(රංජිත් ගුණවර්ධන)
එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන්ට තමිල්නාඩුවේ ඇතැම් සන්නද්ධ කණ්ඩායම් අවි පුහුණුව ලබා දෙද්දී කලාපයේ බලවතා වූ ඉන්දීය ආණ්ඩුව නිහඬව බලා සිටීමත් උතුරේ ද්‍රවිඩ ජනතාවට මෙරට ආරක්ෂක අංශ වෙතින් විවිධ බලපෑම් එල්ල වෙතැයි සිතූ ඉන්දීය ආණ්ඩුව උතුරට වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් ගුවනින් හෙළිමට පියවර ගැනීමත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේ අවසන් කාලයේදී සිදු වූ විශේෂිත සිදුවීම් විය. මෙවැනි අයහපත් වාතාවරණයක් යටතේ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා සමඟ 1987 වසරේදී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමටත් ඒ යටතේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන වරටත් සංශෝධනයක් ගෙන එමින් මෙරටට නුහුරු පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමටත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ක්‍රියා කළේ ය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව සිදු වූ ඇතැම් අප්‍රසන්න සිදුවීම් මෙරට ජනතාව අදට ද සිහිපත් කරන අතර, මෙරට පාලනයට බලහත්කාරයෙන් ඇතුල් කළ පළාත් සභා ක්‍රමය සුදු අලියෙකු හා නාස්තිකාර වැයක් ලෙස ඇතැම් පිරිස් හඳුන්වා දෙමින් සිටිති. පළාත් සභා සතු බලතල පිළිබඳව ද මේ වන විටත් විවාදාත්මක තත්ත්වයක් පවතින අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වරක් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ද්‍රවිඩ ජනතාවගේ සිත් දිනා ගැනීම සඳහා ප්‍රකාශ කර තිබුණේ පළාත් සභාවලට 13ට එහා ගිය බලයක් ලබා දිය යුතු බවය. මෙවැනි වතාවරණයක් යටතේ බිහි වූ දකුණු පළාත් සභාව තුළ සිදු වී ඇති අයථා හා අවිධිමත් ක්‍රියාවන් පිළිබඳව දකුණේ ජනතාව වෙත අප කරුණු පැහැදිලි කර දෙන්නේ ඔවුන් විසින් ඡන්දය හා මනාපය පළ කොට දකුණු පළාත් සභාවට පත් කර එවා ඇති මහජන නියෝජිතයන් පිළිබඳ වඩාත් නිවැරදිව හඳුනාගැනීම සඳහා ය.
පළාත් සභාව අක්කර 16ක ඉඩම අත්පත් කර නොගැනීම
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු අක්කර 16ක භූමි පප්රමාණයකින් යුතු ඉඩම දකුණු පළාත් සභාව වෙත පවරා ගැනීම සඳහා බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත රුපියල් මිලියන 80ක මුදලක් 2005 වසරේදී තැන්පත් කර තිබුණු අතර, එම මුදල 2016 වර්ෂය වන විටත් එම ගිණුමේ රඳවා ගෙන තිබුණි. 2008 වසරේදී රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් අදාළ ඉඩමට රුපියල් මිලියන 31.50ක තක්සේරුවක් ලබා දී තිබුණු නමුත් මේ වන විටත් අදාළ මුදල ගෙවා ඉඩම් පළාත්සභාවට අත්පත් කරගැනීමට කටයුතු නොකිරීම නිසා බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2001 වසරේ සිට තැන්පත් කොට ඇති මුදල හා රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් 2008 වසරේදී රුපියල් මිලියන 31.50කට තක්සේරු කරන ලද අදාළ ඉඩම අත්පත් කර නොගැනීම පසුපස අයථා ක්‍රියාවන් සිදු වී ඇති බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිරීක්ෂණය කොට තිබේ.
මහජන ව්‍යපෘති ක්‍රියාත්මක නොකිරීම.
