විපක්ෂයේ ළිං මැඩි ළදරු දේශපාලනය ගැන අගමැති කරුණු පහදයි..!

Spread the love

තුර්කි ත්‍රස්තයින් 50ක් සිරි රණසිංහගේ නිවසේ..?

ආරක්ෂක හමුදායි-බුද්ධි අංශයි හඳුනන්නේ නැහැ..!

ගෝලීය ත්‍රස්තවාදය ගැන අවබෝධයක් නැහැ..!

විමල් වීරවංශ ගැන නම් හරිම දුකයි..!

(සුජිත් මංගල ද සිල්වා)

ජාත්‍යන්තර හමුදා රටට කැඳවීමට යන බවට විමල් වීරවංශ ඇතුළු විපක්ෂය කරන චෝදනාවෙන් පැහැදිළි වන්නේ ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ අතර වෙනස  නොහඳුනන ඒ අයගේ ළිං මැඩි ළදරු දේශපාලනයේ තරම යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

අභ්‍යන්තර ත්‍රස්තවාදය සහ ගෝලීය ත්‍රස්තවාදය ගැන මේ අය අතර තිබෙන දැනුමේ සහ අවබෝධයේ තරම ද මේ පදනම් විරහිත වගේම අවස්ථාවාදී චෝදනාවලින් පැහැදිළි වන්නේ යැයි ද ඔහු කියා සිටියේය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ,”ත්‍රස්තවාදය මර්දනය කිරීමේ මුවාවෙන් විදෙස් හමුදා ගෙන්වා ශ්‍රී ලංකාව ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර රටවලට පාවා දෙන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම චෝදනා කරනවා.විශේෂයෙන් ඇමරිකාවට එරෙහිව එසේ චෝදනා කරන විමල් වීරවශ ඊට පරස්පරව  ඇමරිකානු  පුරවැසියෙක් වන ගෝඨාභය රාජපක්ෂ  රටේ ජනාධිපති කරන්න දිවා රෑ දගලනවා.” යැයි කියමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් තර්ක මතු කළ අවස්ථාවේදීය.

එම මැති ඇමතිවරුන් මේ කාරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවදානය යොමු කර වූයේ අරලිය ගහ මන්දිරයේදී බ්‍රහස්පතින්දා (02) ඔහු හමුවූ අවස්ථාවේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“ජාත්‍යන්තර හමුදා ශ්‍රී ලංකාවට කැඳවනවා කියා මම කිසිම අවස්ථාවක කියා නොමැති අතර එවැනි අවශ්‍යතාවයකුත් ඇත්තේ නැහැ.විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම  කතා කරන්නේ ආරක්ෂක හමුදා සහ  බුද්ධි අංශ අතර තිබෙන වෙනසවත් අදුනන්නේ නැතුවයි.

මේ රටේ බුද්ධි අංශ එදා සිට මේ දක්වා  පුහුණුවෙලා තිබුණේ විශේෂයෙන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය ගැන තොරතුරු සොයන්නයි. එහෙත් “ISIS” කියන්නෙ ගෝලීය ත්‍රස්තවාදී ව්‍යාපාරයක් බව කිව යුතුයි.

ඒ ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමේ එම මහා මෙහෙයුමේදී එම ත්‍රස්තවාදයට එරෙහි ඇමරිකාවෙ “FBI” සහ “CIA” බ්‍රිතාන්‍යයේ “SCOTLANDYARD” වගේම  ඉන්දියාවෙ “RAW” ඇතුළු ඔත්තු සේවා රටක් ලෙස ශ්‍රී ලංකාව සමග වැඩ කිරීමට සුදානම් නම්  අප ඒ සහය ලබා ගත යුතුයි. ඒ ලොව පිළිගත් ජාත්‍යන්තර බුද්ධි සේවාවල සහය සහ උපදෙස් ලබා ගැනීමට අප පියවර ගත්තේ ඒ අනුවයි.

ගෝලීය ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ලෝකයේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එකට එක්ව කටයුතු කිරීම ඒ රටවල යුතුකම,වගකීම සහ කාර්යභාරය වන අතර ලෝකය පිළිගත් සම්ප්‍රදාය ද වනවා.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මර්දනය කිරීමට අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය  ක්‍රියා කළාට ඒ සඳහා ජාත්‍යන්තර බුද්ධි අංශවලින් අපේ බුද්ධි අංශවලට එදාත් විශාල සහයක් සහ අනුග්‍රහයක් ලැබුණා.

මේ බරපතළ කරුණු කාරණා විමල්  වීරවංශගේ ළදරු දේශපාලන දැනුමට නොතේරෙනවා ඇති.විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ළිඳ ඇතුළේ සිට කෑ ගසන්නේ ඒ නිසා විය යුතුයි.

මේ අයගේ සමීපතයෙකු වන “ලංකාදීප” පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා තුර්කි ත්‍රස්තයින් පනස් දෙනෙකු ශ්‍රී  ලංකාවට ඇවිත් කියලා එම පුවත්පතේ ලොකු අකුරින් අඟහරුවාදා  (30) පළ කර තිබුණා.

ජනතාව බිය ගන්නවා රට ගිණි තබා විපක්ෂයට දේශපාලන වාසි අත් කර දීමේ පටු අරමුණින් “ලංකාදීප” පුවත්පතේ පළ කළ එම ප්‍රවෘත්තිය අලි බොරුවක් බව කිව යුතුයි.එවැනි ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ගැන ලෝකයේ බුද්ධි අංශයක් දන්නෙ නෑ.මේ කියන ත්‍රස්තවාදීන් සිටිනවා ඇත්තේ සිරි රණසිංහගේ මාතර,දෙයියන්දර නිවසේ සහ ඒ වටා තිබෙන කැලෑවේ වෙන්න ඇති.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*