ලොව දරුණුතම ත්රස්ත්රවාදය
එල්ටීටීඊය ද..?
(ටිරන් කුමාර බංගගමආරච්චි)
ගෙවුණු සති අන්තයේ මීගමුවට ඇඳිරි නීතිය වැටුණි. එයට හේතුව දෙපිරිසක් අතර ඉතා සුළු සිද්ධියක් පදනම් කරගෙන ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය කලහකාරී තත්ත්වයකින් කෙළවර වීම නවතා ගැනීමටය. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් නොවන්න තත්ත්වය වෙනම විදිහට අකුරු කරන්නට සිදුවනවා නියතය. මීට පෙර කොච්චිකඬේ සහ පෝරුතොට ද මෙවැනි තත්ත්වයන් ඇති වූ අතර ආරක්ෂක අංශ මැදිහත්ව එය සමනය කළේය. එසේ නම් අළු යට ගිනි පුපුරු ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය එක් නිමේෂයකින් මහා ගින්නක් විය හැකිය. එය එසේ වුවහොත් දැවී යන්නේ අනාගත පරම්පරාව බව කිව මනාය.
21දා පාස්කු ප්‍රහාරයත් සමග නොකිව්වාට මුසල්මානුවන් කෙරෙහි සෙසු ජාතීන් අතර වෛරයක් ඇතිවී ඇති බව කිව යුතුය. හැම මුස්ලිම් ජාතිකයකුම මේ ප්‍රහාරයට සම්බන්ධ නැති වුවද පොදු විඥානය ගෝචර කරගන්නේ හැම කෙනාම එකම මානයට දමාය. මේ දැක්ම ලේසියෙන් මකා දැමිය හැකි නොවේ. මේ නිසාම හැම මුස්ලිම් මිනිසාම සැකය තමන්ට එල්ල වී ඇතැයි යන විචිකිච්ඡාවෙන්ද දිවි ගෙවති. මේ නිසා මේ දෙපිරිස දැන් දැන් පුළුන් සහ ගින්දර බවට පත්වී ඇත. සැමදෙනාම නැතත් කෙසේ හෝ මේ ගින්න අවුලුවා ගැනීමට දෙපැත්තෙන්ම වළිකන පිරිසක්ද සිටිති. ඒ පටු දේශපාලන සහ ආර්ථිකමය ලාභ අපේක්ෂාවෙන්ය. එහෙත් එය මොනම හේතුවක් මත හෝ පත්තු වුවහොත් එයට දෙපාර්ශ්වයටම දීර්ඝකාලීනව කොන්දේසි විරහිතව වන්දි ගෙවන්නට සිදුවන බවත් කිව යුතුය. ඒ නිසාම අපි මේ නරුම සෙල්ලම දැඩිව හෙළා දැකිය යුතුව ඇත.
කඩු ගොඬේ රහස
පාස්කු ප්රහාරයන් පසු කළ සෝදිසි මෙහෙයුම්වලදී වැඩිපුරම සොයා ගත්තේ කඩුය. ඒ අතරද කඩු විශාල වශයෙන් තිබුණේ මුස්ලිම් පල්ලිවලය. ඒ අනුව ඉතාම පැහැදිලි කරුණ නම් ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර දීමට මුස්ලිම් ජනයා සූදානම් වූ බවය. ක්ෂණික ආවේගයට මුස්ලිම් පල්ලි විනාශ කිරීමට පිරිසක් ගියේ නම් එයින් පිරිසක් මුස්ලිම් ප්‍රහාරවලින් විනාශ වනවා නියතය.
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද යන්න මුස්ලිම් ජනයා මනාව මෙවර වටහාගෙන තිබූ බව පැහැදිලිය. දර්ගා නගරයේ ඇතිවූ ගැටුමේදීත් තෙල්දෙණිය දිගන ඇතිවූ ගැටුම්වලදීත් ඔවුහු කඩු අතට නොගැනීමේ විපාක අත්වින්දේ සිංහලයාගේ අරියාදුව උපරිමය භුක්ති විඳිමිනි. එහෙත් මෙවර තත්ත්වය වෙනස්ය. ඔවුන්ට දැන් ශක්තියක් පවතී. නොපෙනෙන බලවේගයක ආශිර්වාදයක් ලැබේ. මේ නිසා දර්ගාහිදී සහ දිගනදී නොලද ප්‍රතිවිපාක මෙවර ඉක්මන් වූයේ නම් බොහෝ ජනයා අත්විඳිනු නියතය.
