Monday 19th of April 2021

English Tamil
Advertiesment


මෛත්‍රී මහින්දට දුන්නොත්..?


2019-07-02 4563

මහින්ද එජාපයේ ඉත්තෙක් වෙයි ද ..?

මෛත්‍රී මහින්දගෙන් අපේක්ෂකත්වය ඉල්ලනවා ද..?

 

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

මහින්දගේ හතුරෝ මැදමුලනට යන්න බයය. ඒක හරියට ප්‍රභාකරන්ගේ බංකරයට යනවා වගේය.මහින්දගේ මැදමුලන සගයෝ හූ කියයිද , ගල් ගහයිද කියා බයක් හතුරන් තුළ තිබේ. ඒත් මහින්දගේ සොහොයුරිය මියගිය වෙලාවේ දේහය කොළඹ තිබියදී දේහයට බුහුමන් දක්වන්න නොගිය මෛත්‍රී මහින්දගේ සහෝදරයාගේ දේහයට බුහුමන් දක්වන්න යෑම කාගේත් උකුසු ඇසට ලක් වී තිබේ. මෛත්‍රී එහි ගියේ තිරය පිටුපස ජවනිකා දෙකක් රඟ දක්වමින් තිබියදීය.

එක් ජවනිකාවක් නම් පළාත් සභා සිමා නිර්ණ වාර්තාව එක්සත් ජාතික පක්ෂය මහින්ද සමග එක් වී පරාජය කිරීමය. වාර්තාව අවශ්‍ය වුණේ මෛත්‍රීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය. මෙම වාර්තාව පරාජයට පත් කිරීම මෛත්‍රීගේ බලයට එරෙහිව රනිල් සහ මෛත්‍රී එක්වී පාර්ලිමේන්තුව තුළ කළ පළමු රතු නිවේදනයය. අනෙක් තිරය පිටු පස ජවනිකාව නම්, මෛත්‍රී ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන්න මහින්දගේ කැමැත්ත ගෙන  මහින්දව අගමැති ධූරයට පත් කරන්න එස්.බී. කරන කපුකමය.

මෛත්‍රී මැදමුලනට ගියේ මේ ජවනිකා දෙක රඟ දැක්වෙද්දී අලුත් ජවනිකාවකට තිර පිටපතක් ලියන්න ද කියන්න දන්නේ නැත. හැබැයි මෛත්‍රී හොඳ දේශපාලන නළුවෙකි. ඔහු ඩබල් ඇක්ටින්වලට පමණක් නොව ට්‍රිබල් ඇක්ටින්වලට වුවත් දක්ෂ නළුවෙකි. 2015  මහ මැතිවරණයේදී මෛත්‍රී  මහින්දට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද සටන භාර දුන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව, මෛත්‍රීව ජනාධිපති කළ ඡන්ද ලක්ෂ හැට දෙකම අන්දමන්ද  කරවමිනි.

මෛත්‍රී ඒ වෙලාවේ මහින්දට ඡන්ද සටන භාර දුන්නේ කකුලෙන් ඇදීමට නොවේ. පුළුවන් නම්  දිනලා වරෙන් කියලාය. එත් මහින්ද වැඩේ කා ගත්තේය. මහින්ද, පක්ෂයෙන් මෛත්‍රීගේ මිනිසුන් පරාජය කරන්න කුමන්ත්‍රණ දියත් කළේය.මෛත්‍රීගේ මිනිස්සු මහින්දගේ වේදිකාවට ආ විට හූ කියන්න සැලසුම් කළේය. මෛත්‍රී සහ මෛත්‍රීගේ මිනිස්සු පයට පෑ ගෙන දුහුවිල්ලකටවත් ගණන් නොගෙන තනියෙන්ම බුදූ වෙන්න ගියේය.

මෛත්‍රී මහින්දට නාම යෝජනා දුන්නට පසු එක්සත් ජාතික පක්‍ෂය මෛත්‍රීට වටින් ගොඩින් පහර දෙන්න පටන් ගත්තේය. සෝභිත හිමියෝද  මෛත්‍රීව  දැඩි ලෙස විවේචනය කළහ.එම ප්‍රහාරයෙන් අසරණ වූ මෛත්‍රී  එම ප්‍රහාරවලට මහින්දලා ප්‍රතිප්‍රහාර එල්ල  කරයි කියා බලාපොරොත්තු විය. හැබැයි මහින්දලා  එය කළේ නැත. මෛත්‍රී  කේන්ති  ගොස් මහින්දව අගමැති කරන්නේ නැහැ කියා මහින්දට ලියුම් ලිවුවේ ඉන් පසුවය.

