Thursday 22nd of August 2019

English Tamil


එජාපෙට මරු කැඳවන දේශපාලන පිළිල ගැන රවී කළ හෙළිදරව්ව මෙන්න..!


2019-01-06 1156

ශ්‍රීලනිපය විනාශ කළ  චන්ද්‍රිකා කුමාරතුංග එජාපයත් විනාශ කරනවා..!

මලික් සමරවික්‍රම -මංගල සමරවීර ඊට උල්පන්දම් දෙනවා..!

නායකයා වටා සිටින කේවට්ටයින් එජාපෙ රකින්නන් එලවන්න හදනවා..!

 ප්‍රධානතම කේවට්ටයා මලික් සමරවික්‍රමයි ..!

සමහරුන් දේශපාලනය කරන්නේ තාත්තලාගේ පින්තූරවලට  මුවා වෙලා ..!

ජාතික ලැයිස්තුවෙන් ආ යට ඇමැතිකම්  කුමකටද..?

කිසිදු හැකියාවක් නොමැති අයත් කැබිනෙට්ටුවේ..!

එජාපෙ උඩ  සිට පහළටම  ශුද්ධ කළ යුතුයි..!

පසු පෙළට අසාධාරණකම්  සිදු වුණා ..!

කෝකියකුගේ  වැඩේ මෝස්‌තර කාරයෙක්ට  කළ හැකිද..? 

අවසන් පැය  දක්වාම මුදල් ඇමැතිකම මට දෙනවා කිව්වා ..!

කතානායකගේ මෙහෙවර අවසන් නැහැ..!

ප්‍රශ්නය - අගමැතිකම නැති වුණු වෙලාවේ රනිල් වික්‍රමසිංහ ඔබට ලිඛිතව පොරොන්දු වුණා මුදල් ඇමතිකම දෙනවා කියලා  ඒ මුදල් ඇමැතිකම කෝ ..?

පිළිතුර- පළමුවෙන්ම ඔබ සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා  කරනවා. 2019 වසර තුළ  2018 දී තිබුණ දේශපාලන කුමන්ත්‍රණ හා කුහකකම් නැති වේවා කියලා මම ප්‍රාර්ථනා  කරනවා.

ඊළඟට ඔබේ ප්‍රශ්නයට අවොත් එවැනි තත්ත්වයක්  තිබුණ එක ඇත්ත. මම පක්ෂ අභ්‍යන්තරයේ දේවල් ප්‍රසිද්ධියේ කතා නොකරන කෙනෙක්. නමුත් ඔය ඔබ කියන කාරණය අපේ අගමැතිතුමන්, රිෂාඩ් බදුර්දීන්,රාවුෆ් හකීම්, මනෝගනේෂන්,පී.දිගම්බරන්,රාධා ක්‍රිෂ්ණන් ඇතුළු අපේ පක්ෂයේ ඔක්කොම අය ඉදිරිපිට එහෙම පොරොන්දුවක් වුණා. නමුත් කියන්න කණගාටුයි. ඒ පොරොන්දුව ඉටු වුණේ  නැහැ.

ප්‍රශ්නය - ඒ ඇයි ..? ඒකට  විශේෂ හේතුවක් තියනවාද ..?

අපේ පක්ෂයේ තුන් හතර දෙනෙක් ඉන්නවා . ඒ තුන් හතර දෙනාගේ කුමන්ත්‍රණ නිසා පක්ෂයේ දක්ෂයන්ට නිසි අවස්ථාව ලැබෙන්නේ නැහැ. මට වුණෙත්  ඒකම  තමයි.

ප්‍රශ්නය- ඔබ කියන්නේ පහු ගිය කාලයේ වෙච්ච දේවල්වලින් පක්ෂයේ නයකයයෝ පාඩම් ඉගෙන ගෙන නෑ  කියලද..?

පිළිතුර- පක්ෂ නායකයෝ නෙවෙයි ළඟ ඉන්නවනේ කේවට්ටයෝ මේ කේවට්ටයෝ තමයි පක්ෂය විනාශ කරන්නේ හුළඟ හමන අතට ගිහිල්ලා ඉස්සරහ හිට ගෙන ඉන්නවා ඒ කේවට්ටයන් අතර මුලික චරිතයක් මේ මොහොතේ  මම හෙළි කරනවා. ඒ තමයි මලික් සමරවික්‍රම. ඔහු එක්  අයෙකු විතරයි.

