Thursday 22nd of August 2019

English Tamil


සමාජ ආධ්‍යාත්මය තුවාල කර ගැනීම..!


2019-04-21 1192

(වික්ටර් අයිවන්)

මා මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්‍රමාණවත් තරමට අවධානයට ලක්වී නැති, එහෙත් ඉක්මනින් සුවකර ගැනීමට අවශ්‍ය වන, එසේ නොවෙතොත් පිළිකාවක් බවට පත්වීමේ හැකියාව ඇති ලංකා සමාජ අධ්‍යාත්මයේ ඇතවී තිබෙන තුවාල පිළිබඳවය. ඒ ගැන කරන විග්‍රහය ලසන්ත වික්‍රමතුංගගේ දරුවකු ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේදී ඉදිරිපත් කළ නඩුව ආශ්‍රයෙන් ආරම්භ කිරීම සුදුසු යැයි සිතමි.

රටේ ප්‍රකට පුවත්පත් කතුවරයකු ලෙස සැලකිය හැකි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලද්දේ කොළඹ අධි ආරක්ෂිත කලාපයට අයත් ප්‍රදේශයකදී මහ දවාලක ඉතාමත් ම්ලේච්ඡ හා කුරිරු ආකාරයකටය.

ලසන්ත ඝාතනය කරන අවස්ථාව වනවිට ඔහුගේ දරු තිදෙනාගෙන් දෙදෙනෙක්ම කුඩා දරුවන් වූහ. පළමු දියණිය පමණක් 17 හැවිරිදි වූවාය. මරා දමන ලද සිය ආදරණීය පියා වෙනුවෙන් හඬා වැලපෙනවා හැරෙන්ට එකල ඔවුන්ට කළ හැකි දෙයක් නොතිබුණි. ලෝක අවධානය දිනාගත් සිද්ධියක් ලෙස සැලකිය හැකි ලසන්තගේ ඝාතනය සිදුවී මේ වනවිට වසර 10කට වැඩි කාලයක් ගතවී ඇතත්, එම ඝාතනයට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට ලංකාව සමත් වී නැත.

කාලයාගේ ඇවෑමෙන් ලසන්තගේ ඝාතනය මහජනයාට අමතක වනු ඇතැයි එම ඝාතනයට වගකිවයුතු අය සිතන්නට ඇතත්, ලසන්තගේ දරුවන් සිය පියාගේ ඝාතනය අමතක කර නැති බවත්, ඒ සඳහා කෙරෙන නෛතික අරගලය ලසන්තගේ දරුවන් අතට ගෙන තිබෙන බවත් ඇමරිකාවේ සිදුවී තිබෙන නඩු පැවරීමෙන් පෙනී යයි.

එක් පුද්ගලයෙක් ඝාතනය කළ විට ඒ දේ පහසුවෙන් අමතක නොකරන ජීවතුන් අතර සිටින කිහිපදෙනෙක් හෝ සිටිති. ඒ කිහිපදෙනා සැලකිය හැක්කේ අළුයට සැඟවී තිබෙන ගිනි පුපුරු ලෙසය.

අතුරුදන් කිරීම්

මේ ප්‍රවණතාව එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය ආශ්‍රයෙන්ද පැහැදිලි කළ හැකිය. මෙය යුද හමුදාවේ බුද්ධි අංශයේ අනුදැනුම ඇතිව සිදුවී තිබෙන බිහිසුණු අපරාධයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණවලින් හඳුනාගෙන ඒ ගැන අධිකරණයට වාර්තා කර ඇතත්, රාජ්‍ය පාලකයන්ගේ අනුකම්පාව විපතට පත්වූවන් වෙනුවට ඊට වගකිවයුත්තන් කෙරෙහි යොමුවීම නිසා එම පරීක්ෂණ භාරව ක්‍රියාකරන පරීක්ෂකයන්ට සිය කටයුතු කරගෙන යන්නට සිදුවී තිබෙන්නේ සම්බාධක මධ්‍යයේය.

එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියටද දැන් අවුරුදු 9කට වැඩි කාලයක් ගතවී ඇතත්, මොන මොන හේතු නිසා හෝ තවමත් යුක්තිය ඉටුකිරීමට සමත් වී නැත. එක්නැළිගොඩට යුක්තිය ඉටුකිරීමේ වගකීම කරට ගන්නට සිදුවී තිබෙන්නේ එක්නැළිගොඩගේ බිරිඳ සන්ධ්‍යායටය. එය ඇයට තිබෙන අහිමි කළ නොහැකි අයිතියක් මෙන්ම සමාජයේම අනුකම්පාව ඇයට ලැබිය යුතුව තිබුණද ඇයට එල්ල වී තිබෙන නින්දා අපහාසයන්ගේ ප්‍රමාණය අතිවිශාලය. ඒ සියල්ල ඇගේ දරුවා කෙරෙහි බලපානු ඇත්තේ කෙසේද?

කප්පම් ලබාගැනීමේ අරමුණින් තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියද එම තත්ත්වය තේරුම් ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි තවත් අනුවේදනීය සිද්ධියකි. අතුරුදන් කරන තිබෙන එම තරුණයන් 11 දෙනාගේ නාමලේඛනය මෙසේය.

1. කස්තුරි ආරච්චිලාගේ ජොන් රීට් අංක 38/28, රත්නම් පාර, කොටහේන.
2. ත්‍යාගරාජා ජෙගන්, අංක 42, ලියනගර්, ත්‍රිකුණාමලය.
3. රජිව් නාගනාදන්, අංක 87, ෂූ පාර, කොටහේන.
4. සුසෙයිපුල්ලෙ අචලන් ලියොන්, අංක 47/0, අරිප්පු නැගෙනහිර, අරිප්පු.
5. සුසියෙිපුල්ලේ රොහාන් ස්ටැන්ලි ලියොන්, අංක 47/0, අරිප්පු නැගෙනහිර, අරිප්පු.
6. කස්තුරි ආරච්චිලාගේ ඇන්ටන්, අංක 38/28, රත්නම් පාර, කොටහේන.
7. සුගත් විශ්වනාදන්, අංක 1/6/220, වාසල පාර, කොළඹ 13.
8. නිලකේෂ්වරන් රාමලිංගම්, ්රැත්‍රැ12, බ්ලූමැන්ඩල් මහල් නිවාසය,
9. මොහොමඞ් ඩිලාන් ජමල්ඩීන්, අංක 75/12, , දෙමටගොඩ, කොළඹ 09.
10. මොහොමඞ් සාපින්, අංක 40, දෙමටගොඩ, කොළඹ 09.
11. අලි අන්වර් නොහොත් හාජියාර්, අංක 27/40, ප්‍රනාන්දු පාර, කරගම්පිටිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලයේදී නාවික හමුදාපති කරන්නාගොඩ විසින් ඔහුගේ ආරක්ෂිත සංචිතය භාරව සිටි නාවික හමුදාවේ පුද්ගලික ආරක්ෂක නිලධාරි නිලන්ත සම්පත් මුණසිංහට එරෙහිව 2009.05.19 වැනි දින කරන ලද පැමිණිල්ලකට අනුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ නාවික හමුදාවේ තවත් කිහිපදෙනකුගේ සහාය ඇතිව කප්පම් ලබාගැනීම සඳහා පැහැර ගත් තරුණයන් 11 දෙනා කොළඹ කොටුව චෛත්‍ය පාර ආසන්නයේ ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව තිබී පසුකලක නාවික හමුදාවේ පරිහරණයට ලබාගත් පිට්ටු බම්බුව නමැති ගොඩනැගිල්ලේ රඳවා තබාගෙන සිට පසුව ත්‍රිකුණාමලයේ නාවික හමුදා පරිශ්‍රයේ ඇති ගන්සයිට් නමින් හැඳින්වෙන භූගත සිරමැදිරිය තුළ රඳවා තබාගෙන විටින් විට ඔවුන් මරා දමමින් ඔවුන්ගේ සිරුරු කැබලිවලට කපා මුහුදට දමා ඇති බව සොයා ගන්නා ලදි.

