ව්‍යවස්ථාවේ අර්බුදය..!

Spread the love

(වික්ටර් අයිවන්)

ආර්ථික වශයෙන් දැන් ලංකාව තිබෙන්නේ පරිපූර්ණ බංකොළොත්භාවයකට යෑම පාලනය කළ නොහැකි තත්ත්වයකය. ලංකාව දේශපාලන වශයෙන් තිබෙන්නේද අරාජික තත්ත්වයකට වැටෙන්නට ආසන්න තත්ත්වයකය. දේශපාලන අර්බුදයේ චලනයන් ආර්ථික අර්බුදය කෙරෙහිත්, ආර්ථික අර්බුදයේ චලනයන් දේශපාලන අර්බුදය කෙරෙහිත් බලපායි.

කවර ආකාරයකින් බැලුවද ලංකාව දැන් තිබෙන්නේ මහා අගාධයකට වැටෙන්නට ආසන්න තත්ත්වයකය. එහෙත් රටේ දේශපාලන නායකයන්ගේ හා බුද්ධිමතුන්ගේ ප්‍රධාන අවධානය ඒ කෙරෙහි යොමුවී තිබෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ පූර්ණ අවධානය යොමුවී තිබෙන බව පෙනෙන්නේ දේශපාලන කාලසටහන අනුව ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ කෙරෙහිය.

ජනමාධ්‍ය වාර්තා කරමින් තිබෙන ආකාරයට පළාත් සභා මැතිවරණය මැයි 31 වැනිදාට පෙර එකම දිනකදී පැවැත්වීමට නියමිතය. ඉන්පසු ජනාධිපතිවරණය නොවැම්බර් 9 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා අතර දිනක පැවැත්විය යුතුය.

ආර්ථික තලයේ හා දේශපාලන තලයේ වර්ධනයවෙමින් පවත්නා අර්බුදය සම්මත මැතිවරණ කාලසටහන අවුල් කිරීමට හේතුවිය හැකිය. එය එසේ නොවූවද පවත්වනු ලබන එම මැතිවරණ හෝ ඒවාහි ප්‍රතිඵල සමහරවිට රටේ පවතින අර්බුදය පුපුරුවා හරින තත්ත්වයක් පවා ඇති කළ හැකිය.

දේශපාලන අර්බුදයක් තිබියදී දැන් අපිට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලොකු අවුල් ඇති කිරීමට හේතුවන වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කළ හැකිය. දැන් අපට ඇත්තේ අවුල් විසඳීමට හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව අවුල් ඇති කිරීමට හේතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. දිගින් දිගට කෙළෙසනු ලැබීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මනා පිළිවෙළ හා ඒකාග්‍රතාව නැතිවී එය විකෘති වුණු හා බෙලහීන වුණු අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්කිරීමට හේතුවී තිබේ. ඒ නිසා දැන් අපට තිබෙන්නේ තිබෙන අර්බුද හෝ ඇතිවන අර්බුද සමනය කිරීමට හෝ පාලනය කිරීමට හැකියාවක් නැති, ඒ වෙනුවට තිබෙන අර්බුද හෝ ඇතිවන අර්බුද උග්‍ර කිරීමට හේතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි.

ව්‍යවස්ථාවේ අර්බුදය

19 වැනි සංශෝධනය ඇති කරන්නට පෙර 2 වැනි ජනරජ ව්‍යවස්ථාව පැවතියේ බලයට පත් විවිධ පාලක පක්ෂ විසින් විටින් විට කෙළසීම නිසා හොඳටම විකෘති හා බෙලහීන තත්ත්වයකට පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තත්ත්වයකය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ ඇතිකර තිබුණ විකෘතිය හා බෙලහීනත්වය උපරිම තත්ත්වයකට පත් කොට එය අංගවිකල තත්ත්වයකට පත්කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය. එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතින් සිදුවන අවසාන කෙළෙසීමට පෙර එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුවූ ලොකුම කෙළෙසීම ලෙස සැලකිය හැකිය.