ප්‍රශ්නය- ඔබ හා ඇමැති  මලික් සමරවික්‍රම  අතර තිබෙන ගැටුම කුමක්ද..?

පිළිතුර- ගැටුමක් නැහැ. දක්ෂතාවයට අවස්ථා දෙන්නේ නැති හැම එකටම  පැනලා මේකේ ඔක්කොම තමන්ට ඕනෑ  විදිහට හසුරුවන්න ගමනක් තමයි තියෙන්නේ. මේක  තමයි අපේ පක්ෂයට තියන ලොකුම ප්‍රශ්නය. මම මෙච්චර දවසක් නම්, ගම්  කිව්වේ නැහැ. නමුත් මට මේ වෙච්ච අසාධාරණයෙන් පස්සේ මම තව දුරටත් නිහඩව හිටියොත්, පක්ෂයටත් රටටත් කරන ලොකුම අපරාධයක්.

ප්‍රශ්නය- ඔබ කියන්නේ ඔබට මුදල් ඇමැතිකම නොදීමේ ප්‍රධාන සාධකය ඇමැති මලික් සමරවික්‍රම  කියාද ..?

පිළිතුර - ඊර්ෂ්යාව  හා දුෂණය නතර කරන්න කටයුතු කරන නිසා තමයි මට මෙහෙම කරන්නේ. මම ඕවා හේතු සාධක සහිතව ඉදිරියේදී ඔප්පු කරනවා.

ප්‍රශ්නය- ඇමැති  මලික්  සමරවික්‍රම විතරද  ඔබට මුදල් ඇමැතිකම දෙනවට විරුද්ධ වුණේ..?

පිළිතුර -නෑ... තව තුන් දෙනෙක් හිටියා. මේ තුන්දෙනා රටට කරන අපරාධය ගැන මගේ ඇස්වලට  කඳුළු එන එක විතරයි වෙන්නේ. අපි අමාරුවෙන් ආපු  ගමන මේ අය  විනාශ කරනවා.

ප්‍රශ්නය- ඔබ ලෝකයේම  හොඳම මුදල් ඇමැති  ලෙස සම්මානයට පාත්‍ර  වුණා නේද..?

පිළිතුර- අනිවාර්යයෙන්ම.. ඕවා මේ සල්ලිවලට හරි වෙනත් දෙයකින් හරි ගන්න බැරි දේවල්. එහෙම සම්මානයට පාත්‍ර  වුණේ  කඩා වැටිච්ච ආර්ථිකයක,අයාලේ ගිය ආර්ථිකයක්, ණය  කන්දකට යට කරපු ආර්ථිකයක් මම හරි මාර්ගයට අර ගෙන කෙලින් කරපු නිසයි. මේවා දෙවියෝ බලා ගන්න ඕනෑ  කියලයි මම කියන්නේ.

ප්‍රශ්නය- බහුතරය නැති මහින්ද රාජපක්ෂට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන අගමැතිකම දුන්නේ ඔබ දහයක් දොළහක් අරගෙන ඒ පැත්තට එනවා කියලා පොරොන්දු වෙච්ච නිසයි. එහෙම නේද..?

පිළිතුර- කියන්නා කෙසේ කීවත්  අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයිනේ... එහෙම දේවල් කරනවා නම් මීට වඩා දේවලුත් කරන්න පුළුවන්නේ. අපේම පක්ෂයේ දෙතුන් දෙනෙක් තමයි ඔය විදිහට අවලාද ගොතන්නේ. අපිට තනියෙන් කකුල් දෙකෙන් හිටගන්න පුළුවන්. සමහරු ඉන්නේ තාත්තගේ පින්තූරයට  මුවා වෙලා. ඔය වගේ චරිත නොවෙයි රටටත් විපක්ෂයටත් අවශ්‍ය වෙන්නේ. මේක මේ එක ජාතියකට, කුලයකට අයිති පක්ෂයක් නොවෙයි. මේක තමයි මේ රටට සෞභාග්‍යය  උදාකරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස දිනා දෙන්න පුළුවන් එකම පක්ෂයත් දක්ෂයෝ එකතුවෙලා සමගිව වැඩ කරනවා නම් ඒ ජයග්‍රහණ මේ රටට දිනා දෙන්න මේ පක්ෂයට පුළුවන්.

