Thursday 22nd of August 2019

English Tamil


රෝහල් ගත නොවන ඩෙංගු රෝගීන්ට උපදෙස්..!


2018-11-23 1364

ඩෙංගු හඳුනා ගනිමු අවසන් කරමු..!

නිරන්තරයෙන් මේ කරුණු ගැන සැලකිලිමත් වෙමු..!

පසුගිය කාලේ ඩෙංගු රෝගීන්ගේ දැවැන්ත වර්ධනයත් සමග රෝහල් පිරී ඉතිරි ගියා. වෙනදා වාගේ සාමාන්‍ය උණ ගැනීමකට ලක් වුණ අයෙක් පවා වහාම රෝහල් ගත වුණා. මේ තත්ත්වය තුළ රෝහල්වල සීමිත ඉඩකඩ නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වුණා. ඒ වගේම  ඕනෑම රෝගියෙක් රෝහල් ගත කළ වහාම ඔහුගේ හෝ ඇයගේ සමීපතමයිනුත් දැඩි පීඩාවකට පත් වෙනවා. නිතර නිතර රෝගියා බැලීමට යාමට සිදුවීම ආර්ථික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද දැඩි පීඩනයක්. මේ තත්ත්වය හමුවේ ඉතාම වැදගත් යෝජනාවක් සෞඛ්‍ය අංශ වෙතින් ඉදිරිපත් වුණා. ඒ  අසාධ්‍ය නොවන ඩෙංගු රෝගීන් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින්, රැකබලා ගනිමින් නිවසේ ම රඳවා ගෙන ඔවුන්ට විවේකීව සිටීමට අවස්ථාව ලබා දෙන මෙන් ඉල්ලා සිටීමයි. ඒ අනුව නිවසේ විවේකීය රැඳී සිටිමින් වෛද්‍ය උපදෙස් අනුව ක‍්‍රියා කරන ඩෙංගු රෝගීන් විසින් පිළිපැදිය යුතු උපදෙස් පත‍්‍රිකාවක් පසුගිය දා සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබුණා.

තාවකාලිකව රෝහල්වලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගීන්

සඳහා උපදෙස්

  • ඩෙංගු ප‍්‍රතිදේහජනක (NSI) පරීක්ෂණයෙන් ඔබට ඩෙංගු රෝගය වැලඳී ඇති බව තහවුරු වූ පමණින් රෝහල් ගත වීම අත්‍යවශ්‍ය නොවේ.

  • එමෙන්ම මෙම පරීක්ෂණයෙන් ඩෙංගු රෝගය වැළඳී නොමැති බව පැවසුන ද ඔබට ඩෙංගු රෝගය වැලඳී තිබිය හැකිය.

  • නිවසේ සිටම රෝගය කළමනාකරණය කිරීම  සෑම විටම සුදුසුකම් ලත්  වෛද්‍යවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ සිදු කරන්න.

  • දිනපතා සිදුකරන සම්පූර්ණ රුධිර පරීක්ෂාවේ රුධිර පට්ටිකා ප‍්‍රමාණය මත රෝහල් ගතවීම තීරණය වේ.

  • ඔබ රෝගී වූ මුල් අවස්ථාව ඔබට ඉතා පහසු වන පරිදි නිවසේ සිටම කළමනාකරණය කර ගැනීම සඳහා පහත සඳහන් උපදෙස් පිළිපදින්න.

  1. විවේකය

රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම අඩුවන තුරු ඔබ ඉතා හොඳ විවේකයෙන්,ගමන් බිමන්වලින් තොරව නිවසට ම වී සිටීම ඉතාම වැදගත්ය. නිවසින් බැහැරව රාජකාරී,පාසල්, ක‍්‍රීඩා හෝ පෞද්ගලික පන්තිවලට යාම නොකළ යුතුයි.

  1. උණ පාලනය

උණ පාලනය සඳහා පහත සඳහන් උපදෙස් පිළිපඳින්න. මේ සඳහා පැරසිටමෝල් පමණක් භාවිත කළ යුතුයි.

