Monday 22nd of July 2019

English Tamil


ජනපතියි-අගමැතියි නොසලකා හැරිය ෆීල්ඩ් මාර්ෂල්ට විපක්ෂයෙන් ආරාධනා..!


2019-05-08 5692

එස්.එෆ් කෙසේ හෝ ගෙන්වා දෙන්නැයි හිටපු ජනපති සිය සගයින්ට කියයි..!

කොළඹදී හමුවූ හිටපු ආරක්ෂක ලේකම්ගෙයි-ෆීල්ඩ් මාර්ෂල්ගෙයි නියෝජිතයින් මෙන්න..!

එජාපෙ හැර නොයන බව ෆීල්ඩ් මාර්ෂල් කියයි..!          

එස්.එෆ් ට විරුද්ධ යහ පාලන කට්ටිය මෙන්න..!

(සුජිත් මංගල ද සිල්වා)

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය පෙරමුණට එකතු කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෝ දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිති.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන උපක්‍රමය වී තිබෙන්නේ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්,නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය මේ දක්වාම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා නොදීමේ සිද්ධිය පදනම් කර ගෙන ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී පුළුල් දේශපාලන සන්ධානයට ඔහු සම්බන්ධ කර ගැනීමය.

ජාතික ආරක්ෂාව මත පදනම්ව සරත් ෆොන්සේකා මහතා කෙසේ හෝ සිය සන්ධානය සමග සම්බන්ධ කර ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ සමීපතමයින් පිරිසක් සමග ගෙවුණු සතියේදී ඍජුවම ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තමාට ආරාධනා ලැබෙමින් පවතින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද සිය දේශපාලන සගයින් සමග පවසා ඇත.

තමා ඒ සම්බන්ධයෙන් කිසිදු දේශපාලන තීන්දුවක් ගෙන නොමැති බව ද,එවැනි තීරණයක් ගනිමින් මහින්ද රාජපක්ෂ කඳවුර සමග එක් වීමට තමා කිසිසේත් සූදානම් නොමැති බවත් සිය දේශපාලන සගයින් සමග පවසා ඇති සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරවීම සඳහා ඇපකැප විය යුතු යැයි ද අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් සරත් ෆොන්සේකා මහතාට සමීප අතිශය අභ්‍යන්තර සහ රහසි ගත ආරංචි මාර්ග “lankanewsweek” සමග තහවුරු කර සිටියේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය හෝ ආරක්ෂා රාජ්‍ය අමාත්‍ය ධූරය තමාට ලබා දී ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තමාගෙන් ප්‍රයෝජනයක් නොගැනීමේ ක්‍රියාදාමය පිටු පස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිනවාය යන ස්ථාවරයේ ඔහු සිටින බවය.

එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කර සිටියේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම,කබීර් හෂීම්,මංගල සමරවීර,දොස්තර රාජිත සේනාරත්න,සජිත් ප්‍රේමදාස සහ සාගල රත්නායක යන මහත්වරුන් තමාට නීතිය සහ සාමය පිළිබද අමාත්‍ය ධූරය හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙනවාට තරයේ විරුද්ධ බව සරත් ෆොන්සේකා මහතා සිය දේශපාලන සගයින් සමග ඍජුවම ප්‍රකාශ කළ බවය.

“රනිල්-මලික්-කබීර් එජාප ත්‍රිශුලය ෆීල්ඩ් මාර්ෂල්ට යළි කෙළවයි” යන ශීර්ෂය යටතේ “lankanewsweek” මේ සිද්ධිය වාර්තා කළේ 2019.04.25 වැනිදාය.

නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය සඳහා සරත් ෆොන්සේකා මහතාගේ නම ජනාධිපතිවරයා වෙත යෝජනා කර නොයැවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුල සිටම නිදහසට කියා සිටී කාරණය වන්නේ එසේ කළොත් කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව තිස් එක දක්වා වැඩි වන අතර එසේ ඇමතිවරුන් සංඛ්‍යාව වැඩි කර ගත හැක්කේ ජාතික ආණ්ඩුවක් තිබෙන්නේ නම් පමණක් බවය.

සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබා ගැනීමට තිබෙන අවහිරය එම තත්ත්වය නම් තමා සිය කැබිනට් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායම් රැස්වීමේදී කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ කූට උපක්‍රමය දන්නා නිසාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ කාරණය සම්බන්ධයෙන් හතර පැත්තෙන්ම හිර වූයේ ඒ සමග වන අතර අවසානයේදී  ලක්ෂ්මන් කිරිඇල්ල,කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන ඇමතිවරුන් ඇතුළු පිරිසක් මාර්ගයෙන් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබා දෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට අගමැතිවරයාට සිදු විය.

එම අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබා දෙන්නැයි කළ ඉල්ලීම ජනාධිපතිවරයා  ප්‍රතික්ෂේප කර තිබුණේ ඔහුට එම ඇමති ධූරය දුන්නොත් ඔහු තමාවත් අත්අඩංගුවට ගනු ඇතැයි කියමින්ය.

කෙසේ නමුත් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එදා සිට මේ දක්වා කිසිම අවස්ථාවකදී ජනාධිපතිවරයාගෙන් මුහුණට මුහුණ ඍජු ඉල්ලීමක් කර නොමැත.

තමා දේශපාලන තීන්දුවක් ගෙන විපක්ෂ බලවේග සමග කිසිසේත් එකතු නොවන බව සරත් ෆොන්සේකා මහතා කියා සිටියත් මේ වාතාවරණය මත ඔහු සිටින්නේ දේශපාලන වශයෙන් දෙගඩියාවකින් යුතුව වැට උඩ බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග “lankanewsweek” සමග වැඩි දුරටත් තහවුරු කර සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වන යුද හමුදා විශ්‍රාමික මේජර් ජනරාල් ඩබ්ලියු සොයිසා මහතා,විශේෂ පණිවිඩයක් සමගින් සරත් ෆොන්ස්කා මහතාගේ අතිශය සමීපතයෙකු වන කැප්ටන් ආචාර්ය සේනක ද සිල්වා මහතා හමු වන්නේ මේ පසුබිම මතය.

කොළඹ,ජයික් හිල්ටන්හී දී දෙපාර්ශවය අතර මේ හමුව සිදු වන්නේ 2019 අප්‍රේල් මස 27 වැනි සෙනසුරාදා රාත්‍රියේ වන අතර “හිටපු යුද හමුදාපති-ආරක්ෂක ලේකම් යළි දීගයකට සැරසෙති” යන ශීර්ෂය යටතේ “lankanewsweek” එම සිද්ධිය වාර්තා කළේ 2019.05.03 වැනිදාය.

එහිදී දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇති අතර සරත් ෆොන්සේකා මහතා සිය දේශපාලන සගයින් සමග කියා ඇති පරිදි විපක්ෂය සමග එක් වන ලෙසට එහිදීත් ඔහුට ආරාධනාවක් ලැබුණා විය හැකිය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් “lankanewsweek” කළ විමසීමකදී එම සියලු දෙනා තරයේ කියා සිටියේ,ඉදිරි ජනාධිපතිවරණ ව්‍යාපාරය මුළුමනින්ම පදනම් වන්නේ ජාතික ආරක්ෂාව යන තේමාව යටතේ වන නිසා සරත් ෆොන්සේකා මහතා රැක ගත යුතු බවය.

මේ කෙණහිලි,කකුලෙන් ඇදීම් සහ අසාධාරණ මාධ්‍ය කලකිරී ඔහු දේශපාලන තීන්දුවක් ගෙන විපක්ෂයට එකතු වුණොත් එක්සත් ජාතික පෙරමුණට ජනාධිපතිවරණ ව්‍යාපාරයක් ගැන සිතීමටවත් නොහැකි වනු ඇතැයි ද එම නායකයෝ වැඩි දුරටත් අවධාරණය කළහ.