Monday 22nd of July 2019

English Tamil


ත්‍රස්ත ප්‍රහාරයේ තිරය පිටු පස තෙවැනි ඇසකින්..!


2019-04-26 1538

අසාද් සාලි යූෂුප් ඉබ්‍රහිම් හමුවුණේ ඇයි..!

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගෙන් C.I.D.ය ප්‍රශ්න කිරීම නතර කළේ කවුද..?

“ජාතික බුද්ධි ප්‍රධානියාගේ ඇඟේ මහින්ද රාජපක්ෂගේ ඇඟිලි සළකුණු”

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට මාස තුනක් ගත වන ලකුණු..!

පොලිස්පති පන්නනු..!

දෝසේ කොහිද...කා අතේ..?

(සුජිත් මංගල ද සිල්වා)

ආගමික වශයෙන් අතිශය වැදගත් රටේ දේවස්ථාන ගණනාවක් සහ කොළඹ සුපිරි හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරිදා (21) එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සහ ඊට වග කිව යුතුත්තේ කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් ජන සමාජයේ බරපතළ සංවාදයක් මතුව තිබේ.

සිය නිදහස සහ නිර්දෝෂීභාවය වෙනුවෙන් විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරමින් රටේ ජනාධිපතිවරයා,අගමැතිවරයා,ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන,රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්,ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු බලධාරීහූ අල්ලෙන් හෙළුව වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටිති.

ඇත්ත වශයෙන්ම රටේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඇතුළු මේ බලධාරීන්ට  මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීමෙන් ගැල විය හැකිද යන්න පිළිබඳව අපි විමර්ශනාත්මක ලෙස කරුණු සොයා බලමු.

මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා ගොස් විවේක සුවයෙන් සිටී අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ අහුංගල්ලේ පිහිටි සුපිරි ගණයේ  සංචාරක හෝටලයක සැප ගනිමිනි.

සිද්ධිය සැලවූ වහාම රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ එද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුවේ සිට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ ශෝකාකූල මොහොතේ ප්‍රකෝපකාරී ලෙස ක්‍රියා නොකර සන්සුන්ව හැසිරෙන ලෙසය.

එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුවේ සිට දිවයිනට යළි පැමිණියේ එදින මධ්‍යම රාත්‍රී 12.00 ට පමණය.ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානා දෙකක් එදිනම සවස 3.00 ට සහ රාත්‍රී 9.00 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට ළඟා වුණත් ජනාධිපතිවරයා එම ගුවන් යානා දෙකෙන් එකක නැගී ඉක්මනින්ම දිවයිනට නොපැමිණියේ මන්ද යන්න ප්‍රශ්නයකි.පාර්ලිමේන්තුවේදී බදාදා (24) පැවති හදිසි නීති විවාදයේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද මේ ගැන ප්‍රශ්න කර සිටියේය.

සිද්ධිය සැලවූ වහාම කොළඹ පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා,රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස අරලිය ගහ මන්දිරයට ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවූවත් යුද,නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාපතිවරු එම කැඳවීම ප්‍රතික්ෂේප කළහ.

ඊට හේතු විමසූ අවස්තාවේදී ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනුම් දුන්නේ ඉහළින් ලැබුණු නියෝගයක් මත අරලිය ගහ මන්දිරයට පැමිණීමට නොහැකි බවය.

ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ඉහළින් සිටින්නේ, රටේ  සේනාධිනායකයා ලෙස  එම හමුදාවන්ට අණ දෙන නිලධාරියා සහ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා බව කවුරුත් දනිති.

කෙසේ නමුත් ත්‍රිවිධ හමුදාපතිවරුන් අරලිය ගහ මන්දිරයට නොපැමිණෙන තත්ත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා,රටේ ආරක්ෂාව සහ ඇති වී තිබෙන ජාතික ව්‍යසනය හමුවේ අඩියක් පස්සට ගෙන ත්‍රිවිධ හමුදාපතිවරුන් මුණගැසී සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට ගියේය.