  • කිසිම හේතුවක් නිසා හෝ NSAID වර්ගයේ වේදනා නාශක, ඉබ්යුප්‍රොෆන්,ඩයික්ලොෆිනැක්, සෝඩියම්, මෙෆනිමික් ඇසිඞ්, සෙලෙකොක්සිබ් වැනි ඖෂධ වර්ග නොගත යුතුයි.

  • තවද,ස්ට්රොයිඞ් වර්ගයට අයත් ප්‍රෙඞ්නිසොලෝන්,ඩෙක්සාමොතසොන් වැනි ඖෂධ නොගත යුතුයි. පැරසිටමෝල් මාත්‍රාව ගැන සහ  උණ පාලනයට පිළිබඳව වැඩි දුර උපදෙස් වෛද්‍යවරයා ලබාදෙනු ඇත.

  • උණ පාලනය සඳහා උණු වතුරෙන් තෙමා ගත් පිරිසිදු රෙදිකඩක් වතුර මිරිකා ගෙන ඉවත් කොට උණුසුම යාමට පෙර ශරීරය පිස දැමීම මඟින් උන තත්වය ඉක්මනින් පහව යාමට උදව් කරයි.

  1. සම්පූර්ණ රුධිර පරීක්ෂාව

(FULL BLOOD COUNTER-FBC ) සිදු කළ යුතු ආකාරය

  • ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන ආකාරයට පැය 12කට වරක් හෝ පැය 24කට වරක් රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්න.

  • මෙම රුධිර පරීක්ෂාවේ වාර්තා හැකිතාක් ඉක්මනින් (පැය 2ක් ඇතුළත)  වෛද්‍යවරයාට පෙන්වා උපදෙස් ලබා ගන්න.

  • රුධිර පට්ටිකා ප‍්‍රමාණය 130,000/mm3ට ආසන්නව ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

  • වෛද්‍යවරයා හමුවට පැමිණෙන විට ඔබ විසින් මෑතකදී ලබාගත් සියලූමරුධිර පරීක්ෂණ වාර්තා අනුපිළිවෙළකට සකසා රැගෙන යන්න.

  1. ආහාර

ආහාර රුචිය පවතී නම් සාමාන්‍ය ලෙස සැහැල්ලූ ආහාර ලබා ගන්න. රතු, දුඹුරු පැහැති ආහාර හා පාන ගැනීම මගින් රෝගය නිසා ඇතිවිය හැකි ලේ වහන තත්ත්වය හා වමනය හෝ මළපහ වෙන් කර ගැනීමට අපහසු බැවින් වර්ණ කළ ආහාර පාන නොගැනීම වඩාත් සුදුසුයි.

  1. දියර ප‍්‍රමාණය

ජලය පමණක් නොව පලතුරු යුෂ, තැඹිලි, කැඳ, ජීවනී වැනි ලවණ සහිත දියර පාලනය කිරීම ඉතා වැදගත්ය. සාමාන්‍ය වශයෙන් නීරෝගී දිනවලට සමාන මුත‍්‍රා ප‍්‍රමාණයක් පිටවන තරමට දියර පානය කිරීම සුදුසුය. කෙසේ වෙතත් සමහර රෝගීන් දියර පානය කිරීමට උනන්දු නොවීම නිසා සිදුවිය හැකි හානිය සලකා පහත නිර්දේශ දියර පානය සම්බන්ධයෙන් පිළිපැඳීම සුදුසුය.

  1. ශරීරයේ බර කිලෝ 30-50 දක්වා වන රෝගීන්ට, ශරීරයේ බර කිලෝ වලින් මැන එමෙන් දෙගුණයක දියර මිලි මීටර ප‍්‍රමාණයක් පැයකට පානය කිරීම නිර්දේශිතය.

