Tuesday 20th of April 2021

English Tamil
Advertiesment


දේශීය සම්ප‍්‍රදායට හැඩ ගැසුණු පෘතුගීසි සිංහලයෝ..!


2019-07-02 3910

 (රංජිත් ගුණවර්ධන)

1658 වසරේ ජුනි 22 වන දින යාපනය පෘතුගීසි බල කොටුව ලන්දේසීන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව මෙරට පෘතුගීසි පාලන බලය මුළුමනින්ම අවසන් වූ අතර පෘතුගීසි හේවායින් සුළු පිරිසක් ලක්දිව සිය වාසභූමිය බවට පත් කර ගත්හ.

ඔවුහූ යුද සිරකරුවන් ලෙස සිංහල හමුදාවට යටත්ව 11 වන රාජසිංහ රජුගෙන් අභයදානය ලැබූහ. එමෙන්ම ලන්දේසි ආක‍්‍රමණයෙන් සිය ජීවිත බේරා ගැනීම සඳහා උඩරට රජුගේ සහාය පැතූ පෘතුගීසි හේවායින් ද වූහ.

එකල දෙවැනි වැනි රාජසිංහ රජු විසින් උඩරට රාජධානියේ යුද සිරකරුවෙකු ලෙස රඳවා ගෙන සිටි රොබට් නොක්ස් විසින් ලංකා සමාජය ඇසුරෙන් ලියන ලද “Historical Relations Of Ceylon” නමැති ග‍්‍රන්ථයට අනුව රජුගේ රැකවරණය පතා ආ සියලුම පෘතුගීසි ජාතිකයින්ට රජු කාරුණිකව සලකා රැකවරණය ලබා දී තිබේ.

පෘතුගීසීන්ට කොන්දේසි තුනක්

පළමු විමලධර්ම සූරිය, සෙනරත් සහ දෙවන රාජසිංහ යන රජවරුන් යුද්ධයේ දී යටත් වූ සහ ජීවිත බේරා ගැනීමට උඩරටට ආ පෘතුගීසි ජාතිකයින්ට කොන්දේසි තුනක් මත අනුග‍්‍රහ දක්වා තිබේ.

ඒ මහනුවර රාජධානිය තුළ වාසය කිරීම, සිංහල කුල කතුන් විවාහ කර ගැනීම සහ එම සිංහල කාන්තාවන්ගේ වාසගම සිය වාසගම ලෙස ඉදිරියට ගෙන යාම ය. ඒ අනුව තුම්පනේ, අස්ගිරිය, මාත්ගමුව. පිටියේ ගෙදර, දුල්ලෑව, බෝවත්ත, මිරිහල්ල, යන ගම්මානවල පදිංචි වූ පෘතුගීසීන් රජුගේ නියමය පරිදි සිංහල කුල කාන්තාවන් විවාහ කර ගත්හ.

ගොවිගම කුලයට අයත් රදල කාන්තාවන් හැර වෙල්ලාල සහ පට්ටිය යන කුලවලට අයත් වූවන් සමඟ විවාහ වීමෙන් පසුව පෘතුගීසි අනන්‍යතාව හඟවන ‘‘දොන්’’ නාමය සමඟ සිංහල වාසගම් ඉදිරියට ගෙන යාමේ පොරොන්දුව පෘතුගීසින් අතින් ඉටු විය.

සිංහල රජු ඔවුන්ගේ ආගමික නිදහසට අදාළ කිසිදු කොන්දේසියක් නොපැන වූ අතර බෞද්ධ මූලධර්ම වාදයක් එකල නොතිබූ බැවින් කිසිදු සමාජ තහංචියකින් ද තොරව ඔවුහු නිදහසේ සිය ආගම අදහා තිබේ. සියවස් හතරක කාලයකින් අනතුරුව ඔවුන්ගේ වත්මන් පරපුර මුළුමනින්ම සිංහලයින් බවට පත් වී සිටින අතර සියලු දෙනාම පාහේ කතෝලික ආගම ද නිදහසේ අදහති.