මෙම බිහිසුණු සාහසික සිද්ධියේදීද පාලන අධිකාරියේ අනුකම්පාව හිමිවී තිබෙන්නේ විපතට පත් පවුල් 11කට නොවත මෙම මහා අපරාධයට සම්බන්ධ පුද්ගලයන්ටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට දේශපාලන අධිකාරියෙන් වන බලපෑම් නොසලකා පරීක්ෂණ කටයුතු මේ දක්වා ඉදිරියට ගෙනයෑමට සමත් වී ඇතත්, ඒ තත්ත්වය කොතරම් කලක් පවතිනු ඇද්ද යන්න පැහැදිලි නැත. තරුණයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ ආරම්භ කොට වසර 10කට වැඩි කාලයක් ගතවී ඇතත්, ඒ සිද්ධියේදීද එම පවුල් 11ට යුක්තිය ඉටු කිරීමක් සිදුවී නැත. ඒ ගැන එම තරුණයන්ගේ දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට ලංකාව හා ලංකාවේ රාජ්‍ය ගැන ඇති කරන හැඟීම කුමක්ද?

මේ ආකාරයට ලංකාවේ ප්‍රචණ්ඩ අරගල පැවති කාලයේ ඝාතනයට හෝ අතුරුදන් කිරීම්වලට ලක්වී යුක්තිය ඉටුවී නැති අයගේ නාමලේඛනයක් සකස් කළහොත් එය දැවැන්ත ලේඛනයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ඝාතනයට ලක්වූ තවත් අය ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ්, මාධ්‍යවේදී ශිවරාම් (තාරකී) වැනි අයගේ නම්ද, චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී ඝාතනයට ලක්වූ සටන පුවත්පතේ කර්තෘ රෝහණ කුමාර, කුමාර් පොන්නම්බලම් වැනි අයගේ නම්ද, ඊට ඇතුළත් විය යුතුය. එසේම 83 ජූලියේදී හා ඉන්පසු ඊලාම් යුද්ධවලදීද, ජේවීපී කැරලි දෙකේදීද සටන් කළ දෙපාර්ශ්වය අතින් සිදුවූ අහිංසකයන්ගේ ඝාතනද ඊට ඇතුළත් කළ විට එය අතිවිශාල හා දැවැන්ත ලේඛනයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය.

මේ ප්‍රශ්නය මරණයට පත්වූ අහිංසකයන්ට පමණක් අදාළවන්නේ නැත. කැරලිවලට ප්‍රායෝගික සම්බන්ධයක් තිබී ඝාතනයට ලක්වූ අයගේ පවුල්වල සාමාජිකයන් තුළද තමන්ගේ පවුල්වල සාමාජිකයන්ට අදාළ ඝාතන ගැන, දුක්ගැනවිලි සේ ම අසහනයන්ද තිබිය හැකිය. තමන්ගේ ප්‍රියයන් අසාධාරණ ලෙස මරා දැමුවේ කියන හැඟීමක් ඔවුන් අතරද තිබෙනවා විය හැකිය. ඝාතනයට ලක් නොවී දරුණු වද හිංසාවලට ලක්වූ විශාල පිරිසක්ද රටේ සිටින්නේය. එසේම මේ ප්‍රචණ්ඩ අරගල පැවති කාලවලදී ආබාධිතයන් බවට පත්වූ කන්වැන්දුම් බවට පත්වූ, දේපළ අහිමි කරගත් හා තමන්ගේ සාම්ප්‍රදායික ගම්බිම් අහිමි කරගත් විශාල පිරිසක් රටේ සිටිති. ඒ සියලුදෙනාගේ මනස් එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට රෝගී බවට පත්ව තිබෙනවා විය හැකිය.

ඒ මගින් ලංකාවේ සමාජ ආධ්‍යාත්මය එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට විකෘති කිරීමට හේතුවී තිබෙනවා විය හැකිය. විකෘති වී තිබෙන ලංකා සමාජ ආධ්‍යාත්මය ඒ ආකාරයට රෝගී හා පැසවන තත්ත්වයක තිබෙන්නට ඉඩ හැරීම රටේ යහපතට හේතුවන්නේ නැත. ලංකා සමාජ ආධ්‍යාත්මයේ පවත්නා එම විකෘතිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා අනුගමනය කළ යුතුව තිබෙන ප්‍රතිපත්ති මොනවාද යන්න ගැන ලංකාව බැරෑරුම් ලෙස කල්පනා කරන තැනකට යා යුතුය.