එය එලෙස වූයේ මහ ජාතිය අප්‍රමාණව බිය වූ නිසාය. මෙවර සිද්ධ වූයේ ගල් ප්‍රහාරයක් හෝ අතින් පයින් පහරදීමක් නොව එකවර කිහිප පොළක මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීමය. ඒ කම්පනයට සියල්ලෝ ගල් ගැහෙනු හැර ලොකු කෙරුමන් නොවන බව සහතිකය. අදටත් ඒ බය පහව ගොස් නැත. මේ නිසා ප්‍රති ප්‍රහාර වැළකුණි. එහෙත් දැන් දැන් වාසිය හැරෙන පැත්ත අනුව පිස්සු නැටීම පටන් ගැනීමට ඉඩ ඇත. නවතාලිය යුත්තේ මේ පිස්සුවය. උමතුවය. එවැනි මතුවීම් මුලින්ම උදුරා දැමිය යුතුය. මන්ද මේ ආරම්භය ලොකු ව්‍යසනයක පළමු පියවර වන බැවිනි. සෝදිසි මෙහෙයුම් තරමටම මේ ගැනත් සෝදිසියෙන් සිටිය යුතුය.
කළු ජූලියක් කුමකටද?
නැවත කළු ජූලියක් වුවමනා නැති බව පැහැදිලිය. එල්ටීටීඊ සංවිධානය ශක්තිමත් වූයේම කළු ජූලිය නිසාය. සමස්ත දෙමළ ප්‍රජාවම සෘජුව නොවුණත් වක්‍රව අවසානයේ එල්ටීටීඊය පිළිගන්නා තත්ත්වයට පත්වූයේ කළු ජූලිය ඇති කළ මළ ජූලිය නිසාය. ඒ ගින්නෙන් දෙමළ හදවත් දැවී අළු වූ නිසාය. එසේ නම් අතීත මතක පාඩම් අමතක නොකළ යුතුමය. මෙවර යම් හෝ අත්වැරදීමකින් නරක තත්ත්වයක් උදාවුවහොත් එය සමනය කිරීම ලේසි – පහසු නොවන බැවිනි. එලෙස වූ සැණින් දැනට ඉතා සුළු පිරිසක් වන අයිඑස්අයිඑස් සාමාජිකයන් සමග මෙරට මුසල්මානුවන් ඍජුවම නොවුණත් වක්‍රව බැදෙනු ඇත. මේ සැමගේ ගැලවුම ඔවුන් බව අදහනු ඇත. එසේ වුවහොත් රටටත් දෙයියන්ගේම පිහිටය.
මිථ්‍යාව
ලොව දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම එල්ටීටීඊ එක බවත්, එය අවසන් කළ අපට මේවා කජ්ජක්ද යන්න ජනපතිගේ සිට අධිතක්සේරුවය. මෙය මිථ්‍යාවකි. මේ පළමු මැදිහත්වීමෙන්ම මේ අයිඑස්අයිඑස් සටන්කරුවන් එල්ටීටීඊ සංවිධානයට වඩා ගව් ගාණකින් එහා සිටින බව පැහැදිලිය. එවන් කලෙක අප බොරු මිථ්‍යාවක ගිලීම විකාරයකි. එල්ටීටීඊ සංවිධානයට තිබුණේ කුඩා ඉලක්කයක් වුවත් මෙය එලෙස කුඩා කළ නොහැකිය. මොවුන් රට පුරාම ව්‍යාප්තව ඇත. හැම මුස්ලිම් කෙනකු දිහාම සැකෙන් බලමින් ජීවත් වන විට ඒ සැකෙන්ම අප හෙම්බත් වනු ඇත්තේ මේ ව්‍යාප්තිය නිසාය.
එල්ටීටීඊ සංවිධානය සිටියේ උතුරු-නැගෙනහිරට කොටුවය. ඒ නිසා වික්‍රම පෑ මෙරට හමුදාවන්ට මේ ප්රශ්නයේදී එලෙස අතපය දිගහැර පහරදිය හැකිද? හැම අතින්ම මේ සංවිධානය එල්ටීටීඊ සංවිධානයට වඩා ප්රබලය. මෙහි මුල් ඇත්තේ ලොව පුරාමය. මෙරට මුස්ලිම් ප්‍රජාවට පහර දුන් සැණින් මුස්ලිම් රටවල ජීවත් වන රැකියා කරන මෙරට ශ්‍රමිකයන් පණ පිටින් අපාගත වනු ඇත. ඒ නිසා අප එක තැනකට අත තබන විට අපට හතර අතින් වටකොට පහර දෙනු නියතය. මෙය ජයගැනීමට නම් අප මුස්ලිම් ප්‍රජාව සමග සමගිව සිටිය යුතුය. ඒ සමගිය අවංක බැඳීමක් විය යුතුය. එසේ නොවුවහොත් මෙහි දරුණු ප්‍රතිවිපාක දෙපැත්තටම විඳින්නට වන්නේ නිතැතින්මය.
