Monday 22nd of July 2019

English Tamil


කළු පාස්කුව..!


2019-04-30 3846

(වික්ටර් අයිවන්)

ලංකාවේ කතෝලිකයන්ට මේ වසරේ උදාවූ පාස්කුව යක්ෂයින් රජ කළ මළවුන්ගේ දිනයක් වූවා මිස දෙවියන්ගේ දිනයක් වූයේ නැත. එදින නැවත ලංකාව ප්‍රචණ්ඩ ගැටුම් පැවති පරණ අශීලාචාර කාලකණ්ණි ලෝකයට රැගෙන ගිය දිනයක් ලෙස සැලකිය හැකිය. එල්ල වූ බිහිසුණු මරාගෙන මැරෙන පහරදීම්වලින් මරණයට පත්වූ සංඛ්‍යාව 300ටත් වැඩිවිය හැකි අතර, තුවාලවූවන්ගේ සංඛ්‍යාව 500කටත් වැඩිය. මරාගෙන මැරෙන පහරදීම් සිදුකරන ලද්දේ ලංකාවේ මුස්ලිම් අන්තවාදී තරුණ පිරිසක් විය හැකි වුවත් පහරදීමේ සැලැස්ම සැලකිය හැක්කේ විදේශීය දෙයක් ලෙසය. ලංකාවේ මුස්ලිම්වරුන්ට කතෝලිකයන් සමග ගැටුමක් තිබුණේ නැත. එහෙත් පහරදීම් සඳහා තෝරා ගත්තේ ක්‍රිස්තියානීන්ගේ ප්‍රධාන ආගමික දිනයක් වන අතර, පහරදීම් සඳහා ඉලක්ක කරගත්තේද කතෝලිකයන්ය.

සිදුවූ මෙම පහරදීම් 2010 වසරේ පාස්කු දිනකදී ලාහෝරයේ කතෝලික දේවස්ථාන ගණනාවකටද, නැවත 2017 පාස්කු දිනයේදී ඊජිප්තුවේ කතෝලික දේවස්ථාන ගණනාවක්ද ඉලක්ක කොට ගෙන කරන ලද පහරදීම්වලට සමානය. මෙම පහරදීම මෙහෙයවන ලද ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයට අවශ්‍ය වන්නට ඇත්තේ පසුගිය මාර්තු 15 වැනිදා නවසීලන්තයේදී ඕස්ටේ්‍රලියානු ජාතිකයකු මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කොට ගෙන කරන ලද පහරදීම් වෙනුවෙන් වඩා විශාල ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම විය යුතුය.
ඔවුන් තමන්ගේ සැලැස්ම අවහිරයකින් තොරව පහසුවෙන් ක්‍රියාවට නැංවිය හැකි රටක් ලෙස ලංකාව හඳුනාගෙන එය ලංකාවේදී ක්‍රියාවට නගන ලද බව පෙනේ.

පාස්කු දිනයේදී ලංකාවේ කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කොට ගෙන පහරදීම් කරන්නට සැලසුම් කර තිබෙන බවට ඇමරිකානු හා ඉන්දියානු ඔත්තු සේවා විසින් දිගින් දිගට ලංකාවේ ජාතික ඔත්තු සේවාවන් දැනුවත් කර තිබියදීත් පහරදීම් ඇතිවීම වළක්වා ගන්නට තබා හානිය අවම කර ගන්නටවත් ලංකාව උත්සාහ කළේ නැත. ලංකාවේ රාජ්‍යයේ හා එහි දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීමේ තරම ඉන් තේරුම් ගත හැකිය. මෙය ලංකාවේ එක දිනකදී සිදුවූ අතිවිශාල විනාශයක් ලෙස සැලකිය හැකිය. එහෙත් දේශපාලන නායකයන්ගේ මුහුණුවල කම්පාවක සේයාවක්වත් පෙනෙන්නට නැත.

