Monday 22nd of July 2019

English Tamil


2020 මෝඩි ඔට්ටු අල්ලන අශ්වයා කවුද..?


2019-07-01 5012

 

ඉන්දියාවයි-චීනයයි "බැලන්ස්" කිරීම..!

මෛත්‍රී සියල්ල නැති කර ගත් හැටි..!

 

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

පසුගිය ඉරිදා මහා වැස්සේ රට පුරා පෝස්ටරයක් අලවා තිබිණි. පෝස්ටරයේ තිබුනේ ඉන්දීය අගමැති මෝඩි සහ මෛත්‍රීපාල සමීපව ඉන්නා ඡායාරූපයකි. එහි සටහන්ව තිබුනේ මිත්‍රත්වය ගැනයි.මෝඩිගේ සංචාරය තම වාසියට හරවා ගන්න මෛත්‍රීවාදීන් හිතුවා විය හැකිය. ඊට පෙර මෝඩි දිවුරුම් දෙන අවස්ථාවට සහභාගිවීමට ඉන්දියාවට ගිය මෛත්‍රී මෝඩි තමාව වාහනය අසලටම ගෙනවිත් ඇරලන පින්තුරයක් මාධ්‍යට නිකුත් කර තිබිණි. එය නිකුත් කර තිබුනේද මෝඩි ඉන්නේ තමන් සමග බව පෙන්වීමට විය යුතුය. එම මිත්‍රකම තවත් ලොකුවට පෙන්වන්න මෛත්‍රී වැස්ස වෙලාවේ මොඩිට කුඩය ඇල්ලුවේය. ඊට එරෙහිව සමාජ මාධ්‍යවලින් ප්‍රහාර එල්ල වුවද මෛත්‍රීට වුවමනා වුයේ තමන් සහ මෝඩි අතර පෞද්ගලික සබදතාවක් ඇති බව පෙන්නන්නටය.

මෝඩි පැය කිහිපයකට ලංකාවට ආ නිසා රනිල් මෝඩි හමුවීමේ අවස්ථාව ලබා ගෙන තිබුනේ වාහනය තුළය. සාමාන්‍යයෙන් රටක රාජ්‍ය නායකයෙකු තම රටට වටිනා, තම රටත් සමග මිත්‍රශීලි විදේශ රාජ්‍ය නායකයෙක් පැමිණෙන විට ඔහුව පිළිගැනීමට ගුවන් තොටුපලට ගොස් ඔහුත් සමග වාහනයේ ඒම ප්‍රකට රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායකි. 2018 දී ඉන්දියාවේ සංචාරයකට ආ ඊශ්‍රායල් අගමැති බෙන්ජබින් නෙතන්යාහු පිළිගැනීමට මෝඩි ගුවන් තොටුපලට ගියා පමණක් නොව ඔහුත් සමග වාහනයේ එකට ගමන් ගත්තේය. රනිල් ද මෝඩි පිළිගැනීමට ගුවන් තොටට ගියේ ඔහු තමාටත්, රටටත් වටිනා රාජ්‍ය නායකයෙක් බව පෙන්වන්නටය. රනිල් මෝඩි සමග වාහනයේ ගියේ එකටය.මහින්ද මෝඩි හමුවීමට ගියේ තම පුත් නාමල් රාජපක්ෂ ද කැටුවය. මහින්දට අවශ්‍ය වුනේ නාමල්ට මෝඩි සමග සමීප මිත්‍රත්වයක් ඇති බව පෙන්වන්නටය. මිට පෙර මහින්ද මෝඩි හමුවන්නට ඉන්දියාවට ගියේද නාමල් සමගය.

“ මේ ඔක්කොම මෝඩිව බෙදා ගන්න ෆයිට් කලත් මෝඩි බදා ගන්න කැමති කාවද..?”

