සිංහලයාගේ ආගම බුදු දහම ද, බුදු සසුන ද..?

Spread the love

බුදුන්ගේ ධර්මය බදා ගත යුත්තක් හෝ කර තබා ගත යුත්තක් හෝ පූජා පැවැත්විය යුත්තක් නොවේ..!

 

මෙම ලිපියෙහි බුදු සසුන යන පදය භාවිත වන්නේ එහි මූලික අර්ථයෙන් නොවේ. එහි මූලික අර්ථය වන්නේ බුදුන් වහන්සේ විසින් ජනතාවට ඉදිරිපත් කළ ධර්ම විනය ලෙසින් සැළකෙන උන්වහන්සේගේ සන්දේශයයි හෙවත් අනුශාසනයයි. වෙනත් වචනවලින් පවසතොත් උන්වහන්සේ ජනතාවට දුන් පණිවිඩයයි. මේ අර්ථයෙන් සැළකුවහොත්  බුදු දහම හා බුදු සසුන යන පද දෙක සමානාර්ථවත් වෙයි.

වර්තමාන භාවිතයෙන් බුදු සසුන යන්න ගතහොත් එයින් අදහස් වන්නේ බුදු දහම හැර බාහිරව ඊට අනුබද්ධ වූ අංගොපාංග රාශියකි. එබැවින් මේ දෙක එකිනෙකින් වෙනස් වූ එහෙත් එකිනෙකට සම්බන්ධ වූ අංශ දෙකෙකි.  මේ දෙක එකම දෙයක් සඳහා නොයෙදෙන බවට හොඳම නිදසුනක් නම් අපේ රාජ්‍ය ව්‍යවස්ථාවේදී මේ අංශ දෙක එකක් වශයෙන් නොගෙන වෙන් වෙන් වූ දෙකක් වශයෙන් ගැනීමයි.

අප රටෙහි බෞද්ධ ජනතාවගේ ආගම බුද්ධාගමයයි පැවසෙන බැවින් ඒ කුමන ආගමක්දැයි විමසා බැලීමේදී බුදු දහම හා බුදු සසුන යන පද දෙක සැළකිල්ලට ගත යුතුව තිබේ. මේ දෙකින් තොර බුද්ධාගමක් තිබිය නොහැකි බැවිනි. බුද්ධාගම යනු එක්කෝ බුදු දහම විය යුතුය නැතහොත් බුදු සසුන විය යුතුය. වර්තමානයෙහි බෞද්ධ බහුතරයකගේ හැසිරීම් රටාව හා කි‍්‍රයා පිළිවෙත් විමසා බලන විට ඒවා බුදු දහමට අනුකුල වන ඒවා නොවේ, එහෙත් ඒවා බුදු සසුන නියෝජනය කරන බවට නම් සැකයක් නැත.

බුදු දහම ආගමක් වන්නේත් බුදු සසුන ආගමක් වන්නේත් කෙසේදැයි මෙහිදී විමසා බැලීම ද වැදගත් වෙයි. බුදුදහම ආගමක් වශයෙන් ගැනීමේදී මෙන්ම බුදු සසුන ආගමක් වශයෙන් ගැනීමේදී ආගම යන පදය එකම අර්ථයෙන් භාවිත කළ නොහැකිය.

ආගම යන්නට සමාන අරුත් ඇති වෙනත් පදයක් නම් අධිගම යන්නයි. එහි අදහස වන්නේ අවබොධයයි. ආගම යන පදයෙහි එක් අර්ථයක් වන්නේ ද අවබොධයයි. බුද්ධ ධර්මය ඇතුළත් වන සූත‍්‍ර පිටකයේ ග‍්‍රන්ථ ද ආගම යනුවෙන් හඳුන්වා ඇත. ඒ දීඝාගම මජ්ඣිමාගම ආදී වශයෙනි. බුදු දහම පිළිබඳ අවබොධය ලබාදිය හැකි ග‍්‍රන්ථ වශයෙන් පිළිගැනී ඇති බැවින් ඒ නම යෙදී තිබේ.

