Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


සිරි ගුණසිංහයන්ගේ “මස් ලේ නැති ඇට”..!


2019-07-02 7091

මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ නිර්මාණ ගැන කෙටි විවරණයක්..!

විවිධ ක්ෂේත‍්‍රයන්හි කුසලතා පූර්ණ සාහිත්‍ය කලාකරුවන් බිහි වන්නේ මිනිසුන් ලක්ෂ ගණනකට එකෙකි. ක‍්‍රි.ව. 1925 පෙබරවාරි 18 වැනිදා කෑගල්ල දිසාවේ බුලත්කොහුපිටියේ පනාපිටිය ගමෙහි ජන්ම ලාභය ලත් සිරි ගුණසිංහ එවැනි සුදුර්ලභ සාහිත්‍ය කලාකරුවෙකි.

දකුණු ලක ගාලු දිසාවේ අක්මීමන, කොටුගොඩ සිංහල විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද සිරි ගුණසිංහ, උසස් අධ්‍යාපනය ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයෙනි. මහින්ද විද්‍යාලය සිරි ගුණසිංහගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ය. මහින්දයෙන් සාර සිප් ලබා කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණෙන සිරි ගුණසිංහ සරසවියෙන් පිට වන්නේ සංස්කෘත භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගෙන ය.

ඊට පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ධූරයෙන් පිදුම් ලබන සිරි ගුණසිංහ මහතා ප‍්‍රංශයේ සෝබොන් විශ්ව විද්‍යාලයෙන් දර්ශන සූරී ආචාර්ය උපාධිය හිමි කර ගැනීමෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය ධූරයට උසස් වීම් ලැබුවේ ය.

ඉක්බිති ව ඔහුට වික්ටෝරියා විශ් වවිද්‍යලයෙන් ගෞරව සම්මාන ආචාර්ය උපාධිය ද, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය සූරි සම්මාන ආචාර්ය උපාධිය ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය සූරී අවාර්ය උපාධිය ද පිරිනැමිණි.

සිංහල නවකතාවේ සම්ප‍්‍රදායික ගමන් මග වෙනස් කළ සිරි ගුණසිංහගේ මුල්ම නවකතාව හෙවණැල්ල ය. ඊට පසුව මන්දාරමමිරිඟුව ඇල්ලීම ද ආදී වශයෙන් නවකතා පොත් කිහිපයක් ම රචනා කර ඇතත්, සිංහල නවකතාවේ ආකෘතිය යම් පමණකට පුපුරුවා හරින ලද හෙවණැල්ලමිනිස් සිත ගැඹුරු විශ්ලේෂණයකට බඳුන් කළ නවකතාවකි.

මාර්ටින් වික‍්‍රමසිංහගේ විරාගය, ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ සහ “යළි උපන්නෙමි” ආදී නවකතා සමඟ කරලියේ සංවාදයට බඳුන් වූ සිරි ගුණසිංහගේ “හෙවණැල්ල” නවකතාව සාම්ප‍්‍රදායික සිරිත් විරිත්හි වහලෙකුව සරසවියට සපැමිණි තරුණයෙකුගේ ජීවිතයේ ඇතුළාන්තයට ම එබී බලන්නට අපගේ දෑස් විවර කළ විශිෂ්ට නිර්මාණයකි.

ලියෝ ටෝල්ස්ටෝයි ඔහුගේ නවකතා මඟින් මිනිස් හදවත මේ යැයි විවෘත කර පෙන්වා දුන්නා සේම සිරි ගුණසිංහ ද “හෙවණැල්ල” නවකතාව මඟින් සාම්ප‍්‍රදායික සමාජ රටාව විවරණය කිරීමට උත්සාහ ගත්තේ ය.

 සාම්ප‍්‍රදායික වියරණය නොසලකයි

සාම්ප‍්‍රදායික ව්‍යාකරණයේ අක්ෂර වින්‍යාසය නොසලකා හරින සිරි ගුණසිංහ චිරන්තන සම්ප‍්‍රදාය සහ ප‍්‍රගතිය නමින් විචාර ග‍්‍රන්ථයක් ද ලීවේ ය. ඒ ග‍්‍රන්ථය මඟින් සම්ප‍්‍රදායත්, එහි නව්‍ය වෙනස්වීමේ වැදගත්කමත් පිළිබඳ ඔහු ගැඹුරු අදහස් සමුදායක් පාඨක ලෝකයා වෙතට මුදා හැරියේ ය.

