Sunday 22nd of September 2019

English Tamil


දේශීය ව්‍යාපාරිකයාගේ ඛේදවාචකය..!


2019-06-21 1400

රටක දියුණුව රඳා පවතින්නේ කර්මාන්ත මතය. ලංකාව කෘෂිකාර්මික රටකි. එහෙයින් මෙහි ප්‍රමුඛත්වය දිය යුත්තේ කෘෂිකර්මාන්තයටය. ඊට අමතරව අනෙක් කර්මාන්තවලින් රටේ දියුණුවට යම් දායකත්වයක් ලැබෙයි. රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් රටෙහිම නිෂ්පාදනය කළ යුතුය. ඒ සඳහා රජය යම් දිරිගැන්වීමක් කළ යුතුය.


එයින් මා අදහස් කරන්නේ රජය සහනාධාර දිය යුතු බව නොවේ. පැහැදිලි මඟපෙන්වීමක් සහ කර්මාන්තකරුවන් ධෛර්යමත් කිරීමට රජය යම් ක්‍රමවේදයක් සකස් කළ යුතුය. මක් නිසාද යත් කර්මාන්ත දියුණු කළ යුත්තේ අවසානයේදී කර්මාන්තකරුවා අපනයනකරුවා බවට පත් කිරීමේ අරමුණෙන් යුතුවය.


ලංකාවේ ජනගහනය මිලියන 21 කි. ඒ නිසා ඇතැම් කර්මාන්ත පවත්වාගෙන යාම අපහසුය. ලංකාවේ වෙළෙඳපොළ පුංචි ය. ඒ නිසා අපනයනයට නැඹුරුවිය යුතුමය. යම් භාණ්ඩයක නිෂ්පාදන වියදම තීරණය වන්නේ නිෂ්පාදනය කරන ප්‍රමාණයත් සමඟය. උදාහරණයට කැලැන්ඩර 500 ක් මුද්‍රණය කරද්දී එකකට වැය වන මුදලට වඩා කැලැන්ඩර් 5000 ක් මුද්‍රණය කිරීමේදී එකකට වැය වන මුදල ඉතා අඩුය.


ලංකාවේ තිබෙන බරපතළ ප්‍රශ්නය කර්මාන්ත ප්‍රතිපත්තියක් නැතිකමය. උදාහරණයකට පේෂකර්ම මධ්‍යස්ථාන ගනිමු. අතීතයේ අපේ රටේ හැම ගමකම පේෂකර්ම මධ්‍යස්ථාන තිබිණි. ඒවායින් ගෘහ ආර්ථිකයට වූ සේවය සුවිශාල ය. එහෙත් අවිචාරිව පිටරටින් නිමි ඇඳුම් ආනයනය කිරීම නිසා ඒ පෙහෙකම්හල් දරට විකුණා දැමුවේය. එහෙත් දැන් යළිත් අත්යන්ත්‍ර රෙදි ජනප්‍රිය වෙමින් පවතී. විනාශ කර දැමූ අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය නගා සිටුවීම දැන් බොහෝ අපහසුය. එය එසේ වන්නේ රජයට පැහැදිලි ප්‍රතිපත්තියක් නැතිකම හේතුවෙනි.


වර්තමාන රජය යටතේ සේම පසුගිය රජය යටතේ ද කර්මාන්ත සඳහාම වෙන් වූ ඇමැතිවරයකු සිටියේ නැත. මේ රජයන් දෙකම යටතේ සිටින්නේ කර්මාන්ත හා වෙළෙඳ ඇමැතිවරයෙකි. ලෝකයේ කිසිම රටක කර්මාන්ත හා වෙළෙඳ ඇමැති එක පුද්ගලයෙකු නොවිය යුතුමය. වෙළෙඳ ඇමැති ප්‍රමුඛත්වය දෙන්නේ වෙළෙඳාමටය. කර්මාන්ත ඇමැතිවරයා ප්‍රමුඛත්වය දෙන්නේ කර්මාන්ත දියුණු කිරීමටය. මෙරට භාණ්ඩ නැතිනම් ඒවා රටින් ගෙන්වා දීම වෙළෙඳ ඇමැතිගේ වගකීමකි.


මක් නිසාද යත් වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම වෙළෙඳ ඇමැතිගේ වගකීම වන බැවිනි. මේ ආණ්ඩු දෙක යටතේම රටේ සිදුවූයේ එයයි. ඇමැතිකම දැරූ පුද්ගලයා වෙළෙඳාම දියුණු කළා විනා කර්මාන්ත දියුණු කළේ නැත. කර්මාන්ත දියුණු කිරීමට ඒ අමාත්‍යවරයා උත්සුක වූයේම නැත. අද අප රටේ කර්මාන්ත කඩා වැටීමට බලපා තිබෙන ප්‍රධානම කාරණය එයයි. එහෙයින් කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශ ඒකාබද්ධ නොකළ යුතුමය. එක පුද්ගලයකුට බාර නොදිය යුතුමය. කර්මාන්ත හා වෙළෙඳාම විෂයයන් දෙකක් විය යුතුවා සේම ඒ විෂයයන් දෙක බාර දිය යුත්තේ දෙදෙනකුටය. මේ වරද ඉදිරියේදීවත් නිවැරැදි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.