මේ නිසා දහම පිළිබඳ අවබොධය ලබාදිය හැකි කි‍්‍රයා මාර්ගයක් වශයෙන් බුදු දහම ආගමක් ලෙස යොදා ගත හැකිය. ඒ අනුව බුදු දහමෙහි දැක්වෙන ධර්ම මාර්ගය පිළිගෙන එය පිළිපදින යමෙක් වේ නම් හෙතෙම බුදු දහම ආගම කර ගත් බුද්ධාගම් කාරයෙකි.

බුදු සසුන ආගමක් වන්නේ කෙසේද? එසේ ම බුදු සසුනට ආගමක් විය හැකිද? දැනට බුද්ධාගම්කාරයෝයැයි කියා ගන්නා බොහෝ දෙනෙකුගේ ගති ලක්‍ෂණ බලන විට පෙනී යන්නේ ඔවුනට බුදු සසුන ආගමක් වී ඇති සැටියකි.

ඉංග්‍රීසි  භාෂාවෙහි “Riligion” යන පදය සිංහලට පරිවර්තනය කර ගෙන ඇත්තේ ආගම යනුවෙනි. ඒ ඇදහිලි මාර්ගයක් හෝ ඇදහිලි මාලාවක් යන අරුතිනි. ඒ අනුව බුදු සසුන ඇදහිලි මාර්ගයක් වශයෙන් ගැනීමෙන් බුදු සසුන ද ආගමක් කොට ගත හැකි වෙයි.

ඇදහිලි මාලාවක පිළිපැදිය යුතු හෝ අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති ඇත්තේ බෙහෙවින් ස්වල්ප වශයෙනි. ඒවා වුව ද ආගමික ශාස්තෘවරයකු හෝ බලගතු දෙවිවරයකු පිණවා හෝ සතුටු කොට තම බලාපොරොත්තු ඒ ශාස්තෘවරයා හෝ දෙවිවරයා ලවා ඉටු කර ගැනීම සඳහාය.

බුදු දහමෙහි ශාස්තෘවරයා එනම් බුදුන් වහන්සේ අනුන්ගේ කිසිදු බලාපොරොත්තුවක් ඉටු කරදෙන්නෙක් නොවෙති. “මම බලාපොරොත්තු ඉටු කර ගත හැකි මාර්ගය කියා දෙන්නෙක්මි. ඒවා ඉටු කර ගැනීම ඔබලා විසින් ම කර ගත යුත්තකි”යි පැවසූ ශාස්තෘවරයෙකි, බුදුන් වහන්සේ. (තුම්හෙහි කිචිචං ආතප්පං අක්ඛාතාරො තථාගතා)

ඒවා ඉටු කර ගත හැකි මාර්ගය නම් බුදු දහමෙහි දැක්වෙන පිළිවෙත් මාලාවයි. මෙම පිළිවෙත් මාලාවෙහි කෙනෙකුගේ පෞද්ගලික මෙන්ම සමාජ ජීවිතය සාර්ථකව පී‍්‍රතිමත්ව පවත්වා ගත හැකි ක‍්‍රම හා විධි බෙහෙවින් පැහැදිළිව ඇතුළත් වෙයි. ඒ අතරෙහි කෙනකු විසින් නොකළ යුතු හා කළ යුතු කරුණු ඇතුළත්ය. නොකළ යුතු දේ තමන්ගේත් අනුන්ගේත් යහපතට බාධා වන දේයි. කළ යුතු දේ තමන්ගේත් අනුන්ගේත් යහපතට හා සුභසිද්ධියට හේතු වන දේය.

එසේ නම් බුදු සසුනෙහි අතුළත් වන්නේ මොනවාද? බුදු සසුන යනු ශාස්තෘවරයාගේ නාමයත් දෙසූ ඉගැන්වීම්වල ලිඛිත හෝ අලිඛිත වාර්තාත් ජනතාව අතර ජනපි‍්‍රයත්වයෙන් පවත්වා ගැනීමට හා ඒ ඉගැන්වීම් අනුගමනය කරන හා ඒවා ජනතාවට පැහැදිළි කර දෙන ශ‍්‍රාවක භික්‍ෂූන්ගේ මනා පැවැත්ම තහවුරු කිරීමට කැප වන ආයතනයකි.