මේ ඛේදවාචකයේදී ලංකාවේ කතෝලික නායකයන් ක්‍රියාකරන්නට යන්නේ කවර ආකාරයකටද? කතෝලික ජනාතවට සිදුවී තිබෙන හානිය අතිවිශාලය. ක්‍රිස්තුස් වහන්සේ දුක්ප්‍රාප්තිය දරා ගත් ආකාරයට සමාන ආකාරයකින් ඇතිවූ මහා විනාශය දරා ගනිමින් ලංකාවේ මුස්ලිම් ජනයා කෙරෙහි වෛරයකින් හෝ ක්‍රෝධයකින් ක්‍රියා නොකරන තත්ත්වයක කතෝලික ජනයා තබා ගැනීමට ඔවුන් සමත් වේද? එසේ කරන්නට ඔවුන් සමත් වෙතොත්, එය අන් ආගම්වලටද දෙන ලොකු ආදර්ශයක් වනවා සේ ම ලංකාවේ වාර්ගික සහජීවනය වෙනුවෙන් ලබාදෙන ලොකු දායකත්වයක්ද වනු ඇත.

ආගමික අන්තවාදය

ආගමික අන්තවාදය එක ආගමකින් නොව ඕනෑම ආගමක් ආශ්‍රයෙන් පහළ විය හැක. මහත්මා ගාන්ධිව ඝාතනය කළේ හින්දු අන්තවාදී තරුණයකු විසිනි. ඔහුගේ එම සාහසික ක්‍රියාව නිසා සියලු හින්දුන් ත්‍රස්තවාදීන් ලෙස සැලකිය නොහැකිය.ත්‍රස්තවාදය අහසින් කඩා වැටෙන දෙයක් නොව සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මත ඇතිවන විශේෂ තත්ත්වයකි. සිංහල සමාජය තුළින්ද බිහිසුණු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ඇතිවූවා සේ ම, දෙමළ සමාජය තුළින්ද බිහිසුණු ත්‍රස්තවාදී ව්‍යාපාර ඇතිවිය. ඉරිදා සිදුවූ පහරදීම්වලට මුස්ලිම් සමාජයේ කිසියම් තරුණ පිරිසක් ක්‍රියාකාරී ලෙස දායකවීමෙන් පෙනී යන්නේ දැනටමත් මුස්ලිම් සමාජය තුළින්ද ත්‍රස්තවාදී ව්‍යාපාරයක් බිහිවී තිබෙන බවය.

දෙමළ ජනයාගේ සාධාරණ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීම, 83 කළු ජූලිය වැනි සාහසික සිද්ධීන් දෙමළ තරුණ පරපුර ත්‍රස්තවාදී මාවතකට තල්ලු කළේය. එල්ටීටීඊයට එරෙහිව කෙරුණු අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසු විටින් විට මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් එල්ල වූ බිහිසුණු ප්‍රහාරයන් මුස්ලිම් සමාජයේ සමහර තරුණයන් යක්ෂාවේෂ කිරීමට බලපා තිබෙන තරම පෙන්නුම් කරයි. රටේ මුස්ලිම් ත්‍රස්තවාදයක් ඇති කිරීමේ වරදට ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු නැද්ද? මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට ඔවුන් යොමුවී තිබීමෙන්ම ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූ බිහිසුණු සිදුවීම් ඔවුන් අතර ඇති කරගෙන තිබෙන වෛරයේ තරම හොඳින් පෙන්නුම් කරයි.

සිංහල සමාජයෙන් බිහිවූ ත්‍රස්තවාදය සිංහල සමාජයට මහා විනාශයක් කළා මිස, ඒ නිසා රටට හෝ සිංහල සමාජයට සිදුවූ යහපතක් නැත. දෙමළ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කිවහැක්කේද එයමය. එම තත්ත්වය මුස්ලිම් සමාජයද හොඳින් තේරුම් ගත යුතුය. ඇතිවී තිබෙන පිළිකාව වර්ධනය වන්නට ඉඩ නොදී එය විනාශ කළ යුතුය. එසේ නොවෙතොත් ලංකාවේ මුස්ලිම් සමාජයටද ඒ වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවන්නට සිදුවනු නොවැළැක්විය හැකිය.