වහකෝට්ටේ ගම්මානය සහ පෘතුගීසීන්

මාතලේ දිස්ති‍්‍රක්කයේ උඩුගොඩ පල්ලේ සිය පත්තුවේ පිහිටි වහකෝට්ටේ ගම්මානය රජ මන්දිරයක් තිබුණු ‘‘බල කොටුව’’ ලෙස ජනවහරේ ප‍්‍රසිද්ධියට පත් වී තිබේ. අතීතයේ දී වහකෝට්ටේ සමෘද්ධිමත් නගරයක්ව තිබුණු බවට සහ එහි කොටු පවුරු ආදියෙන් සුරක්‍ෂිත වූ බල කොටුවක් තිබුණු බවට අදට ද සාක්‍ෂි ඇත.

එහි යුව රජවරු විසූ රජ මාළිගාවක් පිහිටියේ යැයි කියන භූමි භාගය ද වහකෝට්ටේ පැරණ්නන් පෙන්වන්නාහ. දුටු ගැමුණු රජු විසින් පරාජය කරන ලද එළාර රජුගේ බල කොටුවක් ද මෙහි පිහිටා තිබුණු බවට “ The Ceylon Almance නමැති බි‍්‍රතාන්‍ය රජයේ ලේඛනයක සඳහන් වී තිබේ.

1582 වසරේ දී සීතාවක රාජසිංහ රජු බලගතු හමුදාවක් සමඟ මහනුවර වටලද්දී එහි සිටි කරලියැද්ද බණ්ඩාර රජු ති‍්‍රකුණාමලයට පලා ගිය අතර එහිදී ක්‍රිස්තු ධර්මය වැළඳ සිය දියණිය වූ දෝන කතිරිනා කුමරිය ද යමසිංහ නම් වූ ඥාති පුත‍්‍රයා ද පෘතුගීසීන්ට භාර දී වසූරිය රෝගය වැළඳීමෙන් මිය ගොස් තිබේ.

යමසිංහ ගෝවට ගොස් දොන් පිලිප් නාමයෙන් කිතු දහම වැළඳ ගෙන රාජ සත්කාර ලබමින් සිට ඇත. එහෙත් රාජසිංහ රජුට එරෙහිව උඩරට වැසියන් කැරලි ගසන බව සැල වී දොන් පිලිප් කුමරා මන්නාරමට පැමිණ පෘතුගීසි හමුදාවක් ද සමඟ උඩරට බලා ගමන් කොට ඇති අතර උඩරට කැරලි නායකයා සමග පැමිණි පිරිස පෙර මඟට පැමිණ හරසරින් පිළි ගෙන වහකෝට්ටේ දී රාජ්‍යත්වය උත්සවාකාරයෙන් ලබා දී තිබේ.

එලෙස උඩරට රජ කිරුළ දැරූ පළමු කි‍්‍රස්තු භක්තික රජු රාජ්‍යත්වයට පත් වූයේ වහකෝට්ටේදී ය. නව රජුගේ අකල් මරණයෙන් අනතුරුව ඔහුගෙත් සෙන්පති ලෙස කටයුතු කළ කොනප්පු බණ්ඩාර, දෝන කතිරිනා කුමරිය සමග විවාහ වී පළමු විමලධර්ම සූරිය යන නමින් සෙංකඩගලපුර රාජ්‍යත්වයට පත් වූ බව මන්දාරම් පුවත කාව්‍ය සංග‍්‍රහයේ සඳහන් වී ඇත්තේ මෙලෙසිනි.

                                                        පිලිප් කුමරු යමපුර හැර විගස     කිනා

                                                        ප‍්‍රතිකල් වැසියනුදු පන්නා බිය   දෙමිනා

                                                       සෙංකඩපුරය සරසා සුරපුර        ලෙසිනා

                                                       රජ විය විමලදම්සූරිය යන           නමිනා

ලක්දිව ලන්දේසි බලය ක‍්‍රමයෙන් තහවුරු වෙද්දී කන්ද උඩරට රාජධානියේ රජුගේ නියමයෙන් ආරක්ෂාව පතා වහකෝට්ටේ ගම්මානයට ප‍්‍රථමයෙන්ම පැමිණි පෘතුගීසි කණ්ඩායම්  පදිංචිව සිටි ‘‘මහගම’’ නමැති ස්ථානයේ ස්මාරකයක් ද දක්නට ලැබේ. ශුද්ධ භූමියක් ලෙස ගෞරවයට පාත‍්‍ර වී ඇති එම පෙදෙස වර්තමානයේ දී හැඳින්වෙන්නේ ‘ජුසේ වාස්’’ පෙදෙස නමිනි.