සම්ප‍්‍රදායේ වහලෙකු වනවාට වඩා සම්ප‍්‍රදාය විනිවිද යාමට ලේඛකයාට ඇති ශක්තිය සහ අයිතිය පිළිබඳ ගැඹුරු යමක් සමාජ ගත කරන්නට තරම් සිරි ගුණසිංහ විද්වතාණෝ පරහිතකාමී වූහ.

එකම අච්චුවක නිර්මාණය වූ ප්‍රේමාබද්ධ නවකතා සහ චිත‍්‍රපට කලාව වෙනස් කළ සිරි ගුණසිංහගේ සත් සමුදුර චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීමත් සමඟ ම ශ්‍රී ලාංකික සිනමාවේ ගමන් මග සුබවාදී දිසානතියකට පරිවර්තනය වු බව කිව යුතු ය.

එකල බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක් වූ සත් සමුදුර විශිෂ්ට චිත‍්‍රපට කලාවක හැරවුම් ලක්ෂ්‍ය ද වූයේ ය. සිංහල නවකතාව සහ සිනමාව අතර ආත්මීය සබැඳියාව මනාව හඳුනා ගෙන සිටි, සිරි ගුණසිංහ එකල වඩාත් ප‍්‍රකට වූයේ නූතන සිංහල කවියේ ගමන් මග වෙනස් කළ නිර්මාණකරුවා ලෙස ය. එනිසා මෙහිලා අපගේ දැඩි අවධානයට ලක් වනුයේ සිරි ගුණසිංහගේ නිසඳැස් කාව්‍ය සම්ප‍්‍රදායට අනුගත කවි මග පිළිබඳ විමසා බැලීමට ය.

1956 සිරි ගුණසිංහ ලියූ මස් ලේ නැති ඇට”, 1946 දී ජී. බී. සේනානායක රචනා කළ පළිගැනීම නම් කතා සංග‍්‍රහයෙහි ඇති ගද්‍යයටත් පද්‍යයටත් අතර එන නිබන්ධ සහිත නිදහස් කවි මගටත්, 1955 ගුණදාස අමරසේකර ලියූ උයනක හිඳ ලියූ කවි මඟින් හඳුන්වා දුන් අලුත් සඳැස් කාව්‍ය සම්ප‍්‍රදායටත් අනුගත වූ බවට සාක්කි වෙයි.

නූතන සිංහල කාව්‍ය සම්ප‍්‍රදායට අනුගත නිදහස් කවිය, ජී. බී. සේනානායක 1946 පළිගැනීම නම් වූ කෙටිකතා සංග‍්‍රහයෙහිලා හඳුන්වා දුන් මුල්ම කාලයේ සාම්ප‍්‍රදායික සිංහල කවින්ගේ බලවත් දෝෂ දර්ශනයට ලක් වූයේ ය. එකල පී. බී. අල්විස් පෙරේරා ඊට විරෝධය දක්වා තිබුණේ මෙසේ ය.

 නිසඳැස් කවියට විරෝධයක්

‘‘ගද්‍ය ගීත නමින් අලුතක සිට පහළ වී ඇති මහා වසංගතය තරම් විපතක් මෙතෙක් සිහළ කවියට වැද්ද නුදුන්නේ ය. කිසිම ශාස්ත‍්‍ර යුක්තියකට නැති මේ විකාර ගද්‍ය ගීත, අකුරු ලිවීමට හැකි  ඕනෑම බූරුවෙකුට ලිවීමට පුළුවන. ඊට දක්ෂකමක් හෝ උගත්කමක් වුවමනා නැත. වැකියක් කඩ කඩා ලියන්නට පුළුවන් නම්, එය ම ප‍්‍රමාණවත් යැ’’ යි කියන අල්විස් පෙරේරාගේ මතය එකලට කෙසේ වෙතත් අදට නම් අසාධාරණ ය. එකල නිසඳැස බිහිවීම පී. මලල්ගොඩ කවියා දුටුවේ සිංහල කවියේ පිළිලයක් ලෙසිනි. ඔවුහූ මෙසේ කීහ.