එම කෙළෙසීම සිදුවූයේ හොර රහසේ නොව, මහත් උත්සවාකාර පරිසරයක් මැද ප්‍රසිද්ධියේය. කෙළෙසීම සිදු කෙරුණු වේදිකාව, ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය නැවත පිහිටුවීම, 18 වැනි සංශෝධනය අහෝසි කිරීම, තොරතුරු ලබාගැනීමේ අයිතිය මහජනයාට ලබාදීම, ජනාධිපතිගේ ධුර කාලය කෙටි කිරීම වැනි ආකර්ෂණීය ධජ පතාකවලින් වසන් කර තිබීම නිසා කෙළෙසීමක් සිදුවන බව මහජනයාට නොපෙනුණේය.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් හිමිකර දී තිබුණ විධායක බලය අහෝසි කොට එම බලය අගමැතිවරයාට ලබාදීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂිත ප්‍රධාන අභිලාෂය වී යැයි කිව හැකිය. සාමාන්‍යයෙන් සරල ව්‍යවස්ථා සංශෝධනයකින් අපේක්ෂා කරන්නේ තිබෙන ආණ්ඩුක්‍රමයේ සංශෝධනයක් පමණය. තිබෙන ආණ්ඩු ක්‍රමය අහෝසි කොට අලුත් ආණ්ඩු ක්‍රමයක් ඇතිකර ගැනීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් මිස ව්‍යවස්ථා සංශෝධනයකින් සිදු කරන්නේ නැත. එය ව්‍යවස්ථා සම්පාදන විෂයේදී පිළිගත් ධර්මතාවක් ලෙස සැලකිය හැකිය.

19 වැනි සංශෝධනය එම ධර්මතාවට පටහැනිව ව්‍යවස්ථා සංශෝධනයන් මගින් තිබෙන ආණ්ඩුක්‍රමය අහෝසි කොට අලුත් ආණ්ඩු ක්‍රමයක් ඇතිකර ගැනීමට දරන ලද ව්‍යවස්ථා විරෝධී සාහසිත උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

අනෙක් අතට ආණ්ඩුක්‍රමයේ සරල සංශෝධනයන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සම්මත කරගැනීමේ හැකියාවක් ඇතත්, ආණ්ඩු ක්‍රමයේ ඇති කරන ලොකු විපර්යාසයක් නීතිගත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමතවිචාරණයකින් ජනතාවගේද අනුමැතිය ලබාගැනීමෙන් පමණය.

එහෙත් 19 වැනි සංශෝධනය සමස්ත ආණ්ඩු ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කළ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකි වුවත් එය කෙටුම්පත් කර තිබුණේ පාර්ලිමේන්තුවෙන් ලබාගන්නා තුනෙන් දෙකක අනුමැතියෙන් පමණක් නීතිගත කළ හැකි ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙනි.

අධිකරණය එම සාහසික වැඩසටහනට ඉඩ දුන්නේ නැත. එම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමත විචාරණයකින්ද අනුමැතිය ලබාගත යුතු බව අධිකරණයේ තීරණය විය. ඉන්පසු විය යුතුව තිබුණේ අවිධිමත් වැඩසටහන අතහැර ඒ අරමුණ විධිමත් ලෙස ඉටුකර ගැනීමට ක්‍රියාකිරීමය.

එහෙත් ඒ වෙනුවට සිදුවූයේ අධිකරණය ලබාදෙන ලද මගපෙන්වීම්වලට අනුකූලව ක්‍රියාකරන බව පෙනෙන ලෙස අපේක්ෂා කළ සම්පූර්ණ අරමුණ වෙනුවට ඒ අරමුණින් සැලකිය යුතු පංගුවක් ඉටුකර ගැනීමට හේතුවන ලෙස නව කෙටුම්පතක් සකසා එය අධිකරණයේ විමර්ශනයකට පවා ඉදිරිපත් නොකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියකින් පමණක් නීතිගත කරවා ගැනීමය.