ඉංගි‍්‍රසි ජාතික සිවිල් නිලධාරියෙකු වූ ඒ.සී. ලෝරි විසින් 1896 වසරේ දී ලියන ලද ලක්දිව මධ්‍යම පළාත පිළිබඳ විස්තර ඇතුළත් “ගැස්ටියර්” නමැති ග‍්‍රන්ථයේ සඳහන් කර ඇති ආකාරයට පෘතුගීසි ජනතාව වහකෝට්ටේට පැමිණිමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ලන්දේසීන් විසින් රෝමානු කතෝලිකයින්ට එරෙහිව පණවන ලද දණ්ඩ නීති හා දරුණු හිරිහැර නිසා ය. මීට අමතරව රුවන්වැල්ල, සීතාවක වෑඋඩ යන ගම්මානවල ද පෘතුගීසි ජනතාව රහසිගතව පදිංචි වී සිටි බව ද ඒ.සී ලෝරි විසින් රචිත “ගැස්ටියර්” ග‍්‍රන්ථයේ සඳහන් ය.

ජන දිවිය සහ රැකියා

පෘතුගීසි සහ සිංහල මිශ‍්‍ර “පුනස්තර” නමින් හැඳින් වූ භාෂාවක් එකල ඔවුන් ව්‍යවහාර කොට ඇති අතර වහකෝට්ටේ මුලින්ම පදිංචි වූ පෘතුගීසීන්ගේ ජීවනෝපාය වී ඇත්තේ ගොවිතැන සහ දඩයම ය.

ඔවුහූ රජුන්ගෙන් නඩත්තුව සඳහා ගොවි උපකරණ ලබා ගනිමින් කෘෂිකර්මාන්තයේ නියැලී සිටියහ. එහෙත් පසු කාලීනව පෘතුගීසි ජනයා ලක්දිව පුරා යමින් වෙළඳාම් කිරීම, අරක්කු පෙරීම සහ සූරා සැල් පවත්වා ගෙන යාම ද සිදු කොට තිබේ. පෘතුගීසි ස්තී‍්‍රන්, කාන්තා ඇඳුම් ද  පුරුෂයින් පුරුෂ ඇඳුම් ද  මැසීම  සිදු කරන ලද බව රොබට් නොක්ස් ලියන ලද ග‍්‍රන්ථයේ සඳහන් වී ඇත.

මෙරට බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී ඉහළ අධ්‍යාපනයක් ලද පෘතුගීසින්හට රජයේ රැකියා ලැබී ඇති අතර අතීතයේ දී පෘතුගීසි ජනයා ආරච්චිල, වෙල්විදානේ, විවාහ ලේකම් සහ හදිසි මරණ පරීක්ෂකවරුන් ලෙස ද කටයුතු කර තිබේ.

මේ වන විට වහකෝට්ටේ පෘතුගීසි තරුණ තරුණියන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියාවන්හි නිරත වී සිටින අතර ස්විට්සර්ලන්තයේ ශී‍්‍ර ලංකා තානාපති ධුරය දැරූ දුල්ලෑවේ ගෙදර සමරකෝන් මහතා වහකෝට්ටේ පදිංචිකරුවකු ලෙස ප‍්‍රකට ය.

