(හේමන්ත තුෂිත කුමාර) පසුගිය ඉරිදා දිනයේ මධ්‍යධරණී මුහුදේදී නව යොවුන් වියේ පසුවූ තරුණියන් 26 දෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට ඉතාලි පොලිසිය සමත් විය. සොයා ගන්නා ලද කාන්තාවන් අවුරුදු 14ත් අවුරුදු18ත් අතර වයසේ පසුවන්නන් විය. මේ වන විට ඔවුන් සිතාමතාම මරාදමනු ලැබූවේදැයි ඉතාලි පොලිසිය සැක කරයි.තවත් පසෙකින් බලන කල මියගිය සියලු දෙනාම කාන්තාවන් වීම සැක සහිත බව ඔවුන් පවසයි. මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන සැලෙර්නෝ පොලිසියේ ප්‍රධානියා වූ ලොරේනා සිස්කොට් පැවසූයේ සියලුම කාන්තාවන් නයිජීරියා ජාතිකයන් බවත් ඔවුන් ලිංගික අපයෝජනයකට ලක්ව ඇත්දැයි සොයාබැලීම දැනටමත් අරඹා ඇති බවත්ය. එමෙන්ම ඔවුන් ලිබියාවේ සිට මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට යාමේ ඉතාමත් අවදානම් සහගත ගමනක නිරතව සිට ඇත. ගඩාෆිගේ පාලනය නිමවීමත් සමගම විවිධ රටවල සංක්‍රමණිකයන් යුරෝපය කරා ලඟා වීමට මේ වනවිට ලිබියාව කේන්ද්‍රස්ථානයක් බවට පත්කරගෙන ඇත. මේ වසරේ නොවැම්බර් 01 වනවිට මධ්‍යධරණී මුහුද හරහා යුරෝපය වෙත සංක්‍රමණය වූ පිරිස 151,000ක් පමණ වන අතර ඉන් 111,500ක් පමණ පිරිසක් ඉතාලිය වෙත ලඟාවී ඇත. අනෙක් පිරිස් ග්‍රීසිය , ස්පාඤ්ඤය , සයිප්‍රසය,වෙත ලඟාවී ඇත.මේ අතරවාරයේදී ඉන් 2800ක් පමණ පිරිසක් මියගොස් ඇත. 2014 වසරේ සිට 400,000ක පමණ පිරිසක් ලිබියාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලිය වෙත ළඟාවී ඇති අතර දිනෙන් දින ඉතාලිය වෙත සංක්‍රමණය වන ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණිකයන් අවම කිරීමේ අවශ්‍යතාවක් ඉතාලි රජයට පවතියි. මේ අතර මනුෂ්‍ය වෙළඳාමේ නිරත වන්නන් බොහොමයක් මධ්‍යධරණී මුහුද හරහා ක්‍රියාත්මකව ඇති අතර විශේෂයෙන් කාන්තාවන් අතිශය අමානුෂිකලෙස ලිංගික අඩත්තේට්ටම් වලට ලක්කිරීම සහ දූෂණයට ලක්කිරීම සිදු කරයි. මේ හේතුවෙන් බොහොමයක් කාන්තාවන් ඒඩ්ස් හෙවත් HIV ආසාදනයට ගොදුරු වේ. එමෙන්ම සමහරුන් ලිංගික අඩත්තේට්ටම් කිරීමේදී ගිනි අවි වැනි දේවල් උපයෝගී කරගෙන දරුණු ලිංගික වධහිංසනයට ලක්කළ අවස්ථාද අසන්නට ලැබෙන බව මානුෂීය සමාජ ක්‍රියාකාරීන් පවසයි.
Lanka Newsweek © 2024