19 වැනි සංශෝධනයෙන් සිදුකර තිබෙන බලතල කප්පාදුව ව්‍යවස්ථාවට පටහැනි ලෙස සිදුකර තිබෙන ව්‍යවස්ථාමය වංචාවක් බව තේරුම් ගැනීමට ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි ලොකු දැනුමක් අවශ්‍ය වන්නේ නැත. එය ව්‍යවස්ථාදායකය විසින් මහජනතාවට පමණක් නොව අධිකරණයටද කර තිබෙන ලොකු වංචාවක් ලෙස සැලකිය හැකිය.

ව්‍යවස්ථාව අංගවිකල කිරීම

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සැලකිය හැක්කේ අගමැති රනිල් වික්‍රමසිංහ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළත් යහපාලන ආණ්ඩුවේ නිර්මාණයක් ලෙසය. මහින්ද රාජපක්ෂ පාලනයෙන් පසු රාජ්‍ය බලය හිමිකර ගැනීමේ අයිතිය හා ඒ සඳහා අවශ්‍ය මහජන බලව තිබුණේ එජාපයට හා එහි නායක රනිල් වික්‍රමසිංහටය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග තරග කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසයක් රනිල්ට නොතිබුණා සේ ම රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය හා ජයග්‍රහණය ගැන එම පක්ෂයටද විශ්වාසයක් නොතිබුණි.

එජාපයේ පිහිටෙන් බලයට පත්වන පොදු අපේක්ෂකයා තමන්ගේ දේශපාලන රූකඩයක් ලෙස ක්‍රියාකරනු ඇතැයි රනිල්ගේ අපේක්ෂාව වන්නට ඇතත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් ලැබූ ජයග්‍රහණයෙන් පසු අගමැතිගේ දේශපාලන රූකඩයක් ලෙස ක්‍රියාකිරීමට කැමති නොවීය.

මේ නිසා යහපාලන ආණ්ඩුවේ පොදු වැඩසටහනට ඇතුළත්වීමට තිබුණු වැඩසටහනක් ලෙස සලකා පළමු නිල කාලයෙන් පසු ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ තත්ත්වයට පත් කොට රාජ්‍යයේ විධායක බලය තමන් වෙත හිමිකර ගැනීමට අගමැති රනිල්ට අවශ්‍ය වී තිබුණු අතර, 19 වැනි සංශෝධනය ඒ සඳහා යොදා ගැනුණු උපාය මාර්ගික ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන ලෙස සැලකිය හැකිය.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෙම නායකයන් දෙදෙනා අතර ඇති කරගත් පොදු එකඟත්වයක් තිබුණද බලයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා තමන්ට තිබෙන විධායක බලය මුළුමනින් අහෝසි කරනවා දකින්නටද කැමති නොවීය. ඒ නිසා ජනාධිපතිවරයාගේද අසතුටට හේතු නොවන ඒ බලය තමන් වෙත හිමිකර ගැනීම සඳහා වන වැඩසටහනක් අගමැතිවරයාට අවශ්‍ය වූ අතර අගමැතිවරයාගේ එම වැඩසටහනට අධිකරණයේ අනුමැතිය නොලැබීම නිසා එය සටකපට ආකාරයකින් ක්‍රියාවට නගන වැඩසටහනක් බවට හරවා ගැනීමට අගමැතිවරයාට සිදුවිය.

ආණ්ඩු ක්‍රමයේ උපරිම විකෘතියක් ඇති කිරීමට හේතුවන ව්‍යවස්ථාවක් නිර්මාණය වීම එය ඇති කළ අවසාන ප්‍රතිඵලය විය. එය අවසානයේ ඇතිකර තිබෙන ප්‍රතිඵලය විකාරරූපී වනවා සේ ම රටේ සමස්ත ආණ්ඩුක්‍රමය මනා පිළිවෙළක් හෝ ඒකාග්‍රාතාවක් නැති අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබේ.

එම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිට තිබූ බලය බොහෝ දුරට අහිමි කොට එම බලය අගමැතිවරයා වෙත ලබාදීමට හේතුවී තිබේ. ඒ අනුව ජනාධිපතිට අගමැති ධුරයට පත් කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමේ අභිමත බලයක් නැත. කැබිනට් මණ්ඩලය තීරණය කිරීමේ බලය තිබෙන්නේද ජනාධිපතිට නොව අගමැතිටය. අගමැති හෝ කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමේ බලයක්ද ජනාධිපතිට නැත.

විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කෙරුණු හෝ ආණ්ඩුවේ අයවැය ලේඛනය පරාජය කෙරුණු අවස්ථාවකදී හැර පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක්ද ජනාධිපතිවරයාට නැත.

එම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති සතුව තිබූ බලතලවලින් විශාල ප්‍රමාණයක් අහිමි කොට අගමැති සතු කිරීමට හැකිවී ඇතත්, ජනාධිපතිවරයා මුළුමනින් නාමමාත්‍රික ජනාධිපතිවරයකු බවට පත්කිරීමටද හැකිවී නැත. 30 (1) ව්‍යවස්ථාව අනුව “ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයාද වන්නේය.

ව්‍යවස්ථාවේ ‘42 (3) අනුව “ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්ද, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාද වන්නේය. කැබිනට් මණ්ඩලයේ ලේකම්, අග්‍රාමාත්‍යවරයාගේ හා ඇමතිවරුන්ගේ ලේකම්වරුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටය.

මෙම ආණ්ඩුක්‍රමයේ තිබෙන ලොකුම අවුල්සහගත හා හාස්‍යජනකම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ ජනාධිපතිවරයාගේ බලය කිසියම් විශාල ප්‍රමාණයකට අහිමිකර තිබියදීත් ජනාධිපතිවරයා මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයකු වීමය. ඇති කර තිබෙන නව ක්‍රමය අනුව ආණ්ඩු පාලනයේ ප්‍රධාන විධායකයා ලෙස සැලකිය හැක්කේ ජනාධිපති නොව අගමැතිය.

එහෙත් මෙම ව්‍යවස්ථාවට අනුව රාජ්‍යයේ නායකයා වශයෙන් පමණක් නොව ආණ්ඩුවේ නායකයා ලෙස සැලකෙන්නේ අගමැති නොව ජනාධිපතිවරයාය. ආණ්ඩුවේ විධායක බලය හිමි අගමැතිවරයා මැතිවරණ කොට්ඨාසයකින් තේරී පත්වන විට ආණ්ඩු පාලනයේදී විධායක බලයක් නැති ජනාධිපතිවරයා තේරී පත්වන්නේ මුළු රටම ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා පැවැත්වෙන මහජන ඡන්දයකිනි.

ආණ්ඩු පාලනයේ විධායක බලය තිබෙන්නේ අගමැතිවරයාට වුවත් ජනතාවගේ පරමාධිපත්‍යය බලය වැඩියෙන්ම නියෝජනය කරන්නා බවට පත්වන්නේ ජනාධිපතිය. ජනාධිපති අගමැති අතර බලතල බෙදීමේදී දක්නට තිබෙන මෙම අක්‍රමිකතා හා අවුල්සහගත තත්ත්වය සමස්ත ආණ්ඩුක්‍රමයම අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.

අලුත් ආණ්ඩුක්‍රමයේ තිබෙන තවත් බරපතළ දෝෂයක් මෙසේය. ජනාධිපතිවරයාට හිතුවක්කාරී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබෙන බලය නැති කළ යුතුව තිබුණි. එහෙත් එසේ කර ඇත්තේ ආණ්ඩුක්‍රමයේ වඩා ලොකු අවුලක් ඇති කිරීමට හේතුවන ආකාරයටය. බලතුලනයේ ඇති වෙනස්කම් වැනි හේතු නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය වන විශේෂ අවස්ථා තිබිය හැකිය.

එවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා නොහැර එහි නිල කාලය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන ක්‍රමය ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අවුල් ජාලාවක් බවට පත් කොට ආණ්ඩුක්‍රමය මහජනයාගේ හාස්‍යයට, පිළිකුලට, බලවත් විරෝධයට හේතුවන විගඩමක් බවට පත්කිරීමට හේතුවිය හැකිය.