ආරක්ෂක අමාත්‍යංශයට පැමිණියත්,ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු බලධාරීන් පැමිණෙන තුරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ කාර්යාලයට වී පැය භාගයකට අධික කාලයක් උඩ බලා ගෙන සිටීමට රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සිදු විය.

ත්‍රස්තවාදී ප්‍රහාරයේදී,ජාතික ආරක්ෂක මණ්ඩලය ජාතික ආරක්ෂාව සහ  ඇති වී තිබෙන ජාතික ව්‍යසනය නොතකා දේශපාලනය කළ බවට සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී බදාදා (24) බරපතළ චෝදනාවක් එල්ල කළේ මේ සිද්ධිය මත පදනම්වය.

ඉන්දියාවේ තිරුපති සහ සිංගප්පූරුවේ සංචාරය කිරීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා ලෙස අගමැතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා හෝ තමාට විශ්වාස වෙනත් ඇමතිවරයෙකු හෝ පත් නොකිරීම ද ගැටලු සහගත වේ.

මේ අතර ඉරිදා මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (23) රාත්‍රියේ ජාතිය අමතමින් කියා සිටියේ, ප්‍රහාරය සම්බන්ධ බුද්ධි සහ රහස් තොරතුරු තමා වෙත දැනුම් නොදුන් බවය.

“එම රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු එම වග කිව යුතු ප‍්‍රධාන නිලධාරින් විසින් මා වෙත ද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම තොරතුරු ලැබීම පිළිබඳ මා දැනුවත් කළා නම් ඒ පිළිබඳ වහා කි‍්‍රයා මාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා” යැයි ජනාධිපතිවරයා එහිදී  පැවසීය.

ජනාධිපතිවරයා මේ කියන්නේ ඇත්තම ඇත්ත කතාවක් නම් එමගින් ගම්‍ය වන්නේ බුද්ධි අංශ ඇතුළු රටේ සියලුම් ආරක්ෂක අංශවල පාලනය සහ ඒ කෙරෙහි වන සිය විධානයන් ඔහුගෙන් ගිළිහී ඇති අතර සියලුම ආරක්ෂක අංශ ප්‍රධානීන් ඔහු විධායකයේ ප්‍රධානියා,සේනාධිනායකයා,ත්‍රිවිධ හමුදාවට අණ දෙන නිලධාරියා,ආරක්ෂක ඇමතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස නොතකා හැර ඇති බවය.

උද්ගත වී තිබෙන්නේ එවැනි තත්ත්වයක් නම් එමගින් ගම්‍ය වන්නේ හමුදා කුමන්ත්‍රණයක් මගින් රටේ අභ්‍යන්තර ආරක්ෂක හමුදාවන්ට ද,ත්‍රස්තවාදී කුමත්‍රණයක් මගින් ත්‍රස්තවාදීන්ට ද රට අල්ලා ගත හැකි අතිශය භයානක සහ අනතුරුදායක තත්ත්වයක රටක් ලෙස ශ්‍රී ලංකාව පවතින බවය.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අතිශයින්ම පරස්පර ප්‍රකාශයක් කරමින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කියා සිටියේ මේ ප්‍රහාරයට අදාළ ආරක්ෂක බුද්ධි  තොරතුරු කල් ඇතිව  ලැබී තිබුණු නමුත් මේ තරම් බරපතළ ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා නොකළ බවය.

ආරක්ෂක ලේකම්වරයාගේ මේ ප්‍රකාශය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි පිළිකුලට,විරෝධයට වගේම හාස්‍යට මේ වන විට ලක්ව ඇති අතර ආරක්ෂක ලේකම් ධූරය සඳහා හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කරනු ලැබුවේ ආරක්ෂක විෂය පිළිබඳව ඔහු සතු කිනම් සුදුසුකමක්,දැනුමක් සහ අත්දැකීම් සමුදායක් මත පදනම්ව දැයි ජන සමාජය බරපතළ ලෙස ප්‍රශ්න කරමින් සිටියි.

