Sunday 22nd of September 2019

English Tamil


මෛත්‍රීගේ සත්තමට බැසිල් බය වුණාද..?


2019-03-17 1288

පොඩි පක්ෂ ගැන රත්වත්තේගේ අදහස..!

දැන් මෛත්‍රී බැසිල්ගේ පිටේ නැගලාද..!

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

බණ්ඩාරනායකවරුන්ගේ ඔවුන්ගේ ඔටුන්න හිමි කුමාරයා අනුර බණ්ඩාරනායක, ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේට කකුල් තුනේ මාමා යැයි ඔච්චම් කළේ නිකම්ම නෙවේ.

අනුරට තම පියා හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තහනම් කරන ලිපිය සකස් කොට එයට අනුරගේ මව බණ්ඩාරනායක මැතිනියගේ අනුමැතිය ලබා ගත්තේ අනුරුද්ධ රත්වත්තේ නිසාය. බණ්ඩාරනායක මැතිනිය දේශපාලන තීන්දු තීරණ ගැනීමේ දී සිය පුත් අනුරටත්, දුවලා දෙන්නා වූ චන්ද්‍රිකා සහ සුනේත්‍රාටත් වඩා විශ්වාස කළේ අනුරුද්ධ රත්වත්තේවය.

අනුරට පක්ෂය තහනම් කරන තීන්දුවට මැතිණිය එකඟ කරවා ගැනීම ලෙහෙසි, පහසු දෙයක් නොවීය. ඒත් අනුරුද්ධ යු.ඇන්.පී.ය පරද්දන්න අනුරගේ කට වහන්න ඕනෑ යැයි කියන මතය මැතිනියගේ පපුවටම දුන්නේය.

අනුරුද්ධ මැතිනියගේ ඔළුවට අනුර විරෝධී විෂ පොවා, ගත් ඒ තීරණය අනුරවාදින්ගේ පමණක් නොව මධ්‍යස්ථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ගේත් විමතියට හේතු විය. අනුරට එරෙහිව ගත් තීරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම විනාශ වී යනු ඇතැයි ඔවුන් බය විය.

අනුරගේ පක්ෂ තහනම මාධ්‍ය වාර්තා කළේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය ලෙස ය. අනුරගේ පක්ෂ තහනමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් පක්ෂය කඩා ගෙන විජේතුංගගේ ආණ්ඩුවට එක්විය.

රත්වත්තේ පක්ෂයට කීවේ ඔවුන් පක්ෂය තුළ සිට පිටුපසින්, කකුලෙන් අදිනවාට වඩා පක්ෂය හැර යන එක හොඳයි කියාය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුෂ්කරතම කාලය වූ අනුර විපක්ෂ නායක ධූරය දරපු කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරක්ෂකයා ලෙස පෙනී සිටි දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ 1994 මහ මැතිවරණයට පොදු පෙරමුණෙන් තරග කරන්න ඉදිරිපත් කරපු කොන්දේසිවලට යට නොවිය යුතුය යන දැඩි ස්ථාවරයේ චන්ද්‍රිකා එක්ක හිටියේ අනුරුද්ධ රත්වත්තේ ය.

දිනේෂ් වෙනම ඉල්ලුවොත් පොදු පෙරමුණ පරාජය වෙයි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පමණක් නොව පක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය ද අනතුරු අඟවද්දී රත්වත්තේ තදින්ම හිටියේ ය.

අන්තිමේදී රත්වත්තේ කී දෙය හරි විය. ඔහු ගත් අවදානම් සහගත නිර්භය දේශපාලන තීන්දු නිසා 1994දී වසර 17කට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගත්තේය.

බැසිල් රාජපක්ෂ අද රඟපාන්නේ 1994 අනුරුද්ධ රත්වත්තේ රඟපාපු චරිතයය. මහින්දත් -මැතිනිය දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී රත්වත්තේව විශ්වාස කළා සේ විශ්වාස කරන්නේ බැසිල් වය. එදා රත්වත්තේ දිනේෂ්ලාගේ කොන්දේසිවලට යටත් විය යුතු නැතැයි මැතිනතිනියට කීවා සේ අද බැසිල් මහින්දට කියන්නේ විමල්ලාගේ - ගම්මන්පිලලාගේ කොන්දේසිවලට යටත් නොවිය යුතු බවය.