කැරලිකරුවන් හා ආරක්ෂක හමුදා

ඇතිවූ සිංහල, දෙමළ කැරලි පරාජය කිරීමෙහිලා රජයේ ආරක්ෂක හමුදා වැදගත් කාර්ය භාරයක් ඉටු කළේය. රටේ දැන් පවතින තත්ත්වය යහපත් නැතත්, සිංහල හා දෙමළ කැරලිකරුවන්ට ජයග්‍රාහීවීමට හැකිවී නම් හෝ ඔවුන්ට අද දක්වා කැරලි පවත්වාගෙන යෑමට හැකිවී නම් රටේ පවතින තත්ත්වය මීටත් වඩා කාලකණ්ණි වන්නට ඉඩ තිබුණි. ඒ නිසා ඇතිවූ කැරලි පරාජය කිරීමට හැකිවීම ගැන සමාජය පොදුවේ සතුටු විය යුතුය.

එහෙත් එම කැරලි පරාජය කිරීම සඳහා සමාජයට සේ ම රාජ්‍යයටද ලොකු වන්දියක් ගෙවන්නට සිදුවූ බවද අමතක නොකළ යුතුය. ඇතිවූ කැරලි නිසා ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රමාණයේ විශාල ප්‍රසාරණයක් ඇති කරන්නට සිදුවූ අතර ආරක්ෂක හමුදා නඩත්තු කිරීම සඳහා රටට ඔරොත්තු නොදෙන තරමේ දැවන්ත වියදමක් දරන්නටද සිදුවිය. දැන් අපට අභ්‍යන්තර යුද්ධයක් නැතිවද රටට ඔරොත්තු නොදෙන තරමේ විශාල ආරක්ෂක හමුදාවක් නඩත්තු කරන්නට සිදුවී තිබෙන අතර ආර්ථික වශයෙන් එය රටට ලොකු වැය බරක් වී තිබෙන්නේ යැයිද කිව හැකිය.

කැරලි හා අභ්‍යන්තර යුද්ධයක් පැවති කාලයේදී දේශපාලකයන්ට ආරක්ෂාව සඳහා අපරාධකාරයන්ගේ ආධාර ලබා ගන්නට සිදුවූ අතර අපරාධකාරයන්ට ගිනි අවි පරිහරණය කිරීමේ පුහුණුව ලබාදී ඔවුන්ට අවශ්‍ය අවි ආයුධද ලබාදී අපරාධකාරයන්ට බර තබන ලද පුද්ගලික හමුදා හදන්නට සිදුවිය. ඒ නිසා රටේ දේශපාලකයන් අපරාධකාරයන් මතත්, අපරාධකාරයන් දේශපාලකයන් මතත් අන්‍යොන්‍ය වශයෙන් යැපෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී රටේ දේශපාලන තත්ත්වය විශාල ප්‍රමාණයකට පාදඩකරණයට ලක්වීමක් සිදුවිය.

එම තත්ත්වය පොලිසිය හා ආරක්ෂක හමුදා කෙරෙහිද බලපෑවේය. ආරක්ෂක හමුදා සේවය සේ ම කැරලිකාර සේවයද අත්හැර පලායන්නන්ගෙන් කිසියම් කොටසක් පාතාල ලෝකයට එකතුවීම නිසා පාතාල ලෝකයේ ලොකු ප්‍රසාරණයක් ඇතිවී රටේ සිදුවන අපරාධවල ප්‍රමාණයේද ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමට හේතුවිය.

පැවති කැරලි හා අභ්‍යන්තර යුද්ධවලදී කැරලිකරුවන් සේ ම ආරක්ෂක හමුදාවන්ට ද එකිනෙකාට එරෙහිව උපරිම මට්ටමේ කෲරත්වයක් සමාජය වෙත මුදාහරින්නට සිදුවිය. රජයේ ආරක්ෂක හමුදාවන්ට සිංහල සේ ම දෙමළ කැරලිකරුවන්ද පරාජය කිරීමට හැකිවූයේ කැරලිකරුවන්ගේ කෲරත්වය ඉක්මවා යන කෲරත්වයක් මුදාහැරීමට සමත්වීම නිසාය. එම තත්ත්වය සමාජ ආධ්‍යාත්මය පමණක් නොව ආරක්ෂක හමුදාවල ආධ්‍යාත්මයද රෝගී කිරීමට හේතුවිය.

