් ගැන සිතා බැලිය යුතුයි.


ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ව්‍යුහයේ යම් ස්ථාවර වෙනසක් කිරීම ගැන සිතා බැලිය යුතු බව පෝල් ෆාබ්‍රේස් පවසයි. විශේෂයෙන් ම කණ්ඩායම් 4ක් හෝ 5ක් ඇති ස්ථිර පළාත් ක්‍රිකට් ව්‍යුහයක් ඒ සඳහා ඇති කළ හැකි බව ඔහු යෝජනා කරයි. මම ශ්‍රී ලංකාවට එන කොට කණ්ඩායම් 10ක හොඳ ප්‍රිමියර් තරගාවලියක් තිබුණා. අපි පළාත් තරඟත් ක්‍රීඩා කළා ඇතැම් අවස්ථාවල. ඒවා ඉතා හොඳ තරගාවලි. මම හිතනවා ඒක වෙන්න ඕන ඉදිරියට යන මග, ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ව්‍යුහය ඉතා වැදගත් බව පවසන ඔහු, ක්‍රීඩා සමාජ ව්‍යුහය පවත්වාගෙන යමින් ඉතා හොඳ පළාත් තරග ව්‍යුහයක් දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමට හොඳ ආයෝජනයක් වනු ඇති බව පවසයි. පාසලෙන්, ක්‍රීඩා සමාජයට, එතනින් පළාත් කණ්ඩායමට එතනින් ජාත්‍යන්තර තලයට මේක වෙන්න පුළුවන් සැලැස්මෆාබ්‍රේස් කියා සිටියේය. දැනට ශ්‍රී ලංකාවේ ප්‍රිමියර් තරගාවලියට කණ්ඩායම් 24ක් සහභාගි වන අතර එහි තරගකාරිත්වය ගැන හිටපු ක්‍රීඩකයන් රැසක් ප්‍රශ්න කර තිබේ.


ශ්‍රී ලංකාව තම සුපුරුදු ක්‍රීඩා රටාව අනුගමනය කළ යුතුයි


ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සාධනීය ක්‍රිකට් ක්‍රීඩා රටාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත යොමුවිය යුතු බව පෝල් ෆාබ්‍රේස් කියා සිටියි. ශ්‍රී ලංකාව ලෝකයේ අවධානය දිනා ගත්තේ ශ්‍රී ලංකාවට ම උරුම වූ සාධනීය ක්‍රීඩා රටාව නිසා බව පෙන්වා දුන් ඔහු එය පවත්වාගෙන යාමට වත්මන් ක්‍රීඩකයන් ද කටයුතු කළ යුතු බව පවසයි. ශ්‍රී ලංකාව උපායශීලී ලෙස ක්‍රිකට් ක්‍රීඩා කළ රටක් බව පැවසූ ඔහු ශ්‍රී ලංකාවට ලෝකය ම ආදරය කළේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රටාව නිසා බවත් පැවසීය.


චන්දිමාල් සහ දික්වැල්ල නැත්තේ ඇයි?


ශ්‍රී ලංකාවේ මෙවර ලෝක කුසලාන සංචිතයට දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල නොමැති වීම තමන්ට ගැටලුසහගත බව පෝල් ෆාබ්‍රේස් පවසයි. තේරීම් කමිටුවට එයට හේතු තිබිය හැකි වුවත් එම ක්‍රීඩකයන් දෙදෙනා සිටියහොත් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ශක්තිමක් වනු ඇති බව ඔහුගේ මතයයි. දිනේෂ් චන්දිමාල් අවසන් වරට ශ්‍රී ලංකාව එක්දින තරගාවලියකට එංගලන්තයේ ක්‍රීඩා කළ අවස්ථාවේ හොඳ ම පිතිකරු බවට පත්වූ බව පෝල් ෆාබ්‍රේස් පෙන්වා දෙයි. නිරෝෂන් දික්වැල්ල පසුගිය වසරේ අවසන් භාගයේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ හොඳින් ක්‍රීඩා කළ බව පැවසූ ඔහු නිරෝෂන් දික්වැල්ල හඳුන්වා දුන්නේ තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකු ලෙසිනි.


කුසල් ජනිත් එංගලන්තයේ ජෝස් බට්ලර් වගේ භාවිත කරන්න


ශ්‍රී ලංකා ලෝක කුසලාන පිතිකරණ ලැයිස්තුවේ යම් වෙනස්කම් සිදුකළ යුතුය යන්න තම අදහස බව පෝල් ෆාබ්‍රේස් පවසයි. ඇන්ජෙලෝ මැතිව්ස් පිතිකරණ ලැයිස්තුවේ අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ යුතු බව ඔහු පවසයි. අංක 5 සහ 6 ස්ථානයේ ඔහු ක්‍රීඩා කිරීමට වඩා අංක 4 ස්ථානයේ ක්‍රීඩා කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජෙලෝ මැතිව්ස්ගෙන් වැඩි දායකත්වයක් ලබා ගත හැකි බව පවසන ඔහු, ඊට අමතරව කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස නොව එංගලන්තය ජෝස් බට්ලර් භාවිත කරන ආකාරයට පන්දු වාර 25න් පසු පැමිණ වේගයෙන් පන්දුවට පහර දීමට යොදා ගැනීම සුදුසු බවත් බීබීසී සිංහල සේවය සමග පැවසීය. දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න සාර්ථක ආරම්භයක් ලබා දුනහොත් කුසල් ජනිත් ඇතුළු ක්‍රීඩකයන්ට හොඳ ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකාව රැගෙන යා හැකි බව ඔහු පවසයි. ශ්‍රී ලංකාව තම ඉදිරි තරග ජය ගතහොත් අවසන් පූර්ව වටයට පිවිසිය හැකි නිසා එය අපහසු ඉලක්කයක් නොවන බව පෝල් ෆාබ්‍රේස්ගේ මතය වී තිබේ.


(BBC සිංහල සේවය)