වහකෝට්ටේ වත්මන් පරපුර ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳව වැඩි උනන්දුවක් නොදක්වති. ඔවුහූ ඉතිහාසය හාරා අවුස්සනවාට වඩා හොඳ ජීවන තත්ත්වයක් ගොඩනැඟීම කෙරෙහි උනන්දුවක් දක් වනු පෙනේ. ඒ අනුව ගොවිතැන වෙනුවට ගව පාලනය, කුකුළු ගොවිපළ, මස් සඳහා ඌරන් සහ එළුවන් ඇති කිරීම, වෙළඳාම, කුලී රථ සේවය වගේම තී‍්‍රරෝද රථ පැදවීම වැනි ස්වයං රැකියා ක්‍ෂේත්‍රය කෙරෙහි යොමු වී සිටිති.

දැනට වහකෝට්ටේ ගම්මානයේ පවුල් 1500ක් පමණ පදිංචිව සිටින අතර ගම වට කොට පවතින්නේ මැදබැද්ද, ලේනාවල, මහවත්ත, පුංචි රම්බඩගල්ල, වැනි සිංහල බෞද්ධ ජනයා පදිංචි ගම්මානය. වහකෝට්ටේ ගම්මානයේ පදිංචි කතෝලික බැතිමතුන් සහ අවට සිංහල බෞද්ධ ගම්මානවල වැසියන් අතර පවතින ආගමික සහජීවනය මෙරට වැසියන්ට ආදර්ශයකි.

ආගමික පසුබිම

රෙපරමාදු ආගම ප‍්‍රචාරය කිරීම සඳහා ලන්දේසීන් විසින් කතෝලික සංහාරයක් සිදු කළ එක්තරා අවධියක වහකෝට්ටේ කතෝලික ආගම ඇදහූ පෘතුගීසි වැසියන් ඔවුන් සතුව තිබූ එකම ආගමික සංකේතය වූ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනින්ද්‍රයන්ගේ සුරුවමක් පෘතුගීසි කාන්තාවක් විසින් බත් හැලියේ සඟවා රැක ගත් බව වහකෝට්ටේ ජනප‍්‍රවාදයක සඳහන් ය. වර්තමානයේ දී එම සුරුවම 1838 වසරේදී ඉදි කරන ලද වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ තැන්පත් කොට තිබේ.

වහකෝට්ටේ වැසියන්ට කතෝලික ආගම ඇදහීමට ඇති අයිතිය ලන්දේසීන් විසින් තහනම් කර තිබිය දී යාචකයෙකුගේ වෙස් ගෙන ලක්දිව මන්නාරම් තොටින් 1687 වසරේදී ලක්දිවට පැමිණි ජුසේවාස් පිය නම ඇතුළු ඔහුගේ සහායකයන් වහකෝට්ටේ ගම්මානයට ගොස් කතෝලික ධර්මය ප‍්‍රචාරය කොට ඇති අතර ඔවුන් පදිංචි භූමිය දහවල් කාලයේ දී ගවමඩුවක් ලෙසත් රාතී‍්‍රයේ දී කතෝලික ආගමික මධ්‍යස්ථානයක් ලෙසත් යොදා ගනිමින් කතෝලික ධර්ම ප‍්‍රචාරයේ යෙදී තිබේ. පෘතුගීසි ජනයා මුලින්ම පදිංචියට තෝරා ගත් “මහගම” නමැති ස්ථානය පසු කාලීනව “ජුසේවාස් පෙදෙස” නමින් නම් කොට ඇත්තේ උන්වහන්සේට ගෞරව පිණිස ය.

ජාකෝමේ ගොන්සල්වේස් නම් සුප‍්‍රසිද්ධ පිය නම වහකෝට්ටේ ප‍්‍රදේශයට සම්ප‍්‍රාප්ත වන්නේ කි‍්‍ර.ව. 1705 වසරේදී ය. කි‍්‍රස්තුස් වහන්සේගේ දුක් ප‍්‍රාප්තිය සැමරීම සඳහා ගායනා කරනු ලබන පසන් ලතෝනි ගායනා පොත සහ දේශනා පොත සිංහල බසින් ලියා ඇත්තේ ගොන්සාල්වේස්  පිය  නම විසිනි.

