රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය බිලි දී මුදල් ඇමැති නීලකාස කම්බ හොරුන් ආරක්ෂා කළ හැටි හෙළිවේ..!

Spread the love

මේ  තොරතුරු “lankanewsweek” වෙතින් පමණයි..!

ජනපති විරෝධය නොතකා මුදල් ඇමැති වැඩ කරලා..!

රිෂාඩ් බදුර්දීන්-මලික් සමරවික්‍රම-තුසිත හල්ලොලුව තිරය පිටුපස..!

ජෝන් අමරතුංග-රිෂාඩ් බදුර්දීන්-මුදල් ලේකම්-තුසිත හල්ලොලුව අධ්‍යක්ෂකවරියට බලපෑම් කරලා..!

හර්ෂ ප්‍රභාත් සිල්වාගෙන් මරණිය තර්ජන..!

(සුමුදු පෙරේරා)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා රේගු අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්  පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය ස්ථාන මාරු කර තිබෙන්නේ බදු අදායම් අඩුවීමේ ප්‍රශ්නයක් මත නොව ගම්මිරිස්, කරුන්කා,බිඩි ඔතන කොළ සහ වාහන එකලස් කිරීම ඇතුළු  සිද්ධීන් ගණනාවකට අදාළව ඇය ආරම්භ කර තිබූ පරීක්ෂණ හේතුවෙන් විශාල අර්බුදයකට මුහුණ දුන් කණ්ඩායමෙන්  එල්ල වූ බලපෑම් මත බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද විරෝධය නොතකා මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය ස්ථාන මාරු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා රේගු අධිකාරියේ සේවක සේවිකාවන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් මේ වන විට මුළු රටම අකර්මන්‍ය වී ආර්ථිකයට මරු පහරක් එල්ල වී ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් “lankanewsweek” කණ්ඩායම සතියක් මුළුල්ලේ විශේෂ සහ පුළුල්  විමර්ශනයක යෙදී සිටින අතර එහිදී අති විශේෂ සහ ඉතා රහසිගත කරුණු කාරණා රැසක් හෙළිදරව් කර ගැනීමට අපට හැකි විය.

මේ සිද්ධිය, එහි පසුබිම සහ කවුරුත්  නොදන්නා අතිශය රහසිගත තිරය පිටුපස කතාව  හෙළිදරව් කරමින් දුෂණ, වංචා සහ අක්‍රමිකතාවලට එරෙහිව රටට ආදරය කරන ශ්‍රී ලංකා රේගු අධිකාරියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් “lankanewsweek” වෙත විශේෂ හෙළිදරව්වක් කළ අතර සියල්ල මුල සිට අගට හෙළි කරමින් ඔහු කළ ප්‍රකාශය මෙසේය.

“VEHICLE LANKA(PVT) LTD කියා සමාගමක් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ තිබෙනවා එම සමාගමේ සභාපතිවරයා වන්නේ හර්ෂ ප්‍රභාත් සිල්වා යන අයයි. මේ සමගම කරන්නේ පරණ වාහන සහ වාහන කොටස් ජපානයෙන් ගෙන්වා එකලස් කර විකිණීමයි.

මේ සමාගමට අවසර තිබෙන්නේ අවුරුදු 3ක් පමණ පරණ වාහන සහ වාහන කොටස් ගෙන්වා එකලස් කර අළවි කිරීමට වන නමුත් ඒ අය නීති විරෝධී ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ අවුරුදු 10 ත් 20 ත් අතර පරණ වාහන සහ වාහන කොටස් ගෙන්වා එකලස් කර අලවි කරමින් සිටිනවා.

ඊට අමතරව එම සමාගම අලුත් වාහන ද කොටස් කර පරණ වාහන කොටස් ලෙස පෙන්වා මේ රටට ගෙන්වා එකලස් කර විශාල මුදලකට විකුණන අතර එමගින්අති විශාල බදු මුදලක් රටට අහිමිවනවා.

මේ අනීතික ක්‍රියාව වැලැක්වීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අවශ්‍ය පියවර ගත් අතර ඇයගේ උපදේශ මත අප මේ සමාගම් පරිශ්‍රය වැටලුවා. එහිදී අලුත් ම වර්ගයේ වාහන කොටස් කර  පරණ වාහන කොටස් ලෙස මවා පා කන්ටේනර් 8 ක් පුරවා ගෙන්වූ වාහන කොටස් එකලස් කර අලවි කිරීමට සූදානම් කර තිබූ වාහන 54ක් සොයා ගැනීමට අපට හැකි වුණා.

අපට අසු වූ මේ සිද්ධියෙන් පමණක් රටට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 20 ඉක්මවන බවට ශ්‍රී ලංකා රේගුව ගණන් බලා තිබෙනවා.