මෙහෙයුම්
ඒ තත්ත්වය ආරක්ෂා කරන ගමන්ම අයිඑස්අයිඑස් සම්බන්ධ තව්හිද් ජමාත්ලා සොයා කරන මෙහෙයුම් මීටත් වඩා හොඳට කළයුත්තේ කඩු පිහිවලින් එහාට මෙය ව්‍යාප්ත බැවිනි. කඩු, පිහි නැවත ඒ අයට ඕනෑතරම් ගත හැකිය. පරාජය කළයුත්තේ මතවාදයය. අනුග්‍රහයය. මතවාදය පරාජය කිරීමට නැවත අවශ්‍යවන්නේ තව්හිද් ජමාත්ලාට විරුද්ධ බහුතර මුස්ලිම් ප්රජාවමය. මොවුන්ගේ සහය ඇතිව අන්තවාදී අදහස් සුනු විසුනු කළ යුතුය. එයට මුස්ලිම්වරුන්ගේම සහය අවශ්‍ය වනුයේ වෙනස අවශ්‍ය මුස්ලිම් සමාජයටම වන බැවිනි.එමෙන්ම ජයගත යුතු අනෙක් ඉලක්කය අනුග්‍රහයය.
මෙරට පාතාලය හිස ඔසවනුයේ දේශපාලන හයිය ඇතිවය. කුඩු ව්‍යාප්ත වනුයේ දේශපාලන රැකවරණය සහ හයිය මතය. ඒ පරිදිම ත්‍රස්තවාදය ව්‍යාප්ත වන්නේද දේශපාලන ආශිර්වාදය මතය. එසේ නම් මේ තව්හිද් ජමාත්ලා පිටුපස දේශපාලන හයිය නැතැයි කියන්නේ කෙසේද?
අද වන විට ඉතා ප්‍රබල ලෙස අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව චෝදනා එල්ල වේ. මුජිබර් රහුමාන්, අසාද් සාලි මෙන්ම හිස්බුල්ලාට එරෙහිවත් චෝදනා එල්ල වේ. තව්හිද් ජමාත්ලාට ගෑවුණු සියල්ල ප්‍රශ්න කරන්නට ගන්නේ නම් මේ අයට අමුතු වරප්‍රසාදයක් ඇයි? එයින් පැහැදිලිවන්නේ මෙරට දේශපාලනය තම පැවැත්මට සමස්ත රටම බිල්ලට දෙන බවය. රිෂාඞ් සහ මුජිබර්ව අගමැති ආරක්ෂා කරන අතර අසාද් සාලි සහ හිස්බුල්ලා ජනපති ආරක්ෂා කරමින් සිටී. ඒකාබද්ධය මේ සිව්දෙනාගේම දොස පවරනුයේ එජාපයටය.
මොවුන් වැරදිකරුවන් යැයි අපි නොකියමු. එලෙස ඔවුන් වැරදිකරුවන් නොවේ නම් එල්ල වන චෝදනාවලට ඍජුවම මුහුණ දිය යුතුය. මාධ්‍යවලට මොවුන් ගෙන්වා ප්‍රශ්න කර පළක් නැත. මොවුන් නිවැරදි කිරීමට නම් අගමැති සහ ජනපති මැදිහත්ව මොවුන්ගෙන් ප්‍රශ්න කරන්නැයි නියෝග කළ යුතුය. එවිට ඉබේටම ජනතාව අතර ඇති මේ කුකුස තහවුරු වීම හෝ පහවීම සිදුවනු ඇත. එසේ නොමැතිව තම තමන්ගේ මිනිස්සු ආරක්ෂා කරන තැනට ගියහොත් මේ මෙහෙයුම් සෝදිසි එක් තැනකින් සීමාවී ප්‍රශ්න යට යනු ඇත. මෙය යට යන තරමට අනතුර භයානක බව වටහාගත යුතුය. දැන් සියල්ලෝ සිතාගෙන සිටිනුයේ සාර්ථක මෙහෙයුම් කොට සියල්ල අවසන් කරමින් ඇති බවය. මෙය තාවකාලික වින්දනයකි.