 උන්වහන්සේ මහනුවර උගත් භික්ෂූන් සහ ගිහි පඬිවරුන් සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන යමින් සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳව මනා පරිචයක් ලබා යාඥා පොත් ද, ධර්ම ශාස්ත‍්‍ර ග‍්‍රන්ථ ද, බැති ගී ද රචනා කොට ඇති අතර, ඒවා තල්පත්වල ලියා කතෝලික භක්තිකයන්ට භාවිතා කිරීමට කටයුතු  සලසා දුන්හ.

ගොන්සාල්වේස් පිය නම විසින් සිංහල ප‍්‍රස්ථාර සහ අලංකාර ශාස්ත‍්‍රය අනුව රචනා කළ යාඥා බැති ගී, වන්නම්, ලතෝනි, දේශනා වහකෝට්ටේ දී ගැයෙන්නේ ඉපැරැණි සිංහල ගැමි වාදනයට අනුව ය. පහත රට ජනතාව ඒවා ගයන්නේ ඔප් නඟමිනි. ගොන්සාල්වේස් පිය නම ලියූ පසන් ගී වර්තමානයේ දී වහකෝට්ටේ ප‍්‍රධාන දේවස්ථානයේ දී පමණක් ගායනා කිරීම සුවිශේෂීය.

වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දේවස්ථානය

වහකෝට්ටේ ගම්මානයේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානය ‘‘රොම්නෙස්ක්’’ නම් වූ ගෘහ නිර්මාණ ශිල්පයට ඉදි කෙරුණු විශ්මිත නිර්මාණයකි. බාල්ක පාවිච්චි නොකර විශාල ආරුක්කුවලින් පමණක් වහල ඔසවා තැබීම මෙහි සුවිශේෂී ලක්‍ෂණයකි.

ජුනි මස 13 වනදායින් පසු එළඹෙන ප‍්‍රථම ඉරිදා දිනයේ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිඳුගේ මංගල්‍යය පැවැත් වෙන අතර, වෙනත් කිසිදු කතෝලික පල්ලියක භාවිතා නොකරන හේවිසි සහ හොරණෑ ඇතුළු පංචතූර්ය වාද්‍ය වෘන්දයන් ද  උඩරට නැටුම් සහ වෙස් නැටුම් ද  මෙම පල්ලියේ මංගල්‍යයේ දී යොදා ගැනීම සුවිශේෂීය.

එවක කන්ද පල්ලේ කෝරළය නම් වූ ගම්මානයේ ඇති වූ දරුණු දුර්භික්ෂයක් දුරලීමට පල්ලියේ යාඥාවක් හේතු වූ බැවින් අනතුරුව අලි ඇතුන් සහ පංචතූර්ය නාදය සහිත පූජාවක් පැවැත්වීම වහකෝට්ටේ පල්ලියේ මංගල්‍යයේ වත්මන් සම්ප‍්‍රදායට නිමිත්ත වී තිබේ.

මුහුප්පු රාළ

දිවයිනේ වෙනත් කිසිදු දේවස්ථානයක නොමැති “මුහුප්පු රාළ” නම් වූ ගිහි ආධ්‍යාත්මික නායක තනතුරක් ජුසේවාස් පිය නමගේ කාලයේ සිට වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවත එමින් තිබේ. මාන්ග මුවේ ගෙදර පරපුර සහ බෝ වත්තේ ගෙදර පරපුර අතර වසරක් පාසා “මුහුප්පු රාළ” තනතුර සඳහා උග‍්‍ර ඡන්ද සටහනක් පැවතීම මේ වන විට කතෝලික සමාජයේ සාමකාමී පැවැත්මට හානිදායක ආදර්ශයක් වී ඇති බව වහකෝට්ටේ දේවස්ථානයේ වත්මන් පැවදී කතෝලික නායකයින්ගේ අදහස වී තිබේ.

1965 වසරේ දී රජයට පවරා ගනු ලැබූ වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මහා විද්‍යාලය 1825 වසරේදී ස්ථාපිත කෙරුණේ දේවස්ථානය ඉදි වී ඇති භූමියේ ය. 100%ක්ම කතෝලික සිසු සිසුවියන් ඉගෙනුම ලබන මෙම විද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 750කට ආසන්නය.