මේ සිද්ධියෙන් උරණ වූ VEHICLE LANKA(PVT) LTD සමාගමේ සභාපති හර්ෂ ප්‍රභාත් සිල්වා මහතා අධ්‍යක්ෂක ජෙනරාල්වරියට දුරකතනයෙන් සහ මුහුණට මුහුණ හමු වී අසභ්‍ය වචනයෙන් බැන වැදී මරණිය තර්ජන එල්ල කළා.

ඊට අමතරව ඔහු සතියක් ඇතුළත දී ඇය එම තනතුරෙන් මාරු කර යවන බවට ඇයට ම කියා ඇති අතර ශ්‍රී ලංකා රේගු අධිකාරියට පැමිණි සැම අවස්ථාවකදීම ඒ බව අප සමග ද තරයේ කියා සිටියා.

ඒ අනුව අධ්‍යක්ෂක ජෙනරාල්වරිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වී මේ  හර්ෂ ප්‍රභාත් සිල්වා යන අය තමාට මරණිය තර්ජනය එල්ල කළ බව පැමිණිලි කළා.ඒ බව පැමිණිලි කරමින් ඇය සියලු තොරතුරු මංගල සමරවීර මහතාට වාර්තා කළත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැහැ.

අනතුරුව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මේ හර්ෂ ප්‍රභාත් සිල්වා නැමැත්තා ශ්‍රී ලංකා රේගු අධිකාරියට ඇතුළු කර ගැනීමෙන් වැලකි සිටින ලෙසට ආයතනයේ බලධාරීන්ට ලිඛිතව දැනුම් දුන් අතර ඔහු සමග දුරකතනයෙන් පවා සම්බන්ධ වුණේ නැහැ.

ඒ අනුව හර්ෂ ප්‍රභාත් සිල්වා මේ ගැන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව ඇමතිවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්.එච්. එස්. සමරතුංග මහතා අධ්‍යක්ෂ ජෙනරාල්වරියට දුරකතනයෙන් කතා කර බැණ වදිමින් විමසා සිටියේ හර්ෂ ප්‍රභාත් සිල්වාට ආයතනයට ඇතුළුවීම තහනම් කළේ කිනම් පදනමක් යටතේ ද යන්නයි.එමෙන්ම වහාම ඔහු හමුට හමුවීමට අවස්ථාව දී ඔහු සමග කතා කරන්න යැයි ද අමාත්‍යංශ  ලේකම්වරයා අධ්‍යක්ෂක ජෙනරාල්වරියට බලපෑම් එල්ල කළා.

හර්ෂ ප්‍රභාත් සිල්වා කියන්නේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන තුසිත හල්ලොලුවගේ සමිපතමයෙකුයි.  ඔහු මේ ව්‍යාපාරය ඒ කාලයේ ආරම්භ කළේ  ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාගේ  සහයෝගය ඇතිවයි.

මේ සිද්ධියෙන් පසුව රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසියේම ස්ථාන මාරු කිරීමට යන බව ජනවාරි මස 29 වැනි දා අපට ආරංචි වුණා. ඒ අනුව ඇය ස්ථාන මාරු කිරීමට අදාළ ලිපිය පෙබරවාරි මස 1 වැනිදා ඇයට නිල වශයෙන් ලැබුණා.

ඇය ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිය විරෝධය පළ කර සිටි නමුත් විෂය භාර අමාත්‍යවරයා ඒ කිසිවක් නොතකා එම පියවර ගත් අතර මේ අනුව සතියක් ඇතුළත දී අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මාරු කරන බවට හර්ෂ ප්‍රභාත් සිල්වා එතුමියටත්,අපටත් කළ අභියෝගය ඔහු ජය ගෙන තිබෙනවා.

මේ අතර වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තිබෙන බදු සහනය ගෙන එම ගම්මිරිස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ගම්මිරිස් ලෙස ප්‍රති අපනයන කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් ද රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය පරීක්ෂණ ආරම්භ කළා.

එහි දී ඇයගේ මග පෙන්වීම යටතේ  ප්‍රති අපනයනය සඳහා සුදානම් කර තිබූ එවැනි ගම්මිරිස් කන්ටේනර් 134 ක් අප ඇල්ලුවා. අපට අල්ලා ගැනීමට හැකිවූ එම ජාවාරමෙන් පමණක් රටට සිදු වූ පාඩුව රුපියල් බිලියන 1.8ක් බව රේගුව ගණන් බලා තිබෙනවා.

වියට්නාමයේ ගම්මිරිස් මෙසේ ශ්‍රී ලංකාවට ගෙන්වා ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ බදු සහනය ද ගෙන අපේ රටේ ගම්මිරිස් ලෙස ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමේ මේ ව්‍යාපාරයේ මහ මොළකරුවා වන්නේ උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතායි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රේගුව කළ පරීක්ෂණවල දී ඊට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා ඍජුව සම්බන්ධ බව සියලු සාක්ෂි සහ සාධක ඇතිව හෙළිදරව් වී තිබෙනවා.