කිළුටු කර හෙළ            බස්

රැගෙන ආගන්තුක       වෙස්

මරා ගෙන කවි              ගස්

උපත ලද පිළිලයකි  නිසඳැස්

එකළ නිසඳැස් කවියට විරුද්ධව ධර්ම ශී‍්‍ර කුරුප්පු කවියා ‘‘නිසඳැස් කයිය සහ හෙලුවැලි කයිකාරිය’’ (1959) නමින් පොතක් ම ලියා පළ කළේ ය. මේ උද්ධෘතය ඒ ග‍්‍රන්ථයෙනි.

අදහස් වැරූ බොල් වැකි පිස්සුවෙන්   ලියා

චන්දස් බැහැර කළ මේවා කවියි       කියා

රස බස් වහර රැක ගත යුතු මඟින්  නොයා

නිසඳැ ස් කයි බඳියි කවි බැරි     මනුස්සයා

 

නිසඳැස් ගැන මතවාදයක්

එකල මෙබඳු විරෝධතා පැන නැඟුණ ද සිරි ගුණසිංහයෝ මේ කවි ආර ඉතා ම සූක්ෂම ලෙස පෝෂණය කළ හ. අද සඳැස් කවියටත් වඩා බුද්ධිමය ප‍්‍රහේලිකා විශේෂයක් ලෙස නිසඳැස පාඨක ලෝකයා වෙත සමීපාශ‍්‍රීතව ඇත. නිසඳැස් කාව්‍යය පිළිබද 1940 - 1950 - 1960 ගණන්වල තිබූ දැඩි විරෝධය නිසා මේ කවි නිසඳැස් යැයි කීමට ජී. බී. සේනානායකයෝ පවා බිය වූහ.

‘‘මා ලියූ කවි නිදහස් කවි, නිසඳැස් කවි කියන එක සිරි ගුණසිංහගේ යෙදුමක්, මගෙන් පසු සිරි ගුණසිංහත් තවත් කිහිප දෙනෙකුත් මේ කවි කලාවට හුරු පුරුදු වුණා.මේ පොතෙහි පද්‍යාවලීන්ගේ විලාසයෙන් එන නිබන්ධ මා සලකන්නේ ගද්‍යයට ද පද්‍යයට ද අතර වන නිබන්ධ විශේෂයක් වශයෙනි. ඒවා කිය විය යුත්තේ ගද්‍ය කිය වන ලෙස ය. එහෙත් කියවීමේ දී ශබ්ද සංඝටනාවෙහි මාධුර්යය කෙරෙහි දක්වන සැලකිල්ල ගද්‍යය කියවීමේ දී ඒ අරබයා දක්වන සැලකිල්ලට වැඩි විය යුතු ය.’’ යනුවෙන් ප‍්‍රකාශ කළ ජී. බී. සේනානායක මෙම කාව්‍ය නිදහස් ද නිසඳැස් ද යන්න සෘජුවම කීමට මැලි වූ නමුත් 1954 දී කළ “රුබයියාට්” පරිවර්තනයේ දී ඒ පිළිබඳ පැහැදිළි අදහසක් දැක්වූයේ ය.

‘‘මෙහි එන පද්‍යාවලිය මා සිංහලයට පරිවර්තනය කළේ සිංහල කාව්‍ය සම්ප‍්‍රදායට අයිති කිසිම පද්‍ය විශේෂයක් අනුගමනය කිරීමෙන් නොවේ. අනුගමනය කරන ලද්දේ නිදහස් පද්‍ය යන නමින් බටහිර හඳුන්වනු ලබන පද්‍ය විශේෂයකි.ඉංග්‍රීසි කවීහූ මෙවැනි පද්‍ය “Free Verse” සහ “Verse Librer” යන නම්වලින් හඳුන්වති.”යනුවෙන් එහිදී ඔහු ලිවීය.

