සජිත් ප්‍රේමදාස එජාපෙට එරෙහිව ජනපති වෙනුවෙන් යළි බෙල්ල දෙයි..!

Spread the love

       

ජනපති වැය ශීර්ෂය පරාජය කරනවාට විරුද්ධ වෙයි..!

ඒ.ජේ.එම් මුසම්මිල්ගේ නිවසේදී කබීර් හෂීම් ජනපතිට එජපෙ පාවා දුන් හැටි..!

ඉරාන් වික්‍රමරත්න එක්ක හර්ෂ ද සිල්වාත් ජනපති රකිති..!  

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ගෙන යන දේශපාලන ව්‍යාපාරයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක,නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිය විරෝධය පළ කරමින් සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය කප්පාදු කිරීමට හෝ පරාජය කිරීමට එක්සත් ජාතික පෙරමුණ ක්‍රියා නොකළ යුතු බවට වන මේ ස්ථාවරයේ සජිත් ප්‍රේමදාස මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම්,භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ද සිටිති.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීම හෝ කප්පාදු කිරීම කළ යුතු බවට එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීන් සහ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මෙසේ තීරණය කර තිබෙන්නේ, රටේ නායකයා සහ ආණ්ඩුවේ නායකයා ලෙස ක්‍රියා කරන මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව නීතිය සහ සාමය ඇමති ධූරය ද,ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු ආයතන රැසක් ද සිය භාරයේ තබා ගනිමින් මෙහෙය වන අතරම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක යෙදී සිටීම නිසාය.

ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමට පසු පෙළ මන්ත්‍රීවරුන් කටයුතු කිරීමට එරෙහිව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයින් සමග සජිත් ප්‍රේමදාස මහතා කරුණු දක්වා ඇති අවස්ථාව්දී, එම නායකයින් ඔහුට උපදෙස් දී තිබෙන්නේ පක්ෂයේ විශාල පිරිසක් එම මතයේ දැඩිව සිටින නිසා මේ අවස්ථාව්දී ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට ගොස් සිය දේශපාලන අනාගතය විනාශ කර ගැනීමෙන් සහ නම කැත කර ගැනීමෙන් වැළකී සිටින ලෙසය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන  එක්සත් ජාතික පෙරමුණෙන් දේශපාලන වශයෙන් පළි ගනිද්දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සජිත් ප්‍රේමදාස සහ සභාපති කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමග රහස් දේශපාලන ගනුදෙනුවල යෙදෙමින් ඔහු ආරක්ෂා කරන බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් කලක් මුළුල්ලේ චෝදනා කරමින් සිටිති.

ඊට හොඳම උදාහරණය වන්නේ මහින්ද රාජපක්ෂගේ ඊනියා සහ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පරාජය කර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යළි පිහිටුවීමෙන් පසුව පැවති එම පෙරමුණේ පක්ෂ නායක රැස්වීම් ගණනාවකදී,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ආණ්ඩුව නොකඩවා දේශපාලන වශයෙන් ප්‍රහාර එල්ල කරමින් ඔහුට යට නොවී මිනිස්සු අතර සිය දේශපාලන ජනප්‍රියභාවය ආරක්ෂා කර ගත යුතු බවට  සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු පිරිසක් යෝජනා කරද්දී ඊට කබීර් හෂීම් සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් සිය විරෝධය පළ කිරීමය.  

ඒ සෑම අවස්ථාවකදීම වහාම නැගී සිටී කබීර් හෂීම් මහතා තරයේ කියා සිටියේ මේ කෙටි කාලය ඇතුළතදී ජනාධිපතිවරයා සමග ගැටුම් ඇති කර ගැනීමෙන් වැළකී,ඔහුට දේශපාලන වශයෙන් ප්‍රහාර එල්ල නොකර ඔහු සමග සාකච්ඡා මාර්ගයෙන්,සුහදව සහ එකට එකතු වී ඉදිරියට යා යුතු බව තමා යෝජනාවක් ලෙස එම සභාවට ඉදිරිපත් කරන බවය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා මේ ස්ථාවරයට පැමිණ ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යළි පිහිටුවීමෙන් පසුව ජනාධිපතිවරයා සමග පැවැත්වූ රහස් සාකච්ඡාවකදී පැමිණි එකඟතාවයකට අනුවය.

දෙපාර්ශවය අතර මේ හමුව පැවතියේ කොළඹ හිටපු නගරාධිපති සහ ජනාධිපතිවරයා යටතේ පවතින පරිසර අධිකාරියේ සභාපති  ඒ.ජේ.එම්.මුසම්මිල් මහතාගේ නිවසේදී වන අතර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා සමග එක්ව  ඒ සඳහා වන දේශපාලන කපුකම කළේ කොළඹ හිල්ටන් හෝටලයේ සහ ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාය.

ජනාධිපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පෙරමුණ දේශපාලන වශයෙන් ප්‍රහාර එල්ල කිරීම කබීර් හෂීම් මහතාගේ මාර්ගයෙන්  වළක්වා ගෙන ඉතිරි වී ඇති කෙටි කාලය ඔහු සමග ගැටුමකට නොයා  එකට එක්ව ගමන් කිරීම සඳහා ආණ්ඩුව මෙහෙයවීම මේ හමුවේ අරමුණ වූ බව ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා තමා සමග පැවසුවේ යැයි ඔහුට සමීප ජ්‍යෙෂ්ඨ ජන මාධ්‍යවේදියෙක් “lankanewsweek” සමග පැවසීය.

ජනාධිපතිවරයාට සමීප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් ද මේ බව “lankanewsweek” සමග තහවුරු කර සිටී අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ හිතවතුන් සමග අවධාරණය කර ඇත්තේ කබීර් හෂීම් මහතා මේ කියන දවසේ ජනාධිපතිවරයා හමුවීමට ගියේ තමා දැනුම්වත් කිරීමෙන් පසුව බවය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ යළි  දිවුරුම් දුන් 2018 දෙසම්බර් මස 16 වැනිදාට පෙරදා එනම් 2018 දෙසැම්බර් මස 15 වැනිදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර මුහුණට-මුහුණ (One to One) විශේෂ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාව මධ්‍යම රාත්‍රිය දක්වාම ඇදී ගොස් තිබිණ.

ජනාධිපතිවරයා සමග “sandwiches” අනුභව කරන අතර තේ පානය කරමින් පැය ගණනාවක් මුළුල්ලේ කළ මේ සාකච්ඡාව පිළිබඳ තොරතුරු සජිත් ප්‍රේමදාස මහතා මේ වන තුරුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාර්තා කර නොමැත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තමා කළ ඉල්ලීම පරිදි  සංස්කෘතික ඇමතිකම සඳහා තමා නම් කර නොමැති බව, කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙරදා,එනම් 2018 දෙසැම්බර් මස 19 වැනිදා රාත්‍රියේ  දැන ගෙන ඇති සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඊට සිය විරෝධය පළ කර සංස්කෘතික ඇමතිකම ලබා දෙන තුරු තමා කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීමට නොපැමිණෙන බවට බලපෑම් කර ඇත.

ඒ සමගම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් අමතා ඇති සජිත් ප්‍රේමදාස මහතා  මේ බව ඔහුට ද දැනුම් දී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංස්කෘතික ඇමතිකම අකිල විරාජ් කාරියවසම් මහතාට යළි ලබාදීමට යන බවට අගමැතිවරයාට එරෙහිව ජනාධිපතිවරයාට ගතු කියා ඇති සජිත් ප්‍රේමදාස මහතා තමාට එම ඇමතිකම ලබා නොදෙන්නේ නම් කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවට තමා සහභාගී නොවන බව ඔහුට ද දැනුම් දී තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ මේ ප්‍රශ්නයට ඒ මොහොතේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මැදිහත් වී ඇති අතර පසුදා උදෑසන කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාව වන විට සංස්කෘතික ඇමතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබුණේ ඇ ඒ අනුවය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා සමග පවත් මේ සමීප සම්බන්ධයේ සහ ඔහුට ප්‍රසිද්ධියේ “ශ්‍රීමතාණන්” සහ “අති ගරු” වශයෙන් ආමන්ත්‍රණය කිරීමේ පදනම කුමක්දැයි “lankanewsweek” ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් විමසා සිටී අවස්ථාව්දී ඔහු කියා සිටියේ සියලු දෙනාම ජනාධිපතිවරයා අත හැර ඔහුට පහරදීමට ගත හොත් ඔහු ආණ්ඩුවෙන් ඈත් වී ඔහුට ඕනෑ ආකාරයට ක්‍රියා කිරීමට ඉඩ තිබෙන නිසා ඔහුවත් එකට එකතු කර ගෙන මේ ගමන යාමේ දේශපාලන උපක්‍රමයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා එසේ ක්‍රියා කරන බවය.

කෙසේ නමුත් අගමැතිවරයාට සමීප දකුණු පළාතේ  එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසුවේ අගමැති ධූරය භාර ගන්න ලෙස සජිත් ප්‍රේමදාස  මහතා කැඳවා  තමා අවස්ථා ගණනාවකදීම ඉල්ලා සිටී බව ජනාධිපතිවරයා හෙළි කරන තුරුම සජිත් ප්‍රේමදාස මහතා ඒ බවක් එක්සත් ජාතික පෙරමුණේ නායක  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී නොතිබූ බවය.

සජිත් ප්‍රේමදාස මහතා එසේ කළත් කතානායක කරු ජයසූරිය මහතා නම්,අගමැතිකම භාර ගන්නා ලෙසට  ජනාධිපතිවරයා ඔහුට ආරාධනා කළ පළමු අවස්ථාවේදීම ඔහු ඒ බව පක්ෂ නායකත්වයට දැනුම් දුන් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.     

       

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*