Monday 22nd of July 2019

English Tamil


ත්‍රස්තවාදීන්ට මරණීය දඬුවම ලබා දෙනවාට විපක්ෂනායකයා විරුද්ධ ඇයි..?


2019-05-15 5943

ගෝලීය ත්‍රස්තවාදීන්ට එරෙහිව  නීතිය ක්‍රියාත්මක කරන්න එපාද..?

(සුජිත් මංගල ද සිල්වා)

ත්‍රස්තවාදීන්ට මරණීය දඬුවම ලබා දෙමින්, ගෝලීය ත්‍රස්තවාදය පිටු දැකිය හැකි ලෙස සකස් කර තිබෙන ප්‍රති ත්‍රස්ත පනත ශ්‍රේෂ්ඨාධිකරණය ද අනුමත කර තිබියදී මහින්ද රාජපක්ෂ ප්‍රධාන විපක්ෂය ඊට විරුද්ධ වන්නේ කිනම් පදනමක් යටතේදැයි පාර්ලිමේන්තුවේ  සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කර සිටියි.

ඔහු මේ බව ප්‍රශ්න කර සිටියේ කොළඹ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂමන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.

සෑම රටක්ම වෙනස් වන ගෝලීය ත‍්‍රස්තවාදයට මුහුණදීම උදෙසා ප‍්‍රතිත‍්‍රස්ත පනත යාවත්කාලීන කරනවා. ප‍්‍රතිත‍්‍රස්ත පනත  ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවට 1979 වර්ෂයේදී  ගෙන ආ නමුත් අද එම පනත අවුරුදු 40ක් පරණයි. එම නිසා එම පනත යාවත්කාලීන කිරිමයි අපේ අරමුණ.

දැනට මාස එක හමාරකට පමණ පෙර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන විට විපක්ෂනායකතුමා මේ සංශෝධන සදහා කැමැත්ත දැක්වූවත් පසුගිය සතියේ එතුමා කියා සිටියා  මේ පනත සංශෝධනය කිරීමට  කිසිසේත්  ඉඩ නොදෙන බව.

නමුත් මෙම යෝජනා සදහා කමිටුවක් පත් කර අවශ්‍ය සංශෝධන සිදු කළ යුතු බව එතුමා පාර්ලිමේන්තුවේදී  ප‍්‍රකාශ කළා. එලෙස ප‍්‍රකාශ කළත් පසුව විරුද්ධ වීමෙන් ඔවුන් පෙන්වීමට උත්සාහ කරන්නේ ගෝලීය ත‍්‍රස්තවාදය වැළැක්වීම  සදහා නීති අනවශ්‍යයි යන කාරණය ද කියා මම ඔවුන්ගෙන් ඇසීමට කැමතියි.

ශරියා නීති රීති ගැසට් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. නැගෙනහිර පළාතේ ආරම්භ කළ විශ්ව විද්‍යාලයක් යැයි කියා ගන්නා විශ්ව විද්‍යාලය ආරම්භ කිරිම සදහා අවසර ලබා දුන්නේත් එතුමා. මේ යෝජිත සංශෝධන සදහා විරුද්ධ වීමෙන් විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?

මෙම සංශෝධනවල ඉතා වැදගත් නව තීන්දු ගණනාවක් තිබෙනවා. අද පවතින නීති අනුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුවක් දැමුව හොත් මිනිස් ජීවිත නැතිවී තිබුණත් මරණ දඩුවම ලබා දිය නොහැකියි.

අපි මේ පනත නිර්මාණය කිරිමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපට පෙන්වා දුන්නා මෙම යෝජිත පනතට මරණ දණ්ඩනය ඇතුළත් කරන්න යන කාරණය. යෝජිත පනතෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  ඇති නඩු සදහා මරණ දඩුවම ලබාදීමේ නීතිමය හැකියාව ලැබෙනවා.

ත‍්‍රස්තවාදීන්ට මරණ දඩුවම ලබාදීමට හිටපු ජනාධිපති වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා හා විපක්ෂයේ කණ්ඩායම විරුද්ධද ඇයි..?  මේ අය කිසි කෙනෙක් මෙම පනත සම්බන්ධයෙන්වත් ශ්‍රේෂ්ඨාධිකරණය සමග ඇතිවූ සංවාදය පිළිබදවත් දන්නේ නැහැ. විපක්ෂය නිසා විරුද්ධ විය යුතු නිසා විරුද්ධ වෙනවා.

මෙහි තවත් වැදගත් වෙනසක් තිබෙනවා. අද වර්තමාන පනත යටතේ හමුදාවට සෝදිසි කිරිම්වලින් අනතුරුව පුද්ගලයින් අත්අඩංගුවට ගන්න බැහැ. එසේ අත්අඩංගුවට ගත හැක්කේ පොලිසියට පමණයි. නමුත් මෙම පනත සම්මත වූවායින් පසුව හමුදාවට හැකි වෙනවා සෝදිසි කිරීම්වලින් අනතුරුව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට.