මේ අතර මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවූ වහාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සිදු කළේ ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා  හය මසක් මුළුල්ලේ ජාතික ආරක්ෂක මණ්ඩලයට කැඳවා නොමැති බව මුද්‍රිත,විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හෙළිදරව් කිරීමය.

අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවය ඉතා උපායශීලී ලෙස එම සිද්ධිය මේ මොහොතේ රටට-ජනතාවට හෙළිදරව් කළේ, ත්‍රස්ත ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා වෙත පවරා එමගින් දේශපාලන වාසියක් ගෙන ත්‍රස්ත ප්‍රහාරයේ වගකීමෙන් රනිල් වික්‍රමසිංහ සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් ගළවා ගැනීම සඳහාය.

ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජාතික රක්ෂක මණ්ඩලයට නොකැඳවීම අතිශය බරපතළ වරදකි.ජාතික ආරක්ෂක මණ්ඩල නියෝජනය රටේ අග්‍රාමාත්‍යවරයාගේ සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ව්‍යවස්ථානුකූල සහ නීතිමය අයිතියක් වන අතර ඒ අයගේ බරපතළ වගකීමක් සහ හිමිකමක් ද වේ.

එහෙත් මෙහිදී තිබෙන ප්‍රශ්නය වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බරපතළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව,රට සහ ජනතාව දැනුම්වත් නොකර එම සිද්ධිය මේ තරම් කාලයක්  රහසක් ලෙස තබා ගත්තේ මන්ද යන්න සහ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමත් සමග එම රහස හෙළි කළේ කිනම් අරමුණක් ඇතිව ද යන්න පිළිබඳවය.

ජනාධිපතිවරයා විසින් තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කර, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ අවස්ථාවේදී සිය ධූරය රැක ගැනීම සඳහා අධිකරණය හමුවට ගිය රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික ආරක්ෂක මණ්ඩලයට තමා නොකැඳවා සිය වගකීම් සහ හිමිකම් කොල්ල කෑ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කර ගෙන අධිකරණයට නොගියේ ඇයි..?

එමෙන්ම ඒ සම්බන්ධයෙන් පාර්ලිම්නේතුව සහ ජනතාව දැනුම්වත් කරමින් ජනාධිපතිවරයාගේ අත්තනෝමතික සහ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවට එරෙහිව දේශපාලන වශයෙන් සටන් නොකළේ ඇයි..?

ඒ කියන්නේ වගකීම්,රාජකාරි සහ යුතුකම්වලින් නිදහස් කර අග්‍රාමාත්‍ය ධූරයේ වරප්‍රසාද බුක්ති විඳීමට පමණක් ජනාධිපතිවරයා ලබා දුන් අවස්ථාව අගමැතිවරයා දොහොත් මුදුන් දී පිළිගත් බව නොවේද..?

නොඑසේ නම් මේ සිද්ධිය මේ තරම් කාලයක් මුළුල්ලේ ඔහු සඟවා ගෙන සිටියේ මේ වැනි ජාතික ව්‍යසනයක් ඇති වන අවස්ථාවකදී ඒ බව හෙළි කරමින් එමගින් දේශපාලන වාසියක් ලබා ගැනීමට ද..?

මේ කරුණු දෙකෙන් කුමක් ඇත්ත වුණත් රනිල් වික්‍රමසිංහ මහතා සිය  අග්‍රාමාත්‍ය ධූරයේ වගකීම් පැහැර හැර, එම ධූරයේ වරප්‍රසාද පමණක් බුක්ති විඳ ඇති බව පැහැදිළි වන අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද පාර්ලිමේන්තුවේදී බදාදා (24) මේ කාරණය මතු කරමින් අගමැතිවරයාට ඇතුල් පහරක් එල්ල කළේය.  

