මැතිනිය කොබ්බෑකඩුව පරද්දන්න වැඩ කළ හැටි..!
මහින්දගේ අපේක්ෂකයා දින්නොත් වෙන දේ..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු)
අද මහින්ද රාජපක්ෂ මුහුණ දී සිටින්නේ 1982 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ විට එවකට ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය මුහුණ දුන් අභියෝගයටමය. ජේ.ආර්. ගේ ආණ්ඩුව මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ නිසා මැතිනියට ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වීමට නොහැකි විය.
ජනාධිපතිවරණයේදී ඇයට තරඟ කළ නොහැකි නිසා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි මාධ්‍ය ඇයගෙන් අහන විට ඇය ප්රශ්නය මග හැරියාය. එහෙත් ඇය “ද ඉකොනොමිස්ට්” සගරාවට පවසා තිබුණේ ජනාධිපතිවරණයක දී ජේ. ආර්.ව පරද්දන්න පුළුවන් අපේක්ෂකයෙක් පක්ෂය තුල නැති බවය. ඇය කියා තිබුණේ ජේ.ආර්.ව පරද්දන්න පුළුවන් එකම අපේක්ෂකයා තමන් බවය.
මැතිනියගේ මේ ප්‍රකාශය ගැන ජේ. ආර්. පුදුමයට පත් විය. 1982 ජනාධිපතිවරණය තමන් දිනනවාට මැතිනිය හිත යටින් කැමති බව ජේ.ආර් ට ඒත්තු ගියේ මැතිනියගේ ඒ ප්රකාශයෙනි.
ඇත්තටම ඒ වෙලාවේ මැතිනිය ජේ.ආර්. ව පරද්දන්න අපේක්ෂකයෙක් හොයන වැඩේ ඕන කමින්ම කල් මැරීය. ඒ වන විට ශ්රීලනිපය දෙකඩ වී තිබිණි. මෛත්‍රී සහ අනුර පක්ෂය කඩා ගෙන ගොස් තිබිණි. පක්ෂයේ නමට ලාංඡනයට මෛත්‍රී-අනුර කණ්ඩායම සමග මැතිනියගේ කණ්ඩායම උසාවි ගොස් සිටියහ. පක්ෂ මුලස්ථානයට සීල් තබා තිබිණි. මැතිනිය සමග ඒ මොහොතේ සිටි විජය, චන්ද්‍රිකා, ඉලංගරත්න කණ්ඩායම ජේ.ආර්.ව පරද්දන්න අපේක්ෂකයෙක් හොයන ලෙස මැතිනියට බල කළත් ඇය ඒ ගැන උනන්දුවක් නොදැක්විය.
අපේක්ෂකයා ලෙස පක්ෂය කඩාගෙන ගොස් සිටි අනුර ඉදිරිපත් කරන ලෙස මැතිනියගේ සහෝදරයන් බල කළත් මැතිනිය එයට කැමැත්තක් දැක්වුයේත් නැත. “අනුර අම්මේ මට සමාවෙන්න” කියා යළි පක්ෂයට ආවේ ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරෝත්තුවෙන්ය. අනුරට අපේක්ෂකත්වය දෙයි යැයි බය වූ විජය සහ චන්ද්‍රිකා මැතිනියගේ ඥාති කොබ්බැකඩුවගේ අපේක්ෂකත්වයට සහය පළ කළේ කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු වාමවාදී පක්ෂය මැතිනිය එයට ද කැමැත්තක් දැක්වුයේ නැත. ශ්‍රීලනිප සම්මේලනයක දී කොබ්බෑකඩුවගේ අපේක්ෂකත්වය යෝජනා කොට සම්මත කර ගත්තේ මැතිනිය අනුර සමග එක්ව එම සම්මේලනය කඩා කප්පල් කරන්න කුමන්ත්‍රණය කරද්දීය.
මේ වන විට මැතිනිය සහ අනුර සිටියේ නුවරඑළියේය. කොබ්බෑකඩුව අපේක්ෂකයා ලෙස නම් කළාට පක්ෂ නම සහ ලාංඡනය තිබුණේ උසාවියේය. දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ නමින් සහ රෝදය ලාංඡනයෙන් කොබ්බෑකඩුව තරඟ කරන්න යන බව ආරංචි වී මැතිනිය අනුරට කිවේ පක්ෂය සහ ලාංඡනය නොදෙන ලෙසට දිනේෂ්ට පණිවිඩයක් යවන්න කියාය. අනුර ඒ පණිවිඩය දිනේෂ්ට යැව්වේ මහින්ද රාජපක්ෂ අතේය. එතොකොට මහින්ද සහ රාජපක්ෂ පවුල සිටියේ මැතිනි-අනුර කණ්ඩායමේය. එහෙත් මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද අත ලකුණ සහ පක්ෂ නාමය මැතිනියගේ කණ්ඩායමට ලබාදීමට තීරණය කළේය.