“සිංහල කාව්‍ය සම්ප්‍රදායේ එන ඡන්දස් ශාස්ත්‍රය පිළිබඳ නීති රීතිවලට අනුව ලියන ලද පද්‍ය පමණක් පද්‍ය ලෙස සලකතොත් ඒවා පද්‍ය ද නොවේ.එවිට ඒවා පද්‍යත් ගද්‍යත් අතර එන රචනා විශේෂයක් ලෙස සැලකීමට සිදුවේ.ඊට දිය හැකි පැරණි නමක් නැත.එහෙයින් ඉංග්‍රීසි කවීන් අතර පැතිරුණු “Free Verse” යන නම ද ප්‍රංශ කවීන් අතර පැතිරුණු “Verse Librer” යන නම ද අනුගමනය කොට සිංහලෙන් ඊට “නිදහස් පද්‍ය” යැයි කීමට සිදු වී ඇත.” යනුවෙන් ජී.බී ප්‍රකාශ කළත්, ජී. බී. ලියූ රචනා කවි නොවන බවටත්, ඒ රචනාවේ එන භාෂාව කව් බස නොවන බවටත්, ඒ බස ගද්‍ය භාෂාවම බවටත් තර්ක ඉදිරිපත් කරන සිරි ගුණසිංහයෝ මෙසේ කියති.

‘‘තමාගේ රචනාත් නිසඳැසත් අතර ඇති වෙනස අවබෝධ කර ගත් නිසා තමා නිසඳැස් නොලියූ බව ජී.බී සේනානායක කීප වතාවක් ම කියා සිටියා. ජී.බී සේනානායකගේ ඒ කියමනට තවත් හේතු කියන්න පුළුවන්. සමහර විට ඔහු නිසඳැස් කවිවලට කැමති නැතිව සිටියා වෙන්නත් පුළුවන්. නිසඳැස් කවි එවකට - මුල් අවදියේ - පේරාදෙණියේ නිර්මාණයක් හැටියට ගැණුනු නිසා පේරාදෙණියට එරෙහි වුණු බොහෝ දෙනෙක් වගේ ජී.බී සේනානායකත් නිසදැස් හෙලා දැක්කා වෙන්න ඇති. සාම්ප‍්‍රදායික විචාරකයෝ නිසදැස් හෙලා දැකීමත්, නිසඳැස් ලියූ අයට ඒ අය අනාදරයෙන් නිර්දය විදිහට කරන ඇනුම් බැනුම්වලට භාජනය නොවී සිටීමටත් ජී.බී සේනානායක තමා නිසඳැස්කාරයෙක් නොවෙයි කියා හිතුවා වෙන්නත් ඇති. නිසඳැස කිසියම් ප‍්‍රමාණයකට ස්ථාපිත වුණාට පස්සෙ, ඇනුම් බැනුම් නැවතුනාට පස්සෙ තමාත් නිසඳැස් ලිව්වා කියලා ජී.බී සේනානායක ප‍්‍රකාශ කළා. ඒ ප‍්‍රකාශය කවුරුත් ඒ තරං උනන්දුවකින් පිළිගත්ත බවක් තිබුණේ නෑ.

මම මුලින් ලියූ නිසඳැස් කවි ආපසුව පළ වුණේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල සමිතිය 1949 පළ කළ “අරුණ” සඟරාවෙයි. ඒ ජී.බී සේනානායකගේ “පළිගැනීම” පළවී අවුරුදු දෙකකට වැඩිය ගත වුණාට පසුවයි.

ජී.බී සේනානායකගේ ගද්‍යයත් නොවන පද්‍යයක් නොවන රචනා පළවී කාලයක් ගත වුණාට පස්සෙ “ආපසුව” පළ වුණු පමණින්ම එය ජී.බී සේනානායකගේ රචනාවලින් ආභාසය ලැබුවා යැයි සිතීම වැරදියි. ඓතිහාසික සත්‍යය නම් “ආපසුව” පළ කරන විට මම “පළිගැනීම” කියවලවත් නොතිබුණු බවයි.

“පළිගැනීම” ජනප‍්‍රිය කෙටිකතා සංග‍්‍රහයක් බවට පත් වුණේ ඊට කලකට පසුයි. එවකට මේ ගද්‍යයත් නොවන පද්‍යයත් නොවන රචනා කිසිවෙකුගේ සැලකිල්ලට භාජනය වුණා යැයි කියන්න බැහැ. ඇත්ත වශයෙන් ජී.බී සේනානායකගේ රචනා ප‍්‍රසිද්ධියට පත් වුණේ නිසඳැස් කවි නිසා යැයි කිය හැකියි යනු අපේ හැඟීමයි.