එබඳු ආයතනයක මූලික ම අවශ්‍යතාව වන්නේ ඉහත සඳහන් කළ ශාස්තෘවරයා, ඉගැන්වීම් හා ශ‍්‍රාවක භික්‍ෂූන් යන ති‍්‍රත්වය ජනතාවගේ ඇදහිල්ලට භාජනය කරවීමයි. ඒවා කාලාන්තරයක් පවත්වා ගත හැක්කේ එවිටය. බුදු දහම සම්බන්ධයෙන් මෙය අනවශ්‍ය දෙයකැයි අපි නොකියමු. එහෙත් ඒවාට අනවශ්‍ය අවධාරණයක් දුන් විට ඇදහීම පෙරමුණට අවුත් පිළිපැදීම මුළුවදියි, කොන් වෙයි.  ලබු කැට දිය යට ගොස් ගල් කැට දිය මතුවට එන්නාක් මෙනැයි උපහැරණ කොට ඇත්තේ මෙබඳු තත්වයන් හඳුන්වා දීමටය.

බුදු දහම පිළිපැදීමට මුල් තැන ලැබි ඇදහීම යටපත්ව තිබූණු බුදුන් වහන්සේගේ යුගයෙහි ඉහත සඳහන් කළ ති‍්‍රත්වයේ තත්වය කෙබඳුදැයි දැන ගැනීම ද වැදගත් වෙයි. ධර්මය අවබොධ කර ගෙන එය හෙළි කිරීමේ පුරෝගාමියා ලෙස බුදුන් වහන්සේට ගෞරවණීය ප‍්‍රමුඛත්වයක් හිමි විය. එහෙත් එය ඇදහීමේ උපාය මාර්ගයක් නොවීය.

මෙහි ලා මනා ආදර්ශයක් බුදුන් වහන්සේ විසින්ම තමන් ඇදහීමට සූදානම් වන්නන් උදෙසා සපයා තිබේ. අති මහත් භක්තියකින් තමන් දෙස ඇසිපිය නොහෙළා නිබඳවම බලා සිටින වක්ඛලි නමැති භික්‍ෂුවකට බුදුන් වහන්සේ පවසා ඇත්තේ වක්ඛලි, කුමක් ද මේ විකාරය? මගේ මේ වැහැරෙනසුලූ සිරුර දෙස බලා සිටීමේ තේරුම කිමෙක්ද? මා දැකීමට අවශ්‍ය නම් ධර්මය දෙස බලන්න යනුවෙනි. මෙහි අදහස වන්නේ ශාස්තෘ භක්තියට අවධානය යොමු නොකොට ධර්මය අනුගමනය කිරීමට උත්සුක වන්න යන්නය.

 

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් හෙවත් ධර්මය පිළිබඳව කිව යුත්තේ ද මෙයමය. ධර්මයෙහි ඇත්තේ උපයෝගිතාත්මක වටිනා කමකි. එනම් අවශ්‍යතාව සඳහා යොදා ගැනීමේ අගයයි. එය කර තබා ගැනීමට හෝ බදා ගැනීමට හෝ පුදපූජා පැවැත්වීමට හෝ නොවේ. හරියටම පහුරක් මෙනි. පහුර ගඟ තරණය කරනු සඳහාය. ගඟ තරණය කළ පසු පහුරට වැඳ පුදන්නෙක් නැත. කර තබා ගෙන යන්නෙක් ද නැත. බුදුන් වහන්සේ විසින් ම එය පැහැදිළිව පවසා ඇත (කුල්ලූපමං වො භික්ඛවේ ධම්මං දෙසිස්සාමි. නිත්ථරණත්ථාය නො ගහණත්ථාය.) මෙය භික්‍ෂූන්ට ම දේශනා කරන ලද්දක් වීම විශේෂය.

ශ‍්‍රාවක සංඝයා ද ඇදහීමට නොව ජනතාවට හරි දේ හා වැරදි දේ පෙන්වා දෙන එසේම බුදු දහම තම ජීවිතය තුළින් පිළිබිඹු කොට දක්වන පිරිසක් වෂයෙන් තබා ගැනීම බුදුන් වහන්සේගේ අභිලාෂය විය.

වර්තමාන සිංහල බුද්ධාගමේ ඉහත සඳහන් ත‍්‍රිවිධ අංශයම ඇදහීම ආගම කර ගෙන සිටින්නන්ට උචිත ලෙස සකස් කර ගෙන ඇත. අද බුදුහාමුදුරුවෝ සැදැහැවතුන්ගේ නොව භක්තිමතුන්ගේ අග‍්‍රගණ්‍ය පූජාවස්තුවයි.