එදා මහින්ද මෛත්‍රී ගෙන් අගමැති අපේක්ෂකත්වය  බලාපොරොත්තු වූවා සේ අද මෛත්‍රී මහින්දගෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලපොරෝත්තු වෙනවාද දන්නේ නැත. මහින්දට තියෙන ලොකුම ප්‍රශ්නය ජනාධිපතිවරණයට තරඟ කරන්න නොහැකි වීමත්, ජනාධිපති අපේක්ෂකත්වයට පවුල තුළත්, පක්ෂය තුළත් හට ගෙන ඇති ගැටුමත්ය. මහින්දට අගමැති වෙන්න මහින්ද  තමන්ට අගමැති ධූරය දෙනු ඇතැයි විශ්වාස කළ හැකි දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් නම් කළ යුතුය. එස්.බී. කපුකම කරනවා ඇත්තේ ජනාධිපතිවරණයට කලින් මහින්ද අගමැති කරවා මෛත්‍රීව පොදු ජන පෙරමුණේ සහය ලබන අපේක්ෂකයා කරන්න විය යුතුය. මහින්දට දැනට ගහන්න්නට පුළුවන් ලේසිම තුරුම්පුව ඒකය.මෛත්‍රී ජනාධිපතිවරණයට ඉල්ල්ලනවා නම් ජනාධිපතිවරණය පවත්වන්න නියමිත දිනට වසරකට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න මෛත්‍රීට පුළුවන.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කොට මහින්දව අගමැති කළොත් අගමැති ධූරයෙන් රනිල්ව ඉවත් කළ නොහැකිය  යන අධිකරණ මතය ජනාධිපතිවරණය අවසන් වන තෙක් යට ගසා තිබිය හැකි යැයි එස්.බී ලා හිතනවා විය හැකිය.මෛත්‍රී 2015 ජනාධිපති  වී  දී.මූ ව අගමැති ධූරයෙන් ඉවත් කොට බහුතරය අහිමි රනිල්ව අගමැති කළ ආකාරයට මහින්දව අගමැති කරන්න පුළුවන් යැයි එස්.බී ලා තර්ක කරනවා විය හැකිය.

හැබැයි මෛත්‍රී මහින්දව අගමැති කොට ජනාධිපතිවරණය දිනා මහින්දව අගමැති ධූරයෙන් ඉවත් කොට වෙනත් අයෙකු අගමැති කළොත් එයට එරෙහි වීමට ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් අකමැති වනු ඇත. ඊට හේතුව ජනාධිපතිවරණ කාලය තුළ මෛත්‍රී තමාට අකමැති මහින්දවාදීන් තමා වටා එකතු කර ගෙන ඔවුන්ට නව ආණ්ඩුවේ ඇමති ඇම දී අල්ලා ගන්න උපරිම උත්සහයක් ගනු ඇති නිසාය. මහින්දවාදීන් බය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වූ මෛත්‍රී යටතේ ඇමතිකම් ලබා ගන්නටය. මහින්දගේ සහ පොදු ජන පෙරමුණේ සහය ලද මෛත්‍රී යටතේ ඇමති ධූර ගන්න ඔවුන් අකමැති නොවනු ඇත.

මෛත්‍රී පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණය දින්නොත් මහින්දට වෙන්නේ චන්ද්‍රිකාගේ ජනාධිපති ධූරය යටතේ මැතිනියට වෙච්ච දෙයය. මහින්ද එස්.බී.ගේ යෝජනාව ගැන දෙගිඩියාවෙන් පසු වන්නේ ඒකය. හැබැයි දැනට මහින්දට බලය ගන්න ලෙහෙසිම මාර්ගයත් එයය. මෛත්‍රීට ජනාධිපති අපේක්ෂක ධූරය දෙන්න නම් නාමල්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරය දිය යුතු යැයි මහින්ද යෝජනා කළොත් එයටද මෛත්‍රී අකමැති නොවනු ඇත.

මේ කපුකම හරි ගියොත් බැසිල් ගහන ගේම මොකක්ද කියන එක කාටත් කියන්න බැරිය. 1982 ජනාධිපතිවරණයට කොබ්බෑකඩුව නම් කළ විට ඔහුව දකුණෙන් පරාජය කරන්න මහින්ද පාවිච්චි කළේ බැසිල්වය. බැසිල් රුහුණු පෙරමුණ නමින් පෙරමුණක් හැදුවේය. මේ පෙරමුණට අනුර බණ්ඩාරණායකගේ ආශිර්වාදය ද  හිමි විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් අතර කොබ්බෑකඩුව විරෝධය හැදුවේ මේ රුහුණු පෙරමුණය.

මහින්ද මෛත්‍රීට අපේක්ෂකත්වය දීමට කැමති වුවහොත්, ජනාධිපතිවරණය මැදදී මෛත්‍රී වෙනස් වුවහොත් එවැනි කාඩ් එකක් බැසිල් ලව්වා ප්ලේ කරවන්න මහින්දවාදීන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නියතය. මෛත්‍රී මහ මැතිවරණය මැද මහින්දට ගහපු ගේමම මහින්ද ජනාධිපතිවරණය මැදදී මෛත්‍රීට නොගහයි කියා කියන්න බැරිය. මෛත්‍රී සහ මහින්ද එක් වීම හරහා මරණාසන්නව වැටෙන එක්සත් ජාතික පක්ෂයට තිබෙන එකම බලාපොරොත්තුව ඒකය. ඒ සඳහා එවැනි එක්වීමක් සිදු වුවහොත් ජනාධිපතිවරණය මැදදී එය බිඳ දමන්න ගහන්න පුළුවන් හැම තුරුම්පුවක්ම එක්සත් ජාතික පක්ෂය ගහනවාට සැක නැත. එහිදී මහින්ද එක්සත් ජාතික පක්ෂයේ ඉත්තෙක් ලෙස පාවිච්චි වෙයිද කියන්නත් බැරිය.   

-ගුරුදා විග්‍රහය-

Advertiesment