දැන් බලන්න කතානායක කරු ජයසුරිය මැතිතුමා එතුමා ඉතාම ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කියල ඔප්පු කළා. එතුමාගේ මෙහෙවර අමරණීයයි. ඒ වගේම එතුමාගේ මෙහෙවර මෙතනින් ඉවර වෙන්නේ නෑ . අනාගතයේදී තීරණාත්මක දේශපාලන පියවරකට එතුමා අවතීරණය වන බව තමයි දෙස් විදෙස් දේශපාලන විචාරකයන් කියන්නේ. පක්ෂයත් පක්ෂයේ ඒ හැකියාවත් අපි දිවි හිමියෙන්  රකින්න ඕනෑ. ඒ නිසයි මේ පක්ෂයේ දේශපාලනය උරුමයකින් ලැබෙන දෙයක්වත් පියාගෙන් ලැබෙන දෙයක්වත් අම්මගෙන් ලැබෙන දෙයක්වත් නොවෙන්නේ. දක්ෂතාවයෙන් තමයි මේ පක්ෂයේ ඉදිරියට යා යුත්තේ.

ප්‍රශ්නය- මන්ත්‍රී හේෂා විතානගේ කියනවා ඇමැති  මලික් සමරවික්‍රමගේ අමාත්‍යංශයේ වැය  ශිර්ෂයට ඡන්දය නොදී සිටීමට මන්ත්‍රීවරුන් දහඅට දෙනෙක් පෙළ ගැසී සිටිනවා කියලා. ඒ කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඔබද..?

පිළිතුර- ඒ දක්ෂ තරුණ මන්ත්‍රීවරුන්ගේ හඬ නිවැරදිව තේරුම් ගත යුතුයි. එතන දහඅට දෙනෙක් නොවෙයි විශාල පිරිසක් ඉන්නවා. නමුත් ඒ දක්ෂ තරුණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකශ ගැන මට මොකුත් කියන්න බැහැ . නමුත් මට කියන්න තියෙන්නේ ඒ දක්ෂ තරුණ පසු පෙළ මන්ත්‍රීවරුන්ට අසාධාරණකම් ගණනාවක් වුණා. බලයේ ඉන්න කොට එක විදිහකටත් බලය නැති වුණාම තව විදිහකටත් සලකන එක ගැනයි ඒ අය  කතා කරන්නේ.

ඕනෑම වැඩක  මනුෂ්‍ය ස්වරුපයක් තියෙන්න ඕනෑ . ඒවා නැති අය තමයි අද ඔය ඇමැතිකම් දරන්නේ. කිසිම හැකියාවක් නැති අයත් කැබිනට් එකේ ඉන්නවා. මෙහෙම කිවුවමත් මට පෙරළා දෝෂාරෝපණය කරයි. නමුත් මට පුද්ගලයෝ නොවෙයි පක්ෂයයි වැදගත් වෙන්නේ. මම අවුරුදු විසිපහක් තිස්සේ මේ පක්ෂයේ ඉන්නවා. නමුත් දැන් මේ පක්ෂය ඇතුළේ ඉන්නවා ඊයේ පෙරේදා ආපු අය චන්ද්‍රිකා කුමාරතුංගත්  එක්ක ඉදලා ඉදලා වෙන යන්න එන්න තැනක් නැතිව මෙතනට ආපු අයත් ඉන්නවා.

ඒ අය තමයි අද පක්ෂය ගැන කතා කරන්නේ. චන්ද්‍රිකා කුමාරතුංග කියන්නේ කවුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කරලා අද අපේ පක්ෂයත් විනාශ කරන්න හදන කෙනෙක්. අද ආර්ථිකයට උපදෙස් දෙන්නේ කවුද 2001 දී ඉතිහාසයේ පළමු වරට රටේ ආර්ථිකය ඍණ  කරපු කෙනා. ස්වර්ණවාහිනිය බංකොලොත් කරපු මනෝ තිත්ත වැල්ල, තිලාන් විජේසිංහ වගේම ඉන්ද්‍රජිත්  කුමරස්වාමිලා තමයි අද ආර්ථිකය ගොඩ ගන්න ඇවිත් ඉන්නේ.