එදා මැතිනියට කීවේ දිනේෂ්ලාට වඩා වටින්නේ දමිළ මුස්ලිම් ඡන්ද කියාය. ඒත් මැතිනිය කිවේ දිනේෂ් යනු ඇයගේත්, පක්ෂයෙත් දේශප්‍රේමී හඬ කියාය. අන්තිමේදී ඡන්දය ගන්න කොට දිනේෂ්ට ඔහුගේ ආසනයවත් රැක ගත නොහැකි විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නැතිව දිනේෂ්ලාට දිනන්න බැහැ යැයි රත්වත්තේ කී කතාව ඔප්පු විය.

මේ මතයේ දැඩිව හිටියේ චන්ද්‍රිකා වුවද ඇය පක්ෂය කඩා ගෙන ගොස් යළි පක්ෂයට ආ අයෙක් නිසා මේ මතය පක්ෂයට පොවන්න ඇයට හයියක් නොතිබිණි. ඒ වැඩේ කළේ රත්වත්තේ ය.

අද බැසිල් කියන්නේත් එදා රත්වත්තේ කී කතාව ම ය. ඡන්ද දිනන්න නම් විමල්ලාට, ගම්මන්පිලලාට වඩා දමිළ මුස්ලිම් ඡන්ද වටිනවා කියන එකය. විමල්, ගම්මන්පිල පමණක් නොව වාසු සහ දිනේෂ් ද අද ඉන්නේ බැසිල් එක්ක වෛරයෙන් ය. ඒකට හේතුව බැසිල් මොවුන්ව තුට්ටු දෙකට දමා ඇති නිසාය. මොවුන් මෛත්‍රියට ළං වූයේ බැසිල්ව මෙල්ල කර ගන්නට ය. ප්‍රධාන හේතුව එයම නොවෙයි. ප්‍රධාන හේතුව ඔවුන්ට එරෙහි නඩුවලින් බේරෙන්න මෛත්‍රීගේ උදව් ගන්ටය. දෙවැන්න බැසිල්ගේ අඬු කඩා තටු කපන්නටය.

ඔවුන් මෛත්‍රී ජනාධිපති අපේක්ෂකයා කරන්න හිත හදා ගතේ බැසිල් එක්ක ඡන්දෙට ගිහින් දිනන ආණ්ඩුවේ තමන්ට රිමෝට් එක නැති වෙයි කියන බයටය. මෛත්‍රී වැනි දුර්වල අයෙක් නටවා තම පක්ෂවලට මන්ත්‍රී ධූර,අගමැති ධූර බෙදා ගත හැකි වනු ඇතැයි ඔවුන් ගණන් බලන්න ඇත.

මෛත්‍රීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව දිනන්න බැහැ යන මතය ඔවුන් සමාජ ගත කළේ ඒ සඳහාය. බැසිල් කීවේ පොදු ජන පෙරමුණට ඡන්දය දිනන්න මහින්ද කියන නම විතරක් ඇති කියාය. බැසිල්වාදීන් කියන්නේ මෛත්‍රී පුංචි ඡන්දයේ දී ගත් 12% තුළ බහුතරය මහින්ද විරෝධී ඡන්ද කියාය. එතැන මහින්ද විරෝධී බණ්ඩාරනායකවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද සහ යූ.ඇන්.පී ආණ්ඩුව ගැන කලකිරුණු මධ්‍යස්ථ යූඇන්පී ඡන්ද මිස යුඇන්පී විරෝධී ඡන්ද නැතිය යන්න ඔවුන්ගේ මතයය.

එහි ඇත්තක් තිබේ. හේතුව මෛත්‍රී ඒ ඡන්දයේදී රනිල්ටත් වඩා ගැහුවේ මහින්දට ය. ඔක්තෝබර් 26 අගමැති මාරුවේදී ඒ දී ඡන්ද බොහොමයක් යළි එක්සත් ජාතික පක්ෂයට එක් වෙන්න තියන ඉඩකඩ වැඩිය. හේතුව 2015 සිට 2018 පෙබරවාරි දක්වා මෛත්‍රී පමණක් නොව ඔවුන්ගේ අනුගාමිකයන් වූ එස්.බි., මහින්ද අමරවීර, දුමින්ද , දයාසිරි, ලක්ෂ්මන් යාපා මේ හැමෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා ලෙස පෙන්වූයේ මහින්දව ය.

