Thursday 20th of June 2019

English Tamil


ආලෝක ඇමති රටම ඒකාලෝක කරයි- වෙසක් තොරණ ප්‍රහාරයත් අනාථයි..!


2019-04-07 4893

නායකයින් වෙනුවට දේශපාලකයින් සිටීම අභාග්‍යක්..!

ඇතැම් දේශපාලකයින්ට-බොහෝ නිලධාරීන්ට පරිකල්පනයක් නැහැ..!

රට ගොඩනගන්න රැඩිකල් විප්ලවයක් අවශ්‍යයි..!

කළුවරේ ජරමරේ සදහටම අවසන්..!

(සුජිත් මංගල ද සිල්වා)

විදුලිය ඉතිරි කර ගැනීමට වෙසක් මාසයේ වෙසක් තොරණ ඉදිකිරීම තහනම් කිරීමට යන බවට අවස්ථාවාදීන් සහ අන්තවාදීන් පතුරුවා හරින ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර ඒ තොරතුරු සියල්ල සාවද්‍ය යැයි විදුලි බල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

අප්‍රේල් මස 10 වැනිදා සිට යළි කවදාවත් මිනිත්තුවකටවත් මේ රටේ විදුලිය කප්පාදු නොකරන බව ද ඒ සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව ද රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසුවේ විදුලිය ඉතිරි කර ගැනීමට වෙසක් මාසයේ වෙසක් තොරණ ඉදිකිරීම තහනම් කිරීමට යන බවට පැතිර යන ආරංචි සහ විදුලි බල අර්බුදයේ අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් “lankanewsweek” කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේ ද පැවසීය.   

“වර්තමානයේ  දේශපාලනය කියන්නේ ලෙහෙසි පහසු ක්‍රියාවලියක් හෝ  ගමනක් නෙමෙයි. සමහරු ඇති දේ නැති කරන විට තවත් අය  නැති දේ ඇති කරනවා.

මම මේ විදුලිබල ක්ෂේත්‍රය භාර ගෙන තවම කෙටි කාලයයි.මට පැවැරිලා තිබෙන්නේ අමාරු රාජකාරියක් වන  නමුත් වසර 15 ක් මේ රටේ ඇණ හිට තිබෙන සහ ප්‍රතිපත්තියක් අනුව කටයුතු කිරීමට නොහැකි වී තිබෙන විදුලි බල  ප්‍රශ්නය, මේ සිංහල දෙමළ අලුත්  අවුරුද්දට ඉස්සෙල්ලා, මම සදහටම විසදනවා.

ඒක විශ්ව කර්මයක් නෙමෙයි. තාවකාලිකව අප ගන්න මේ පියවර අවුරුදු 1 ½න්  ස්ථිරව ඉටු කරන්න පුළුවන් ක්‍රමවේදයක් අප පාර්ලිමේන්තුවේදි හෙලිදරව් කළා.

ජනාධිපතිගේ සහ අගමැතිගේ අවසරය පරිදි අප්‍රේල් මස 10 වැනිදා සිට  එක මිනිත්තුවක්වත් රටේ  විදුලිය ඇණහිටීමක් ඇති නොවන පරිදි කටයුතු කරන්න අප සැලසුම් කර තිබෙනවා.

රටේ වර්තමානයේ  පවතින විදුලිය ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දෙන්න නොහැකි වී තිබෙන්නේ  මේ පවතින වියලි කාලගුණික තත්ත්වයි. ඒ වගේම හරි වේලාවට නිසි තීන්දු තීරණ නොගැනීමත් මේ තත්ත්වයට බලපා තිබෙනවා.

2010 සිට මේ දක්වා  එකම මෙගාවොට් එකක්වත් අපේ ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙලා නැහැ.

මේ ක්‍රමය අප වහාම අවසන් කළ යුතුයි. මේ සදහා විදුලිය පිරිමැසීමත් අත්‍යාවශ්‍යයි. අප රුපියල් 23.00 ට නිපදවන විදුලිය  ඒකකයක් පාරිභෝගිකයින්ට ලබා  දෙන්නේ රුපියල් 16.00 කටයි.ඒ කියන්නේ රුපියල්  7.00 ක පරතරයක් තියෙනවා. මේ පරතරයේ අලාභය වර්ෂයකට රුපියල්  බිලියන 80 ක් වෙනවා.