රාජ්‍යය හා කැරලි

කැරැල්ලක් ඇතිවන්නට පෙර කැරැල්ලක් ඇතිවීමට නියමිත බව කල්තියා දැකීමේ හැකියාව රාජ්‍යයකට හිමිවිය යුතුය. කැරැල්ලක් ඇතිවූ විට එය දුර දිග යන්නට ඉඩ නොදී පරාජය කිරීමේ හැකියාවද රාජ්‍යයකට තිබිය යුතුය. එහෙත් සිංහල දෙමළ කැරලි කල්තියා දැකීමට ලංකා රාජ්‍ය අසමත්වූවා සේ ම කැරලි ඇතිවූ පසු ඒවා දුරදිග යන්නට ඉඩ නොදී පරාජය කිරීමේ හැකියාවද එයට නොතිබුණේය. ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කරනු ලැබුවේ එය ජයගන්නට ආසන්නම තත්ත්වයකට ගමන් ගනිමින් තිබෙන අවස්ථාවකදීය. එල්ටීටීඊ කැරැල්ල පරාජය කරනු ලැබුවේද අවුරුදු 29ක් එම කැරැල්ල අල්ලාගෙන සිටීමට සමත්වීමෙන් පසුවය.

මේ කැරලි දෙක පරාජය කිරීමට රාජ්‍යය සමත් වුවත් එම කැරලිවලින් රාජ්‍යයටද බරපතළ තුවාල සිදුවිය. හුඟාක් ප්‍රමාද වී හෝ කැරලි ජයගැනීමෙන් පසු ප්‍රීතියෙන් ජයපැන් බොන පිළිවෙතක් අනුගමනය කළා මිස රාජ්‍යයට සිදුවී තිබුණ බරපතළ තුවාලවලට ප්‍රතිකාර කළේ නැත. ඒ නිසා ඇතිවී තිබුණු එම තුවාල කුණුවී රාජ්‍යයද කුණුවෙන තත්ත්වයකට පත්විය. පාස්කු ඉරිදා පහරදීම් කළ ත්‍රස්තවාදී සංවිධානයට විශාල විනාශයක් කරන්නට පුළුවන් වූයේද රාජ්‍යයේ ඇතිවී තිබුණු කුණුවීම තුළ රාජ්‍ය ආරක්ෂාවට අදාළ කාරණාවලදී තිබිය යුතු පරීක්ෂාව විශාල ප්‍රමාණයකට රාජ්‍යය අහිමි කරගෙන තිබීම නිසාය.

එම කුණුවීම ප්‍රචණ්ඩ අරගල පැවති කාලයේදී ඇතිවී වර්ධනය වූ කුණුවීමක් ලෙස සැලකිය හැකිය. ඒ කෙරෙහි බලපෑ සාධක විවිධය. නීති සම්ප්‍රදායන්ගේ ඛාදනය දේශපාලනීකරණය යන සාධක දෙක ඒ අතර ප්‍රධානය. ප්‍රචණ්ඩ අරගල නිසා වැඩිම නායකයන් සංඛ්‍යාවක් මියගිය රට ලෙස සැලකිය හැක්කේ ලංකාවය. එසේ මියගිය සියලුදෙනාගේ නම් ජේවීපී හා එල්ටීටීඊ ගිණුමට බැර කර ඇතත්, සමහර නායකයන්ගේ ඝාතන තුන්වැනි පිරිසක් අතින් සිදුවී තිබෙන බව පෙනෙන්නට තිබේ. සාධාරණ සැකයකට ලක්වන ඝාතන අතර ලලිත් ඇතුලත්මුදලි ඝාතනය හා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය ප්‍රධාන තැනක් ගනී.