නිසඳැස් කවි බිහි වීමට තුඩු දුන් බලවේගය හැටියට ගැනිය යුත්තේ කොළඹ කවි ව්‍යාපාරය නිසා සිංහල කවිය පහත් තත්ත්වයකට වැටී තිබීමයි. කොළඹ කවියේ දුර්වලතා බොහෝ කාලයක ඉඳලා ම අපි වටහා ගෙනයි හිටියෙ. “ආපසුව”-“ ඊයේ”- “සොඳුර” ආදිය ඒ වැටහීමේ ප‍්‍රතිඵලය මිසක් ජී.බී සේනානායකගේ රචනාවලින් ලැබුණු ආභාසයක් නිසා ලියූ කවි නෙවෙයි කියන එක අවධාරණය කළ යුතුයි.

නිසඳැස් කියන වචනය පවා එවකට තිබුණේ නැහැ.සමහරු නිදහස් කවි කියා මේවා හැඳින්නුවේ බටහිර “Free Verse”යන්න අනුකරණය කිරීමෙන්ය කිය හැකියි. නිසඳැස් යන්න පළමුවරට සඳහන් වුණේ 1956 පළ කළ “මස් ලේ නැති ඇට” කාව්‍ය සංග‍්‍රහයෙහි පිටකවරයේයි. නිසඳැස් යන්නෙන් අදහස් කෙරෙන්නේ පාරම්පරික ඡන්දෝලංකාර ආදිය නැති කවි යන්නයි’’

සාම්ප‍්‍රදායික ඡන්දස් ශාස්ත‍්‍රයට පටහැනිව යමින් සිරි ගුණසිංහ ලියූ මුල් ම නිසඳැස් කාව්‍ය පළ වූයේ 1949 දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලීය සිංහල සමිතිය ප‍්‍රකාශනය කළ “අරුණ” සඟරාවෙහිය. “ආපසුව” නම් වූ ඒ පද්‍යය සිංහල කාව්‍ය ක්ෂේත‍්‍රයේ විවාදාත්මක ප‍්‍රස්තුතයක් බවට පත් වූයේ ය.

-ආපසුව-

කොයි සිට එයි ද

කොතනට යයි දැයි

නොදැන

කිසිවකු කෙරෙත්

මග සලකුණු කිසි නොලැබ

දොර හඬ දෙවයි

මහ රෑ

බල මැන යතුරු සිදුරින්

සෙලූ ගන අඳුර පමණයි

ඇයි ද ඔය බිය ඔය පුදුමය

නොනැසී බිදෙන අතීතය

වැළඳ දිනෙන් දින

දුරට යන අනාගතය..!

එකම අච්චුවකට ලිය වුණු කොළඹ කවියේ සතර පදවැල්වලින් ගොඩ ඒමට නූතන කවියාට අත්වැලක් සැපයූ සිරි ගුණසිංහගේ නිසඳැස් කාව්‍ය රචනා කාව්‍ය ආකෘතියෙත්, කවි බසෙත් විවර්ධන අවස්ථා සනිටුහන් කරන්නකි. නව කවි මගක් එළි පෙහෙළි කළ සිරි ගුණසිංහගේ, මස් ලේ නැති ඇට කාව්‍ය සංග‍්‍රහය බුද්ධිමය නිම් වළලු පුළුල් කළ නිර්මාණ එකතුවකි.

කොළඹ සාම්ප‍්‍රදායික කවි බසෙහි සුසුම් පද සපුරා බැහැර කළ සිරි ගුණසිංහගේ කවි බස සරල වුව ද ගැඹුරු අර්ථෝද්වීපනයට තුඩු දෙයි. “මස් ලේ නැති ඇට” මතු නොව, ඊට පසුව රචිත “අභිනික්මන”-“රතු කැකුල” ආදී නිර්මාණ සංග‍්‍රහයන්හි එන කවි බස ද ප‍්‍රබල ය.