විජය සහ චන්ද්‍රිකා ශ්‍රීලනිප නාමය සහ අත ලකුණ යටතේ කොබ්බෑකඩුව ඉදිරිපත් කළේ බලෙන් වගේය. මැතිනියට කර කියා ගත හැකි දෙයක් නොවීය. මැතිනිය අනුර වගේම මහින්දත් රාජපක්ෂ පවුලත් වැඩ කළේ කොබ්බෑකඩුව පරද්දන්නටය. කොබ්බෑකඩුව දින්නොත් තමන්ට පක්ෂ නායකත්වය අහිමි වී විශ්‍රාම ගන්න සිදු වේ යැයි මැතිනිය බය විය. අනුරගේ දෙවැනියා වීමට හීන මවපු මහින්ද කොබ්බෑකඩුව දින්නොත් අනුරගේත් තමාගේත් දේශපාලනය ඉවර වෙයි කියා බය විය.
මහින්ද මේ ඉතිහාසය දනී. එදා මැතිනියට වගේම අද මහින්දටත් යුඇන්පී විරෝධී බලවේගය තුළ පාලනයක් නැත. එදා ශ්රීලනිපය පාලනය කළේ කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ වැනි ශ්රීලනිපය සමග සන්ධානගත වෙන්න බලාගෙන හිටිය වාමවාදී පක්ෂය. කොබ්බෑකඩුව ඔවුන්ගේ අපේක්ෂකයාය. අද පොදුජන පෙරමුණ පාලනය කරන්නේ විමල්ලාගේ, ගම්මන්පිලලාගේ පක්ෂය. ගෝඨාභය ඔවුන්ගේ අපේක්ෂකයාය. කොබ්බෑකඩුවගේ අපේක්ෂකත්වයට එකඟ වෙන්න වාමවාදී පක්ෂ එදා මැතිනියට බල කළා සේ මෙදා ගෝඨාභයගේ අපේක්ෂකත්වයට එකඟ වෙන්න විමල්ලාගේ, ගම්මන්පිලලාගේ පක්ෂ මහින්දට බල කරමින් සිටියහ. එත් ඇමරිකාවේදී ලසන්තගේ දුව සහ කැනේඩියානු දමිළ ජාතිකයා දමපු නඩුවෙන් ගෝඨාභය කරදරයෙන් මහින්ද නිදහස් වී ඇත. ගෝඨාභය ගේ අපේක්ෂකත්ව වැඩේ හරියන්නේ නැති බව මහින්ද දැන සිටියේ 2018 ජූනි වලය.
එවකට ඇමරිකානු තානාපති අතුල් මහින්ද හමු වීමට පැමිණියේය. එම හමු වීමේදී ඇමරිකානු තානාපතිවරයා ගෝඨාභයට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ලෙහෙසි නොවන බව මහින්දට පැවසුවා යැයි උතුරේ දමිළ පුවත්පතක් වාර්ථා කර තිබුණි. “ඩේලිමිරර්” පුවත් පත මේ වාර්ථාව සත්‍ය දැයි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විමසා සිටි විට ඇමරිකානු තානාපති කාර්යාලය එය පිළිගත්තේ වත් ප්‍රතික්ෂේප කළේවත් නැත. මේ දමිළ පුවත්පතේ පළ කළේ කවුදැයි සොයන්න ගෝඨාභයට වුවමනා විය. දමිළ පුවත්පතට මේ පුවත දුන්නේ මහින්දම දැයි ගෝඨාභය තෙවැනි පාර්ශවයක් හරහා දමිළ පුවත්පතේ කතෘගෙන් විමසා තිබුණි.