අභිරහස් ඝාතන

ඇතුළත්මුදලි ඝාතනයේ ඝාතකයා ලෙස හඳුාගන්නා රඝුනාදන්ගේ කතාව ප්‍රබන්ධයක් ලෙස තේරුම් ගැනීම අමාරු නැත. ඝාතනයෙන් පසු සෝදිසි කණ්ඩායම් ඝාතකයා සොයා ගැනීම පිණිස එම ප්‍රදේශය මුළුමනින් සෝදිසිකර තිබූ නමුත් ඝාතකයාගේ මළ සිරුර මුගලන් පාරේ තිබී සොයා ගන්නා ලද්දේ පසුදින පෙරවරු 11ට පමණය. මියගිය රඝුනාදන් ළඟ තිබී සොයා ගන්නා ලද හැඳුනුම්පත පවා ව්‍යාජ හැඳුනුම්පතක් බව පසුව පොලිස්පති අර්නස්ට් පෙරේරාද පිළිගත්තේය. මේ ඝාතනය සිදුවන අවස්ථාවේදී ඝාතකයා ළඟම සිටි පුද්ගලයාද කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ මා දන්නා හඳුනන පුද්ගලයෙකි. වෙඩි තැබීම සිදුවන විට ඔහු සිටියේ ඝාතකයා ළඟය. මුගලන් පාරෙන් සොයා ගන්නා ලද රඝුනාදන්ගේ මළ සිරුර බලන්නට ඔහුද ගියේය. නියම ඝාතකයා ඔහු නොවන බව ඔහුගේ ස්ථිරසාර මතය විය.

ඉන්පසු ලලිත් ඇතුළත්මුදලි කොමිසම මගින් සොයා ගන්නා ලද වැල්ලම්පිටියේ සුදු මහත්තයා නියම ඝාතකයා ලෙස ඔහු හඳුනා ගත්තේය. ලලිත් ඇතුළත්මුදලිට වෙඩි තබන ලද සැබෑ පුද්ගලයා සුදු මහත්තයා බව එම කොමිසම කරළියට එන්නට පෙරද සුදු මහත්තයාගේ සමහර මිත්‍රයෝ දැන සිටියෝය. ඔහු තමන් කළ අපරාධය ගැන ලොකු පසුතැවිල්ලකින් පසුවූ බවද ඔහු ගැන දන්නා හඳුනන පුද්ගලයකුගෙන් මට අසන්නට ලැබී තිබුණි.

ප්‍රේමදාස ඝාතනයෙන් පසු පරීක්ෂණයකට ඉඩ නොලැබෙන පරිදි භූමිය සෝදා හැරියේ ඇයිද යන ප්‍රශ්නය අද දක්වා නොවිසඳුණු ප්‍රහේළිකාවක් ලෙස පවතී. බාබුගේ කතාවද එකල අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති අමරසේන රාජපක්ෂ විසින් සමාජගත කරන ලද අපූරු කතාවක් මිස පරීක්ෂණයකින් සනාථ කරන ලද කතාවක් නොවේ. පිපිරුම සිදුවූ ස්ථානය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ විමර්ශන කාර්යාංශයට චෝදනා කරන ලද අතර අපරාධ විමර්ශන කාර්යාංශය නිදහසට කීවේ වාර්ගික ප්‍රචණ්ඩත්වයක් ඇතිවීම වළකා ගැනීම සඳහා ඉහළින් ලැබුණු නියෝගයක් අනුව ස්ථානය සෝදා පවිත්‍ර කළ බවය.