මේ මහා බැංකුවේ තව හොල්මන් ඉන්නවා අපි ඉන්න කාලයේ රුපියල වේගයෙන් අවප්‍රමාණය කළා. හැබැයි අර්බුදකාරී දවස් 50 යේදී  රුපියල ශක්තිමත් කළා. දැන් ආපහු අවප්‍රමාණය  වෙන්න පටන් අරගෙන. අපි මේවා කතා කරන්න අවශ්‍යයි. අවුරුදු දහයක් පිට ගිහිල්ල ඉදලා ඇවිත් පක්ෂයේ උරුමයක් ගැන කතා කරන අයත් ඉන්නවා. මොකක්ද මේ..? මේ පක්ෂය අම්බලමක්ද..? මම විවෘතව මේ ගැන කතාකරන්නේ ඒ අය  මට විරුද්ධව බොරු අවලාද හැම තැනම කියව කියවා යන නිසයි. මට අවශ්‍ය වෙන්නේ මේ පක්ෂය ඉදිරියට ගෙන යන්නයි. නමුත් අද නායකයට ඍජු තීරණ ගන්න බැරි කරලා. වෙනත් පැතිවලට ඇද ගෙන යන්න හදනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අනාථයන්ට නවාතැන්දීලා ඒ අයගේ අතට සුක්කානම අර ගන්න ඉඩ දිය යුතු පක්ෂයක් නොවෙයි.

ප්‍රශ්නය- නමුත් අවසානයේ සිද්ධ වෙලා  තියෙන්නේ ඒකම  නේද..?

පිළිතුර- ඒක  තමයි මම මේ කියන්නේ මේ පක්ෂයට තියෙන්නේ සමගි සම්පන්න ගමනක්. කවුරු හරි තනියෙන්න කරන්න පුළුවන් කියලා හිතනවානම් ඒක ලෝක විහිළුවක්. සමගියෙන් වැඩ කරන්න නම් එකට ඉන්න ඕනෑ. එකට හිතන්න පුළුවන් පිරිස් එකතු විය යුතුයි. රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ තියෙන ලොකුම ගුණාංගය තමයි සියලුම සුළු ජාතික පක්ෂ එකට තබා ගැනීමේ දක්ෂතාවය. හැබැයි සුළු ජාතිය එකතු වෙලා මහා ජාතිය නැති කර ගැනීම නොවෙයි විය යුත්තේ. රිෂාඩ් බදුර්දීන්,රාවුෆ් හකීම්,මනෝ ගනේෂන්,පී.දිගම්බරන්,රාධා ක්‍රිෂ්ණන් මේ නායකයන් ඔක්කොම අපේ පක්ෂයට අපේ ගමනට විශාල ශක්තියක්. අවශ්‍ය වෙන්නේ මේ ශක්තිය අපේ පක්ෂයේ ගමනටත් ඔවුන්ගේ අභිවෘද්ධියටත් ගැලපෙන පරිදි නිසි ලෙස හැඩ ගස්වා ගැනීමයි.

ප්‍රශ්නය- ඔබ කියන්නේ එහෙම වෙලා නැහැ කියලද..?

පිළිතුර- ඔව්.. සමහර තැන්වල අපි නිකම් බද්දට දීලා තියනවා. ඒවා තමයි නිවැරදි කර ගත යුතුව තිබෙන්නේ.

ප්‍රශ්නය- මේ සියල්ලෙන්ම අවසානයේ ප්‍රශ්න කෙරෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය නේද..?

පිළිතුර- එතුමා හොඳ නායකයෙක්. එතුමාගේ වටේ ඉන්න කේවට්ටයෝ තමයි ඔක්කොම කරන්නේ ඒ කේවට්ටයෝ තමන්ට ඕනෑ  කරන දේ කර ගන්නවා. රනිල් වික්‍රමසිංහ නයකතුමාව "රිමෝට්" එකකින් හසුරුවනවා. ඒක  දුකයි. නමුත් වෙන්නේ ඒක  තමයි. එහෙම නැතිනම් එතුමා ඉතාමත් හොඳ නායකයෙක්.