කර්මාන්ත හා වෙළෙඳාම එක සමාන ලෙස සැලකිය නොහැකිය. වෙළෙඳාමක් කරන පුද්ගලයකුට බැංකුවකින් ණයක් ලබාගෙන භාණ්ඩ මිලදීගෙන විකිණිය හැකිය. ඔහු කිසිම භාණ්ඩයකට අගය එකතු කිරීමක් කරන්නේ ද නැත. වෙළෙන්දා මහා පරිමාණයෙන් රැකියා උත්පාදනය කරන්නේ ද නැත. බැංකුවලින් වෙළෙන්දාට සේම කර්මාන්තකරුවාට ද ණය දෙන්නේ සමාන පොලියකටය. එහෙත් කර්මාන්තකරුවා මුහුණ දෙන ප්‍රශ්නවලට වෙළෙන්දා මුහුණ නොදෙයි.


කර්මාන්තකරුවා පළමුව තම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය රැගෙන ආ යුතුය. පසුව ඒවායෙන් භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුය. ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර අවශ්‍යය ය. ඒ ක්‍රියාවලියට අඩුම තරමින් දින 60 ක් 90 ක් අතර කාලයක් ගතවෙයි. එහෙත් වෙළෙඳාම අද ගෙන්වන භාණ්ඩය හෙට විකිණිය හැකිය. එහෙත් බැංකු දෙදෙනාටම ණය දෙන්නේ සමාන පොලියකටය. එහෙයින් බැංකු සේම රජය ද මේ ගැන සිතා බැලිය යුතුය. අප කියන්නේ වෙළෙන්දාට ණය දෙන පොලියටම කර්මාන්තකරුවාට ද ණය දීම අයුක්තිසහගත බවය. අතාර්තික බවය.


රටේ වෙළෙඳපොළ අනුව කර්මාන්ත සීමා කිරීම ඕනෑම රටක සිදුවන දෙයකි. තවත් දුරකථන සමාගම්වලට ලංකාවට පැමිණීමට ඉඩ නොදෙයි. එසේ ඉඩ නොදෙන්නේ තවත් සමාගම් පැමිණියහොත් දැනට පවතින සමාගම් ද කඩා වැටෙන හෙයිනි. එවිට එක සමාගමකටවත් ලාබ ඉපයීමට නොහැකි වෙයි. අලුත් රූපවාහිනී නාලිකාවලට ඉඩ නොදෙන්නේ ද මේ කාරණය නිසාමය.


රූපවාහිනි හා ජංගම දුරකථන ගැන ආණ්ඩුව එවැනි පිළිවෙතක් අනුගමනය කළත් සපත්තු හා සෙරෙප්පු කර්මාන්තය සම්බන්ධයෙන් රජය එවැනි පිළිවෙතක් අනුගමනය නොකරයි. පාවහන් නිපදවන ලොකු කුඩා කර්මාන්ත ශාලා 100 ක් පමණ රටේ පවතී. දැනට රටේ කිසිම සපත්තු හිඟයක් ද නොපවතී. තීරුබදු ගෙවා පාවහන් රටින් ගෙන්වීමටද ඉඩ දී තිබේ. නීත්‍යනුකූලව එසේ රටට පාවහන් එද්දී නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ද රටට පාවහන් එන බව තතු දන්නා අයට රහසක් නොවේ. එසේ තියෙද්දී දේශීය වෙළෙඳපොළට පාවහන් නිපදවීමට විදේශීය සමාගමකට අවසර දී තිබේ. ඒ නිසා පහර වැදී ඇත්තේ දේශීය කර්මාන්තරුවන්ටය. විශේෂයෙන් එසේ පහර වදින්නේ මහා පරිමාණ සමාගම්වලට නොව කුඩා කර්මාන්තකරුවන්ටය. එසේ වැනසෙන්නේ දේශීය කර්මාන්තය, දේශීය කර්මාන්තකරුවෝය. දේශීය කර්මාන්තවලට හා කර්මාන්තකරුවන්ට එසේ වන්නේ ආණ්ඩුවලට ප්‍රතිපත්තියක් නැති නිසාය.


1977 දී ආයෝජන මණ්ඩලය ආරම්භ කළේ පැහැදිලි දැක්මක් ඇතිවය. එහි ආරම්භක සභාපති උපාලි විජයවර්ධන මහත්මා ය. එහි පළමු අරමුණ ලංකාවට විදේශ ආයෝජන ගෙන්වා ගැනීමය. විදේශිකයන්ට ලංකාවට පැමිණ ආයෝජනය කර කම්හල ඉදිකර ඒවායේ නිෂ්පාදනය කරන භාණ්ඩ පිටරට පැටවීම ආයෝජන මණ්ඩලයේ මූලික අරමුණ විය. එමගින් අප රටට විදේශ විනිමය ලැබෙයි. එසේම ලාංකිකයන්ට රැකියා ද ලැබෙයි. එපමණක් ද නොව එමගින් අපට විදේශ තාක්ෂණය ද ලැබෙයි. එය බොහෝ හොඳ ක්‍රමයකි. එමගින් අප රටේ සෑහෙන දියුණුවක් ද සිදුවිය.