මංගල්‍යය චාරිත‍්‍ර

වහකෝට්ටේ පෘතුගීසි ජනතාවගේ විවාහ චාරිත‍්‍ර වාරිත‍්‍ර අපූරු ය. විවාහයට පෙර මනාලයා පළමුවෙන් සිදු කරන්නේ “කඩ වැසුම්” කිරීම ය. ඒ සිය දෙමව්පියන් සමඟ ගොස් විවහාපේක්‍ෂිත තරුණියගේ ගෙලෙහි කර මාලයක් පැළඳිම ය. “කඩවැසුමේ” සරල අදහස “කටවැසුම” යන්නය. ඉන් පසු වෙනත් තරුණයෙකුට බහක් දිය නොහැකි අතර අනතුරුව දේවස්ථානයේ තෙවරක් පෙර නම් කියනු ලැබේ. විවාහයට ගම්මානයේ විරෝධයක් පවතින්නේ නම් මෙම කාලය තුළ දී එම විරෝධතාවය ඉදිරිපත් කළ යුතුය.

මඟුල් පරක්කුව

මනාලියගේ නිවසට එන මනාලයා ප‍්‍රමුඛ එම පාර්ශ්වයට උත්සව කටයුතු ඇරඹෙන තුරු තේරවිලි සහ විවිධ ගණිත ගැටලු විසඳන්නට අභියෝග කිරීම මඟුල් පරක්කුව නම් වේ. එහිදී නූලක එක පිට එක ගැසූ ගැට ලිහන්නට දීම, පලා වර්ග කිහිපයක් පිසූ මැල්ලූමකින් රස බලා එහි අඩංගු දෑ පැවසීම ආදී ගැටලු ද ඉදිරිපත් කෙරේ. සාමාන්‍යයෙන් මැල්ලුමකට පාවිච්චි නොකරන පේර කොළ වැනි දෙයක් ද මෙම මැල්ලුමට මිශ‍්‍ර කරන්නේ ය.

මනාලිය සැඟවීම

පල්ලියේ දී කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මනාලිය මාපියන් විසින් යළි නිවසට කැඳවා ගෙන විත් තවත් තරුණියන් කිහිප දෙනෙකු සමඟ කළුවර කාමරයකට දමනු ලැබේ. අනතුරුව මනාලයා කරුවල කාමරයට ගොස්  සිය මනාලිය සොයා ගෙන මධු සමය සඳහා පිටත්ව යා යුතු ය. වහකෝට්ටේ පැරැණි පෘතුගීසි ප‍්‍රජාව අතර පැවැති මෙම චාරිත‍්‍රය නිසා හාස්‍යජනක සිදුවීම් උද්ගත වී ඇති බව ද අසන්නට ලැබේ.

බත් කද සහ කැවුම් කද

මනාලියගේ මාපියන් විසින් සිය දියණිය බැලීම සඳහා තෙදිනකින් මනාලයාගේ නිවසට යන විට බත්, මාළු පිනි කඳක් සහ කැවුම් කුරුණියක් සමඟ ඉදුණු කෙසෙල් කැන් කිහිපයක් කඳ බැඳ ගෙන යා යුතු ය. එම කඳ තැබීම සඳහා මනාලයාගේ නිවසේ මිදුල මැද විශාල වංගෙඩි කිහිපයක් පිළියෙළ කළ යුතුය. මනාලියගේ මාපියන් විසින් රැගෙන යන කඳවල් ඔසවා ගෙන යන්නේ කුල හීනයින් විසිනි.

වහකෝට්ටේ පෘතුගීසි ප‍්‍රජාවගේ වාසගම්

වහකෝට්ටේ ගම්මානයේ වාසය කරන සියල්ලන්ම එකිනෙකාගේ ඥාතින් ය. කොළඹ ගෙදර, කොහොඹ ගෙදර, බෝවත්තේ ගෙදර, සමරකෝන් ගෙදර, පිටියේ ගෙදර, වෑඋඩ ගෙදර, මිරිගල්ලේ ගෙදර, මාත්ගමුවේ ගෙදර, මැටියම්පන ගෙදර, වහකෝට්ටේ රාළලාගේ ගෙදර, තුම්පනේ ගෙදර වැනි වාසගම් සහිත වූවෝ ඒ ඒ ගම්වල නිවෙස්වලින් විවාහ වී සිංහල නම් ලද්දවුන් ය.