මෝඩි අද ඉන්නේ 60,70,80 දශකයේ ඉන්දිරා ගාන්ධි හිටපු තැනටත් වඩා ඉහළ තැනකය. ඉන්දියාවේ බිහි වූ බලවත්ම රාජ්‍ය නායිකාව ඉන්දිරාය. ඇය බලවත් වූ විට කළේ තම රට තුළ තමන්ට දේශපාලන විරුද්ධවාදීන්ගෙන් තර්ජන අවම නිසා තම කලාපයෙන් ඉන්දියාවට තර්ජනයක් වන රාජ්‍ය මෙල්ල කිරීමය. ඇය බංගලාදේශය බිහි කළෙත් ඒ අනුවය. ඒකට කිවේ ඉන්දිරා න්‍යාය කියාය.

ඉන්දිරාට පසු අද එවැනි න්‍යායක් ක්‍රියාත්මක කරන්න ජන වරමක් ලබාගෙන ඇත්තේ මෝඩි ය. අද ඔහුට ඉන්දියාව තුළ අභියෝග කළ හැකි දේශපාලන සතුරන් නැත. ඔහුට අභියෝගයක් එල්ල විය හැක්කේ කලාපය පකිස්තානය, චීනය හෝ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදින්ගෙන්ය. ඔහු ලංකාව දෙස බලන්නේ චීන කණ්නාඩියට පකිස්තානය සහ අයි.එස්.අයි.එස්. රාමුවක්ද දමාගෙනය.

ඉන්දියාව මේ චීන කණ්නාඩිය දමා ගත්තේ මහින්ද චීනයට කඩේ යන්න පටන් ගත්තාට පසුව නොවේ. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ චීන බලපෑම ගැන ඉන්දියාව හොදින් ඇහැ ගහගෙන සිටියේය. එකල ඉන්දියාවේ පැවති ගාන්ධි ආණ්ඩු චීනයට වඩා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලංකාවට බැල්ම හෙලීම ගැන කෝපයෙන් සිටියත් 1961දි බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව චීනයට කත්ඇදීම ඉවසුවේ නැත. ඉන්දියාවේ ගාන්ධිලා ලංකාවේ සෝවියට්වාදී බණ්ඩාරනනායකවරුන්ගේ ආණ්ඩුවලට කැමති වුවත් මැතිනිය ඉන්දු-චීන යුද්ධය වේලාවේදී චීනයට කඩේ යෑම ඉවසුවේ නැත. ප්‍රතිඵලය 1964 ඇයගේ විශ්වාස භංග යෝජනාවකින් ආණ්ඩුව කඩාගෙන වැටිමය.

එදා ඉන්දියාව බය වුනේ මැතිනිය සමග චීන නායකයන් ත්‍රිකුණාමල වරායේ සහ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් යද්දීය. අද චීනය හම්බන්තොට වරායක්  ඉදිකරවා ඇතිවා පමණක් නොව කොළඹ වරාය නගරයක්ද ඉදිකරමින් සිටි. මහින්දට ගෙදර යන්න සිදුවුයේ මහින්දගේ මේ චීන වන්දනාවට එරෙහිව ඉන්දියාව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගහපු ගේම් නිසාය. මහින්ද චීන සබ්මැරින් කොළඹ වරායට ගෙන්වන විට ඉන්දියාවේ ඉහමොළ රත් විය.

මෛත්‍රීපාල ආවේ ඉන්දියාව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මහින්දට පාඩමක් උගන්වන්න තීරණය කිරීමෙන් පසුවය. මෛත්‍රීපාල රනිල් සමග ආණ්ඩුව හදා මහින්ද චීනයෙන් ගත්  ණයවල පොලිය ගෙවන්න හම්බන්තොට වරාය චීනයට බදු දුන්නේ ඉන්දියාවේ අකමැත්ත මධ්‍යයේය. චීනයට වරාය බදු දෙන ගමන් ජපානයට කොළඹ වරායේ පර්යන්තයක් සංවර්ධනය කිරීමට ගිවිසුම් ගැහුවේ ඉන්දියාව බැලන්ස් කර ගන්නටය. මහින්දගේ ආණ්ඩුව ගුවනත් සමග සින්නක්කරව චීනයට විකුනපු කොළඹ වරාය නගර ගිවිසුම් මෛත්‍රී-රනිල් ආණ්ඩුව වෙනස් කළේ ඉන්දියාව ෂේප් කර ගන්නටය.