ශ්‍රී ලංකාව ඉලක්ක කර ගනිමින් මේ වැනි මරා ගෙන මැරෙන අන්තවාදී,මූලධර්මවාදී සහ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතින අතර ජාත්‍යන්තර ISIS ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ ශ්‍රි ලංකාවේ ජාතික තවුහීද් ජමාත් සංවිධානය එවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින බවට රාජ්‍ය බුද්ධි සේවය,රජය වෙත සාක්කි සහ සාධක ඇතිව මුලින්ම තොරතුරු වාර්තා කළේ 2016 වර්ෂයේදීය.

එවකට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය දැරුවේ සාගල රත්නායක මහතා වන අතර ඔහු ද,අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද කිසිදු ප්‍රශ්නයකින් තොරව ඒ වන විට  ජාතික ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරමින් සිටියහ.

රාජ්‍ය බුද්ධි සේවය 2016 සිට මේ දක්වා විටින් විට අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා සහ ආරක්ෂක මණ්ඩලය මේ සම්බන්ධයෙන් ලිඛිතව සහ වාචිකව දැනුම්වත් කළ අතර 2019 පෙබරවාරි 17 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සිදුවීමට යන මේ විනාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රධාන ආරක්ෂක මණ්ඩලය දැනුම්වත් කරමින් විශේෂ හෙළිදරව්වක් කළේ ඊට අදාළ වීඩියෝ දර්ශන ගණනාවක් ද උපයෝගී කර ගනිමිනි.

මේ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් කල් ඇතිව ලිඛිතව සහ වාචිකව කරුණු ඉදිරපත් කළා යැයි කියා රාජ්‍ය බුද්ධි සේවයට එම ප්‍රහාරයේ වගකීමෙන් ගැළවීමට හැකිද යන්න පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කළ යුතුය.

මේ අතර මාතර දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කරමින් කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය අනතුරු අඟවමින් හෙළිදරව් කළේ මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයේදී හතළිස් එක් වතාවක් සාකච්ඡා කර ඇති බවය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කර ජනාධ්පතිවරයා විසින් 2019 ඔක්තෝබර් මස 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කරනු ලැබිණ.

ඊට එරෙහිව එක්සත් ජාතික පෙරමුණ අනුගමනය කළ නීතිමය සහ දේශපාලන ක්‍රියා මාර්ගවලින් එම ව්‍යවස්ථා, ප්‍රජාතන්ත්‍ර සහ නීති විරෝධී ක්‍රියා මාර්ගය ආපසු හරවා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස යළි බලය තහවුරු කර ගත් දිනයේ සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී ජනාධිපතිවරයා විසින් දෙමසකට අධික කාලයක් ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවා නොමැත.

ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ආරක්ෂක මණ්ඩලය වෙත නොකැඳවා ඇත්තේ ද,දෙමසකට අධික කාලයක් ආරක්ෂක මණ්ඩලය රැස් කිරීමෙන් වැළකී සිට ඇත්තේ ද දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මෙවැනි බරපතළ අනතුරු ඇඟවීමක් සිදු කර තිබූ පසුබිමක් යටතේය.

ශ්‍රී ලංකාවේ සිදුවීමට යන මේ අති විශාල විනාශය ගැන ඉන්දීය “රෝ” ඔත්තු සේවය ද මුල සිටම අවදානයෙන් සිටී අතර එම ඔත්තු සේවාව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය මගින් මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යංශය වෙත ඉදරිපත් කරනු ලැබුවේ 2019 අප්‍රේල් මස 04 වැනිදාය.

ජාත්‍යන්තර ISIS ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ ශ්‍රි ලංකාවේ ඉස්ලාමීය  අන්තවාදී සහ මූලධර්මවාදී කණ්ඩායම් ගැන පමණක් නොව ඊට සම්බන්ධ පුද්ගලයින්ද,ඒ අය මරා ගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට යන ප්‍රධාන ආගමික ස්ථාන වගේම එම ප්‍රහාර එල්ල කිරීම සඳහා අනුගමනය කිරීමට යන විධික්‍රම ද ඇතුළු සියලු තොරතුරු එම වාර්තාවේ ඇතුළත්වේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ද ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම ඉලක්කයක් වී තිබෙන බව ද එම වාර්තාවේ සඳහන් වූ අතර ඒ අනුව ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය සිය ආරක්ෂක විධිවිධාන තර කර තිබිණ.

ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙසේ කිඹුල් කඳුළු හෙළන්නේ අපට තිබෙන ආදරයක් නිසා, නොව අපේ රටේ නායකයින් සහ ආරක්ෂක ප්‍රධානින් කෙළින පිස්සුවලින් ජාත්‍යන්තර ත්‍රස්ත්‍රවාදීන් ප්‍රයෝජන ගෙන මෙවැනි සමූල ඝාතන කර ප්‍රබල ත්‍රස්තවාදීන් ලෙස ස්ථාවර වන විට, වඩාත්ම අර්බුදයට, තර්ජනයට වගේම අභියෝගයට ලක් වන්නේ ඒ රටේ ආරක්ෂාව, කලාපිය දේශපාලනය, සංහිදියාව, සමගිය සහ සාමය වන නිසාය.

ඒ අනුව බැලුවාම අරමුණ කුමක් වුවත් ඉන්දියාව, එරට නායකයින් සහ “රෝ” බුද්ධි අංශය, අපේ රටේ ජනාධිපතිවරයාට,අගමැතිවරයාට සහ ආරක්ෂක ප්‍රධානීන්ට වඩා අපට හිතවත් වගේම ඔවුන් පිළිබඳව අපට විශ්වාසයක් තැබිය හැකි බව  පිළිගැනීමට සිදු වේ.

මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය 2019  අප්‍රේල් මස 09 වැනිදා සහ 11 වැනිදා ද අදාළ සියලුම බලධාරීන්ට තොරතුරු වාර්තා කර තිබූ අතර අවසාන වශයෙන් එම බුද්ධි සේවය මේ ප්‍රහාරය සම්බන්ධයෙන් බලධාරීන්ට අනතුරු ඇඟ වූයේ 2019 අප්‍රේල් මස 21 වැනිදා උදේ එම ප්‍රහාරය එල්ලවීමට පැයකට පෙරය.

මේ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු අඟවා තොරතුරු ලබා දෙමින් රාජ්‍ය බුද්ධි සේවය ත්‍රස්තවාදීන් හැත්තෑ දෙනෙකු මරා ගෙන මැරෙන බෝම්බ සහ යතුරු පැදි ඇතුළු වාහන සමගින් රට පුරා සැරි සරමින් සිටින බවට වාර්තා කර තිබේ.

එම ත්‍රස්තවාදීන් හැත්තෑවෙන් ත්‍රස්තවාදීන් අට දෙනෙකු එම මරා ගෙන මැරෙන ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් සුළු පිරිසක් ආරක්ෂක අංශ මගින් කොටු කර ගැණින.ඒ අනුව තවත් ත්‍රස්තවාදීන් සැලකිය යුතු පිරිසක්  මරා ගෙන මැරෙන බෝම්බ සහිතව රට පුරා නිදැල්ලේ සැරිසරති.

පාර්ලිමේන්තුවේදී බදාදා (24) පැවති හදිසි නීති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණාවක් අවධාරණය කර සිටියේ එම ත්‍රස්තවාදීන් සංඛ්‍යාව සියය ඉක්ම විය හැකි බවය.

රාජ්‍ය බුද්ධි සේවය ප්‍රධාන සියලුම ආරක්ෂක බුද්ධි සේවා සහ ආරක්ෂක අංශ විසින්,ත්‍රස්තවාදී ප්‍රහාර ඇතුළු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කර ලබා දෙන මෙවැනි වාර්තා, විමර්ශනය කර ඒ පිළිබඳව ජනාධිපතිවරයා,ආරක්ෂක ලේකම්වරයා,පොලිපතිවරයා,ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක මණ්ඩලය දැනුම්වත් කරමින් ඒ සියලු දෙනා අතර මනා සම්බන්ධීකරණයක් සිදු කරන අතර එම ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම සඳහා එම සියලු පාර්ශවයන් මෙහෙයවීමේ වගකීම පැවරී තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා වන ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මැන්ඩිස් මහතාටය.