හැබැයි අර කේවට්ටයෝ තුන් හතර දෙනා එකතු වුණාම න්‍යෂ්ටික බෝම්බයක් පිපිරෙව්වා වගේ වෙනවා. ඒක  තමයි අපේ පසු පෙළ මන්ත්‍රීවරුන් කතා කරන්නේ. බර ඇදලා පක්ෂය ඉදිරියට අරගෙන ඇවිත් ජයග්‍රහණය කෙරෙව්වම හැසිරෙන්නේ වෙන විදිහකට. වේදිකාව හදා ගන්න අපි හොදයි. හැබැයි අපි හදපු වේදිකාවේ නටන්නේ  තවත් කෙනෙක්. අපි පොල් පැලේ  හිට වනවා පොහොර දාලා ගහත් හදනවා. අස්වැන්නත්  ආරක්ෂා කරනවා. හැබැයි අස්වැන්න නෙළන්න  යනකොට වෙන කට්ටියක් ඒක කඩා ගෙන යනවා. විලිලැජ්ජාවක් නැතිව මේ කේවට්ටයෝ හැමදාම ඒක කරනවා.

ප්‍රශ්නය- ඔබ සිටින්නේ කලකිරීමෙන්ද..?

පිළිතුර - අනිවාර්යයෙන්ම මම ඉන්නේ කලකිරීමෙන්. මම කලකිරිලා ඉන්නේ මගේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීම නිසයි.

ප්‍රශ්නය- ඔබ ඒකට  ඉඩ දෙනවාද ..?

පිළිතුර - කිසිසේත්ම ඒකට  ඉඩ දෙන්නේ නැහැ. අපිව මේ අය  එහාට ,මෙහාට යවන්න හදනවා. නමුත් කවුරුත් නැති වෙලාවේ කවුරුත් කර අරින වෙලාවේ පක්ෂය රැක  ගත්තොත් රැකගන්නේත් මේ රවී කරුණානායක කියලා කවුරුත් දන්නවා. එහෙමනම් කාවද මේ පන්නන හදන්නේ. අපේ පක්ෂය විනාශ කරන පිල්ලි ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරපු චන්ද්‍රිකා කුමාරතුංග අපේ පක්ෂයත් විනාශ කරන්න හදනවා. ඇය අනුන්ට හොරා හොරා කිය කියා යනවා. එහෙත් බලය අයුතු ලෙස පාවිච්චි කරලා ඉඩම් පරිහරණය කළා කියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇය වැරදිකාරියක් බවට තීන්දු කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතරට පැනලා ඒ නායකයන් දෙදෙනා භේද බින්න කරන්නේ ඇයයි. මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර වැනි අය ඒවාට උල්පන්දම් දෙනවා. ඒ ගොල්ලෝ  කරන්නේ වෙන කොන්ත්‍රාත් එකක්.

ප්‍රශ්නය- ඔබට දේශපාලන තීන්දුවක් ගන්න පුළුවන් නේද..?

පිළිතුර- හැබැයි හොටු ගෑනි  දීලා කැහි ගනියක් ගන්න බැහැනේ ... අන්න එහෙම තත්වයක් තමයි තියෙන්නේ මම මේ පක්ෂය ඇත හැරලා යන්නේ නැහැ. මේ පක්ෂය හරිම ශක්තිමත් පක්ෂයක්. එකෙක් රජ කරවන පක්ෂයක් නොවෙයි. හැම කෙනාම රජ කරවන පක්ෂයක්. නමුත් ඍජු තීන්දු ගන්නේ නැති නිසා එක එක අය  මේ පක්ෂය එක එක පැත්තට ඇද  ගෙන යන්න හදනවා.

ප්‍රශ්නය- මේ ආණ්ඩුවේ මංගල කැබිනට් රැස්වීමේදී මුදල් ඇමැති  මංගල  සමරවීර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඔබ තදබල ලෙස විරුද්ධ වුනේ ඔබ කියන මේ පදනමින්ද..?