සැදැහැවතකු හා භක්තිමතකු අතර විශාල වෙනසක් ඇත. ශ‍්‍රද්ධාව ඇති වන්නේ බුදුන් වදාළ ධර්මය අසා එහි සාර්ථකත්වය කෙරෙහි පැහැදීමක් විශවාසයක් ඇති කර ගැනීමෙනි. “ධම්මං සුත්වා සද්ධං පටිලභිත්වා” යනුවෙන් සඳහන් වන්නේ එබැවිනි. ඒ පැහැදීම හා විශවාසය සැදැහැවතුන්ට ධර්ම මාර්ගය පිළිපැදීමට පිටු බලයක් වෙයි. ශ‍්‍රද්ධාව බුද්ධිය පුබුදුවාලන්නකි. සත්‍යය සොයා යාම ශ‍්‍රද්ධාවේ ලක්‍ෂණයයි. එහෙත් භක්තිය බුද්ධිය වසාලන්නකි. සත්‍යය මග හැර යාම භක්තියේ ලක්‍ෂණයයි.. අන්ධයා පයේ ගැටෙන මැණිකට පයින් ගසා යන්නාක් මෙන් භක්තිමතා සත්‍යයට පිටුපා යයි.

එළය හරයයයි හැඟීමෙන් හරයෙහි එළය දකින අය මිථ්‍යා හැඟීම්වලට ගොදුරුව හරවත් දෙය නොලබතියි කරන බුදුන් වහන්සේගේ ප‍්‍රකාශය භක්තිමතුන් වෙනුවෙනි. දහසකුත් එකක් කළ යුතු හරවත් දෙය තිබියදී සසුන තුළින් කෙරෙන අපමණ නිසරු කි‍්‍රයා නිසා බුදු දහම නමැති රත්න භාණ්ඩාගාරය ජනතාව කෙරෙන් දිනෙන් දින ඈතින් ඈතට පාවී යන බවක් පැහැදිළිවම පෙනේ.

ජනතාව දහස් ගණනින් පෙළ ගස්වා තැනින් තැන කෙරෙන අසදෘශ පිච්චමල් පූජාවෝය. නෙළුම්,  ඕලූ, මානෙල් මල් පූජාවෝය. රටේම ඇති සියලු පළතුරු වර්ග එක් කොට කෙරෙන අසදෘශ පළතුරු පූජාවෝය. පසෙකින් අහස උසට විහිදෙන සෑරදුන්ට සිවුරු පොරවන්නෝය. තවත් පසෙකින් තෙසැත්තෑ ඥාන පූජාවෝය. අටවිසි බුද්ධ පූජාවෝය. අසූසාර දහසේ ප‍්‍රදීප පූජාවෝය.

බෝ රුකක් බෝ රුකක් පාසා දෙසවන් පිණවන සුමධුර ගායනයෙන් කෙරෙන බෝධි පූජාවෝය. මසක් පුරා ගෙන් ගෙට වඩම්මා කෙරෙන කඨින චීවර පූජාවෝය. දෙපසින් සුදුවතින් සැරසුණු සුරලදුන් බඳු මනුකතුන් සුවඳ මල් ඉසිද්දී එ මතින් වඩිනා සමන්ත භද්‍ර වූ රහතුන් වහන්සේලාය. තවත් පසෙකින් රැස්ව සිටින්නවුන්ගේ මනෝන්මාදනය කර වනු සඳහා සිය පන්සලේ සිටම වඩම්මන ශබ්ද විකාශන උපකරණ යොදවා පැවැත්වෙන ධර්මප‍්‍රසංගයෝය. සියලු  රස මසවුලෙන් අනූනව සඟරුවනට හා ගිහි බැතිමතුනට පිදෙන භික්‍ෂු “Birth Day” දාන පූජාවෝය. තවත් එකී මෙකී නොකී සිත් වශී කර වන අංගෝපාංගයෝ බොහෝය.