ඒ අනුව ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මැන්ඩිස් මහතා සිය වගකීම,රාජකාරිය සහ යුතුකම නිවැරදිව ඉටු කළා ද යන ප්‍රශ්නය මෙහිදී පැන නගින අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ඔහුගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවේදී බරපතළ ලෙස විවේචනයට ලක් කළහ.

මේ සම්බන්ධයෙන් සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගෙන් “lankanewsweek” කළ විමසීමකදී ඔහු අවධාරණය කර සිටියේ සියලු තොරතුරු කල් ඇතිව ලැබී තිබියදී මේ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීමෙන් පැහැදිළි වන්නේ ජාතික බුද්ධි ප්‍රධානියා ප්‍රධාන ඔහුගේ අංශයේ ද,ආරක්ෂක මණ්ඩලයේ සහ බොහෝ ආරක්ෂක ප්‍රධානීන් අතර ද  තිබෙන්නේ මහින් රාජපක්ෂ පවුල් කඳවුරේ ඇඟිලි සළකුණු බවය.

මේ අතර මේ ප්‍රහාරය එල්ල වූ දිනයේ සවස එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී රැස් වූ අවස්ථාවේදී බහුතරයේ මතය වූයේ රටේ සේනාධිනායකයා ලෙස ප්‍රහාරයේ වගකීම ඍජුවම ජනාධිපතිවරයා වෙත පැවරෙන නිසාත් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින නිසාත් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරමින් ජනාධිපතිවරයාට එරෙහිව දේශපාලන වශයෙන් පහර දිය යුතු බය.

එහිදී එම මතයට එරෙහිව වහාම නැගී සිටී සජිත් ප්‍රේමදාස,කබීර් හෂීම් සහ මංගල සමරවීර යන ඇමතිවරුන් ජනාධිපතිවරයා ආරක්ෂා කරමින්  තරයේ කියා සිටියේ දැන්නම ඔහුට කිසිසේත් ප්‍රහාරයක් එල්ල නොකළ යුතු බවය.

එසේ නම් ඇත්ත යුක්තිය ගැන ජනාතවට පැහැදිළි කර දෙමින් ජනාධිපතිවරයාට දේශපාලන වශයෙන් පහර දෙන්නේ කවදාදැයි ලක්ෂමන් කිරිඇල්ල මහතා එහිදී ප්‍රශ්න කරද්දී, එම අමාත්‍යවරුන් තිදෙනාම කසාය බිව්ව ගොළුවන් සේ නිහඬ වූහ.

ජනාධිපතිවරයා සමග එකතු වී රටට විධිමත් ආරක්ෂක සැලැස්මක් සකස් කළ යුතු යැයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටිද්දී, ඔහුගේ දේශපාලන  සාමාන්‍ය දැනුම ගැන විවේචනය කරමින් ජ්‍යෙෂ්ඨ  මැති ඇමතිවරුන් ප්‍රශ්න කර සිටියේ,රටේ අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ආරක්ෂක මණ්ඩලයට පවා නොකැඳවා, ව්‍යවස්ථා විරෝධී ලෙස නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය ද තමා යටතේ තබා ගෙන ජාතික ආරක්ෂාව සම්බන්ධ කිසිදු කාරණයක් ගැන එක්සත් ජාතික පෙරමුණ සමග සාකච්ඡා නොකරන ජනාධිපතිවරයා සමග රට වෙනුවෙන් ආරක්ෂක සැලසුම් සකස් කරන්නේ කෙසේද මනුස්සයෝ කියාය.

මේ අතර ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා සිය ස්ථාවරය පැහැදිළි කරමින් එහිදී කියා සිටියේ,ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වී තිබෙන මොහොතක අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලය කැඳවූ අවස්ථාව්දී ඊට සහභාගී නොවන ලෙස ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නියෝග කළා නම් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එම කාරණාවම ප්‍රමාණවත් බවය.

