හිටපු යුද හමුදාපති-ආරක්ෂක ලේකම් යළි දීගයකට සැරසෙති..!

Spread the love

විශ්‍රාමික කැප්ටන්වරයෙක් සහ මේජර් ජනරාල්වරයෙක් කපුකමට බැහැලා..!

ෆීල්ඩ් මාර්ෂල්ගේ ප්‍රකාශය ගැන සෞඛ්‍ය ඇමති අගමැතිට පැමිණිලි කරයි..!

එස්.එෆ් ගෝඨාගේ පිටයි-ගෝඨා එස්.එෆ්ගේ පිටයි කැසීම ගැන එජාපයේ කසු කුසු..!  

(සුජිත් මංගල ද සිල්වා)

දේවස්ථාන සහ කොළඹ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු මරා ගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය පිටු පස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින බව තමා විශ්වාස නොකරන බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කර තිබේ.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග කියා තිබෙන්නේ සරත් ෆොන්සේකා මහතා තමාට ඇහුම්කන් නොදෙන තත්ත්වය හමුවේ ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් මැදිහත්වීමට තමා සූදානම් නොමැති බවය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ ප්‍රකාශය කළේ බදාදා (01) මහා නුවරට ගොස් මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් හමුවී ආශීර්වාද ලබා ගැනීමෙන් පසු ජන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

සරත් ෆොන්සේකා මහතා මේ ප්‍රකාශය කළේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව මේ ජාතික තවුහීද් ජමාත් සංවිධානය ඇතුළු එවැනි ජාතික සහ ආගමික අන්තවාදී සංවිධාන ආරම්භ කිරීමට අනුබල දී, ආරක්ෂක අමාත්‍යංශයේ අවිනිශ්චිත අරමුදලින් ඒ අයට මාසිකව විශාල මුල්‍ය අනුග්‍රහයක් ද,යාන වාහන ඇතුළු පහසුකම් සහ රාජ්‍ය ආරක්ෂාව ද ලබා දුන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවට එක්සත් ජාතික පෙරමුණ සහ එහි මැති ඇමතිවරුන් සාක්කි-සාධක ඇතිව රට-ජනතාව හමුවේ හෙළිදරව් කර තිබියදීය.

එක්සත් ජාතික පෙරමුණ සාක්කි-සාධක ඇතිව කරුණු හෙළිදරව් කරමින් කරන චෝදනාව සම්බන්ධයෙන් තාර්කික,සාධනීය සහ පදනම් සහිත පිළිතුරක් ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ වන තුරුත් අසමත් වී සිටියි.

මේ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අතිශය සමීප විශ්‍රාමික යුද හමුදා කැප්ටන්වරයෙකු සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අතිශය සමීප විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල්වරයෙකු අතර විශේෂ සහ තීරණාත්මක හමුවක් සෙනසුරාදා (27) කොළඹ,ජයික් හිල්ටන්හී දී පැවැත්විණ.

ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අවශ්‍යතාවය මත සිදු වූ මේ හමුවේදී දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇත.

“දෙරණ” රූපවාහිනියේ 360 දේශපාලන වැඩ සටහනට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන්නේ මේ හමුවෙන් පසුව,එනම් සඳුදා (29) වන අතර එහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විවේචනය කිරීමෙන් වැළකී සිටීමට ඔහු පියවර ගනු පෙනිණ.

දේවස්ථාන සහ කොළඹ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු මරා ගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය පිටු පස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින බව තමා විශ්වාස නොකරන බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මහා නුවරදී ජන මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ ද මේ හමුවෙන් පසුව, එනම් බදාදා (01) ය.

මීට අමතරව ස්වාධීන රූපවාහිනියේ බ්‍රහස්පතින්දා (02) පැවති “තීරණය” වැඩ සටහනට එක්වූ සරත් ෆොන්සේකා මහතා මේ ත්‍රස්ත ප්‍රහාරය,එහි පසුබිම,ඊට වග කිව යුතු පාර්ශව සහ මේ තත්ත්වය සමනය කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් විග්‍රහ කරද්දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරමින් කතා කළ බව පැහැදිළිව පෙනුණේ යැයි එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.

ජන මාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගෙන් විශේෂ අවසරයක් ගෙන සරත් ෆොන්සේකා මහතා මේ වැඩ සටහනට කැඳවා තිබෙන්නේ ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම්) ශානුක කරුණාරත්න මහතාය.  

සරත් ෆොන්සේකා මහතාගේ මේ ක්‍රියාකලාපය සහ ඔහුත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අතර පැවතිය හැකි අවබෝධය,සම්බන්ධය වගේම ගනු දෙනු පිළිබඳව එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ බරපතළ සාකච්ඡාවක් පවතින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*