මේ අලාභය වෙනුවෙන් රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වගේ ප්‍රමාණයක් වෙන්කරනවා. මේ තත්ත්වය මේ වන විට  දරා ගත නොහැකි තත්ත්වයකට පැමිණ තිබෙනවා.

නමුත් සිංහල දෙමළ අලුත් අවුරුද්දට පමණක් නෙමෙයි ඊට  පසුවත් විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මම වගකීමෙන් කියනවා.විදුලිය ඉතිරි කර ගැනීමට වෙසක් මාසයේ වෙසක් තොරණ ඉදිකිරීම තහනම් කිරීමට යන බවට අවස්ථාවාදීන් සහ අන්තවාදීන් පතුරුවා හරින ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර ඒ තොරතුරු සියල්ල සාවද්‍යයි.

ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා.

අප නිදහස ලබලා වසර 71 ක් වෙනවා. නමුත් මේ නිදහස අප අර්ථාන්විතව පාවිච්චි කර තිබෙනවාද..? එදා ඩී.එස්. සේනානායක මැතිතුමා කිව්වා අප සුද්දාගෙන් නිදහස ලබා ගත්තාට, එකට ගමන්කළේ නැති නම්  මේ ලබා ගත් නිදහස විනාශ වෙනවා කියලා.

ඊට පසුව  1978 දී ජේ ආර් ජයවර්ධන මහතා  අපේ රටට විවෘත ආර්ථිකයක් හදුන්වලා දුන්නා. නමුත් අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ ජනතාව පුරුදු වී තිබෙන්නේ  අගලක් ඉදිරියට තියලා, අඩි දෙකක් පස්සට ගන්නා ක්‍රමයකටයි.

මේ රට ගොඩනැගීමට නොහැකියාවක් නැහැ.එහෙත් ඒ සඳහා බොහෝ අයට අවශ්‍යතාවක් නැහැ.අලුතින් සිතා ක්‍රියා කිරීමට අවස්ථාවක් උදාවී තිබෙන මේ මොහොතේ අප සියලු දෙනා එකා සේ එකට  එකතු විය යුතුයි.

අපේ රටේ දේශපාලඥයෝ සිටිනවා.නමුත් නායකයෝ නැහැ.මේ තත්ත්වය ඉතා  කණගාටුදායකයි.නායකයින් සිතන්නේ  තමා ගැන නොව  රට ගැනයි. ඩී.එස් .සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ලලිත් ඇතුළත්මුදලි වගේ අය තමයි මේ රටේ හිටිය සැබෑ නායකයෝ කියන්නේ...

නමුත් අපේ රටේ  දේශපාලන රාමුව අම්මාගෙන්, තාත්තාගෙන් පැවත ගෙන එන පවුල් දේශපාලනය වෙලා ගෙන තිබෙනවා.ඒ ඒ අය සිය  සහජ හැකියාවෙන් ඉදිරියට යන බවක් පෙනීමට නැහැ.

රැකී රක්ෂා ගැටලුවට විසදුම් සොයන්න අවශ්‍යනම්,අප කළ යුත්තේ  අපේ ආර්ථිකය ඉදිරියට ගෙන යන  මාර්ග සැකසීමයි. අපේ ආදායම් මාර්ග වැඩි කරනවා කියන්නේ, රජයෙන් සියල්ල  ණයට හෝ නොමිලයේ  ලබා දීම නොව  දැනුවත්කම වර්ධනය කිරීමයි.

අපේ රටේ ජාතික දේශපාලන ක්ෂේත්‍රයේ තිබෙන  ලොකුම ප්‍රශ්නය නායකත්වයට තිබෙන පළපුරුද්දයි.අපේ රටේ බොහෝ දේශපාලකයින්ට වගේම  නිලධාරීන්ට සිතීමේ සහ පරිකල්පනය කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ.මේ තත්ත්වයන් අප වහාම උඩු යටිකුරු කරමින් සියල්ල නවීකරණය කළ යුතුයි.ඒ සඳහා අලුතින් සිතා රැඩිකල් විප්ලවයක් රටේ ඇති කළ යුතුයි.”