රටේ පළමු පෙළේ නායකයකු ඝාතනය කෙරුණු අවස්ථාවකදී පවා ඒ ගැන විධිමත් පරීක්ෂණයක් නොකරන රටක් සැලකිය හැක්කේ කෙබඳු රටක් වශයෙන්ද?දේශපාලන බලවතුන් තමන්ට සමීප ආරක්ෂක හමුදාවල හෝ පොලිසියේ සිටින නිලධාරීන් යොදා ගනිමින් තමන්ට අවශ්‍ය අපරාධ කරවා ගන්නා බිහිසුණු සම්ප්‍රදායක් ඒ වනවිටත් ගොඩ නැගී තිබුණු අතර තමන්ට හිතවත් අපරාධ පරීක්ෂකයන් ලවා දේශපාලන බලවතුන්ගේ අභිලාෂයන්ට ගැළපෙන ලෙස අපරාධ පරීක්ෂණ පවත්වාගෙන යන සම්ප්‍රදායක්ද ගොඩනැගී තිබුණි.

සටන පුවත්පතේ කර්තෘ රෝහණ කුමාර හා කුමාර් පොන්නම්බලම් ඝාතන පරීක්ෂණයේදී එය භාරව ක්‍රියා කළ විශේෂ අපරධ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ ෂෝ වික්‍රමසිංහ නියම ඝාතකයන් වසන් කිරීමේ අරමුණින් ක්‍රියා කළ බව මට සනාථ කළ හැකිය. එම ඝාතන දෙක ගැන මමද සොයා බැලීමක යෙදුණෙමි. එක් අවස්ථාවකදී තවත් පුවත්පත් කලාවේදීන් තිදෙනකු සමග ඔහුගේ කාර්යාලයට කඩා වැදී ඔහු ඒ ගැන ජනමාධ්‍යවලට ලබාදී තිබූ අර්ථකථනය බොරුවක් බව සනාථ කිරීමට අපට හැකිවිය.එම ඝාතන දෙකම සිදුකර තිබුණේ රජගෙදර වුවමනාව මතය. එම ඝාතන දෙකට අවශ්‍ය මගපෙන්වීම් ලබාදී තිබුණේ රජගෙදර අරක්ගෙන සිටි අපරාධකරුවා ලෙස සැලකිය හැකි බැද්දගානේ සංජීවය.

කුමාර් පොන්නම්බලම්ට වෙඩි තබා මරා දමා තිබුණේ තවත් කෙනකුගේ ආධාර ඇතිව එකල නමගිය අපරාධකරුවකු ලෙස සැලකුණ මොරටුව සමන්ය. මා එම සිද්ධීන් දෙක පසුපස හඹා යන බව මොරටුව සමන් දැන සිටියේය. මා ඔහුගේ නම කුමාර් පොන්නම්බලම් ඝාතනයට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයා ලෙස සඳහන් කිරීම මොරටුව සමන්ගේ බලවත් විරෝධයට හේතුවී තිබුණි. මොරටුව සමන්ට මා හමුවන්නට අවශ්‍ය වූ අතර තුන්වැනි පාර්ශ්වයකගේ මැදිහත්වීම මත ඔහු හමුවී දීර්ඝ කතාබහක යෙදෙන්නට මට අවස්ථාව ලැබුණි.
මට එහිදී ඔහුගෙන් අපූරු කතාවක් අසන්නට ලැබුණු අතර මා මරා දැමීමේ අරමුණින් ඔහු මගේ ගාල්ලේ නිවස ඉදිරිපිටට පැමිණ හිතේ ඇතිවූ වෙනසක් නිසා ආපසු හැරී ගිය බව ඔහු කීවේය.