ඒ වගේම ගෝලීය ත‍්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ  ඕනෑම අයෙකුට අපේ රටේ පුරවැසියෙක් නොවුණත් අපේ රටේ පදිංචි අයෙකු නම්  අපේ රටේ නීති කි‍්‍රයා මාර්ග ගැනීමේ හැකියාවත් මේ නව පනතට ඇතුළත් වනවා.

වර්තමාන පනතේ එවැනි හැකියාවක් නැහැ. මේ ප‍්‍රධාන යෝජනා 03 ත‍්‍රස්තවාදය මැඩලීම සදහා ඉතා වැදගත්.  අපේ අරමුණ ත‍්‍රස්තවාදීන්ට දැඩි දඩුවම් ලබාදිමයි. මේ සංශෝධන සිදු කරන්නේ අපේ රටේ උන්නතිය උදෙසායි.

එහිදී ජන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඊට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ඇමතිතුමා, කාදිනල්තුමා ප‍්‍රකාශ කර තිබෙනවා අලුත් පනතක් ගෙන එනවාට වඩා සංශෝධනයක්  ගෙන විත් මේ කටයුතු  සිදු කරනවා නම් හොදයි කියලා..?

පිළිතුර  - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙම පනත ඉදිරිපත් වූයේ 1974 වර්ෂයේ.  ඉන් අනතුරුව දස වතාවක් සංශෝධනය කර තිබෙනවා. 2000 වර්ෂයේ ඒ සංශෝධන  සියල්ලම ඇතුළත් කරලා නව පනතක් ගෙනාවා.

අනතුරුව 2005දී ලන්ඩන් නුවර බෝම්බ පිපිරීමෙන් පසු 2006 වසරේ තව පනතක් ගෙනාවා. ඉතිං මේ නීති රටට අවශ්‍යයි.  ඕනෑම නීතියක අරමුණයි වැදගත් වන්නේ. අපේ අරමුණ ත‍්‍රස්තවාදීන්ට දැඩි දඩුවම් ලබා දීම. ඉතින් ඇයි මේ සදහා විරුද්ධ වන්නේ..?

ශ්‍රේෂ්ඨාධිකරණය අපිට පෙන්වා දුන්නා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මිනිස් ජීවිත නැතිවී තිබුණත් මරණ දණ්ඩණය නියම කිරීමට නොහැකිවීම  රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි කියන කාරණය.

දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 යටතේ මිනීමැරුමක් වූ විට මරණ දඩුවම ලබා දිය යුතුයි. ශ්‍රේෂඨාධිකරණය අපෙන් විමසුවා  ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මිනීමැරුමක් වු අවස්ථාවක මරණ දඩුවම නියම නොකරන්නේ ඇයි කියලා. මේ නීති රීති කාලෙන් කාලෙට යාවත්කාලීන කිරීමට අවශ්‍යයි.

ප්‍රශ්නය - මේ හරහා ජන මාධ්‍ය වාරණය කිරීමට යනවා කියන්නේ ඇත්තද ?

පිළිතුර - එහෙම කිසිදෙයක් මෙහි අන්තර් ගත වන්නේ නැහැ.මේ පනත  ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමත කරලා තියෙනවා.  ජන මාධ්‍යට වෘත්තීය සමිතිවලට හිරි හැර වෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයපනත  අනුමත කරන්නේ නැහැ.

ප්‍රශ්නය  - ඇමතිතුමා, මෙම පනත පාර්ලිමේන්තු වෙබ් අඩවියේවත් නැහැනේ..?

පිළිතුර -  ශ්‍රේෂ්ඨාධිකරණය විමසූ සංශෝධන කිරිමෙන් අනතුරුව අප පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කරනවා.  ඉන් පසු වෙබ් එකට දානවා. මේක තවම යෝජිත පනතක්. ඒකයි අපි විපක්ෂයට කියන්නේ මේ ගැන සාකච්ඡා කරමු කියලා.කාර්ය  රට වෙනුවෙන් කරන දෙයක්. අපිට බලයේ ඉන්නවත් විපක්ෂයට හිරි හැර කරන්නවත් කරන දෙයක් නෙමෙයි.

ප්‍රශ්නය  - ඇමතිතුමා, මේ දවස්වල ශ්‍රී ලංකාවේ යම් කිසි සිදුවීමක් ඇති වුණාම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට රජය තීරණය කරලා තිබෙනවා.මේ තත්ත්වය මේ වන විට විහිළුවක් පත් වී තිබෙනවා. ඒ වගේම යම් කිසි ආකාරයකින් මාධ්‍ය වාරණයකුත් සිදු කර තිබෙනවා. ඇයි රජය මේ වගේ තීරණ ගන්නේ ?

පිළිතුර  - වෙබ් අඩවි වාරණයට මම පෞද්ගලිකව විරුද්ධයි. මම මාධ්‍යට හා වෙබ් අඩවිවලට කියන්නේ සත්‍ය වාර්තා කරන්න කියලා. සත්‍යයට විරුද්ධ වෙන්න කිසිවෙකුට බැහැ. ඒක තමයි වැදගත් දේ.