මීට අමතරව කොළඹ පදිංචි වී සිටි පෘතුගීසි ජාතිකයින් පරිසක් ද වහකෝට්ටේට සංක‍්‍රමණය වී ඇති අතර, ඔවුන්ගේ වත්මන් පරපුර හැඳින්වෙන්නේ ඉහත සඳහන් කොළඹ ගෙදර වාසගමිනි. පෘතුගීසි ප‍්‍රජාව දොන් යන වාසගම් භාවිතා කරන නිසා දොන් මහත්මයා යන අරකු සහිත පෘතුගීසි වචනය වාසගමට යා කර ගෙන තිබේ.

වහකෝට්ටේ වැසියන් පෘතුගීසින්ගෙන් පැවත එන නමුත් ඔවුහු උඩරට වැසියන් සහ සිය වස් ගණනාවක් සුහදව ආශ‍්‍රය කිරීම නිසා දේශීය  සංස්කෘතියට කාලයාගේ ඇවෑමෙන් බද්ධ වූහ.

එලෙස ඔවුන්ගේ කතා විලාශය ඇඳුම්, පැළඳුම්, නැටුම්, ගැයුම්, සිරිත් විරිත්, සහ කෙළි සෙල්ලම් බහුතරයක් දේශීයත්වයට නැඹුරු වී තිබේ. ඔවුන්ගේ ධර්මය කතෝලික වුවද සමාජ දර්ශනය උඩරට සිංහල සම්ප‍්‍රදාය හා බැඳී පවතී.

වහකෝට්ටේ සහ යගුලිය විසි කිරීමේ තරග

යගුලිය විසි කිරීමේ තරගය සහ වහකෝට්ටේ ග‍්‍රාමය අතර බැඳී පවතින්නේ විස්මිත සම්බන්ධතාවයකි. ඒ 1972.07.29 දින බදුල්ලේ දී පැවැති සමස්ත ලංකා අන්තර් පාඨශාලිය 19න් පහළ යඟුලිය විසී කිරීමේ තරගයෙන් මුල් තැනට පත් වූ බෝවත්තේ ගෙදර ජසින්තා විජේසේකර වහකෝට්ටේ ග‍්‍රාමයේ පදිංචිකාරියක වීම, නිසා ය.

වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක වූ ඇය එදා පිහිට වූ යඟුලිය විසි කිරීමේ වාර්තාව ඊට වසර විසි ගණනකට පසු බිඳ හෙළනු ලැබුවේ මෙරට යඟුලිය විසි කිරීමේ ජාතික ශූරිය බවට පත් වූ දිපීකා රොද්‍රිගෝ විසිනි.

ශී‍්‍ර ලංකාවට ලැබී ඇති පෘතුගීසි දායාද

සිංහල  භාෂාවට පෘතුගීසි වචන එක්ව ඇත්තේ කෙළින්ම පෘතුගීසි භාෂාවෙන් නොව එකල මෙරට භාවිතා වූ පෘතුගීසි  “Creole” භාෂාවෙන් බව මහාචාර්ය සී.එම්. හෙට්ටිආරච්චි මහතා විසින් රචිත “Influence Of Portuguese On Sinhalese” ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ.

කලිසම්, සපත්තු, අල්මාරි, හිරමණය, අච්චු, තෝල්ක මුදලි, ආයා, මිදුල මාංචු, මයියා, සෙල්ලම, ලේන්සුව, ලන්සුව, සිදාදි, සීනූ, සාක්කු, සරුවාලූ, බීක්කු, බීරළු, පතුරම, වැනි වචන සිංහල භාෂාවට එක් වී ඇත්තේ පෘතුගීසි “Creole” භාෂාවෙනි.