ඔහු කියන්නේ ඇත්තක්දැයි දැන ගැනීම පිණිස මගේ නිවසට එන අතුරු මාර්ගය ගැන මම ඔහුගෙන් කරුණු විමසන ලද අතර ඔහු එහිදී මාගේ පුදුමයට හේතුවන ලෙස නිවැරදි විස්තරයක් කියන්නට සමත් විය. ඔහු මා මරන්නට ආවේ කාගේ වුවමනාව මත දැයි මා ප්‍රශ්න කළත් ඔහු මට ඊට උත්තරයක් දුන්නේ නැත. මරන්නට හිත හදාගෙන පැමිණි ගමනේදී ඒ අදහස වෙනස් කරගත්තේ ඇයිද කියන ප්‍රශ්නයට දෙන ලද පිළිතුර වූයේ හිත අභ්‍යන්තරයේ ඇතිවූ වෙනසක් නිසා එය කළ බවය. කුමාර් පොන්නම්බලම්ගේ ඝාතනයට තමන්ගේ සම්බන්ධයක් නැතැයි ඔහු කියා සිටියද මා ඔහුගේ කතාව විශ්වාස කළේ නැත. ඝාතකයා ඔහු බව මම දැන සිටියෙමි.

ඉන්පසු තවත් අවස්ථාවකදී ඔහුට මා හමුවන්නට අවශ්‍ය වුවත් එය ඔහු හමුවන්නට පුළුවන් දිනයක් නොවීම නිසා ඒ හමුවීම සිදු නොවීය. ඉන් දින කිහිපයකට පසුව ඔහු ජනාධිපති නීතිඥ දයා පෙරේරා හමුවී කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැන සම්පූර්ණ පාපෝච්චාරණයක් කරන ලද බව අසන්නට ලැබුණි. ඉන් තවත් ටික කලකට පසුව මොරටුව සමන්ද ඝාතනය කරන ලදි.

රස කතා

මොරටුව සමන්ගේ ඝාතනය ජනමාධ්‍යවල පළවූ අවස්ථාවේදී මා දන්නා හඳුනන රසායන ඉංජිනේරුවකු දුරකතනයෙන් මා අමතා අපූරු කතාවක් මට කීවේය. මොරටුව සමන් මරණයට පත්ව තිබෙන බව දැනගැනීමෙන් පසු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ බිරිඳ තමාට කතා කොට අද සිට බය නැතුව ජීවත් විය හැකි බව තමන්ට කී බව කීවේය. ඒ ගැන ඔහු වැඩිදුර කරුණු විමසීමේදී කිසියම් දිනක තමන් පාරේ ගමන් ගනිමින් සිටින අවස්ථාවකදී පිහියක් අතින් ගත් පුද්ගලයකු තමන් වෙත කඩා පනින ලද බවත්, එහිදී තමන්ට ජීවිතය ගලවාගත හැකිවූයේ අවට සිටි මිනිසුන්ගෙන් ලැබුණු සහාය නිසා බවත් ඒ පුද්ගලයා කවුදැයි සොයා බැලීමේදී ඔහු මොරටුව සමන් බව සොයා ගැනීමට හැකිවූ බවත්, එතැන් සිට තමන් ජීවත් වූයේ මරණ බියෙන් සැඟවුණු ජීවිතයක් බවත් එය සරත් සිල්වාගේ අනුදැනුම මත සිදුවූවක් බවත් අද සිට මොරටුව සමන් ජීවතුන් අතර නැති නිසා මරණ බියෙන් තොරව ජීවත්වීමේ නිදහස තමන්ට ලැබී තිබෙන බව ඇය කී බවත් ඔහු මට කීවේය.

ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී පුද්ගලික හමුදා ඇතිකර ගැනීම මගින් අපරාධකාරයන් හා දේශපාලකයන් අතර ඇති කරගෙන තිබූ සන්ධානය ඒ වනවිට දුර ගොස් තිබුණු තරම ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. දේශපාලන වශයෙන් සන්ධාන ගතවී සිටි නමගිය අපරාධකාරයන්ට රාජ්‍යයේ ඕනෑම ක්ෂේත්‍රයක් කෙරෙහි බලපෑමට පුළුවන්කම ලැබී තිබුණි. බොහෝ නමගිය අපරාධකාරයෝ දේශපාලන නායකයන් ඇසුරු කරන ඔවුන්ගේ විශ්වාසවන්ත සගයන් බවට පත්ව සිටියෝය.