මීට පෙර රාජ්‍යයේ සකලවිධ බලය හිමිව තිබුණේ ජනාධිපතිටය. 19 වැනි සංශෝධනයෙන් ඒ බලයෙන් සැලකිය යුතු බලයක් අහිමි කොට, ජනාධිපතිට අහිමි කරන ලද එම බල පංගුව අගමැතිට හිමිකර දී ඇතත් ඒ මගින් ඇතිකර තිබෙන ආණ්ඩුක්‍රමය මනා පිළිවෙළක් හෝ ඒකාග්‍රතාවක් නැති අවුල් හා ගැටුම් ඇති කිරීමට හේතුවන අවසාන විග්‍රහයේදී රට පාලනය අරාජික කිරීමට හේතුවන ආණ්ඩු ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. රටට අංගවිකල ව්‍යවස්ථාවක් සමග අංගවිකල ආණ්ඩු ක්‍රමයක් උරුම කරදීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට හිමිකර දී තිබෙන අවසාන ඵලය ලෙස සැලකිය හැකිය.

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව

රට තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක නොව අතිවිශාල අර්බුදයකය. දැන් අපට උරුම වී තිබෙන අංගවිකල ව්‍යවස්ථාව හා අංගවිකල ආණ්ඩු ක්‍රමය රටේ පවතින අර්බුදය උග්‍ර කිරීමට මිස සමනය කිරීමට හේතුවන්නේ නැත.

අන් සියලුදේට ප්‍රථම ව්‍යවස්ථාවක් හා ආණ්ඩු ක්‍රමයක් හදාගැනීම හා හදිසි ප්‍රමුඛ ජාතික අවශ්‍යතාව බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය. විධිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා විධිමත් ආණ්ඩු ක්‍රමයක් නැතිව පවත්වන මැතිවරණ ව්‍යවස්ථා අර්බුද ඇති කරන තත්ත්වයක් ඇති කිරීමට හේතු වුවහොත් එය රටේ දැන් තිබෙන අර්බුදය විසඳා ගැනීමට පහසු නැති රට පූර්ණ අරාජිකත්වයකට තල්ලු කිරීමට හේතුවන අර්බුදයක් බවට පත් කිරීමට හේතුවිය හැකිය.

ගුවන් යානාවක් ගුවනේ ගමන් ගනිමින් තිබෙන අවස්ථාවකදී සංඥා පද්ධතියේ බිඳ වැටීමක් ඇති වුවහොත් ගුවන් නියමුවා වඩා වැදගත් කොට සැලකිය යුත්තේ මගීන්ගේ ආරක්ෂාව මිස ගමනේ කාලසටහන නොවේ. එහිදී ගුවන් නියමුවා ගමනේ කාලසටහන අනුව ක්‍රියාකිරීම වඩා වැදගත් කොට සලකා ගමන අවසන් කොට ඉන්පසු සංඥා පද්ධතිය හදාගත යුතුයි කියා සිතන තත්ත්වයකට ගියහොත් එය ගුවන් යානයේ ගමන් ගන්නා මගීන්ගේ ජීවිත සමග කරන බරපතළ සෙල්ලමක් බවට පත්විය හැකිය. ගුවන් යානයක් ගුවන් ගමන් කාලසටහනට අනුව වැඩ කිරීම වැදගත්ය.

එහෙත් ගුවන් යානයේ බරපතළ දෝෂයක් තිබේ නම් ප්‍රමුඛ වැදගත්කමක් ලබාදිය යුත්තේ කාලසටහනකට නොව ගුවන් යානයේ තිබෙන දෝෂයටය. ගුවන් නියමුවා එවැනි අවස්ථාවකදී වඩා වැදගත් කොට සැලකිය යුත්තේ ගුවන් මගීන්ගේ ආරක්ෂාව මිස කාලසටහන නොවේ.