පෘතුගීසි ප‍්‍රජාවගෙන් ශී‍්‍ර ලාංකිකයන් හඳුනා ගෙන ඇති කෑම වර්ග අතර කොච්චි, විස්කිරිඤ්ඤ, කේජූ, අච්චාරු, කොකිස්, පාන්, පේර, පිපිඤ්ඤා, බතල, බිලිං, මයියොක්කා, සම්බෝල, සලාද, තිරිඟු, ගෝවා, වට්ටක්කා, දෝසි යනාදිය ද වෙති.

සිල්වා සහ පෙරේරා, මෙරට අතිශයින් බහුල වාසගම් වගේම අල්පොන්සු, අපොන්සු, මිගෙල් වැනි නම් සිංහල ජනතාවගේ වාසගම් බවට පත් වුයේ පෘතුගීසි දයාද වශයෙනි.

පෘතුගීසි ගෘහ නිර්මාණ, ශිල්පය, කැටයම් කලාව, ඇඳුම් පැළඳුම්, මෝස්තර නව විලාසිතා රිදී තැල්ල වැනි දේ ශී‍්‍ර ලංකාවට දයාද කළේ පෘතුගීසි ජාතිකයන් ය. ලක්දිවට කතෝලික ආගම රැගෙන ආවෝ ද ඔවුහූ වෙති.

පෘතුගීසි ප‍්‍රජාවගෙන් ශී‍්‍ර ලාංකිකයන් ලැබූ හොඳ වගේම නොහොඳ ද තිබේ. “කසිප්පු” නමින් යුත් මත් පානය බ‍්‍රසීලයට වගේම මෙරටට ද හඳුන්වා දුන්නේ ඔවුන් ය. පෘතුගීසි චර්යාවන් නිසා සිංහල භාෂාවට එක් වූ වචන ද ඇති අතර “ගෙරි බල්ලා” යන වදන පෘතුගීසින් ගව මස බුදිනු දුටු සිංහලයන් එය පිළිකුල් කිරීමට තෝරා ගත්තකි.

‘‘අම්මා මතක් කිරීම’’ යනුවෙන් හැඳින්වෙන සිංහලයන් අතර පවතින අසභ්‍ය වදන ද ඔවුන්ගේ සම්බන්ධයක් පවතී. සේනානායක මුදියන්සේ විසින් ලියන ලද “සැඟ වුණු සුවඳ” නම් කෘතියේ සඳහන් කොට ඇති ආකාරයට “දීගෝ” නමැති කුරිරූ පෘතුගීසි සෙන්පතියෙකු ඔහුට එරෙහිව කැරලි ගැසූ තරුණ පිරිසකට පැන වූ නින්දිත දඬුවමක් ආශ‍්‍රයෙන් එම වදන් පෙළ හට ගෙන තිබේ.

වර්තමානය

වහකෝට්ටේ වර්තමාන පෘතුගීසි ජනයාගේ ආදී පරම්පරාවේ සිය දහස් ගණනක් සෙබලුන් පෘතුගාලයේ රජු වෙනුවෙන් ශී‍්‍ර ලංකා බිමේ පසු වූහ. දිවි ගලවා ගත්තවුන් සිය නැදෑ පරපුරට බැහැරින් වූ දුපතක ඔවුන්ගේ සාම්ප‍්‍රදායික අනන්‍යතා හැර දමා වැර වෑයමින් මුල් බැස ගත්හ.

යුද්ධයට පමණක් නොව  ඕනෑම දේකට ශුර වීරකම් කියන පෘතුගීසි ප‍්‍රජාවගෙන් පැවත එන වහකෝට්ටේ වත්මන් පරපුර ද  සිය ආදීතමයින් වගේම විනෝදයට බර පිරිසකි. ඔවුහු කෑමට සේම මත්පැන් පානයට ද රුසියෝය. තමන් පෘතුගීසින්ගෙන් පැවත එන බව මහත් සාඩම්බරයෙන් ප‍්‍රකාශ කරන වහකෝට්ටේ ගම්මානයේ ප‍්‍රජාව ඔවුන්ගේ හද පත්ලෙන්ම පෘතුගාලයේ මවු සුවඳට තවමත් ඇලුම් කරනවා නිසැක විය යුතු ය.

Advertiesment