  2. බර කිලෝ 30ට අඩු රෝගීන් සඳහා මෙම අගය වෙනස් වේ. බර කිලෝ50ට වැඩි රෝගීන් ගත යුතු දියර ප‍්‍රමාණය පැයකට මිලි ලීටර 100ක් වේ.

  3. ඔබ විසින් පැයකදී පානය කළ යුතු දියර ප‍්‍රමාණය වෛද්‍යවරයාගෙන්අසා දැන ගන්න.

  1. දියර මැනීම සඳහා නිසි ලෙස ක‍්‍රමාංකනය කරන ලද කෝප්පයක්භාවිත කරන්න.

ක‍්‍රමාංකිත ජෝගුව/කෝප්පය 200ml/වීදුරුව 300ml

ශරීරයේ බර කිලෝ ග‍්‍රෑම් kg

පැයකදී පානය කළ යුතු දියර ප්‍රමාණය (ml)

5

20

10

40

20

60

30

70

40

80

50

100

50 වැඩි

100 වැඩි

 
  1. මුත‍්‍රා පිටවීම

ශරීරයේ බරට (කිලෝග‍්‍රෑම්වලින්) සමාන මුත‍්‍රා ප‍්‍රමාණයක් (මිලි ලීටරවලින්) පැයකට පිට වන තරමට දියර පානය කළ යුතුය. මෙමගින් විජලනය පාලනය වේ.අවම වශයෙන් පැය 4කට වරක්වත් මුත‍්‍රා පිට කිරීම හා එම පිටවන ප‍්‍රමාණය මැන බැලීම කළ යුතුය.බර අනුව පිටකළ යුතු මුත‍්‍රා ප‍්‍රමාණය සඳහා පහත වගුව බලන්න.

 

රෝගියාගේ බර /

කිලෝග‍්‍රෑම්

පැයකදී පිට කළ යුතු මුත‍්‍රා

ප‍්‍රමාණය / මිලි ලීටර

පැය 4කදී පිටකළ යුතු

මුත‍්‍රා ප‍්‍රමාණය / මිලි ලීටර

20

20

80

40

40

160

60

60

240

 

*       මුත‍්‍රා ප‍්‍රමාණය මීට වඩා මදක් වැඩි වීම ගැටලුවක් නොවේ.

*       මුත‍්‍රා ප‍්‍රමාණය මෙයට වඩා අඩු නම්, මුත‍්‍රා ප‍්‍රමාණය වැඩි වන තෙක් පානය කරන දියර ප‍්‍රමාණය ක‍්‍රමයෙන් වැඩි කළ යුතුය.

*       මීට අමතරව පිපාසය ඇති වන විට වැඩි පුර දියර ප‍්‍රමාණයක් පිපාසය සංසිදෙන තුරු දිනකට 3-4 වතාවක් පානය කිරීමේ වරදක් නැත.

*       එහෙත් පිපාසය දිගටම තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.

*    නිවසේදී පාලනය කළ යුතු දියර ප‍්‍රමාණය හා පිට කළ යුතු මුත‍්‍රා ප‍්‍රමාණය වේලාව සමග සටහන් කර එය වෛද්‍යවරයා හමු වීමට එන අවස්ථාවේදී රැගෙන එන්න. ඒ සඳහා පහත දක්වා ඇති ආකෘති පත‍්‍රය උපයෝගී කොට ගන්න.

දිනය හා

වේලාව

පානය කළ යුතු

දියර ප‍්‍රමාණය/මිලි ලීටර්

දිනය සහ

වේලාව

පිටකළ මුත‍්‍රා

ප‍්‍රමාණය/ මිලි ලීටර්

 
  1. ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු හේතු තත්ත්වයන් මෙසේය.

  2. නොනවත්වා පවතින පාචනය හෝ වමනය (එම නිසා ඇතිවන විජලනය ඇති වීමේ අවදානම)

  3. තද තෙහෙට්ටු ගතිය.

  4. ඕනෑම ස්ථානයකින් රුධිරය වහනය වන තත්ත්වයක්.

  5. තද හිසරදය.

  6. උදරයේ තද වේදනාව.