පිළිතුර- නෑ ..මගේ වගකීම මේ රටේ ජනතාව ආරක්ෂා කිරීමයි.කිසිම හේතුවක් නැතිව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සල්ලි ගන්න හදනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන්නේ රටේ ජනතාවගේ ඉතිරි කිරීමේ බැංකුවයි. මේක රුපියල් වලින් වැඩ කරන බැංකුවක්. එතකොට ඩොලර් වලින් සල්ලි ඇද්දම මොන කෙහෙල්මලක්ද බැංකුවට වෙන්නේ.. ඔය වැඩේ මහින්ද රාජපක්ෂ කරද්දී අපි තරයේම විරුද්ධ වුණා. රුපියල් කෝටි  තුන්දහස් එකසියයක් නැති කරපු බැංකුවට ආපහු  ඒකම  කළාම  හරිද..? මම මේක දැනගෙන නිහඩව හිටියොත් මම රටට කරනේ අපරාධයක්. පක්ෂය කියලා ඔහොම දණ ගහ ගෙන දේශපාලනය කරන්න බැහැ. ජනතාව තමයි ප්‍රධාන. අපි හැම තිස්සෙම වේදිකාවල කතා කරන්නේ ජනතාව ආරක්ෂා කරන්නයි. එහෙම කතා කරලා මෙතැන ඇවිල්ලා මෙහෙම කරන්නේ කොහොමද..?

ප්‍රශ්නය- එසේ නම් විකල්පයක් ඉදිරිපත් කරන්න කියලා කැබිනට් රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ ඔබට කිව්වා නේද..?

පිළිතුර- මම මොකටද විකල්ප ඉදිරිපත් කරන්නේ..? ආර්ථිකයට අදාළව  ඇමැතිකම්  දීලා තියෙන්නේ ඔස්තාර්ලාටනේ.. අපිට ඒ වගකීම් දුන්නා නම් විකල්ප විතරක් නොවෙයි සියල්ල සාර්ථකව කර පෙන්වනවා. අන්තිම පැය  වෙනකම් මට මුදල් ඇමතිකම දෙනවා කිය කියා ඉදලා ඊට පස්සේ නොදී ඉන්න කුමන්ත්‍රණය කරපු අයට  මට වඩා දක්ෂතාවයක් තියෙන්න ඕනෑ නේ...

ප්‍රශ්නය- ඇමැතිකම්  නොලැබුණ  අය  වේදනාවෙන් කෑ  ගහනවා. එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ මේ වගේ තත්ත්වයක්  මීට  පෙර තිබුණේ  නැද්ද..?

පිළිතුර- හැම පක්ෂයකම ප්‍රශ්න තියෙනවා. ඇමැතිධුර  30ක් තියෙන තැනකට 60ක් දාන්න  බැහැනේ... ඉතින් ඒ ප්‍රශ්නය හැමදාම තියෙනවා. නමුත් ඇමැතිකම්  දෙන විදිහක් තියනවා. මුහුණ බලලා හරි ,කේවට්ටයෙක්  වගේ ඉන්නවා කියලා හරි ඇමැතිකම්  දීලා හරියන්නේ නැහැ. පක්ෂයට කැපවෙන ප්‍රමාණය ජෙෂ්ඨත්වය, දැනුම,පළපුරුද්ද සහ හැකියාව බලලා  තමයි ඇමැතිකම්  දිය යුත්තේ. අවුරුදු දහයක් විතර පක්ෂය හැර ගොස් විවිධ තැන්වල ඉදලා මේ ඊයේ පෙරේදා පක්ෂයට ආපු අයටත්  ඇමැතිකම්  දී තිබෙනවා. එක්කෙනෙක්ගේ  බෑග්  උස්සගෙන ගියා කියලා තනතුරු දෙන්න ගියොත් පක්ෂය විනාශ වෙනවා.

ප්‍රශ්නය- මෛත්‍රීපාල සිරිසේන ජනධිපතිවරයා එක්ක ඉදිරියට යන්න පුළුවන් කියලා ඔබ සිතනවාද ..?

පිළිතුර-ඔව්..පුළුවන් හැබැයි අපේ පක්ෂය විනාශ කරන්න ඇවිත් ඉන්න පිල්ලිවලින් මේ සමගිය ආරක්ෂා කර ගන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නෙම නැහැ කිව්වට ඔය දුන්නේ.. ඒ වෙලාවේ එතුමාගේ ඔලුවටම ගහන්න හිතාගෙන තමයි කට්ටිය හිටියේ. හැබැයි දැන් ඒ අය  නැතිව බැහැ වගේ තමයි මේ අය  කතා කරන්නේ. පක්ෂය වෙනුවෙන් සටන් කරලා ජයග්‍රහණ දිනා දීපු අය පැත්තකට විසී කරලා.