මේ සියල්ලේ අරමුණ  කුමක්ද? මේ සියලු දේ කරන කර වන භික්‍ෂූන් විසින්ම මතුරක් සේ මතුරන සසර දුක් කෙළවර කිරීම උදෙසාද? එසේ නැත හොත් මේ ජීවිතයේදී තමන්ගේත් සමාජයේත් මනා පැවැත්ම උදෙසාද? ඒ අරමුණු දෙකම බුදු දහම ආගම කර ගත්තවුන්ගේය. බුදු සසුනට කෙසේ වෙතත්  බුදු දහමට අනුව නම් එබඳු කි‍්‍රයා මගින් කිසි සේත්ම යට කී අරමුණු දෙකම ඉටු කර නොදෙයි. කෙලෙස් වඩවමින් පස්කම් සැපයට යොමු කරවමින් සසර දුක් දික් කරවීම බුදු දහමේ අරමුණ නොවේ.

බුදු දහම ආගම කර ගන්නවුන්ගේ ආගම පිළිබිඹු වන්නේ ද චර්යාව හා කි‍්‍රයාකාරිත්වයන් මගිනි. ඔවුහු තමාට ආදරය කරන්නා සේම අනුන්ටද ආදරය කරති. කිසිදිනෙක කිසිවකු හෙළා නොදකිති. අනුන්ගේ සිත් නොරිදවති. අන් සතු වස්තුව බලා කෙළ නොගිලිති. අනුන් නොරවටති. මිතුදම් රකිති. එහෙත් අනුන්ගේ මිතුදම් නොබිඳිති. සිත් ගන්නා මුදු සුමුදු වදන් තෙපළති. අනුන් දෙස සිනාමුසු මුහුණෙන් බලති. හැකි හැම විටම දුබලයන්ට මහල්ලන්ට උපකාරවත්ව හැසිරෙති. අනුන්ට හිරිහැර වන සේ නොහැසිරෙති. පොදු දේපල පරිසරය සතා සිවුපාවා ආදරයෙන් රැක බලා ගනිති.

සේවාස්ථානයට තමාගෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන්නන් වෙත මෝල් ගස් ගිලූ ගැරඬින් මෙන් නොසිට නිහතමානීව සිනාමුසු මුහුණින් අනලස්ව තම සේවය ලබා දෙති. අවංකව අනලස්ව තම රැකියාවෙහි යෙදී ලැබෙන සාධාරණ වැටුපෙන් තමන්, අඹුදරුවන්, දෙමාපියන් හා නැදෑහිතවතුන් සතුටින් තබති. අනුනට හිරිහැර නොවන දැහැමි රැකියාවකින්ම දිවි පෙවෙත ගෙවති. තම වැටුපට ආදායමට සරිලන අයුරින් දිවි පෙවෙත සකසා ගනිති. ලැබෙන වැටුප නිකරුණේ විනාශ මුඛයට යන අයුරින් පවිටු මිතුරන් ඇසුරට සුරාවට සූදුවට ගණිකා පහසට ලොල් නොබඳිති.

සිගාලොවාද දේශනාව ගිහියාගේ පවුල් දිවියේ මනා සබඳතා පවත්වා ගනිමින් ප‍්‍රීතිමත් දිවි පෙවෙතක් ගත කළ හැකි ක‍්‍රමය පැහැදිළි කර දෙයි. බුදු දහම ආගම කර ගන්නේ නම් එබඳු තැනැත්තකුගේ ජීවිතයේ සාර්ථකත්වයට එමගින් ලද හැකි පිටුවහල අපමණය. බුදු සසුන පමණක්ම තම ඇදහීම කර ගත්තෙකු සොයන්නේත් සෙවීමට අනුබල ලැබෙන්නේත් දෙච්ලොව උපරිම කම්සැප විඳ බැරිම තැන මනුලොවට ආවත් කාමසුඛල්ලිකානුයෝගයෙහි ඉහළින්ම යෙදීමට හැකි තැනක ඉපදීමටය.

එබඳු අයට සිගාලෝවාදයෙහි එන ධර්ම මාර්ගය බුදු දහමට අයත් වූවක්දැයි සිතා ගැනීමටත් අපහසුය. ඒ ඔවුන් බුදුදහම  දකින්නේ බුදු සසුන නමැති උපැස් යුවල තුළින් වන බැවිනි. එහි එන කරුණු පිළිබඳව අපේ බොහෝ බෞද්ධයන්ට වගේ වගක් නැති බවක් පෙනී යන්නේ ඒ නිසාම විය හැකිය.