*    මීට අමතරව අපහසුතාවක් දැනෙන  ඕනෑම අවස්ථාවකදී රෝහලක් වෙත නොපමාව පැමිණීම සුදුසු වේ.

*    වෙනත් රෝගයක් මෙන් නොව ඩෙංගු රෝගයේදී උණ බැසයාම යනු උණ සුව වීම නොවිය හැක.

*    සංකූලතාවයන්ගේ ආරම්භය උණ බැස යාම සමග සිදුවේ.

*    මේ පිළිබඳව සැලකිලිමත් වී අවශ්‍ය අවස්ථාවේදී අප‍්‍රමාදව වෛද්‍යවරයා හමුවන්න.

ඩෙංගු කියන්නේ අපිට හැමදාම අහන්නලැබෙන වචනයක්  ඩෙංගු  වසංගතය මුළු දිවයිනම වෙලා ගනිමින් සිටිනවා පුංචි මදුරුවෙකුට අපි බය වෙලා ඉන්නේ අපේම වරදින් ඒසඳහාඅවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නේ අපිමයි. ඒ නිසා අපිම ඩෙංගු මදුරුවා බෝවීම වහාම නැවැත්විය යුතුයි.ඒ වගේම ඩෙංගු රෝගය වැළඳුන රෝගින්වද ආරක්ෂා කළ යුතුයි.

 ඩෙංගු මදුරුවා ගැන දැන ගනිමු.

  • ඩෙංගු මදුරුවා ජීවත්වන්නේ දින 7-10 ත් අතර ඉතා කෙටි කාලයක්.

  • ඩෙංගු මදුරුවකු වරකට බිත්තර 200-300ක් පමණ ප‍්‍රමාණයක් දමයි. ජීවිත කාලයෙ ්දී 15 වරක් බිත්තර දමයි.

  • පිරිසිදු ජලය ඇති තැනක ජල මට්ටම ඉහළින් බිත්තර අලවයි. බිත්තර පුපුරා කීටයා ජලයට වැටී ජලයේ වර්ධනය වේ.

  • වියළි තත්ත්වයන් යටතේ වූවද ඩෙංගු මදුරුවන්ගේ බිත්තර වසරකට වැඩි කාලයක් ආරක්‍ෂා වේ. ජලය ලැබුණු විගස බිත්තර පුපුරා කීටයා පිටවෙයි.

  • ඩෙංගු මදුරුවෙකුට  මීටර 200 ක පමණ දුරක් පියාඹා යාමේ හැකියාව තිබෙනවා.

  • ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවන් පමණි. ඒ බිත්තර වර්ධනය කරගැනීම සඳහාය. එසේම එක් වරකට කිහිප දෙනෙකුගේ ලේ උරා බොයි.

  • වැඩිහිටි මදුරුවකු පරිසරයට එක්වීම ඩෙංගු ව්‍යාප්තියට ප‍්‍රධාන හේතුවකි.

  • ඩෙංගු මදුරුවන් දෂ්ට කරන වේලාව දවසේ උදය කාලයේ හිරු පායා  පැය කිපයක් යන තෙක් සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙර වැඩිපුර දෂ්ට කිරීම සිදු කරයි.

මදුරුවන් දෂ්ඨ කිරීමෙන් වැළකෙන්නේ කෙසේද

  • අත් පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුමින් සැරසෙන්න.

  • මදුරු දැලක් යට විවේකීව සිටින්න.

  • මදුරු ආලේපන භාවිතා කරන්න.

උදා:- පැඟිරි තෙල් සහ කෘතීම ආලේපන ගැල්වීම

ඩෙංගු වැළක්වීමට ඔබේ පරිසරය පිරිසිදු කර ගත යුතු ආකාරය

  • ඉවතලන ප්ලාස්ටි ,වීදුරු බඳුන්, බෝතල් ටින් ආදිය විනාශ කරන්න, විකුණා මුදල් උපාය ගන්න, වතුර නොරැදෙන සේ තලා දමන්න.