පසුගිය වසරේදී දකුණු පළාත් මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ රුපියල් මිලියන 175ක් වටිනා ව්‍යාපෘති 101ක්ද උපමාන පාදක සංවර්ධන ප්‍රධාන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ රුපියල් මිලියන 39.39ක් වටිනා ව්‍යපෘති 41ක්ද උපමාන පාදක සංවර්ධන මන්ත්‍රීන් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ රුපියල් මිලියන 19.57ක ව්‍යාපෘති 284ක් ද මේ වන විටත් ආරම්භ කොට නොතිබුණි.
වැටුප් හා දීමනා වැඩියෙන් ගෙවීම
දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවට අලූතින් බඳවා ගනු ලැබූ මුරකරුවන් 42 දෙනෙකුට නියමිත වැටුප් තලයේ ආරම්භක වැටුප් පියවරේ පිහිටුවා වැටුප් නොගෙවා 12 වන පියවරේ පිහිටුවා වැටුම් ගෙවීම හේතුවෙන් රුපියල් මිලියන 5.16ක මුදලක් අදාළ මුරකරුවන් වෙත වැටුප් හා දීමනා ලෙස වැඩියෙන් ගෙවා ඇතත් මේ වන විටත් වැඩියෙන් ගෙවන ලද අදාළ මුදල් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.
හිඟ හිමි ආදායම් එකතු නොකිරීම
දකුණු පළාත් සභාවට අයවිය යුතු රුපියල් මිලියන 716.46ක ආදායම් එකතුව අයකර ගැනීමට පළාත් සභාවේ ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම නිසා අදාළ බදු ආදායම් අහිමි වී තිබුණු අතර, පිරිවැටුම් බදු ලෙස රුපියල් මිලියන 657.10ක මුදලක් ද ඛණිජ බදු ලෙස රුපියල් මිලියන 2.21ක මුදලක් ද ඖෂධ හා රසායන බදු ලෙස රුපියල් මිලියන 9.92ක මුදලක් ද මුද්දර ගාස්තු බදු ලෙස රුපියල් මිලියන 47.23ක මුදලක් ද, බදු වශයෙන් අයකර ගැනීමට තිබුණි. මෙම තත්ත්වය යටතේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා යටතේ පවතින මුදල් අමාත්‍යංශයේ අවිධිමත් ක්‍රියා කලාපයන් පැහැදිලි වේ.
ව්‍යාජ සහතික සඳහා තනතුරු ලබාදීම.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යායංශය යටතේ පාලනය වන පාසැල් සඳහා විදුහල්පති ගුරු සේවයට හා වෙනත් සේවාවන් සඳහා කූට ලේඛන ඉදිරිපත් කළ පුද්ගලයන් 76 දෙනෙකු සිටින බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදු කළ නිරීක්ෂණයකදී හඳුනාගෙන තිබුණි.
අභ්‍යන්තර මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වැලිගම චාර්ලි මවුන්ට් කර්මාන්ත පුරයේ අභ්‍යන්තර මාර්ග වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ අදියර අංක 5 සහ අදියර අංක 6 යටතේ වූ මාර්ග කොටස් නවීකරණය කිරීමේදී මිලි මීටර් 100 ගල් නොයෙදූ බව සහතික කොට රුපියල් මිලියන 0.41 ක මුදලක් වැඩිපුර ගෙවා තිබුණු අතර, එම මාර්ගයේ මිලි මීටර් 100 ගල් ස්ථරය නොයොදා මිලි මීටර් 37.5ක සහ මිලිමීටර් 19 ගල් පමණක් අතුරා තාර දමා නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර තිබූ බැවින් එම මාර්ග කොටස් දෙක වැඩිදියුණු කිරීම සඳහා වැයකර තිබුණු රුපියල් මිලියන 1.69ක මුදල නිශ්ඵල වැයක් වී තිබුණි.