ඔවුන් මැයි රැළිවලට සෙනග ගෙනාවේ පුංචි ඡන්දයේදී රැස්වීමට සෙනග අද්දවා ගත්තේ අංක එකට මහින්දට ගහලාය. අංක දෙකට රනිල්ට ගහලාය. ඔවුහූ කීවේ පොහොට්ටුව කියන්නේ කුණු පක්ෂයක් කියාය. කුණු කානුවට වැටෙන පක්ෂයක් කියාය.

"අද ජි.එල් පීරිස්, පොහොට්ටුවේ සභාපති බැදුම්කර වාර්තාව ගැන මැතිවරණ වේදිකාවල රස කර කර කියනවා. ඒත් එතුමා කියන්නේ නැහැ 2008 ඉඳල මේ බැඳුම්කර වංචාව වුණා කියල. ඒක වාර්තාවේ තියෙනවා.."

මේ මෛත්‍රී පුංචි ඡන්දයේදී කී කතාවය. මෛත්‍රීට 12%ක් ලැබුණේ මහින්දට කෙළින්ම හොරා කියලා රනිල්ට වටෙන් හොරා කී නිසාය.

"ඉතින් මෛත්‍රී ආවා කියලා ඒ ඡන්ද පොහොට්ටුවට එයිද..? "

එන්නේ නැත. මෛත්‍රීගේ ජනාධිපති බලය මිසක් මෛත්‍රීගෙන් පොදු ජන පෙරමුණට හිමි වන දෙයක් නැතැයි බැසිල්වාදීන් කියන්නේ ඒ නිසාය. අද මෛත්‍රීත් ඉන්නේ විමල්ලා , ගම්මන්පිලලා, වාසුලා ඉන්න තැනය. ඔහුත් බලන්නේ විමල්ලා, ගම්මන්පිලලා, වාසුලා වගේ මහින්දගේ පොහොට්ටුවෙන් ගොඩ යන්නටය.

අය-වැයට පක්ෂව ඡන්දය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඔහු පොහොට්ටුවට සත්තමක් දාලා පෙන්නුවේ අය-වැය පරද්දන්න ඕන නම් මා ළඟට වරෙල්ලා කියන පණිවුඩය දෙන්නටය.

"බැසිල් සාකච්ඡා පටන් ගමු කිවේ ඒ සත්තමට බය වෙලාද..?

මෛත්‍රී අය-වැය පරාජය කරන්න එපා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන්ට කිවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී බහුතරයක් අය-වැය පරදා ඡන්දයට යන්න ලැහැස්ති නැති බව දැන ගෙනය. මෛත්‍රී අය-වැයට විරුද්ධ වන්න තීරණය කළා නම් මෛත්‍රීට ඉතිරි වන්නේ එස් බි, දයාසිරි,තිලංග, ඩිලාන් වැනි පොහොට්ටුව එක්ක යන්න ඕනෑ යැයි කියන කීප දෙනා පමණි.

එක් අතකින් තමාගේ වැය ශීර්ෂය සම්මත කර ගන්නා අතරතුර තමන් සතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී බලය දුර්වල නොකර ගන්න මෛත්‍රිට අවශ්‍ය විය. හැබැයි ඔහු පොහොට්ටුවට පෙන්වන්නේ උඹලා එහෙම නම් මමත් එහෙමයි කියාය.

මෛත්‍රීගේ භාෂාව අන්කාටත් වඩා හොඳින් දන්නේ බැසිල් ය. මෙච්චර කල් බැසිල් මෛත්‍රිව තම පිටට නංවා ගත්තේ නැත. දැන් මෛත්‍රී ඉන්නේ බැසිල්ගේ පිටේය.

" කොටි රාළහාමි කුමාරිකාව පිටේ අරන් රවුමක් ගිය කතාව මට මතක් වුණා."

සුගතපාල ද සිල්වාගේ "හිට්ලර් එල්ලා මරයි" කියන පොතේ තියෙන මේ කතාව මතක් වෙන්නේ බැසිල්ගේ මාධ්‍ය සාකච්ඡාව අකුරෙන් අකුර කියවන කොට ය.

"මව්රට"

-ගුරුදා විග්‍රහය"