  • ඉවතලන ටයර් වලට වැලි පුරවන්න, සිදුරු කරන්න, ජලය නොරැදෙන සේ ගබඩා කරන්න.

  • ඩෙංගු මදුරුවන්ගේ බිත්තර ඇලෙන සුළු බැවින්, ටැංකි, බැරල්, මල් බඳුන්,ශීතකරණ තැටිය සතියකට වරක් බුරුසුවකින් හොඳින් අතුල්ලා පිරිසිදු කරන්න.

  • වැහිපීලිවල රැඳී ඇති කොළ රොඩු ඉවත් කරන්න, පිරිසිදු කරන්න, පිරිසිදු කළ නොහැකි වැහිපීලි ඉවත් කරන්න

  • ජලය රැඳෙන ශාක ඉවත් කරන්න ඒවා වගා කිරීමෙන් වැළකී සිටින්න.

  • ජලය රැඳිය හැකි උණ පුරුක්, ගස් බෙන වැනි ස්ථාන ජලය නොරැදෙනපරිදි තබා ගැනීමට සැළකිලිමත් වන්න.

 

“ඩෙංගු” රෝග ලක්‍ෂණ

 
  • උදරයේ ඇතිවන තද වේදනාව නොනවත්වා වමනය පැවතීම නිදිමත, නොසන්සුන් බව, අප‍්‍රාණික බව

  • වීදුරුමසෙන්, නහයෙන් ලේ ගැලීම,

  • දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළ පහ වීම.

  • පැය 06කට වඩා වැඩි කාලයක් මුත‍්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍ර ප්‍රමාණය අඩුවීම

උණ ඇති විට කුමක් කළ යුතුද?

  • උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් නිසි ප්‍රමාණයට නිසි වේලාවට ලබා ගැනීම

  • තදින් උණ ඇත්නම් පිරිසිදු රෙදි කඩක්උණුසුම් ජලයෙන් පොඟවා තැවීම සිදු කරන්න

  • හැකි ඉකමනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවන්න.

  • වෛද්‍යවරයෙකුගේ අනුමැතියෙන් තොරව වේදනානාශක භාවිතා නොකරන්න

  • සැහැල්ලූ පෝෂ්‍යදායි ආහාර වේලක ලබා ගන්න.

  • උණ පවතින කාලය තුළදී මදුරුවන්දෂ්ඨ කිරීමෙන් හැකිතාක් ප්‍රවේසම් වන්න.

  • හැකි තරම් විවේකීව සිටින්න.

ඩෙංගු රෝගයේ ගති ස්වාභාවය

ඩෙංගු වෛරස වර්ග හතරක් ඇති බැවින්යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයටකලින් ගොදුරු වී සිටියද යළිත් ඩෙංගු සැදීමේ අවධානමක් පවතී.දෙවැනි වර ඩෙංගු රෝගය වැලඳුණහොත් වඩාත් සංකූලතා ඇතිවිය හැකි බැවින් ඩෙංගු වැලඳුණු අයකු සියල්ලන්ටම වඩා ප‍්‍රවේසම් විය යුතුය.

ඩෙංගු රෝගය තවත් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය පැතිරෙන ආකාරය

ඩෙංගු උණ සෑදී දින හතක් ගතවන තුරු වෛරසය සිරුරේ සක්‍රියව පවතින බැවින් ඩෙංගු වාහක මදුරුවකු එවැනි පුද්ගලයකුට දෂ්ඨ කර වෙනත්පුද්ගලයෙකු වෙත ඩෙංගු වෛරසය රැගෙන යන බැවින් ඩෙංගු වැළඳුනපුද්ගලයෙකු හැකි සෑම අවස්ථාවකදීම මදුරු දැලකින් ආවරණය වී මදුරුවන්දෂ්ටනයෙන් වැළකී සිටීම අන් අයගේ ආරක්‍ෂාවට වැදගත්වේ.

(තුෂල් විතානගේ)