මා කියන්නට යන දෙවැනි කතාවද මට අසන්නට ලැබුණු මගේ විශ්වාසයට හේතුවූ කතාවකි. එල්ටීටීඊයට එරෙහි යුද්ධය අවසන් කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රේගුවේ ඉහළ තනතුරු දරන නිලධාරීන් පිරිසක් තමන් වෙත කැඳවා කරන ලද සාකච්ඡාවකදී ඔවුන්ට කියා තිබෙන අපූරු කතාවක් මෙසේය. ජනාධිපතිවරයා රැස්වීමට පැමිණි ප්‍රධාන නිලධාරීන් විස්මයට පත්කිරීමට හේතුවන ලෙස එල්ටීටීඊයට මුහුදෙන් ලැබෙන ආයුධවලට අතිරේකව රේගුව හරහාද රේගුවේ සමහර උසස් නිලධාරීන්ගේ සහාය ඇතිව ආයුධ කන්ටේනර් ලැබී තිබෙන බව තමා දන්නා බව ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ එවැනි දේවල් සිදුවන්නට මින්මතු තමන් ඉඩ නොතබන බවය.

රාජ්‍යය කුණුවී තිබෙන තරම පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි තවත් නිදර්ශනයක් මෙසේය.

ඩග්ලස් දේවානන්ද ඝාතනය කිරීම සඳහා එල්ටීටීඊය එවන ලද මරාගෙන මැරෙන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇය පරිහරණය කළ ජාතික හැඳුනුම්පත පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණවලදී එම හැඳුනුම්පත ඇතුළුව හැඳුනුම්පත් කිසියම් සංඛ්‍යාවක් (ගණන දැන් මට මතක නැත) හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින්ම එල්ටීටීඊයට ලබාදී තිබෙන බව සොයා ගන්නා ලදි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වී කටඋත්තරයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දිනයක් සමග දැනුම්දීමක් කර තිබෙන අතර ජාතික හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා එහිදී කර ඇත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාට තිබුණු හිතවත්කම් මත ඔහු අත්අඩංගුවට ගැනීම වළකන නියෝගයක් ලබා ගැනීමය.

ඉන්පසු ජෙනරාල් ෆොන්සේකාට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේදීද බෝම්බකාරිය පාවිච්චි කර තිබුණේ හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා එල්ටීටීඊ අතට පත්කර තිබුණ හැඳුනුම්පත්වලින් එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණවලින් සොයා ගන්නා ලදි. ඉන්පසු මෙම නිලධාරියා තනතුරෙන් ඉවත් කරන ලදමුත් ඔහු කර තිබූ බිහිසුණු වරදට දඬුවම් දීමක් සිදුවූයේ නැත.

මගේ මතය අනුව එල්ටීටීඊය ඔවුන්ගේ යුද ක්‍රියාන්විතවලදී සමහර හමුදා කඳවුරු අල්ලා ගන්නා ලද්දේ ඔවුන්ට තිබුණු මුදල් බලයෙන් මිස යුද ශක්තියෙන් නොවේ. තෝරාගත් නිලධාරියකුට ලොකු පගාවක් දීම මගින් ඔවුහු එම අරමුණ ඉටුකර ගත්හ.