මහින්ද ගෝඨාභයට උපදෙස් දෙන්න ඇත්තේ පුරවැසිභාවය ඉවත් කර ගන්න ගොස් නැති නඩු පටලවා නොගන්නා ලෙසය. එත් ගෝඨාභයගේ උපදේශකයන් මහින්දගේ මේ උපදෙස ගෝඨාභය අපේක්ෂකයා වෙනවාට ඊර්ශියාවෙන් දෙන එකක් යැයි අර්ථ නිරුපනය කරන්න ඇත. ගෝඨාභය පුරවැසිකම ඉවත් කර ගන්න ගියේ ඔවුන්ගේ ලණු කාලාය.කෙසේ හෝ මහින්ද ගෝඨාභයවත් ඔහුට අපේක්ෂකත්වය ගන්න වැඩ කළ විමල්ලා, ගම්මන්පිලලාගේ පක්ෂත් ගෝඨාභයගේ උපදේශකයන්වත් මෙල්ල කර ගන්න සමත් වී ඇත.
දැන් අපේක්ෂකයා කවුද කියා තීරණය කිරීමේ බලය මහින්ද සියතට ගෙන තිබේ. එහෙම බලන කොට අද මහින්ද ඉන්නේ අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් එදා මැතිනිය හිටපු දුර්වල තැන නොවේ.
මහින්ද තෝරන අපේක්ෂකයා කවුද..?
මහින්දට මේ ජනාධිපතිවරණය දිනන්න ඕනෑ නම් මහින්ද තෝරන අපේක්ෂකයාගේ සුදුසුකම් ලැයිස්තුවේ අංක එක විශ්වාසය. මේ ගේමේදී මහින්දට විශ්වාස කරන්න පුළුවන් අපේක්ෂකයන් ඉන්නේ දෙදෙනෙකි. එක් අයෙක් ශිරන්තිය. අනෙකා බැසිල්ය. බැසිල්ටත් පුරවැසි ප්රශ්නය තියෙන නිසා බැසිල්ගේ වැඩේ හරියන්නේ නැත. ශිරන්ති දේශපාලනයට එයි කියා හිතන්න බැරිය. ඊ ළඟට ඉන්නේ චමල්ය. හැබැයි මහින්දට චමල්ව විශ්වාස වුණත් ශිරන්තිලාට,නාමල්ලාට චමල්ව විශ්වාස නැත. එයට හේතුව චමල් ජනාධිපති වුණොත් ඔටුන්න හිමි කුමාරයා චමල්ගේ පුත් ශෂේන්ද්‍ර රාජපක්ෂය. එහෙත් මහින්දට විශ්වාසය පැත්තෙන් චමල් ඇරෙන්න විකල්පයක් නැත.
ඔහු පවුලේ වැඩිමලාය. ඔහුට සුළු ජාතිකයන් සමග වැඩ කරන්න පුළුවනි. මහින්දගේ ආණ්ඩුවේ ඔහු කතානායක කියා ඒ ආණ්ඩුවේ කුණු ඔහුගේ කර මත නැත. ඔහු හැමෝම සමග හොදය. ආණ්ඩුවෙන් ඔහුට දුෂණ චෝදනා ඉදිරිපත් කොට නැත. ඔහු පවුලේ අනෙක් අයට වඩා ප්‍රජාතන්ත්‍රවාදිය. ඔහුට එරෙහි භීෂණ චෝදනා ද නැත. අනෙක ඔහු අලුත් දේශපාලන ගමනක් ගැන හිතන්න බැරි තරමට වයස් ගතය. මහින්දට ඔහු සමග තියන එකම ප්රශ්නය ඔහු නාමල්ව බලා ගනීවිද කියන සැකයය. හේතුව නාමල්ට හම්බන්තොට තරඟ කරන්න චමල්ගේ පුතාව මොනරාගලට දමා ඌව මහ ඇමති කළේ මහින්දමය. චමල්ගේ පුත් ශෂේන්ද්‍ර හම්බන්තොටින් තරඟ කළොත් නාමල්ට වඩා මනාප ගනී යැයි මහින්ද බය විය.
චමල් සම්බන්ධයෙන් මහින්දට තියෙන්නේ මේ ප්රශ්නය විතරය. පොදු අපේක්ෂකයෝ දාන්න ගිහින් රනිල්ටයි, යුඇන්පීයටයි වෙලා තියෙන නස්පැත්තිය දිහා බලා මහින්ද දිනවන්න නම් පොදු අපේක්ෂකයෙක් දමනවා නම් දමන්නේ 1982 මැතිනිය කොබ්බෑකඩුව පැරද්දුවා වගේ පරද්දන්නටය.
මව්රට
(ගුරුදා විග්‍රහය)
Lanka Newsweek © 2024