ලංකාව දැන් තිබෙන්නේද විධිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ විධිමත් ආණ්ඩු ක්‍රමයක් නැති අවුල්සහගත තත්ත්වයකය. එම මූලික හා ප්‍රධාන අවුල ලිහා ගැනීමකින් තොරව මැතිවරණ කාලසටහන අකුරටම ක්‍රියාත්මක කරන තැනකට ගියහොත් නැති අවුල් ඇතිවී රට අරාජක වන තත්ත්වයකට පවා පත්විය හැකිය. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් ගැන සිහින දකින්නේය. ජනාධිපතිවරයා තෝරා ගැනීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන විධි විධානවල ලොකු අවුල්සහගත තත්ත්වයක් තිබෙන බවද අමතක නොකළ යුතුය.

තේරී පත්වන ජනාධිපතිවරයා පාවිචිච් කළ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩකට වැඩියෙන් ලබාගත යුතුය. එසේ නොවන අවස්ථාවකදී ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා ඇති කර තිබෙන විධි විධාන අවිධිමත්ය.

අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් වන අවස්ථාවකදී ඡන්දදායකයාට දෙවැනි මනාපයක්ද, තිදෙනකුට වැඩි අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වන අවස්ථාවකදී ඡන්දදායකයාට තුන්වැනි මනාපයකටද අයිතිය ලබාදී ඇතත්, ලංකාවේ ඡන්දදායකයන් දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පාවිච්චි කරන්නේ නැත.

දෙවැනි මනාපයකට හා තුන්වැනි මනාපයකට අවස්ථාව ලබාදී තිබෙන්නේ ජයග්‍රාහකයා පාවිච්චි කරන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩකට වැඩිය ලබාගැනීමට අසමත් වන අවස්ථාවකදී වැඩිම ඡන්ද සංඛ්‍යාව හා දෙවන වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයන් තරගයෙන් ඉවත් කොට, ඉවත් කරන ලද අපේක්ෂකයන්ට ලැබී තිබෙන දෙවැනි හා තුන්වැනි මනාප ඡන්ද ආශ්‍රයෙන් ජයග්‍රාහකයා තේරීම සඳහාය.

එහෙත් ජනාධිපතිවරණයකදී ලංකාවේ ඡන්දදායකයන් දෙවැනි හා තුන්වැනි මනාපය පාවිච්චි කරන්නේ නැත. ඒ නිසා ජයග්‍රාහකයා සියයට 50කට අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා අවස්ථාවකදී ජයග්‍රාහකයා තේරීම විසඳාගත නොහැකි ව්‍යවස්ථා අර්බුදයක් බවට පත්විය හැකිය. එවැනි තත්ත්වයක් මේ දක්වා ඇතිවී නැතත් සමහරවිට ඉදිරි ජනාධිපතිවරණයේදී ඇතිවිය හැකිය.

මේ සඳහා ප්‍රංශ ආණ්ඩු ක්‍රමයේ යොදාගෙන තිබෙන විධිවිධාන ඉතාමත් ක්‍රමවත්ය. ජනාධිපතිවීමට ජයග්‍රාහකයා ඡන්දය පාවිච්චි කළ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් නියත බහුතරයක් ලබාගත යුතුය. එසේ නොවන අවස්ථාවකදී සති දෙකක කාලයක් තුළ දෙවන ඡන්දයක් පැවැත්වේ.

එහිදී දෙවන තරගයට ඉදිරිපත්වීමේ අයිතිය ලැබෙන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයන් දෙදෙනාට පමණය. ඉහත සඳහන් දෝෂය ආණ්ඩුක්‍රමයේ අවුල් ඇති කිරීමට බලපාන ආණ්ඩු ක්‍රමයේ තිබෙන එකම දෝෂය ලෙස සැලකිය නොහැකිය. එය එහි තිබෙන එක දෝෂයක් පමණය.

දැන් ලංකාව සැලකිය හැක්කේ විධිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ විධිමත් ආණ්ඩු ක්‍රමයක් නැති රටක් වශයෙනි. එම මූලික දෝෂ දෙක නිවැරදි කරගැනීමෙන් තොරව මැතිවරණවලට යන වැඩසටහනක් සමහරවිට රට අරාජික කිරීමට හේතුවිය හැකිය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*