බුදු දහම තම ආගම කර ගත් පැවිද්දෝ ගිහී ආකල්පයන්ගෙන් මිදී ලද දෙයින් සතුටුව ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙති. අනුන් නිවන් දැක්වීම පමණක් එකම පරමාර්ථය කර නොගෙන තමන්ගේ නිවන සඳහා ද අදාළ දහම් මග අනුගමනය කරති. ජාතියේ මුර දේවතා පරමාදර්ශය දෙවනුවට තබා ධර්මයේ මුර දේවතා පරමාදර්ශය පෙරමුණට ගනිති.

සිවුරු කරට ගෙන දඬුමුගුරු අතට ගෙන මහ මග දෙනෝ දහසක් මැද ඩෙඟා නොනටති. දුටුවන් පහදවන සන්සුන් ගමනින් වියදඬු බැල්මෙන් මහ මග වැඩමවති. නිවන වළහන ආශාව අත්හරින්නට දායකයන් පොළඹවා ඔවුන් අත් හරිනා දාන වස්තූන්ට තෘෂ්ණාභරිත වී දායකයා නිවන් යවා තමන් අපාගත නොවී ලැබෙන දේ සඟසතු වන සේ යොදවා තමන් අල්පෙච්ඡ ජීවිතයක්ම ගෙවති. තම දායක කාරකාදීන් කෙරෙහි දයානුකම්පාවෙන්ම බුදුන් පෙන්වූ යහ මගෙහි ඔවුන් ඔසවා තබති.

අපේ බොදු ජනතාව බුදු සසුනෙන් ඔසවා බුදු දහමෙහි නගා සිටු විය යුතු යුගය මේ වන විටත් ඉකුත් වෙමින් ඇතැයි කිව යුතුය. එබැවින් ඒ සඳහා උත්සුක වීමේ අවශ්‍යතාව අපේ සමාජය තුළින් මනාව පිළිබිඹු වෙයි. එය ලෙහෙසි පහසු කටයුත්තක් ද නොවේ. එය සමාජය පුරාම පිළිකාවක් සේ ඔඩුදුවා ඇති බැවිනි.

ජනතාව සසුන තුළට සිර කරවීමේ ප‍්‍රයත්නය බොහෝ කලක සිට පවතින්නකි. එබැවින් නොදැනුවත්වම ගිහියා පමණක් නොව පැවිද්දා ද සසුන තුළ සිරවී සිටියි. ඇතැම් විට තමන් එහි සිරවී ඇති බවක් නොදැනෙන තරමට ඊට අනුගත වී සිටියි. බොහෝ විට ගිහි පැවිදි බොහෝ දෙනෙකු තමන් නියම බුදු දහමෙහි රැඳී සිටිතැයි අවංකවම සිතා සිටින බවක් පෙනේ. හේතුව ඒ තරමටම තම ජීවිතය එයට ග‍්‍රහණය වීමයි.  අනෙක් අය නම් බොරුව දැන දැන උදරාර්ථය තකා බොරුවෙහිම ඇලී ගැලී සිටින්නෝය. ඔවුන් එයින් ගොඩ දැමීම නම් සුදුෂ්කරය.

කෙසේ වුව ද දහම රැක ගැනීමට නම් මේ සඳහා කිසියම් කි‍්‍රියා මාර්ගයක් ගත යුතුම වී තිබේ. එය කළ හැක්කේ ද බුදු සසුන තම භාරයට ගෙන සිටින භික්‍ෂූන් වහන්සේටම පමණි. ධර්මයට අනුකූලතාවෙන් ධර්මය වටහා ගෙන සිටින ප‍්‍රබුද්ධ භික්‍ෂූන් වහන්සේලා තවමත් අප රටේ කොතෙකුත් වැඩ වෙසෙති. අධර්මය උද්දීපනය වෙමින් ධර්මය ප‍්‍රතිබාහනය වන විට උන්වහන්සේලා ද මුනිවත රකිති. එසේ රැකෙන මුනිවතින් ධර්මය විනාශ වනු බලා සිටීම උන්වහන්සේලාට තරම් නොවේ. ධර්මය යළි නගා සිටුවීම උන්වහන්සේලාට භාර කාර්යයකි. වගකීමකි.

 (මහාචාර්ය කපිල අභයවංස)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*