එල්ටීටීඊය පරාජය කළ අවසන් යුද්ධයේදී සිංහල ජනතාව ආරක්ෂක හමුදා රට බේරාගත් රණවිරුවන් ලෙස සලකන තැනකට ගියද ජේවීපීය සමග කරන ලද යුද්ධයෙන් ආරක්ෂක හමුදා ජය ලැබූ අවස්ථාවේදී එම සිංහල ජනයා ආරක්ෂක හමුදා රට බේරාගත් රණවිරුවන් ලෙස සලකා ඔවුන්ට උපහාර දක්වන තැනකට ගියේ නැත. ඒ අවස්ථාව වනවිට සිංහල ජනතාවට ආරක්ෂක හමුදා ගැන ලොකු විවේචනයක් සේ ම ලොකු විරෝධයක් ද තිබුණි.

ආරක්ෂක හමුදා සිංහල, දෙමළ කැරලිකරුවන් පරාජය කොට ලංකා රාජ්‍යය ආරක්ෂා කර ගනිමින්, ජයග්‍රාහී වීමට සමත් වුවද ඒ කැරලිවලින් රජයට සේම ආරක්ෂක හමුදාවන්ටද බරපතළ හානි ඇතිවිය. ඒ නිසා කැරලි පරාජය කිරීමෙන් පසු රාජ්‍යය හොඳටම අබල දුබල වී බිඳ වැටෙන රාජ්‍යයක තත්ත්වයට පත්විය.

අභ්‍යන්තර යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය විසින් ආරක්ෂක හමුදා පිළිබඳව සිංහල ජනතාව අතර හිමිකරගෙන තිබෙන පිළිගැනීම නිසා එම යුද්ධයේදී බරපතළ වැරදි කර තිබෙන ආරක්ෂක හමුදාවලට අයත් සමහර පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්තිය රාජ්‍යය අහිමි කරගෙන තිබෙන අතර, එම තත්ත්වය රටේ අවුල් ඇති කිරීමට හේතුවන සාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී.

දේශපාලන පක්ෂ හා සදාචාරය

රටේ ඇතිවූ ප්‍රචණ්ඩ කැරලි නිසා රටේ සියලුම දේශපාලන පක්ෂද සදාචාරාත්මක වශයෙන් විශාල ප්‍රමාණයකට මරණයට පත්වූ තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබේ. ජේවීපේ කැරලි පැවති කාලයේදී ආණ්ඩු පක්ෂය ලෙස ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන්ට තමන්ගේ ආරක්ෂාව සඳහා කැරලිකරුවන් ඝාතනය කරන පිළිවෙතක පිහිටා ක්‍රියාකරන්නට සිදුවූ අතර ඊට අතිරේක වශයෙන් මැතිවරණ වාසි පිණිස ජේවීපියට කිසිම සම්බන්ධයක් නැති විරුද්ධ පක්ෂවල ආධාරකරුවන්ද ඝාතනය කරවන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේය.

කැරැල්ලේ ආරම්භක වකවානුවේදී ශ්‍රීලනිපය අයුතු දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් හා ආරක්ෂාව පිණිස ජේවීපී කැරලිකරුවන්ට අනියම් ලෙස උදව් කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළේය. 1988 ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිපය තරග නොකරන තත්ත්වයක තබා ගැනීමට දරන ලද උත්සාහය අසාර්ථකවීමෙන් පසුව ජේවීපීය ශ්‍රීලනිපයට පහර දෙන පිළිවෙතක් අනුගමනය කරන්නට වූ අතර, ඒ සමග ශ්‍රීලනිපයේ නායකයන් ජේවීපීය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව පවත්වාගෙන ගිය වැඩසටහනට උද්යෝගිමත් ලෙස ආධාර කරන පක්ෂයක් ලෙස ක්‍රියාකිරීමට එම පක්ෂයට සිදුවිය.

ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු යුද්ධ හමුදාවේ ප්‍රධාන අණදෙන්නා ලෙස ක්‍රියා කළ හැමිල්ටන් වනසිංහ 1998 ඔක්තෝබර් 9 වැනිදා ඬේලි මිරර් පුවත්පතට ලබාදෙන සම්මුඛ සාකච්ඡාවකදී කැරැල්ල මර්දනය කරමින් තිබූ අවසාන කාලයේ දේශපාලන නායකයන්ද සහභාගි වූ ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමක් ගැන ඔහු කරුණු විස්තර කර තිබුණි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාද සහභාගි වූ එම රැස්වීමේදී ශ්‍රීලනිප නායිකාව හා විරුද්ධ පක්ෂ නායිකාව වශයෙන් ක්‍රියා කළ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය කතා කරමින් “ඔබට කැමති ඕනෑම පියවරක් ගෙන හැකිතාක් ඉක්මනින් ජවිපෙ කැරැල්ල අවසානයක් කරන්නැයි ඉල්ලා සිටි බව එහි සඳහන් විය. ඒ අනුව රටේ ප්‍රධාන පක්ෂ දෙකම ජේවීපී කැරැල්ල මර්දනය කරන වැඩසටහනේ ක්‍රියාකාරී කොටස්කරුවන් ලෙස ක්‍රියා කර තිබෙන්නේ යැයි කිව හැකිය.

ඊට අතිරේකව වමේ පක්ෂවලටද යූඑන්පී විරෝධය අතහැර එම මර්දන වැඩසටහනේ උද්යෝගිමත් ආධාරකරුවන් ලෙස ක්‍රියාකරන්නට සිදුවිය. ජේවීපීය සියලු දේශපාලන විරුද්ධවාදීන් මරා දමන පිළිවෙතක් අනුගමනය කිරීම නිසා වාමාංශික පක්ෂවලටද, වාමාංශික මතධාරී ව්‍යාපාරවලටද ජේවීපීය අත්හැර ගොස් සිටි පරණ ජේවීපී සාමාජිකයන්ටද ජේවීපීය පරාජය කිරීම සඳහා ආණ්ඩුව හා ආරක්ෂක හමුදා පවත්වාගෙන ගිය යුද වැඩසටහනේ ඍජු හෝ අනියම් කොටස්කරුවන් ලෙස ක්‍රියාකරන්නට සිදුවිය. ඊලාම් යුද්ධය පැවති කාලයේදී උතුරේ දේවල් සිදුවූයේද ඊට සමාන ආකාරයකටය. එහි තිබෙන සියලු දේශපාලන පක්ෂවලටද එල්ටීටීඊය පවත්වාගෙන ගිය යුද වැඩසටහනේ ආධාරකරුවන් වීමට හෝ ඔවුන්ට එරෙහිව ආණ්ඩුව පවත්වාගෙන ගිය යුද්ධ වැඩසටහනේ ආධාකරුවන් ලෙස ක්‍රියා කරන්නට සිදුවිය.

ලංකාවේ ඇතිවූ මහා ලේ වැගිරීම්වලට ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ඍජු ලෙස හෝ අනියම් ලෙස සම්බන්ධය. ලේ තැවරී ඇත්තේ ජේවීපීයේ හා එල්ටීටීඊයේ අත්වල පමණක් නොව. ඒ සියලු දේශපාලන පක්ෂවල ලේ තැවරී තිබෙන්නේය. ඒ මගින් ඒ සියලු දේශපාලන පක්ෂ ඔවුන්ගේ දේශපාලන සුජාතභාවය අහිමි කරගෙන තිබෙන්නේ යැයි කිව හැකිය. ඒ මගින් දේශපාලන පක්ෂවල ඇතිවී තිබෙන ජරාජීර්ණභාවයද ලංකාවේ දේශපාලන අධ්‍යාත්මය කුණු කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය.

මෙම තත්ත්වය සමස්ත සමාජයම වසාගෙන තිබෙන සංකීර්ණ තත්ත්වයක් ලෙස සැලකිය හැකි අතර, සමස්ත සමාජයම රෝගී කිරීමට හා විකෘති කිරීමට හේතුවී තිබෙන එම තත්ත්වය ජයගැනීම ලංකාව ඉදිරියේ තිබෙන ලොකු අභියෝගයක් ලෙසද සැලකිය හැකිය.