රජයේ ඉඩම් බදුදීම
දකුණු පළාත් සභාව යටතේ පාලනය වන රජයේ ඉඩම් දීර්ඝකාලීන බදු පදනම යටතේ විවිධ පුද්ගලයන්ට ලබා දී තිබුණ ද වාර්ෂිකව අය කර ගත යුතු බදු මුදල් හා දඩ මුදල් අයකර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අනුගමනය නොකිරීම නිසා දකුණු පළාත් සභාවට අය විය යුතු විශාල බදු මුදලක් අහිමි වී තිබුණි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 06ක් යටතේ පාලනය වන රජයේ ඉඩම් දීර්ඝකාලීන බදු දීම වෙනුවෙන් බදුකරුවන් 22 දෙනෙකුගෙන් අය විය යුතු රුපියල් මිලියන 2.49 හිඟ බදු මුදල හා දඩ මුදල ද වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 03ක වාර්ෂික අවසර පත්රලාබීන් 466 දෙනෙකුගෙන් රුපියල් මිලියන 91 ක හිඟ බදු හා දඩ මුදලක් ද අය වීමට නියමිතව තිබුණි. තංගල්ල හා තිස්සමහාරාම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රාදේශයට අයත් ඉඩම් දීර්ඝකාලීන බදු පදනමින් ලබා ගත් බදුකරුවන් 13 දෙනෙකුගෙන් රුපියල් මිලියන 7.57ක බදු හා හිඟ දඩ මුදල් අය කරගැනීම සඳහා මෙතෙක් කටයුතු කර නොතිබුණි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක් තුළ පිහිටි රජයේ ඉඩම් කට්ටි 19 ක පෞද්ගලික දුරකථන සමාගම් 06ක් විසින් දුරකථන සන්නිවේදන කුලූනු 19ක් ඉදිකර සම්ප්‍රේෂණ කටයුතු ද ආරම්භ කර තිබුණු නමුත් අදාළ කටයුතු වෙනුවෙන් දකුණු පළාත් සභාවට ගෙවිය යුතු බදු මුදල් සන්නිවේදන කුලූනු සවි කළ දිනයේ සිට ගෙවා නොතිබුණි.
සුරා බදු බලපත්‍ර ගාස්තු නොගෙවීම.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ 5ක බලපත්රලාබීන් 27 දෙනෙකුට ලබා දී තිබූ සුරාබදු බලපත්‍ර 39ක් වෙනුවෙන් අයවිය යුතු රුපියල් මිලියන 12.14ක සංශෝධිත බලපත්‍ර ගාස්තු ප්‍රමාද ගාස්තු හා පසුගිය වසර සඳහා ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු නොගෙවා සුරා සැල් පවත්වා ගෙන යමින් සිටින බව ද අනාවරණය වී තිබේ.
කිසිඳු දායකත්වයක් නොගෙන වැටුප් හා දීමනා ගෙවීම.
2009.07.26 සිට 2014.12.31 දක්වා අතර කාලය තුළ ජාතික සවිය සහ ගම නැඟුම ව්‍යාපෘතීන් සඳහා අනුයුක්ත කර සිටි මාතර ප්‍රසිද්ධ විද්‍යාලයක ගුරුවරියක් අදාළ පාසැලේ සේවය සඳහා වාර්තා නොකර හා දකුණු පළාත් අධ්‍යාපන සේවාවට කිසිදු දායකත්වයක් ලබා නොගෙන එම කාලය තුළ වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 1.77ක මුදලක් ගෙවා තිබුණේ ඇය දකුණු පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරයකුගේ හිතවතියක් වීම නිසා ය.
විනය පරීක්ෂණ අවසන් කිරීමේ ප්‍රමාදය
දකුණු පළාත් සභාව විසින් පවත්වන ලද විනය පරීක්ෂණවලට අදාළව පුද්ගලයන් 5 දෙනෙකු කිසිදු හේතුවකින් තොරව දේශපාලන හිතවත්කම් මත අදාළ චෝදනාවලින් නිදහස් කර තිබුණු අතර 59 දෙනෙකුට එරෙහිව පවත්වමින් සිටින විනය පරීක්ෂණ දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන යමින් ඉන් 35 දෙනෙකුට දේශපාලන හිතවත්කම් මත පසුගිය වසරේදී වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 16.29ක් ගෙවා තිබුණි.
දේනුවල සංචාරක විවේකාංගනය
දකුණු පළාත් සභාවට අයත් රුහුණු සංචාරක කාර්යාංශය මඟින් පාලනය කරනු ලබන දේනුවල සංචාරක විවේකාංගනය ඉදිකිරීමට හා උපකරණ මිලදී ගැනීම සඳහා 2010 වසරේ සිට පසුගිය වසර දක්වා රුපියල් මිලියන 14.31ක මුදලක් ද නඩත්තු පරිපාලන හා ආරක්ෂක සේවා සඳහා රුපියල් මිලියන 1.23ක මුදලක් ද වැය කර තිබු නමුත් එම විවේකාංගනය මඟින් සංචාරක කර්මාන්තයට කිසිදු දායකත්වයක් ලැබී නොතිබුණි.
