(සුජිත් මංගල ද සිල්වා)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් ඇමරිකානු පුරවැසිභාවයෙන් ඔහු නිදහස් කිරීමේ අවහිරයක් හෝ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත නොවනු ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කාර්යාංශයේ ස්ථාවරය වී තිබේ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු භාර කාර්යාංශයේ ප්‍රබල නිලධාරිනියකගේ පාර්ශවය මඟින් මේ බව බැසිල් රාජපක්ෂ මහතාට ද නිල නොවන පෞද්ගලික මට්ටමෙන් දැනුම් දී ඇතැයි විදේශ තානාපති අංශ සහ බුද්ධි අංශ ආරංචි මාර්ග “lankanewsweek” සමග තහවුරු කර සිටියි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු භාර කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සමග බැසිල් රාජපක්ෂ මහතාට තිබෙන පෞද්ගලික සබදතා මත ඒ අය ඔහුට මේ බව දැනුම් දී තිබෙන්නේ යම් හෙයකින් තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් සිය ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වගේ තමාටත් අතිශය දුෂ්කර ක්‍රියාදාමයකට මුහුණදීමට සිදුවනු ඇද්ද යන්න සම්බන්ධයෙන් ඔහු සිය පෞද්ගලික සබදතා මාර්ගයෙන් අඛණ්ඩවම සිදු කළ කරුණු සොයා බැලීම්වලට අදාළවය.
බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සටන අරඹා ඇති බව ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා කොළඹ කෝට්ටේ පිහිටි හිටපු ආරක්ෂා ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “වියත් මග” සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී සදුදා (21) පැවති විශේෂ සාකච්ඡාවේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු භාර කාර්යාංශයෙන් බැසිල් රාජපක්ෂ මහතාට අතිශය පෞද්ගලික මට්ටමෙන් රහසිගතව ලැබුණු එම පණිවිඩය මත පදනම්වය.
සිරි රණසිංහ මහතා ප්‍රධාන කර්තෘ ධූරය දරණ “ලංකාදීප” පුවත් පතේ සිකුරාදා (26) පළ වන “කරළියේ පෙරළි” දේශපාලන තීරුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ මේ ජනාධිපතිවරණ අපේක්ෂක සටනේ සූදානම ගැන සහ ඊට සමගාමිව බැසිල් රාජපක්ෂ පාර්ශවයත් ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයත් අතර ගිණියම් වී තිබෙන දේශපාලන අළු යට ගිණි පිළිබඳ සිද්ධිය වාර්තා කර තිබුණේ මෙසේය.
“හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉකුත් සඳුදා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් හමු වූයේය. ඒ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමටය.
පිටකෝට්ටේ “වියත්මග” කාර්යාලයේ පැවැති එම හමුවට ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිමල් ලාන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු පිරිසක් සහභාගී වූහ. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයෝද එම අවස්ථාවට සහභාගි වී සිටියහ. එහිදී ගෝඨාභය රාජපක්ෂ කීවේ ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රටට විශාල අනතුරක් සිදුවිය හැකි බවය. ඒ පිළිබඳව අවධානයෙන් පසු වන ලෙසද ගෝඨාභය රාජපක්ෂ දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළේය.
ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග ජනාධිපති අපේක්ෂක සටනේදී සහාය දක්වන්නේ බැසිල් රාජපක්ෂටය. බැසිල් රාජපක්ෂ නියම සුදුස්සා යැයිද ඔහු දේශපාලනය දන්නේ යැයිද ප්‍රසන්න රණතුංග කිහිප වරක්ම එහිදී කියා තිබුණේය. ප්‍රසන්න රණතුංගගේ එම අදහසට ගෝඨාභය රාජපක්ෂ පිළිතුරක් දීමටද එදින අවස්ථාවක් ලබා ගත්තේය.
“මම හමුදා නිලධාරියෙක් වෙලා හිටියා. ඒ කාලේ දේශපාලනය කළේ නැහැ. ආරක්ෂක ලේකම් වුණා. ඒ කාලෙත් දේශපාලනය කළේ නැහැ. හැබැයි මම දේශපාලන පවුලකින් එන දේශපාලන පසුබිමක් තියෙන කෙනෙක්. ඒ නිසා මට දේශපාලනය හොඳටම තේරෙනවා. ඒක නැතැයි කියන්න කාටවත් බැහැ.” යැයිද ගෝඨාභය රාජපක්ෂ එහිදී කීවේය.”
මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට ද සිය ද්විත්ව පුරවැසිභාවය හරස් වනු ඇති නමුත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ ද ගෝඨාභය රාජපක්ෂ මහතාට තරම් බැසිල් රාජපක්ෂ මහතාට සිය ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අපහසු නොවනු ඇති බවය.
ඊට හේතු වී තිබෙන්නේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විවිධ පාර්ශව විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගොනු කර ඇති නමුත් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එවැනි කිසිදු චෝදනාවක් එල්ල වී නොතිබීම බව ද ඔවුහු පෙන්වා දෙති.
ඒ අනුව තමාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා නිරවුල් කර ගෙන සිය ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අසීරු සහ කල් ගත වනු ඇති නමුත් බැසිල් රාජපක්ෂ මහතාට එවැනි චෝදනා නොමැති නිසා කිසිදු අසීරුවකින් තොරව අවශ්‍ය අවස්ථාවකදී ඉතා කෙටි කලකින් සිය ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකියාව තිබෙන බව ද දේශපාලන විචාරකයින්ගේ ස්ථාවරය වී තබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සහ දේශපාලන බුද්ධි තොරතුරු අනුව “ගෝඨා-බැසිල්” ජනපති ධූර අපේක්ෂක සටනේ ගිණියම් වී තිබෙන අළු යට ගිණි හෙට අනිද්දාම පුපුරා යනු ඇති බව නියතය.
මෙදෙශපාලන වාතාවරණයේදී හිටපු ජනධිපාහි මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කිරීමට යන ආකාරයත්, බැසිල් රාජපක්ෂ මහතාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය නොලැබුණොත් ඔහු ක්‍රියා කිරීමට සැලසුම් කර ඇති ආකාරය සහ තමාට අවස්ථාව නොලැබුණොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගත හැකි දේශපාලන තීන්දු තීරණවලට අදාළව අභ්‍යන්තර, රහස් සහ තාර්කික තොරතුරු රැසක් “lankanewsweek” සතුව තිබෙන අතර ඒ පිළිබඳ සියලු තොරතුරු මේ ප්‍රවෘත්තියෙන් පසුව පියවරෙන් පියවර වග කීමෙන් යුතුව රට ජනතාව හමුවේ හෙළිදරව් කිරීමට සියලු කටයුතු යොදා තිබෙන බව අපි අපේ පාඨකයින් වෙත දැනුම් දී සිටිමු.
Lanka Newsweek © 2024