මේ අතර මීගමුව,කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සිදු විනාශය නිරීක්ෂණය කිරීම සඳහා 2019 04.21 වැනිදා සවස එම ස්ථානවලට ගිය රනිල් වික්‍රමසිංහ මහතා,බෝම්බ ප්‍රහාරවලින් බරපතළ තුවාල ලබා අන්ත අසරණව සිටී ජනතාවගේ සුවදුක් බැලීම සඳහා මීගමුව මහා රෝහලට තප්පරයකටවත් ගොඩනොවීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවල කතෝලික සහ ක්‍රිස්තියානි සිය දැඩි අප්‍රසාදය පළ කර සිටිති.

ආරක්ෂක හේතූන් මත රනිල් වික්‍රමසිංහ මහතාට මීගමුව මහා රෝහලට යන්න ඉඩ දිය නොහැකි බව කියමින් ඔහු ඉක්මනින්ම කොළඹ කැඳවා ගෙන පැමිණ තිබෙන්නේ අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ හෙවත් “පැන්ෂන් විකී” හෙවත් “වඳුරා”ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ක්‍රියාකලාපය සහ මේ ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඔහු වැඩ කළ ආකාරය සම්බන්ධයෙන් කතෝලික සහ ක්‍රිස්තියානි පූජක ප්‍රසාදීන් වහන්සේලා පිරිසක් ද,ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් පිරිසක් සමග දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

මේ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී පැය 48ක් ගත වන තුරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නොකැඳවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ  උද්ගත වී තිබෙන තත්ත්වය සහ ත්‍රස්තවාදය වැළැක්වීමට ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාගල රත්නායක,මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ක පමණක් සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ද ඔහුට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතයි.

මේ අතර ජාතික තවුහීද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත් වූ බව කියන දේශපාලනඥයින් සම්බන්ධයෙන් ද ආරක්ෂක අංශ  මේ වන විට තොරතුරු හෙළිදරව් කර ගනිමින් සිටියි.

මෙහිදී ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වෙමින් පවතින්නේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් වෙතය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා අවධාරණය කර සිටියේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානය අතර පවතින සම්බන්ධය ගැන බරපතළ ප්‍රශ්න පවතින අතර  ඒ පිළිබඳව ද, අනෙකුත් දේශපාලන නායකයන් සහ හිටපු ආරක්ෂක නිලධාරීන් එම සංවිධානය සමග පැවැත්වූ සම්බන්ධතා ගැන ද විමර්ශන කළ යුතු බවය.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වූ අවස්ථාව්දී යහ පාලන රජයේ ඉහළම නායකයෙක් මැදිහත් වී ඔහුගෙන් ප්‍රශ්න කිරීම අත්හිටුවා ඇත.

මේ අතර කොළඹ,දෙමටගොඩ,මහා විල උද්‍යානයේ පිහිටි නිවසේ පදිංචි සුප්‍රසිද්ධ ව්‍යාපාරික යූෂුප් ඉබ්‍රහීම් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ සමීපතම මිතුරෙකු වන අතර ඔහු කර්මාන්ත සහ වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ ද උපදේශකයෙකි.

කොළඹ, Shangri-La හෝටලයට මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල ත්‍රස්තවාදියා මේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ පුත්‍රයා වන අතර පොලීසිය 2019.04.21 වැනිදා සවස මොහුගේ නිවස සැකපිට සෝදිසි කිරීමේදී බෝම්බ පුපුරුවා ගෙන සිය දරුවන් දෙදෙනා සහ මෙලොව එළිය දැකීමේ අරමුණින්  කුසයේ සිටී දරුවා ද සමග මිය ගියේ ඔහුගේ දෙවැනි පුත්‍රයාගේ බිරිය වේ.