ප්‍රශ්නය-නමුත් මෙහෙම ප්‍රශ්න තිබියදී කෙලින් තීරණ ගන්නේ කෙසේද..?

පිළිතුර- යන්න පුළුවන්. සියුම් ප්‍රශ්න තියෙන්නේ.. දැන් බලන්න පහු ගිය කාලයේ මතු වුණ ජනතා බලවේගය. ඒක  මේ පක්ෂයක් වෙනුවෙන් මතු වෙච්ච බලවේගයක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි ඒ බලවේග මතු වුණේ. ඒකට  සියලු දෙනාම ගෞරව කළ  යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අපිත් එක්ක හිටපු පක්ෂයක් නොවෙයිනේ.. දෙමල ජාතික සන්ධානයත් එහෙමයි.. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔවුන් සියලු දෙනා එකට අත් වැල්  බැඳ ගත්තා. අපි ඒකට  ගරු කළ  යුතුයි. එහෙම ගරු කරන්නේ නැතිව අපි තමයි ඔක්කොම කළේ  කියලා හිතනවානම් ඒක  තමයි ලොකුම ප්‍රශ්නය.

ප්‍රශ්නය- ඇමැතිකම්  නොලැබීම හේතුවෙන් කලකිරුන මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ කඳවුරට හේත්තු වෙයිද..?

පිළිතුර- එහෙම නම් ඉතින් කවදාවත් ආණ්ඩුවක්  කරන්න බැහැ  නේ.. මෙතැනදී බලන්න ඕනෑ  පක්ෂය ඇතුළේ  අසාධාරණකම්  වෙලා තියෙන්නේ කවුරුන්ටද කියලා. මන්ත්‍රීවරුන් දෙසීයක් හිටියොත් ඒ දෙසියටම කැබිනට් එකට යන්න බැහැනේ..නමුත් මේ වැඩේ හරියට කරන්න පුළුවන්. ජාතික ලයිස්තුවෙන්  ආ අයට ඇමැතිකම්  මොකටද..?

ප්‍රශ්නය- තමාට කැබිනට් ඇමැතිකම්  අවශ්‍ය නැහැ කියා මලික් සමරවික්‍රම කිව්වා නේද..?

පිළිතුර -   එහෙම නම් ඔය යස අගේට ගත්තේ.. මගේ අත  අල්ලලා මිරිකලා ඔයාට අහවල් ඇමැතිකම  දෙනවා කියා කියපු අය  තමයි ඔය. මම කිව්වා මට විශ්වාස නැහැ කියලා. ඒ වෙලාවේ කිව්වා නැහැ විශ්වාස කරන්න කියලා. මම ඒකයි  නම් ගම්  එක්ක කියන්නේ තව ඒවා තියනවා. ඒවා දැන ගත්තොත් ඔබටත් මහ හිරිකිතයක් දැනේවි. ඔය එකට එකතු වෙන්නේ එක විදිහට හිතන පතන හැසිරෙන කට්ටියක්. මේ අය  තමයි විවිධ දුෂණ කරළා  ඒ ඔක්කොම අනිත් අයගේ නමට බැර  කරන්නේ. ඒක  නිසා මේ පක්ෂය ඉහළ  සිට පහළටම  සුද්ද කළ  යුතුයි.

ප්‍රශ්නය- ඔබ මේ කියන්නේ බැඳුම්කර ගනු දෙනුව ගැන නේද..?

පිළිතුර- ඔව් මගේ චරිතය ඝාතනය කළා. මම එදත් කිව්වේ මහා බැංකුව මගේ යටතේ නොවෙයි තිබුණේ. මම දන්නෙත් නැහැ. එත් ඒ අය  දැන  දැනම මගේ නම ගෑව්වා. ජනධිපතිතුමාගේ නමත් ඒකට  ගෑව්වා. මට ශක්තිය තියනවා තනියෙන් හිට ගන්න. මට ඇමැතිකම්  ලොකු නැහැ. මට ලොකු ජනතාවයි. පෙබරවාරි මාසයේ 10 වෙනිදා උතුරු කොළඹින් රටට දුන්න එකම පණිවුඩය තමයි තනතුරු වැඩක් නැහැ  මිනිස්සු එක්කයි ඉන්න ඕනේ කියන එක.මම උතුරු කොළඹින් ඒක  ඔප්පු කළා.