මේ ගම්මිරිස් ප්‍රති අපනයන ජාවාරමෙන් විශාල මරු පහරක් දේශීය ගම්මිරිස් ගොවියට වැඩි තිබෙන අතර ගම්මිරිස් කිලෝව රුපියල් 400 දක්වා මිල පහත වැටි ගම්මිරිස් ගොවියා අසරණ වුයේ මේ නිසයි.

මේ අතර අඩි 40 කන්ටේනරයක් පුරවා බිඩි ඔතන කොල තොගයක් නීති විරෝධී ලෙස  ගෙන්වීමේ සුදානමක් තිබෙන බවට 2018 දෙසැම්බර් මාසයේදී රේගුවට ඔත්තුවක් ලැබුණා. ඒ කන්ටේනරය රැගත් නැව 2018 දෙසැම්බර් මස 03 වැනි දින කොළඹ වරායට සේන්දු වුණා.

රේගු අධ්‍යක්ෂක ජෙනරල්වරියගේ උපදෙස් මත අප එම සැක සහිත කන්ටේනරය රේගුවේ දී පරික්ෂා කළේ නැහැ. එසේ කළේ එවිට ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට නොහැකි වන නිසයි.ඒ අනුව ඇයගේ උපදෙස් මත අප එම කන්ටේනරය නිදහස් කර ඒ පිටුපස අපගේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් යැව්වා.

කන්ටේනරය රාත්‍රී වන විට වත්තල ප්‍රදේශයේ ගුදමකට ඇතුළු වූ අතර අපේ නිලධාරීන් වත්තල පොලිසියේ ද සහයෝගය ඇතිව 2018 දෙසැම්බර් මස 3 වැනි දා එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත්තා.

මෙහිදී අත්අඩංගුවට පත් වුයේ වත්තල එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී ටී. එම්. රිෂාන් ඇතුළු පිරිසකුයි. නීති විරෝධී ලෙස මේ අය ගෙන්වූ එම බිඩි ඔතන කොල තොගයෙන් රේගුවට සිදු වූ බදු පාඩුව රුපියල් කෝටි 4  ½ ක් වන බවට ගණන් බලා තිබෙනවා.

මේ පිරිස අත්අඩංගුවට ගැනීමත් සමග ජොන් අමරතුංග අමාත්‍යවරයා සහ තුසිත හල්ලොලුව රේගු අධ්‍යක්ෂක ජෙනරල්වරියට දුරකතනයෙන් කතා කර මේ ජාවාරම්කරුවන් නිදහස් කරන ලෙසට බලපෑම් කළා. ඒ වගේම රිෂාඩ් බදුර්දීන් මහතාගේ පිරිසක් ද ඇයට කතා කර බලපෑම් කළ නමුත් ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා.

ඊට පසුව රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය මේ සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු හෙළි වූ රේගු නිලධාරීන් දෙදෙනෙකුගේ ද වැඩ තහනම් කර විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළා.

මේ බිඩි ඔතන කොල ජාවාරමේ මහ මොලකරුවා වන්නේ ෂදිකින් වන අතර ඔහුගේ බෑණා වන ෆසාල් සහ රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාගේ සහෝදරයා වන රිජාජ් බදුර්දීන්   යන අය එහි කොටස්කරුවන් වනවා.

එමෙන්ම මේ ජාවාරම්කරුවන් ඉන්දුනීසියාවෙන් සහ තායිලතයෙන් කරුන්කා ගෙන්වා එම කරුන්කා ද ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමේ බදු සහන යටතේ අපේ රටේ කරුන්කා ලෙස ප්‍රති අපනයන කිරීමේ ව්‍යාපාරයක දී සිටිනවා.

දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදුවන මේ ජාවාරම සම්බන්ධයෙන් ද රේගුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර  එමගින් සිදුව ඇති පාඩුව මෙතෙක් ගණන් බලා නැහැ.

මේ අතර ශ්‍රී ලංකාවට BMW වාහන ගෙන්වන PRESTIGE AUTOMOBILE (PVT) LTD  සමාගම  මඟින් දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදු වූ බදු වංචාවට අදාළව ද එතුමිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළා.

එම සමාගමෙන් රටට සිදුව ඇති බදු පාඩුව රුපියල් බිලියන 16ක් වන අතර එම මුදල යළි අය කර ගැනීමට ද එතුමිය කටයුතු යොදා තිබුණා. මේ ක්‍රියාවලිය නතර කරන ලෙසට ද ආණ්ඩුවේ ප්‍රබලයින්ගෙන් එතුමියට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා.”           

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*