එම පිපිරීමෙන් පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු ද ජීවිතක්ෂයට පත් වූ අතර මේ වන විට එම ව්‍යාපාරිකයා සහ ඔහුගේ දෙවැනි පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසු වෙති.

අසාද් සාලි මහතා මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට දින කිහිපයකට පෙර රාත්‍රියේ මේ නිවසට පැමිණ යූෂුප් ඉබ්‍රහීම් මහතා සමග පැය දෙකකට අධික කාලයක් ගත කර තිබේ.

ත්‍රස්තවාදීන් විශාල පිරිසක් නිදැල්ලේ සිටින සහ ආරක්ෂක වශයෙන් රට තවමත් ස්ථාවර වී නොමැති තත්ත්වය හමුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ මොහොතේ සටන් කරමින් සිටින්නේ එම තත්ත්වයෙන් රට ජනතාව ගළවා ගැනීම සඳහා නොව සිය තනතුර ආරක්ෂා කර ගැනීම සඳහාය.

ඊට හොඳම උදාහරණය වන්නේ මුළු රටම භීතියෙන් ඇලළී, ගොස් එකම මළ ගෙයක් බවට පත්ව තිබෙන අවස්ථාවක පොලිස්පතිවරයා වශයෙන් සිය වගකීම්,යුතුකම් සහ රාජකාරි පසෙක තබා පූජිත් ජයසුන්දර මහතා 2019.04.24 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණ, එහි තිබෙන විශේෂ අමුත්තන්ගේ භෝජනාගාරයේ දොරකඩට වී ආණ්ඩු පක්ෂයේ මැති මැතිවරුන් සහ මන්ත්‍රීවරුන් එහි යන එන විට ඒ අය හමුවේ කණපින්දම් කියවමින් සිය තනතුර ආරක්ෂා කර ගැනීම සඳහා පැය හයකට අධික මෙහෙයුමක් දියත් කිරීමය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පවා නොතකා, මේ වන තුරුත් කිසිදු විලි ලැජ්ජාවකින් තොරව පොලිස්පති ධූරයේ රැදී සිටින පූජිත් ජයසුන්දර මහතා වහාම සිය ධූරයෙන් ඉල්ලා අස් නොවුණොත් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ඔහු ගෙදර යැවීමට එක්සත් ජාතික පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය,ඒකාබද්ධ විපක්ෂය,ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට තීරණය කර තිබේ.

කෙසේ නමුත් ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචි මාර්ග “lankanewsweek” සමග තහවුරු කර කියා සිටියේ උද්ගත වී තිබෙන සියලු තත්ත්වයන් පාලන කර රට ආරක්ෂක වශයෙන් ස්ථාවර කිරීම සඳහා නියත ලෙසම මාස තුනක කාලයක් ගත වන බවය.

“lankanewsweek” වෙත ලැබුණු මේ තොරතුරැ සියල්ල සංස්කරණයකින් තොරව අප කණ්ඩායම පාඨක ඔබ වෙත වාර්තා කළේ මේ සියල්ලෙහි ඇත්තම ඇත්ත ඔබ දැන ගත යුතු යැයි අප විශ්වාස කරන නිසාය.

ජනතාව භීතියෙන් ඇලළී ගිය සහ රටම එකම මළ ගෙයක් කළ මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාර ගත යුත්තේ කවුරුන්ද කියා මේ තොරතුරු අනුව ඔබ තීරණය කළ යුතුය.

එමෙන්ම මේ වගේ රාජ්‍ය නායකයින්, දේශපාලන නායකයින්,පොලිපතිවරුන්,ත්‍රිවිධ හමුදාපතිවරුන්,රාජ්‍ය බුද්ධි ප්‍රධානීන්,ජාතික බුද්ධි ප්‍රධානීන්,ආරක්ෂක රාජ්‍ය ඇමතිවරුන් සහ ආරක්ෂක ලේකම්වරුන් අපට ලැබී ඇත්තේ අපෙත් රටේත් උරුමයකට ද නැති නම් කරුමයකට ද කියාත් ඔබම තීරණය කළ යුතුය.