මේ ඉන්දියාව යාලු කරගෙන ගේම ගැහුවේ රනිල්ය. මෛත්‍රී හම්බන්තොට වරාය චීනයට බදු දෙනවාට කැමති වුනත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට සංවර්ධනය කරන්න ඉඩ දෙනවාට කැමති වුයේ නැත. ඉන්දියාව චීනයේ නොරොච්චෝලේ විදුලිබලාගාරය බැලන්ස් කරන්න ගෙන ආ සාම්පුර් විදුලිබලාගාර යෝජනාවටද මෛත්‍රී ඉඩ දුන්නේ නැත.

මේ නිසා මෛත්‍රී කොයිතරම් මෝඩිට කුඩා ඇල්ලුවත් ඉන්දියාව ඉන්නේ මෛත්‍රී සමග හොද හිතකින් නොවේ. මහින්ද විමල්ලාගේ, ගම්මන්පිලලාගේ ඉන්දීය විරෝධය පාලනය කොට ඉන්දියාවට කඩේ යන්න පටන් ගත්තේ මෛත්‍රී සහ ඉන්දියාව අතර හොද හිත පළුදු වීමෙන් පසුවය. මාව බලයෙන් ඉවත්කොට නුඹලා ගෙන ආ මෛත්‍රී නුඹලාට කොකා පෙන්වනවා නොවේ දැයි අහන නිසාවෙන් මහින්ද ඉන්දියාවට පවන් සලයි. ඉන්දියාව මෛත්‍රීට මෝඩි දිවුරුමට ආරාධනා කළේ මෛත්‍රීට ඇති අමුතු ආදරයකට නොව කපන්න බැරි අත සිඹින්නා වගේය.

2014 මෝඩි අගමැති වූ විටත් මහින්ද චීන වන්දනාවේ යද්දී මහින්දට මෝඩි දිවුරුම් දෙන උළෙලට ආරාධනා ලැබුනේ කපන්න බැරි අත සිඹින නිසාවෙනි.ඉන්දියාව මෛත්‍රී ගැන බලාපොරොත්තු තබා ඇතැයි සිතිය නොහැකිය. මෛත්‍රීට තව ඇත්තේ මාස 5ක් පමණි. ඉන්දියාව 2015 හිතන්න ඇත්තේ  2020ත්  මෛත්‍රී-රනිල් සන්ධානයක් ගැනය. එත් මෛත්‍රී ඒ සියල්ල නැති කර ගත්තේය. මහින්ද ඉන්දියාවට ලව් කරන්න පටන් ගත්තේ මෛත්‍රී  ඉන්දියාවට පමණක් නොව ඉන්දීය බුද්ධි  අංශවලටත් සත්තම දාන්න  පටන්ගනිද්දිය.මහින්දට ඕනෑ ඉන්දියාවත් එක්ක පරණ යාළුකම් අලුත් කර ගන්නටය.

රනිල් මෝඩි පිළිගෙන මෝඩි යන වාහනයට නැග්ගේ ඉන්දියාවට විශ්වාසය තැබිය හැකි එකම නායකයා තමා බව පෙන්වීමටය. මහින්ද මෝඩි හමුවීමට නාමල්ව රැගෙන ගියේ රටේ නායකයා වෙන්න ඉන්දියාවේ ආශීර්වාදය නාමල්ට දෙන්න කියන්නාක් මෙන්ය.හැබැයි ඉන්දියාව 2020 ට ඔට්ටු අල්ලන්නේ ලංකාව තුළ චීන බලපෑම් අවම කරන්න පුළුවන් නායකයාටය. ඒ වගේම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදින්ට ඉන්දියාවට ගහන්න ලංකාවේ මුස්ලිම් අන්තවාදී මිනිස් බෝම්බ හදන්න ඉඩ නොදෙන නායකයකුටය.“නායකයා කවුද..?” කවුරු වුනත්ඉ න්දියාව ඔට්ටු අල්ලන අශ්වයා පරදින්නේ නැති බව නම් ෂුවර්ය.    

 

-ගුරුදා විග්‍රහය-

මව්රට