සමුද්‍ර පුරාවිද්‍යා සංචාරක නියමු ව්‍යාපෘතිය
රුහුණු සංචාරක කාර්යාංශයේ සංචාරක නියමු සමුද්‍ර පුරාවිද්‍යා ව්‍යාපෘතිය යටතේ 2011 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ උපකරණ මිලදී ගැනීමට ප්රචාරක කටයුතු හා සේවක වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 6.34ක මුදලක් වැය කර තිබුණි. එහෙත් මේ වන විටත් එම උපකරණ කිසිදු ආදායමක් ලබාගැනීමට නොහැකිවීම නිසා අදාළ ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල නිශ්ඵල වැයක් වී තිබුණි.
දකුණු පළාත් ක්‍රීඩා මධ්‍යස්ථානය හා ක්‍රීඩා පිටිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය
බද්දේගම මාකුරුගොඩ ප්‍රදේශයේ පිහිටි දකුණු පළාත් ක්‍රීඩා මධ්‍යස්ථානය සහ ක්‍රීඩා පිටිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා 2001 වසරේ සිට පසුගිය වසරේ අවසානය දක්වා වැය කර තිබුණු මුදල රුපියල් මිලියන 59.96කි. එහෙත් ව්‍යාපෘතිය ආරම්භයේ සිට ඉදිකිරීම් කටයුතු ඉතා දුර්වල මට්ටමක පැවතුණු අතර අදාළ කොන්ත්රතකරු විසින් අදාළ ව්ව්යාපෘතියට සම්බන්ධ කිසිදු බිල්පතක් ඉදිරිපත් කර නොතිබූ බව අනාවරණය වී තිබුණි. ඒ අනුව එම ව්‍යාපෘතිය ආරම්භ කර වසර 15ක් ඉක්ම ගිය ද එකි ව්‍යාපෘතියෙන් අපේක්ෂිත අරමුණ කරා ළඟා වීමට හා වැය කළ මුදලින් කිසිදු ප්‍රතිලාබයක් අත් කර ගැනීමට නොහැකි වී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයට අදාළව සුබ පැතුම්පත් මුද්‍රණය කිරීම.
‘‘සුබ දකුණක් දිනූ ජයග්‍රහණය රැකගනිමු’’ මැයෙන් 2015 වසර වෙනුවෙන් ප්‍රසම්පාදන කි‍්‍රයාවලියකින් තොරව සුබ පැතුම් පත් 380,000ක් මුද්‍රණය කොට 2015 ජනවාරි 08 වන දින පැවැති ජනාධිපතිවරණයට දින දෙකකට පෙර දකුණු පළාතේ සියලූම පාසල් සිසුන් වෙත බෙදා දී තිබුණි. දකුණු පළාත් අධ්‍යාපන ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහා මාර්ග, අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2014.12.31 දිනැති ලිපිය මඟින් අදාළ සුබ පැතුම් සිසුන්ගේ දෙමව්පියන් අතට පත් වන බවට පුද්ගලිකව සෑහීමකට පත් විය යුතු බව දකුණු පළාත් සභාව යටතේ පාලනය වන සියලූම පාසැල්වල විදුහහල්පතිවරුන් වෙත යවා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිසැක ලෙස ජයග්‍රහණය කළ යුතු බව දකුණු පළාත් සභා මහජන මුදල් වැය කරමින් බව අනාවරණය වී තිබේ.
සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට අයථා හා වංචා සහගත ලෙස වැටුප් හා දීමනා ගෙවීම
2013.10.14 සිට පත්වීමක් ලැබූ මාතර අධ්‍යාපන කලාපයට අයත් විදුහලක පාසැල් කාර්ය සහායකයෙකු කොටපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් එදින සිට 2015.02.28 දින දක්වා කාලය තුළ දී දින 02ක පමණක් ඔහු සේවය කළ විද්‍යාලයේ සේවයට වාර්තා කොට 2013 නොවැම්බර් මස සිට ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් වන තුරු වැටුප් වශයෙන් රු.406,798 ක මුදලක් ලබාගෙන තිබුණි. මීට අමතරව එම කාල පරිච්චේදය සඳහාම කොටපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද ඔහු රුපියල් 135,000 ක මන්ත්‍රී දීමනාවක් ද ලබාගෙන තිබුණු බව අනාවරණය වී තිබේ. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රියදුරෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු 2006 වසරේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබූ අතර සිය නිත්‍ය සේවා ස්ථානයේ පැමිණීම, පිටවීම අත්සන් කිරීමකින් හෝ කිසිදු රාජකාරියක් ඉටු නොකර ප්‍රාදේශීය සභා නිල කාලය අවසන් වන තෙක් වැටුප් හා දීමනා වශයෙන් රුපියල් 1,994,197ක මුදලක් ලබාගෙන තිබුණේ දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන මහා මාර්ග, ප්රවෘත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාට ලබාදී තිබූ ලිඛිත ඉල්ලීමකට අනුව ය.
රාජකාරි ස්ථානවලින් බැහැරව දකුණු පළාත් අමාත්‍යංශයක සේවය කිරීම.
2013 ජනවාරි මාසයේ සිට 2014 නොවැම්බර් මාසය දක්වා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත කිසිදු අනුමැතියකින් තොරව බඳවා ගනු ලැබූ අනියම් සේවකයන් 21 දෙනෙකු පළාත් සභාවේ අනුමැතියකින් තොරව දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම්, ඉඩම් සංවර්ධන, මහාමාර්ග, ප්රවෘත්ති අමාත්‍යවරයා වෙත මුදාහැර තිබුණේ ඔහුගේ පෞද්ගලික කටයුතු සඳහා ය. අදාළ අනියම් සේවකයන් සඳහා එම අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 5.46 ක මුදලක් වැය කර තිබූ අතර ඔවුන් බඳවාගෙන තිබුණේ කුමන රාජකාරි කටයුත්තක් සඳහා දැයි සඳහන් කර නොතිබුණි. මීට අමතරව දකුණු පළාත් අධ්‍යාපන සේවාව සඳහා බඳවා ගනු ලැබූ සේවකයන් 12 දෙනෙකු ද අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චන්දිම රාසපුත්‍රම් මහතා ඔහු වෙත අනුයුක්ත කර ගනිමින් පෞද්ගලික රාජකාරී කටයුතු සඳහා අමාත්‍යංශයේ මුදලින් අදාළ සේවකයන්ගේ වැටුප් සඳහා රුපියල් මිලියන 2.86ක මුදලක් ගෙවා තිබුණි.
වැටුප් සංශෝධනය නියමිත පරිදි සිදු නොකිරීම
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් ගාල්ල මාතර, හා හම්බන්තොට දිස්ත්‍රික්කවල සේවය කරනු ලබන අධ්‍යාපන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා වරින් වර සිදු කරන ලද වැටුප් සංශෝධනයන්ට අදාළව නියමිත පරිදි වැටුප් සකස් නොකිරීම හා ප්‍රතිපාදන හිඟකම හේතුවෙන් 2015 වසරේ ජුලි මස 31 දින පෙර ගෙවීමට ඇති හිඟ වැටුප් රුපියල් මිලියන 1212.4ක මුදලක් නොගෙවීම නිසා දකුණු පළාත් අධ්‍යාපන සේවාව තුළ සිටින අධ්‍යාපන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සිදු වී ඇත්තේ බලවත් අසාධාරණයකි. මේ තත්ත්වය යටතේ දකුණු පළාත් අධ්‍යාපන සේවාවේ ගුණාත්මක තත්ත්වයට ද අහිතකර බලපෑමක් වී තිබේ. අදාළ නිරීක්ෂණයන් හා චෝදනා පිළිබඳව විමසීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන මහාමාර්ග, ප්රවෘත්ති අමාත්‍ය චන්දිම රාසපුත්‍රම් මහතුන් දුරකථනයට සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සාහ කළද එම තැන ව්‍යර්ථ විය.
Lanka Newsweek © 2024