ඒ ජනතාවට මම ණය ගැතියි. මම මගේ හිස නමා ඔවුන්ට ආචාර කරනවා. රටේ ඕනෑම කෙනෙක් දන්නවා බෙල්ල කඩා ගෙන පක්ෂය ආරක්ෂා කරන්නේ මේ රවී කරුණානායක කියලා. හැම වෙලාවේම මම මගේ මන්ත්‍රීවරුන්ට කියලා තියෙන්නේ සමගි වුණොත්  ජයග්‍රහණය කරන්න පුළුවන් කියලයි.

මට මතකයි මම ඇමැතිකමෙන්  ඉල්ලා අස්  වුණ  වෙලාවේ මම මන්ත්‍රීවරුන් ගෙනිච්චා තංගල්ලට එකමුතුභාවය හදන්න. ඒකට  ඔය අපේ පක්ෂයේ ඉන්න පිංගුත්තර කල්ලියක් කිව්වා මම පක්ෂය ඇතුළේ  ප්‍රශ්න ඇති කරන්න හදනවා කියලා. ඇමැතිකමෙන්  ඉල්ලා අස්වුණ  මට එහෙම කරන්න පුළුවන්ද ..?

හැබැයි ඔක්තෝබර් 26 වැනිදා ආණ්ඩුව නැති වෙච්ච වෙලාවේ ඇවිල්ලා කියනවා අනේ එන්න අපි සමගි වෙලා ආණ්ඩුව ආරක්ෂා කරමු කියලා මේ පළමු වැනි අවස්ථාව නොවෙයි පහළොස් වැනි අවස්ථාව. ඉතින් හිත රිදෙන්නේ  නැද්ද..? අපිව  එළවන්න හදනවා.

ප්‍රශ්නය- නමුත් ඔබ එජාපයෙන් යන්නෙත් නැහැ නේද..?

පිළිතුර- ඔව් ..යන්නෙත් නැහැ ඔය පිංගුත්තර කල්ලියට යන්න වෙන්නේ කොහෙද කියන එකයි ප්‍රශ්නය. බලන්න මට මේ දීලා තියන අමාත්‍යාංශය. මම හිටපු තැනින් දාලා තියෙන්නේ කොහෙටද..? ලැබෙන ඕනෑම අභියෝගයක් මම භාර ගන්නවා. ඒක  හරි... නමුත් ප්‍රශ්නය ඒක  නොවෙයි. මේවා මෙහෙම වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නය. අනික් අයට  මෙහෙම ඍජුව  කතාකරන්න ශක්තියක් නැහැ. ඒ ශක්තිය නැති අයටත්  රැකවරණය දෙන්නයි මම මෙහෙම කතා කරන්නේ..

ප්‍රශ්නය- එජාප නායක රනිල් වික්‍රමසිංහ එක්ක ඔබ මේ කරුණු කාරණා  ගැන ඍජුවම කතා කළේ  නැද්ද..?

පිළිතුර - එතුමා එක්ක කතා කරපු ඒවා මම මාධ්‍යට කියන්නේ නැහැ. කතා කරපු ඒවා අපි දෙන්නා දන්නවා. එතුමාගේ හදවත දන්නවා අපි කතා කරපු ඒවා.

ප්‍රශ්නය-නමුත් ඔබට සාධාරණය  ඉටුවෙන්නේත්  නැහැ නේද..?

පිළිතුර - ඒ අයගේ උත්තර නොලැබෙන්නේ නම් මට දෙවියන්ගෙන්  මනුෂ්‍යයන්ගෙන් උත්තර ලැබේවි. කෝකියකුට  කරන්න පුළුවන් දේ මෝස්‌තර නිරූපණ ශිල්පියකුට කරන්න බැහැ  කියන එක ඉතාම සහතිකයි.

ඉරිදා ලංකාදීප

-ප්‍රසන්න සංජිව තෙන්නකෝන්-