ජාතික ඔත්තු සේවා

රටේ ජාතික ඔත්තු සේවාවක්ද තමන් වෙත පැවරී තිබෙන වගකීම් නොසලකා දේශපාලන බලධාරීන් සමග කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් ගොඩ නැගී තිබෙන බවද පෙනෙන්නට තිබේ. මැතිවරණ කාලවලදී මහජන මතය සොයා බැලීමට ජාතික ඔත්තු සේවා උනන්දුවක් දක්වන්නේ ඇයිද කියා තේරුම් ගත නොහැකිය. මැතිවරණවලදී දිනන්නේ කව්ද පරදින්නේ කව්ද යන කාරණා ජාතික ඔත්තු සේවාවන්ට වැදගත් වන්නේ කෙසේද? ඔවුන්ට වැදගත් විය යුත්තේ ජාතික ආරක්ෂාවට අදාළ කාරණාය. එහෙත් දේශපාලන බලධාරීන් සතුටු කිරීම පිණිස තමන්ට අදාළ නොවන කාරණාවලට ජාතික ඔත්තු සේවා අත ගසා තිබෙන බව පෙනේ.

පසුගිය පාලන කාලයේදී සිදුවී තිබෙන අපරාධ ගැන කරන පරීක්ෂණවලදී බුද්ධි සේවා නිලධාරීන්ටද බරපතළ චෝදනා එල්ල වී තිබේ. සමහර දේශපාලකයන් කියන්නේ එම පරීක්ෂණ නිසා බුද්ධි සේවාවල අඩපණවීමක් සිදුවී තිබෙන බවය. එහෙත් බුද්ධි අංශ නිලධාරීන් තමන් වෙත ජාතික මට්ටමෙන් පැවරී තිබෙන වගකීම නොසලකා බුද්ධි සේවා නිලධාරීන් වශයෙන් දේශපාලන බලධාරීන්ගේ පටු අවශ්‍යතා සඳහා බිහිසුණු අපරාධ කර ඇත්නම් හා සමහර අය මුදලින් කප්පම් ලබා ගැනීම සඳහා පැහැරගෙනයෑම් කර ඇත්නම් ඔවුන් කවර තරම් සේවයක් කර තිබුණද ඔවුන් අපරාධකරුවන් වශයෙන් මිස බුද්ධි නිලධාරීන් ලෙස සලකා ඔවුන් ආරක්ෂා කරන පිළිවෙතක් සාධාරණ විය හැක්කේ කෙසේද?

රාජ්‍යයේ එක අංශයක් දෙකක් නොව, හැම වැදගත් අංශයක්ම පාහේ උපරිම මට්ටමට කුණුවී තිබෙන බව පැහැදිලිය. එම තත්ත්වයේ ගැඹුරු ව්‍යුහමය වෙනසක් ඇති නොකොට ඉදිරියට යන්නේ කෙසේද? රටට අන් සියලු දේට පෙර අවශ්‍ය වී තිබෙන්නේ දේශපාලන ක්‍රමයේ පූර්ණ විපර්යාසයකි. රාජ්‍යය තිබෙන්නේ සරල ප්‍රතිසංස්කරණවලින් වෙනස් කළ හැකි තැනක නොව පූර්ණ විපර්යාසයක් නැතුවම බැරි තත්ත්වයකය. එහෙත් දේශපාලන නායකයන්ට අවශ්‍ය වී ඇත්තේ කිසිදු විපර්යාසයකින් තොරව මේ කුණුවූ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑමටය. ඒ නිසා විය හැක්කේ ක්‍රමයේ පූර්ණ බිඳ වැටීමක් ඇතිවීම පමණය.

පාස්කු ඉරිදා සිදුවූ ඛේදවාචකයෙන්ද පෙනෙන්නේ රාජ්‍යය ඵලදායී කාර්ය භාරයක් කිරීමට බැරි තරමට කුණුවී තිබෙන බව නොවේද? කාර්යක්ෂම රාජ්‍යයක් තිබුණේ නම් එවැනි මහා විනාශයක් ඇතිවීම වළකා ගන්නට හැකිවන්නට ඉඩ තිබුණි. ඇතිවී තිබෙන මේ මහා විනාශයෙන් පසුවවත් රාජ්‍යයේ ඇතිවී තිබෙන කුණුවීම ජයගැනීමේ හදිසි අවශ්‍යතාව තේරුම් ගැනීමට රටේ දේශපාලකයන්ට හැකිවේද?