ජනපතිගේ බලාපොරොත්තුව ජනාධිපතිවරණයට පෙර මේ ත්‍රස්ත කණ්ඩායම අතුගා දැමීමය. එයට තව ඇත්තේ මාස හයක් පමණය. ඊටත් අඩුය. තමා එල්ටීටීඊ එකටත් වඩා භයානක ත්‍රස්ත කණ්ඩායමක් අහවර කළ බව කියමින් ඡන්දයට ඒම ඔහුගේ ඊළඟ හීනය විය යුතුය. ඒ හීනය තව ලොකු ශබ්දයකින් කැඩී යන්නට පෙර මේ මෙහෙයුම් ශක්තිමත් කළ යුතුය.
අයිඑස්අයිඑස් ත්රස්තයෝ ලංකාවට ප්‍රහාර එල්ල කිරීම දිගුකාලීනව සැලසුම් කර ඇති බව පැහැදිලිය. මෙය කිසිසේත්ම නවසීලන්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් නොවන බව පැහැදිලිය. නවසීලන්. ප්‍රහාරය සිද්ධ වනුයේ මාර්තු මාසයේ මැදය. 15 වැනිදාය. ලංකාවට ප්‍රහාර දියත් කරනුයේ අප්‍රේල් 21ය. නවසීලන්ත සිද්ධිය වී දින 26ක් වන තැනය. දින 26කින් මේසා ලොකු ප්‍රහාරයක් සැලසුම් කළ හැකිද? එය විහිළුවකි. එසේ නම් ඔවුන් අවුරුද්දක් පමණ සැලසුම් කළහොත් ලංකාවක් ඉතිරි නොවනු නියතය. ඒ අනුව බොරු තැන්වල නතර නොවී අප තේරුම්ගත යුත්තේ මෙය ඔවුන්ගේ දිගුකාලීන සැලැස්මක ප්‍රතිඵලයක් බවය. එසේ නම් එහි කෙළවර තව බොහෝ දුර ඇත. එය මාස හයකින් අවුරුද්දකින් අපට අවසන් කළ හැකි නොවේ.
ඡන්ද ගුණ්ඩුවලට ඒවා සීමාවනු ඇත. මේ ලැබී ඇත්තේ අපගේ ඉන්ටර්වල් එක බව සැවොම සිතා ගැනීම සහනයක්ය. ඒ නිසා විමසිලිමත් වීම කල්පනාකාරී වීම සමාජයක් ලෙස වැදගත්වන්නේ මීගමුවේ කොච්චිකඬේ සහ පෝරුතොට සිද්ධි නොවීමටය. එය වැදගත්ම අංගයය. අනෙක් අතට නැවත බලයට එනවාද නැද්ද යන්න පසෙක තබා ජනපති අගමැති මෙය මර්දනය කරන්නට උපරිම අවංක විය යුත්තේ තම දේශපාලකයන් ආරක්ෂා කිරීමෙන් වැළකීය. ජනපති දෙදෙනෙක් ආරක්ෂා කරන විට අගමැති තව දෙදෙනකු ආරක්ෂා කරනමුත් ගැලවුම සඳහා ඒ සිව්දෙනා එකාවන්ව එකතු වී ඇත්තේ දේශපාලනය අමතක කොටය. අද ඔවුන්ට එල්ල වන චෝදනා ප්‍රශ්න කරනුයේත් පිළිතුරු බඳිනුයේත් මාධ්‍ය තුළය. ඒවා මාධ්‍ය සංදර්ශන නොවී නීතිමය රාමුවේම සිදුවූවා නම් මෙලහකටත් මේ අය හරි හෝ වැරදි යන්න තීන්දු වී හමාරය.
ත්‍රස්තවාදය ආරක්ෂාවන්නේ දේශපාලකයන්ගෙන් සේ ම දේශපාලකයන් ආරක්ෂා වන්නේ දේශපාලකනයෙන්මය. කඩු, පිහි අල්ලා වැඬේ අහවර යැයි සිතන්නේ නම් ඉන්පසු ඇල්ලූ කඩු ගිලින්න වන්නේත් මහජනයාටම බව කිව යුතුය.
රාවය
Lanka Newsweek © 2024