මේ සඳහා විවිධ අත්හදා බැලීම් රැසක් සිදු කළ සිරි ගුණසිංහ විශ්වයේ චිරප‍්‍රකට කවීන්ගේ ඇසුර ද ලබන්නට ඇත. “වෝල්ට් විට්මන්”, බෝද ලෙයාර්”, මැලාර්” මේ වැනි බටහිර සංකේතවාදී කවීන්ගේ ශිල්පීය කුසලතා ප‍්‍රගුණ කිරීමෙන් නවකාව්‍ය සම්ප‍්‍රදායක් ස්ථාපිත කළ සිරි ගුණසිංහගේ ‘‘මරණය නොසැලී හිමාලයක් මෙන්’’ දාර්ශනික චින්තාවක් අන්තර්ගත පද්‍ය රචනයකි.

මරණය නොසැලී හිමාලයක් මෙන්

ඔබ ළග සිටී

තුරුලට වී ඔබ වැලඳ ගනී

අඩියෙන් අඩියට ඇසිල්ලෙන් ඇසිල්ලට

මරණය වෙත ළගා වෙන්නෙ ඔබමයි

බය වී මොර දෙන්නෙත් ඔබමයි

මරණය ඔබ පසු පස්සෙන් නොදුවයි..!

සිරි ගුණසිංහ මරණය දකින්නේ අකම්පිතව තමාට නුදුරින් සිටින හිමාලයක් මෙනි. සැබවින්ම මරණය යනු දිනෙන් දින ගෙවමින් පවතින ජීවිතය මැයි යන දාර්ශනික චින්තා විෂය වූ සිරි ගුණසිංහගේ කාව්‍ය රචනා සාමාන්‍ය පාඨකයාට විෂය නොවී ය. ඔහුගේ කාව්‍ය රචනා බුද්ධිමය ප‍්‍රහේලිකා ගණයෙහිලා විචාරකයෝ සැලකූහ. වචන අරපිරිමැස්මෙන්, සංකේතානුසාරීව පෙළ ගස් වන ලද කාව්‍ය රචනා බුද්ධිමය තලයක් කරා පැතිර ගියේ ය. අබිනික්මන කාව්‍ය සංග‍්‍රහයෙහි එන උදය නමැති රචනය මීට හොඳ ම නිදසුනකි.

පෙරදිග ගොරහැඩි රකුසෝ

මගේ ධ්‍යානය ඇයි කඩන්නේ

නිදා ගන්න පොරව ගත්ත

කලු රෙදි පොට

මොකට ද මේ

තීරුවලට ඉරා දමන්නෙ

කුරුල්ලන්ට ගල් ගහලා

උන් හොඳට ම බිය කරලා

මල් පොහොට්ටු තිගැස්සිලා

කඳුලු හෙලනවා

ඇස් දෙක මම අරින්නෙ නෑ

තුරුලු කරන් භාවනාව

නැවතත් යන්නට යනවා

මම

මගේ දැහැන් ලෝකයටම..!

නූතන කාර්මික ලෝකයෙහි යාන්ත‍්‍රික ජීවන රටාවකට හුරු වූ මිනිසාට එක ම සැපතක් ව ඇත්තේ නිදි සුව පමණි. එවන් නින්දක් අහිමි කරන සූර්යෝදය කෙරෙහි කථකයා තුළ ඇති විරෝධාකල්පය මෙයින් ධ්වනිත නොවේ ද?

බටහිර සංකේතවාදී කාව්‍යයෙහි ආභාසය මත රචිත සිරි ගුණසිංහගේ කාව්‍ය රචනා පොදු පාඨකයා ඥානනය කළේ අඩුවෙනි. එමතු ද නොව, ඔහුගේ කවි මග දැනුදු හරි හැටි අවබෝධ කර ගෙන කාව්‍ය රචනයෙහි නියැලෙන නූතන කවීහු ද විරල වෙත්.

සැබැවින් ම සිරි ගුණසිංහගේ කවි මාර්ගයට සාර්ථක ලෙස ප‍්‍රවේශ වූ නූතන සංකේතවාදී සාර්ථක කවියෙකු නැති තරම් ය. ඊට මූලික හේතුව නම් අති නවීනත්වයකින් යුත් ඔහුගේ නිසඳැස් කාව්‍ය සම්ප‍්‍රදායට අනුවර්තනය වීම අතිශයින් ම දුෂ්කර විම ය.

මේ සමාජයේ අපට බොහෝ විට හමුවන්නේ කුස ගිනි ඉවසා ගත නොහැකි ව හඬා වැලපෙන නොදරුවන් ය. එහෙත් මේ පොඩි ළමයා කුස ගිනි උහුලා ගෙන සිනාසෙයි. එහෙත් ඒ සිනහව සතුට ගෙන එන්නක් නොවේ. වේදනාබර කලකිරීම් සහිත වූ සිනාවකි.

පුදුමයෙන් මෙන් බලා මා දෙස

දෙකන තෙක් සිනා සලා

විසි කොට පොල් කටුව කානුවේ

පිස දමයි අත ඉරුනු සරමේ..!

‘‘සොඳුරු මියුරු වචනවලින් සිය සුන්දරත්වය කරා යනවාට වඩා රළු පරළු වචනවලින් සිය කාව්‍ය වඩා රසවත් කර ගැනීම අපූරුමයැ යි කියූ සිරි ගුණසිංහ කිසිදු විටෙක සමුද්‍ර ඝෝෂ” විරිත භාවිත කළේ නැත. සමුද්‍ර ඝෝෂය” පිළිබඳ ඔහු කතා කළේ දැඩි අප‍්‍රසාදයකිනි. ඔහු ඡන්දස් සහ විරිත් ප‍්‍රතික්ෂේප කරමින් නිර්ඡන්දස් කවි ලියූ බැව් සඳහන් වෙතත්, ඔහුගේ මස් ලේ නැති ඇට කාව්‍ය සංග‍්‍රහයෙහි එන රචනා අතර ද යම් ඡන්දසකට අනුව ලිය වුණ කාව්‍ය රචනා දැකිය හැකි ය.

‘‘ඇයි තවත් නොනගින්නේ

-මාත‍්‍රා 12-

මගෙ දෛනික ඇස් රුදාව

-මාත‍්‍රා 12-

නද දෙවමින් මදුරු රෑන

-මාත‍්‍රා 12-

ගොලුබෙලි කටුවක තුළ මෙන්

-මාත‍්‍රා 12-

අඳුර පොරව ගෙන සිටියේ

ගලා වැටෙන තෙක් ම තමයි..!

නොපෙනෙන එළිය - මස් ලේ නැති ඇට - (21 පිටුව)

ඡන්දසය බැහැර කිරීමට සිරි ගුණසිංහ කොතෙක් වෙහෙසුන ද ඔහුගේ බොහෝ කාව්‍ය රචනාවල කිසියම් ඡන්දසක් දක්නා ලැබෙයි. ඒ ඡන්දය සියබස්ලකරෙහි හෝ එළු සදැස් ලකුණේ කතිකා කළ ඡන්දස නොවන්නට පුළුවන් වුව ද, ඔහුගේ “මස් ලේ නැති ඇට” කාව්‍ය සංග‍්‍රහයෙහි මතු නොව, අභිනික්මන” සහ රතු කැකුළ” වැනි කාව්‍ය සංග‍්‍රහයන්හි එන රචනාවල ද මේ ලක්ෂණය විනිවිද දැකිය හැකි අතර

‘‘තවමත් බිඳ නැති බිත්තරයක් සේ සිරි ගුණසිංහගේ අසාමාන්‍ය කවි සිංහල කවි කැදැල්ලෙහි ජීවයෙන් ගැහෙමින් උණුසුම් ව ඇත යනු මගේ ස්නායුවලට දැනෙන දෙයකි’’ යි ආලකමන්දාවට පෙරවදනක් ලියන පරාක‍්‍රම කොඩිතුවක්කු කිවිසුරාණෝ කියති. එපමණට සිරි ගුණසිංහගේ මස් ලේ නැති ඇට කාව්‍ය සංග‍්‍රහය නිසඳැස් කවි කෙතෙහි රන් අස්වනු නෙළීමට ලබාදුන් දායකත්වය සුළුපටු නොවන බැවිණි.

ශාස්ත්‍රපති

-මහේෂ් ක්‍රිෂාන්ත-

Advertiesment